ලෝක ළමා දිනය
ළමයින් සඳහා මෙවැනි දිනයක් වෙන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් පවතී. ඒ අනුව ඇමරිකානු ජාතික ආචාර්ය ලෙනාඩ් පියතුමා විසින් ප්‍රථම වරට ළමයින් වෙනුවෙන් මෙවැනි දිනයක් නම් කිරීම පිළිබඳ ලෝක අවධානය යොමු කරවා ඇත. රටක අනාගත පුරවැසියන් වන ළමා පරපුර සුරක්ෂිත කිරීම හා ඔවුන්ගේ සුබ සිද්ධිය අරමුණු කර ගනිමින් මුල් වරට ළමයින් සඳහා වෙන් වූ දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. ලෙනාර්ඩ් පියතුමා විසින් එය රෝස දිනය ලෙස නම් කර තිබුණි. එලෙස ආරම්භ වූ ළමා දිනය තුර්කි රජය විසින් පළමු වරට ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ කර ඇත.
මේ අතරතුර වර්ෂ 1954 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය රටවල් 13ක අත්සන් සහිතව ප්‍රකාශයට පත් විය. ඒත් සමඟ විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන මෙන් සාමාජික රටවලින් ඉල්ලීම් සිදුකර ඇත. ඒ අනුව සෑම වසරකම නොවැම්බර් මස 20වන දින මේ සඳහා තෝරගෙන ඇත. නමුත් තම තමන්ගේ රටවල් සඳහා ගැලපෙන දිනයක් තෝරා ගැනීමට ද එහිදී අවසර ලබා දී ඇත. එම අවසරයට අනුව රුමේනියාව ජුනි මස පළමුවැනි දිනත්,ආර්ජන්ටිනාව අගෝස්තු මස දෙවන ඉරිදාත්, බ්‍රසීලය ඔක්තෝබර් දොලොස්වන දිනත්, කැමරන් හා කොංගෝ රාජ්‍ය දෙසැම්බර් විසිපස්වන දිනත්, ඉන්දියාව හා පකිස්ථානය නොවැම්බර් විසිවන දිනත් ආදී වශයෙන් විවිධ රටවල් තම රටට පහසු දිනයක් මේ සඳහා යොදාගෙන ඇත.
මේ අතරින් ශ්‍රී ලංකාව සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පලමුවැනි දින මේ සඳහා යොදාගෙන ඇත. එදිනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය සහිතව UNICEF ආයතනයේ දායකත්වයෙන් විවිධ ළමා සුබ සාධන සහ සංවර්ධන ක්‍රියාවලීන් ළමයින් අරමුණු කර ගනිමින් සිදු කරනු ලබයි. එවැනි වැඩසටහන් ඔස්සේ ළමා පෞරුෂය ගොඩනැංවීම, ළමයින්ගේ සුබ සිද්ධිය අරමුණු වන කතිකාවන් ගොඩනැංවීම ආදී ළමා සුබසාධන කටයුතු රැසක් සිදුකරනු ලබයි. නමුත් ළමා පරපුර වෙනුවෙන් කටයුතු කිරීම දිනකට පමණක් සීමා නොකර නිරන්තරයෙන් ඔවුන් පිළිබඳ අවධානයෙන් පසුවීම අධ්‍යතන සමාජ තත්ත්වය පිළිබඳ අධ්‍යනයේදී අත්‍යවශ්‍ය සාධකයක් බව මනාව ප්‍රත්‍යක්ෂ වේ. එසේනම් හෙට ලෝකයේ උරුමකරුවන් සෙනහසින් රැකබලා ගැනීමට අපි සියලු දෙනාම එක්ව කටයුතු කරමු.
Leo Nisansala Pathirana
Second year
Faculty of Arts