Sunday, January 12, 2025

දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග


 දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග


බෝනොවන රෝග අතරින් ඉදිරියෙන්ම සිටින දියවැඩියාව අද වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ලංකාවේ වෙසෙන ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව රෝගයෙන් පෙළෙති. එම සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන්නේ නිවැරදි ජීවන පුරුදුවලින් ජනයා බොහෝදුරට ඈත්වෙමින් පවතින පසුබිමක් තුළය.  විශේෂයෙන්ම අද වන විට අප හුරුවී සිටින ආහාර රටාව නිසාද දියවැඩියා රෝගීන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එනිසා මෙම ලිපිය හරහා දියවැඩියා රෝගීන්ට සුදුසුම් හා නුසුදුසු ආහාර වර්ග පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ. 

පිෂ්ඨය, ප්‍රෝටීන, මේද, ඛනිජ ලවණ හා විටමින් අඩංගු සමබල ආහාර වේලක් ලබා ගැනීම සෑම රෝගයකටම ගුණදායක වේ. මෙහිදී ආහාර පිරමීඩයට අනුව ආහාර ප්‍රමාණ  සකසා ගැනීමට අවධානය යොමු කළ යුතු අතර එහිදී ප්‍රධාන අංගය  වන පිෂ්ඨය දියවැඩියා රෝගීන් ලබා ගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාර වලිනි. නැතිනම් පිෂ්ඨය අධික වී රුධිර ගත සීනි මට්ටම තවත් ඉහළයා හැකිය.  නමුත් කෙඳි වැඩි ප්‍රමාණයක් තිබෙන විට ආහාරයේ ඇති පිටි අවශෝෂණය ප්‍රමාද වන අතර කුසගින්න දැනීමද ප්‍රමාද කරයි. මෙහිදී කෙඳි බහුල ආහාර ලෙස නිවුඩු සහල්, කුරක්කන්, උළුඳුපිටි, මුං ඇට, කඩල ආදිය දැක්විය හැකිය. 


දියවැඩියා රෝගීන් ලබාගන්නා පිෂ්ඨ  ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු අතර සෑම දිනකම එකම ප්‍රමාණයක් ගත යුතුය. එක් ආහාර වේලකට අධික පිටි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය. 

මේදය  ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම භේද වර්ගය ගැනද සැලකිලිමත් විය යුතුය.  සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් සුදුසු නැත.  පොල්තෙල් සුදුසු නමුත් භාවිතයට ගත යුත්තේ අවම වශයෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස් යොදය සහිත කිරි, බටර් වල ඇති තෙල් සුදුසු නොවේ.  


ප්‍රෝටීන් ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල,  කව්පි , පරිප්පු, මාළු, සම ඉවත් කළ කුකුළු මස් වලින් ප්‍රෝටීන සපයා ගත හැකිය. කුඩා මාළු වර්ග ඉතා ගුණදායකය. මුගුණුවැන්න, ගොටුකොළ, තම්පලා, නිවිති,  කංකුං කතුරුමුරුංගා ආදී සියලුම පලා වර්ග ගුණදායකය.  බෝංචි, මෑකරල්  දඹල, වම්බටු,  එලබටු, තක්කාලි, ගෝවා, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා ආදී පිෂ්ඨය අඩු එළවළු වර්ග ගුණදායකය.

අතුරුපස ලෙස පළතුරු වර්ග හා සීනි රහිතව මුදවන ලද කිරි ආහාරයට ගත හැකිය. පුඩින් වර්ග, චොක්ලට්, ටොෆි, වටලපන්, අයිස් ක්‍රීම්, කේක්, රස කැවිලි,  තලගුලි, ජෙලිවර්ග, පැණිබීම, තැඹිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට් වර්ග ආදිය නුසුදුසුය. ක්ෂණික ආහාර වර්ග භාවිතය අවම කළ යුතුය. 


දියවැඩියා රෝගය ආහාර මගින් පාලනය කර ගැනීමට දෛනිකව ලබා ගන්නා ආහාර බඳුනේ හතරෙන් එකක් බත් ද , හතරෙන් එකක් එලවළුද , හතරෙන් එකක් පලා වර්ගද, ඉතිරි හතරෙන් එක ප්‍රෝටීන සහිත ආහාර වර්ගද වශයෙන් කොටස් කර ආහාර ගැනීම වැදගත් වේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...