Sunday, January 26, 2025

මූලික රුධිර පරීක්ෂණ


 මූලික රුධිර පරීක්ෂණ



Random Blood Sugar පරීක්ෂණය


 ඔබ වෛද්‍යවරයෙකු හමුවට යන විට ඔබට දියවැඩියාව තිබේදැයි වෛද්‍යවරයා සැක කරන කල්හී ඒ වෙලාවෙම රුධිර සාම්පලයක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් දියවැඩියාවට නිර්දිෂ්ඨ සම්මත රුධිර පරීක්ෂණය FBS නොහොත් නිරාහාර රුධිර පරීක්ෂණය වූවත් ඔබ වෛද්‍යවරයා හමුවට යන්නෙ ඊට සූදානම් වෙලා නොවෙයිනෙ. ඒත් දළ අදහසක් ගන්න ඔබ ඉන්න ආකාරයෙන්ම වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් කළොත් එය Random Blood Sugar  පරීක්ෂණය ලෙස හඳුන්වනවා. ඔබ ලබාගෙන තිබෙන ආහාර වර්ගය, කොපමන වෙලාවක් ආහාර ගැනීමෙන් පසුව ගතවී තිබේද ආදී කරුණූ මත අගයන් වෙනස් විය හැකියි. ඒත් දළ වශයෙන් මෙහි අගය 180 මි.ග‍්‍රෑ./ඩෙ.ලී ට වඩා වැඩි නම් නිරාහාර රුධිර පරීක්ෂාවක් කළ යුතුයි.


Fasting blood sugar නිරාහාර රුධිර පරීක්ෂාව 




 වචනයෙන් ප‍්‍රකට වන ආකාරයටම මෙහිදී සිදු කරණුයේ රෝගියා පැය 10-12 කාලයක් නිරාහාරව ඉන්නට සලස්වා රුධිර නියැදියක් ගෙන එහි ඇති ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමයි. මෙහිදී පහසුව තකා රාත‍්‍රී ආහාරයෙන් පසු නිරාහාරව සිට පසුදා උදෑසන රුධිරය ගැනීමක් සිදු කෙරේ.


මෙහිදී ලැබෙන අගය 70-100 milligrams per deciliter (mg/dL) නම් ඉතා හොඳය.


100-125 mg/dL අතර අගයක් ගැනීමෙන් ග්ලූකෝස් යාමනයේ අසමතුළිතතාවයක් ඉගි කරයි. මෙය පූර්ව දියවැඩියා තත්ත්වය ප‍්‍රකට කරයි.


ග්ලූකෝස් අගය 126 mg/dL හෝ ඊට වැඩි වීම දියවැඩියාව ලෙස සළකා ප‍්‍රතිකාර කිරීමට හේතු වෙයි.



දියවැඩියාව මූත‍්‍රා පරීක්ෂණ - දැන් එතරම් භාවිතයක් නෑ



මුත‍්‍රා වල සීනි මට්ටම වැඩිවීම මත දියවැඩියා රෝගය පිළිබඳව අවබෝධයක් ලැබීම අමාරුයි. දියවැඩියාව විමසීමේ මුත‍්‍රා පරීක්ෂණය දෝෂ වැඩියි. ඊට හේතුවක් තිබෙනවා. වකුගඩු වල ග්ලූකෝස් දරාගැනීමේ මට්ටමක් තිබෙනවා. Renal Threshold යනුවෙන් හඳුන්වන එම මට්ටම ඉකුත් වුණාම විතරයි මූත‍්‍රා වලට ග්ලූකෝස් කාන්දු වෙන්නෙ. ඇතැම් අයගේ මේ දරා ගැනීමේ මට්ටම අඩුයි. ගර්භිණී අවධියේදී මේ Renal Threshold මට්ටම අඩුයි. වකුගඩු රෝගයක් තිබෙන විටත් මේ Renal Threshold මට්ටම අඩු විය හැකියි. එවිට මුත‍්‍රා වල සීනි නෑ. ඒත් ඔහුගේ රුධිර සීනි මට්ටම ඉහළ අගයක් ගන්න පුළුවනි. මුත‍්‍රා වලින් නියම ස්වභාවය පෙන්නුම් කරන්නෙ නෑ.


මේ නිසා දැන් මුත‍්‍රා සීනි පරීක්ෂණ වෙනුවට ග්ලූකොමීටරයෙන් රුධිර සීනි මට්ටම බැලීමෙන් ඔබට දළ අදහසක් ලබාගන්න පුළුවනි. ග්ලූකොමීටරයෙන් රුධිර සීනි මට්ටම මැනීමේදී පිළිගත් නිරවද්‍ය ග්ලූකොමීටරයකින් එම පරීක්ෂණය සිදුකර ගැනීම වගේම නියම කර ඇති පිළිවෙලට එම පරීක්ෂණය සිදු කිරීමත් වැදගත්.


Hemoglobin A1c පරීක්ෂණය නොහොත් HbA1c




 දියවැඩියා රෝගීන්ගේ පසුගිය මාස තුනක කාලයක් ඇතුළත රුධිර සීනි මට්ටම ගැන පෙරයීමක් කරන වටිනා රුධිර පරීක්ෂණයකි HbA1c


ඔබේ රුධිරයේ රතු රුධිරාණූ තුළ ඔක්සිජන් නොහොත් අම්ලකර වායුව පරිවහනය කරන හිමොග්ලොබින් පවතී. මේ සෛල වියපත් වන විට කෙමෙන් ඒ තුළ ග්ලූකෝස් අණු තැන්පත් වේ. මේ ක‍්‍රියාවලිය Glycation නමින් හැඳින්වෙයි. රුධිරයේ වැඩියෙන් ග්ලූකෝස් පැවතීම යනු Glycated hemoglobin වැඩි වීමක්ය. එය මෙම පරීක්ෂණයේදී HbA1c  අගය වැඩි වීමෙන් ප‍්‍රකට වේ.


Ÿ නිරෝගී අගයක HbA1c  පැවතීම යනු HbA1c   ප‍්‍රතිශතය 5 ට වඩා අඩු වීමකි.

Ÿ HbA1c   අගය 7% ට වැඩි නම් ඉන් අදහස් කෙරෙන්නේ පසුගිය කාලය තුළ රුධිර සීනි මට්ටම එතරම් හොඳින් පාලනය වී නොමැති බවයි.


HbA1c   පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පූර්ව පිළියෙළ වීමක් අවශ්‍ය නොවේ.


අක්ෂි පරීක්ෂණය  Dilated Eye Examination




 ඔබ දියවැඩියා රෝගියෙක් නම් කලින් කලට අක්ෂි පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යය. එමගින් දියවැඩියා අක්ෂි රෝගය නම් තත්ත්වය ඇති වී ඇසේ පෙනීම නැති වෙනවාද යන්න කල්යල් ඇතිව හඳුනාගත හැකිය. එසේ නොමැති වූවහොත් ඇස් වලට කල් ගිය පසු ප‍්‍රතිකාර කිරීම පහසු නොවේ.


මෙහිදී ඔබේ අක්ෂි වෛද්‍යවරයා විසින් ඇසට යම් රසායනයක් දමා ඇසේ කළු ඉංගිරියාව විස්තාරනය කිරීමක් මුලින්ම සිදු කර ඉන් පසුව ඇස පරීක්ෂා කරණූ ලබයි. මෙසේ පරීක්ෂා කිරීමෙන් ඔබේ වෛද්‍යවරයා ඔබට දියවැඩියා දෘෂ්ඨි ආබාධයේ මූලික ලක්ෂණ තිබේදැයි හඳුනාගන්නවා ඇත. මේ අවස්ථාවේදී එම තත්ත්වය හඳුනාගතහොත් ඔබ බෙහෙවින් වාසනාවන්තය. එයට යෙදිය හැකි පිළියම් තිබේ. යම් හෙයකින් ඔබත් නොදැනීම දියවැඩියා දෘෂ්ඨි ආබාධය මෝරා ඔබේ පෙණූම නැතිවන අවස්ථාවේදී ඔබ අක්ෂි වෛද්‍යවරයා හමු වුණොත් ඔහුට ඔබ වෙනුවෙන් කිරීමට යමක් ඉතිරි නොවනු ඇත.


දියවැඩියා දෘෂ්ඨි ආබාධය අද වයස අවු. 65 ඉකුත් වූ පුද්ගලයන්ගේ අන්ධභාවයට ප‍්‍රධාන හේතුවකි. 

මෙවන් ඉරණමක් ඔබටත් අත් නොවීමට නම් දියවැඩියා රෝගියෙකු වන ඔබ වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂණයකට ලක් විය යුතුය.


දියවැඩියාව පාද පරීක්ෂණය




 දියවැඩියා රෝගීන් පාද මුහුණ සේ පිරිසිදුව තබාගත යුතු යයි කියමනක් තිබේ. දියවැඩියා රෝගියෙකුගේ ස්නායු පහසුවෙන් දුර්වල විය හැකිය. පාදවල රුධිරගමනාගමනය දුර්වල විය හැකිය. පාදයේ තුවාලයක් සිදු වුණොත් එය සුව කිරීම පහසු නොවේ. ඒ ආසන්නයට රුධිර ගමනාගමනය නොමැති වෙයි. ඒ නිසා ආසන්න පටක මැරී යයි. අවසානයේ එය නතර වන්නේ ඇගිල්ලක්, සමහර විට පාදයේ කොටසක්ම කපා ඉවත් කිරීමෙනි.


දියවැඩියා රෝගියෙකු වශයෙන් ඔබ වෛද්‍යවරයා මුණගැහෙන හැම අවස්ථාවකම ඔබේ වෛද්‍යවරයා ඔබේ පාද සුවසෙත ගැනද විමසිළිමත් වන්නේ එහෙයිනි.


දියවැඩියා රෝගියෙකු සෑම දිනෙකම පාද සුවසෙත පිළිබඳව විමසිළිමත් විය යුත්තේය. හැකි පමණ පිරිසිදුව පාද පවත්වා ගත යුත්තේය. පාද ආපදාවලට ලක්විය හැකි අවස්ථා මග හැරවිය යුත්තේය. සම බිඳීම්, තුවාල, ආසාදන වලින් ආරක්ෂා විය යුත්තේය. නිය කැපීමේදී අගටම නොකපා සුළු ඉඩක් පවතින සේ කොන් තුවාල නොවන සේ නියපොතු කැපිය යුත්තේය.

පාද ආරක්ෂාවට වැඩිදුර උපදෙස්


ඔබේ පාදයට හරියටම සරිලන පාවහන් යුවලක් පළඳින්න.


සපත්තු පැළඳීමේදී වැලිකැට හා වෙනත් බාධක ද්‍රව්‍ය පාවහන් තුළ නොමැති බවට සැක හැරගන්න.


පාද සැමදා සබන් ගා දෝවනය කර හැකිතාක් පිරිසිදුව තබාගන්න. 


ඒවා සෑම විටම වියළිව තබාගන්න. තෙත මාත්තු කරගන්න.


පාද වලට සැර රසායන ද්‍රව්‍ය ගල්වන්න එපා


කරගැට හා වෙනත් තුවාලයක් වෙතොත් වෛද්‍යවරයා ලවාම නොපමාව ප‍්‍රතිකාර ලබාගන්න


දුම් පානයෙන් වළකින්න. ව්‍යායාම වල යෙදෙන්න. ඉන් පාද වලට යහපත් රුධිර ගමනාගමනයක් සැලසේ.


පාවහන් නැතිව ඇවිදීමෙන් වළකින්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...