ජන ජීවිතය උඩුයටිකුරු කළ කොරෝනා
අපගේ එදිනෙදා ජීවන රටාවට සෘජුවම බලපෑම් එල්ල කිරීමට ආපදාවලට හැකියාවක් පවතී. ස්වභාවික ආපදා ලෙසට දක්වනු ලබනුයේ ස්වභාවික ක්‍රියාවලි හේතුවෙන් මිනිස් ප්‍රජාවට හෝ දේපළවලට මෙන්ම පරිසරයට හානි සිදුවන ක්‍රියාදාමයකි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ,මෑතකාලීනව ලෝකය පුරාම ප්‍රබලව ව්‍යාප්ත වූ කොරෝනා වෛරසයට ගොදුරු වූ පවුල් සාමාජිකයකු හා සිදුකරන ලද කතාබහ මෙම සාකච්ඡාවට පදනම වේ.
නිවේදකයා-ආයුබෝවන් මහත්මයා..! ඔබතුමා මුහුණ දුන් ආපදාව පිළිබඳව පැහැදිලි කිරීමක් අපට දැනගැනීමට අවශ්‍යයි. ඔබට ඒ පිළිබඳව අපට පැහැදිලි කර දීමට පුළුවන්ද..?
සංවාදයේ නියැලෙන්නා-ආයුබෝවන් මහත්මයා..! ඔව් පුළුවන්. ඔබතුමා ආපදාවක් පිළිබඳව අහද්දී ම මට මතක් වෙන්නේ මෑත කාලීනව, 2020 වසරේ පමණ මුළු ලෝකයටම පිළිලයක් වුණ කොරෝනා වසංගතය. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වෙලා ලංකාව පුරාම පැතිරුණු මේ වසංගතය මෑත කාලීන විශාල ආපදාවක් බවට පත්වෙලා තිබුණා.
නිවේදකයා-මේ ආපදාව පිළිබඳව ඔබතුමා ඉතාම කලකිරීමකින් කතා කළේ. මම හිතන්නේ ඔබතුමාට මේ ආපදාව නිසා බොහොමයක් හානි සිදු වෙන්න ඇති ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද.?
සංවාදයේ නියැලෙන්නා-මම වෘත්තියෙන් පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයෙක්. මගේ බිරිඳ සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ හෙද නිලධාරිණියක් ලෙසට. මගේ එක් දියණියක් අධ්‍යාපනය ලබන අතර අනෙක් දියණිය ආපදාවට ලක් වෙන කාලය තුළ අවුරුද්දක පමණ දරුවෙක්. බිරිඳ හෙද නිලධාරියක් ලෙස සේවය කිරීමත් සමඟ අපිට කොරෝනා වෛරසය වැළඳුනා. මෙහිදී බිරිඳගේ රැකියා කටයුතු සමග ආපදා කාලය තුළ බොහෝ ම පීඩාවන්ට මුහුණ දීමට සිද්ධ වුණා. ආපදාව නිසා ජීවිත හානියක් සිදු නොවුණත් මානසික වශයෙන් නිදහසක් නැතිවීම වගේම ශාරීරික වශයෙන් ඇතිවුණු විවිධ අපහසුතා හානි ලෙසට දක්වන්න පුළුවන්.
නිවේදකයා-මෙම ආපදාව නිසා ඔබතුමාට ඇතිවුණු බලපෑම පැහැදිලි කළොත්.?
සංවාදයේ නියැලෙන්නා-විශේෂයන්ම අවුරුද්දක පමණ දියණිය ආපදාවට ලක් වීම සමග ඇතිවුණු බිය වගේ ම රැකියාවට යාමට නොහැකි වීම සමඟ ආර්ථිකමය වශයෙන් ඇතිවුණු කඩා වැටීමත් ආපදාව නිසා ඇතිවුණු බලපෑම් විදිහට දක්වන්න පුළුවන්.
නිවේදකයා-ආපදාව සමඟ ඔබතුමාට ඇතිවුණු කායික හා මානසික ආබාධ පිළිබඳව පැහැදිලි කළොත්..?
සංවාදයේ නියැලෙන්නා-කොරෝනා වසංගතයේ රෝග ලක්ෂණ විදිහට හිසරදය,සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස,උගුරේ වේදනාව දක්වන්න පුළුවන්. කායික වශයෙන් ඇතිවුණු ආබාධ ලෙසට ඒවා දක්වන්න පුළුවන්.ඒ වගේම දරුවන් හා බිරිඳ අසනීප වීම සමග ඇතිවුණු බිය,රැකියාවට යාමට නොහැකි වීම සමඟ ඇතිවුණු ආර්ථික ගැටලු, නිවසේ ගෘහ මූලිකයා වශයෙන් ඇතිවූ මානසික පීඩනය ආපදාව සමග ඇතිවූ මානසික ආබාධ ලෙසට දක්වන්න පුළුවන්.
නිවේදකයා-ඔබතුමා මීට පෙර මේ වගේ ආපදාවක් පිළිබඳව අත්දැකීමක් ලබලා තියෙනවද..?
සංවාදයේ නියැලෙන්නා-නැහැ. මේ ආපදාව ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම අලුත් අත්දැකීමක් වුණා. ආපදා පිළිබඳව අත්දැකීම් ලබලා තිබුණට මේ වගේ වසංගතයක් පිළිබඳව මීට පෙර අත්දැකීමක් ලබලා තිබුණේ නැහැ. නමුත් ආපදාවට පෙර සමාජ මාධ්‍යය වගේම රූපවාහිනිය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත්වීමක් සිදුවෙලා තිබුණා.
නිවේදකයා-ඔබතුමා මෙම ආපදාව සමඟ නිශ්චිත ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම සිදුවුණාද.?
සංවාදයේ නියැලෙන්නා-ඔව් රැගෙන යාමක් සිදුවුණා. ඒ පිළිබඳව පැහැදිලි කළොත් මුල් දින කිහිපය තුළදී නිවසේ සිට නිරෝධායන කාල සීමාවක් තමයි තිබුණේ. නමුත් රෝගය උත්සන්න වීම සමග නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමක් සිදුවුණා. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සමග නිවසේදී ඇතිවුණාට වඩා කායික මෙන්ම මානසික වශයෙන් බලපෑමක් ඇතිවුණා.නිවසේදී නිරෝධායනය වූ කාලසීමාව තුළදී අසල්වැසියෝ වගේම නෑදෑයොත් ඔවුන්ට හැකි ආකාරයට ආහාර වලින්, බෙහෙත් වලින් අපේ සනිපාරක්ෂක පහසුකම් සපුරාලීමට කටයුතු කළා. මෙහිදී සිදුවුණේ නිවසේ ගේට්ටු අසලට ආහාර වගේම අනෙක් ද්‍රව්‍ය රැගෙන ඔවුන් තබා යෑමත් ඉන් පසුව අප විසින් ඒවා රැගෙන ඒමයි.
නිවේදකයා-ඔබතුමා පැවසු ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානවලදී නිවසේදී තිබූ මානසික පීඩාවට වඩා මානසික පීඩාව වැඩිවීමට හේතුව කුමක් ද.?
සංවාදයේ නියැලෙන්නා-පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වෙලා නිරෝධායනය වීම වගේම එහි තිබූ සනීපාරක්ෂක ගැටලු මානසික බලපෑමකට හේතුවුණා. ඒ වගේම ඇතැම් රෝගීන් මියයාම දැකීමත් සමග ඇතිවන බියත් නිරෝධායන මධ්‍යස්ථානයේදී මුහුණ පෑ ගැටළු විදිහට දක්වන්න පුළුවන්.
නිවේදකයා-මෙම ආපදාව දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට කුමන ආකාරයේ බලපෑමක් ද එල්ල කලේ.?
සංවාදයෙහි නියැලෙන්නා-ආපදා කාලය තුළ රට තුල පනවා තිබූ ලොක්ඩවුන් නීතියත් සමග අධ්‍යාපනයත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණේ. නමුත් මෙහිදී දරුවන්ට එම ඔන්ලයින් පන්තිවලටවත් සහභාගිවීමට හැකියාවක් තිබුණේ නැහැ.
නිවේදකයා-මෙම කාලසීමාව තුළදී ඔබට බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපකාර සිහිපත් කළොත්.?
සංවාදයෙහි නියැලෙන්නා-මුලින්ම නිවසේදී නිරෝධායනය වන කාලසීමාව තුළදී අසල්වැසියන්ගෙන් මෙන්ම නෑදෑයන්ගෙන් ලැබුණු උපකාරය දක්වන්න පුළුවන්. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට රජය මඟින් ලබා දුන්නු සහයෝගය වගේම නොමිලේ ප්‍රතිකාර කිරීමත් ඇතැම් අවස්ථාවල නිරෝධායන මධ්‍යස්ථානවල උපදේශන සේවාවන් ක්‍රියාත්මක වීම ආදියත් දක්වන්න පුළුවන්. ඊට අමතරව විවිධ බාහිර පාර්ශවකරුවන් සහනාධාර ලබාදීම් සමෘද්ධිය මගින් ආහාර මලු ලබාදීම ආදිය මඟින් විශාල දායකත්වයක් ලැබුණා. විවිධ පෞද්ගලික ආයතන මගිනුත් විවිධ සහනාධාර ලබාදීම් සිදුවුණා.
නිවේදකයා-මේ ආපදාව අවස්ථාවේදී රජය මගින් ආපදාව වැළැක්වීමට කුමන
ආකාරයේ පියවරක් ද අනුගමනය කළේ.?
සංවාදයෙහි නියැලෙන්නා-ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ අපදාව ලෝක වසංගතයක්. මේ අවස්ථාවේ රජයක් විදිහට විශාල වගකීමක් ඉටුවුණා. සෞඛ්‍ය අංශය වගේම සෑම අංශයක්ම ආපදාව වළක්වා ගන්න විශාල මෙහෙයක් ඉටු කළා කියලා කියන්න පුළුවන්. ආපදාව වළක්වා ගන්න විතරක් නෙවෙයි ආපදාවෙන් පසුවත් විවිධ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ ආපදාකරුවන්ගේ මානසික මෙන්ම කායික සෞඛ්‍ය යහපත් කිරීමට පැසසිය යුතු වගකීමක් ඉටුකළා.
නිවේදකයා-මෑත කාලීනව ඔබතුමා මුහුණ දුන්නු ආපදාවක් පිළිබඳව අපිත් සමග තොරතුරු බෙදා හදා ගනිමින් ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම වෙනුවෙන් මාගේ හද පිරි ස්තුතිය පුද කරනවා. ආයුබෝවන්..!
සංවාදයෙහි නියැලෙන්නා-බොහොම ස්තූතියි. ආයුබෝවන්..!
සොබාදහම් මාතාව වුවද විටෙක කුරිරු වී ස්වභාවික ආපදා ලෙසට අප වෙත පැමිණියද, දැනුවත්භාවය හා පෙර සූදානම තුළින් එවැනි ආපදා ජය ගැනීමට හැකිවනු ඇත.