Saturday, February 1, 2025





 දැදුරු ඔයෙන් උපන්  කඳුළු කතාවක්...


මිනිසාගේ මැදිහත්වීමකින් තොරව  ස්වභාවික සිදුවීම් තුළින් ජීවිත, දේපළ හෝ පාරිසරික වශයෙන් හානි පැමිණෙන අවස්ථාවක් ස්වභාවික ආපදාවක් ලෙස හඳුනාගත හැක.

මෙම සාකච්ඡාව සඳහා වයඹ පළාතේ දැදුරු ඔය ආශ්‍රිත සීමාවේ වෙසෙන ආපදා තත්ත්වයන්ට මුහුණදී විපතට පත්ව අත්දැකීම් ලැබූ පුද්ගලයකුගෙන් අදහස් ලබා ගැනීම සිදුවිණි. 


නිවේදකයා: ආයුබෝවන් මහත්මිය. මම පළමුවෙන්ම දැනගැනීමට කැමතියි ඔබතුමිය මුහුණ දුන්     ආපදාවේ ස්වභාවය මොන වගේද කියල. ඔබතුමියට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?


දත්ත දායකයා: ආයුබෝවන්. ඔව්. මම වැඩිපුරම මුහුණ දීලා තියෙන්නේ ගංවතුර ආපදා තත්ත්වයට. වැහි කාලයේදී දැදුරු ඔයේ වතුර මට්ටම වැඩි වී පිටාර ගැලීමෙන් අවට පහත් බිම් යටවෙන නිසා අපට මේ ආපදා තත්ත්වය ඇතිවෙනවා.


නිවේදකයා: මෙම උපද්‍රවය නිසා ඔබට සිදුවූ හානි මොනවාද? 


දත්ත දායකයා: ගංවතුර නිසා කුඹුරු සෝදා පාළුවට ලක්වුණා. අපේ නිවස වතුරෙන් යටවුණා. බඩුමුට්ටු වලට හානි වුණා. දරුවන්ගේ පොත්පත් විනාස වුණා. වටිනා කියන ලියවිලි ටිකක් පරිස්සම් කරගත්තේ බොහොම අමාරුවෙන්. දරුවෝ ගොඩක් දුක් වුණා පොත් විනාස වුණු එක ගැන.


නිවේදකයා: කොහොමද ඒ දවස්වල අවශ්‍යතා සපුරා ගත්තේ? 


දත්ත දායකයා: අපිට ආහාරපාන සකස් කරගන්න බැරි වුණා. ඈත පැතිවල උදවිය සකස් කරපු ආහාර ගෙනල්ල දුන්නා. වැසිකිලි කැසිකිලි වතුරට යට වෙලා අවහිර වෙලා තිබුණේ. බොහොමයක් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා. උණ රෝග ඇතිවුණා.


නිවේදකයා: ගංවතුර ආපදාව නිසා ඇතිවුණ හානිය කළමනාකරණය කරගත්තේ කොහොමද? 


දත්ත දායකයා: අපිට විශාල පාඩුවක් තමයි සිද්ධ වුණේ. කුඹුරු ටික විනාශ වෙලා ගියා. ඒවට යොදවපු මුදල් අපරාදේ. නමුත් රජයෙන්  ආධාර නම් ලැබුණේ නැහැ. තාමත් විශාල ගංවතුරක් ආවොත් නිවාසය, කුඹුරු, ඉඩම් වතුරට යට වෙනවා. හානි වෙන දේවල් නැවත  ගොඩනගා ගන්න එක හරි අමාරුයි.


නිවේදකයා: ආපදා තත්ත්වය බලපෑම අඩුකර ගන්න ඔබ ගත් පියවර මොනවාද? 


දත්ත දායකයා: නිවස ගංවතුරට යට වෙන නිසාම අවුරුදු කිහිපයක ඉඳන් අපි තනි තට්ටුවට තිබ්බ නිවස දෙමහල් නිවසක් විදිහට ගොඩනගා ගත්තා. වෙනත් ප්‍රදේශයකින් අලුතින්ම නිවසක් හදාගන්න තරම් අපට වත්කමක් නැහැ. පහළ කොටස ජලයෙන් යට වෙනකොට උඩ තට්ටුවට වෙලා තමයි අපි ඉන්නේ. වැඩි දවසක් ඉන්න අමාරු නිසා ඈත තියෙන ඥාති නිවසකට ගිහිල්ලා ඉඳලා වතුර බැහැලා ගියාට පස්සේ නිවස සෝදලා පිරිසිදු කරලා ටික දවසක් ගත වුණාට පස්සෙයි අපි ආයේ පදිංචියට එන්නේ. 


නිවේදකයා: කොහොමද ආරක්ෂිත ස්ථානවලට යන්නේ මාර්ගවලට හානි සිද්ධ වෙනවා නේද? 


දත්ත දායකයා: ඔව්. පිටාර ගලා යන වතුරට මාර්ග වැහිලා යනවා. ඉනවටක් වගේ වතුර තියෙනකොට අපි වතුරට බැහැලා යනවා. වතුර පාර සැර වැඩි නම් වෙනත් මාර්ග, අතුරු පාරවල් භාවිතා කරන්නත් සිද්ධ වෙනවා.

රජයෙන් හානි වූ මාර්ග පිළිසකර කරලා පාලමක් තැනීම මේ වෙනකොට සිදුකරලා තියෙනවා. ඒ නිසා දැන් ගං වතුර අවස්ථාවලදී වෙනදාට වඩා මාර්ග භාවිතය පහසු වෙලා තියෙනවා.


නිවේදකයා: අවසාන වශයෙන් මෙම ආපදාවට මුහුණ දුන්න නිසා ඔබතුමියගේ අත්දැකීම් අනුව වැඩිපුරම අවධානය යොමුවුණේ කුමන දේටද?


දත්ත දායකයා: අධික වර්ෂාවත් එක්ක මේ ආපදාව අපට ඇති වෙනවා කියලා අපි දන්නවා. මේ වගේ ආපදා ඇති නොවෙන තැනක නිවසක් හදාගන්න එක තමා අපේ බලාපොරොත්තුව. 


නිවේදකයා: බොහොම ස්තුතියි ඔබතුමියට තොරතුරු ලබාදීම සඳහා ඔබගේ වටිනා කාලය වැය කලාට.



ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...