Monday, October 9, 2023

අසහාය රංගධර ජැක්සන් ඇන්තනීයන්...

 


ඔහු විටෙක ප්‍රතිභාපූර්ණ නළුවෙකි.විටෙක සිනමා අධ්‍යක්ෂකවරයෙකි.විටෙක නිෂ්පාදකවරයෙකි.විටෙක තිරකථා රචකයෙකි.විටෙක තීරු ලිපි රචකයෙකි.විටෙක නවකතාකරුවෙකි.විටෙක චිත්‍ර කතා රචකයෙකි.විටෙක ගායකයෙකි,විටෙක තනු නිර්මාපකයෙකි.විටෙක ගීත රචකයෙකි.එසේම ඔහු ගවේශකයෙකි,සංචාරකයෙකි.එකි නොකි විවිධ විෂයයන් ඔස්සේ පරිපූර්ණ දැනුමකින් යුක්තව සිනමාව,රූපවාහිනිය හා වේදිකාව අතික්‍රමණය කල ඔහු සම්මානනීය යුග පුරුෂයෙකි.ලාංකීය කලා කෙතේ මතු උන්නතිය උදෙසා මහත් වූ වෙහෙසක් දැරූ, ජාතියේ අවාසනාවට මෙලොවින් සමුගත් ඔහුගේ ජීවිත කථාවයි මේ.

බස්නාහිර පළාතේ,ගම්පහ දිස්ත්‍රික්කයේ,රාගම නගරයේ,පිටිසර ග්‍රාමයක් වූ පොඩිවීකුඹුර ග්‍රාමයෙහි විසූ කොන්ගනීගේ බෙනඩික් ඇන්තනී පියාට දාව රෝලින් පෙරේරා මෑණියන්ගේ කුසින් වර්ෂ 1958 ජූලි මස 08 අඟහරුවාදා දින මෙලොව උපන් පුත්‍ර රත්නයට නම තැබූවේ කොන්ගනීගේ ජෝෂප් මැල්සි ජැක්සන් ඇන්තනී ලෙසිනි.එදා තමන්ට දාව උපන් මේ පුතණුවන් පසු කාලීනව ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නොමැකෙන සළකුණක් තබමින් සිනමාවේ එක් සුවිශේෂි චරිතයක් වේයැයි බෙනඩික් ඇන්තනී මහතා නොසිතන්නට ඇත.

සහෝදරයන් පස් දෙනෙකුගෙන් සමන්විතව හැදී වැඩුණු ජැක්සන් ඇන්තනී ශූරීන් සිය පළමු අධ්‍යාපනය සඳහා යොමුවන්නේ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයටයි.එහි සිටියදී තම පියාගේ යොමු කිරීම අනුව උපතින් කතෝලික ජැක්සන් බණ්ඩාරවෙල පන්සලකින් බෞද්ධ දර්ශණය ඉගෙනීමට යොමු වෙයි.එම ඉගෙනීම ඔස්සේ තවමත් හැදෑරීම් කරන ජැක්සන් ඇන්තනී මහතා පවසන්නේ  බෞද්ධ දර්ශණය ඉගෙනීම පසු කාලීනව තමන්ගේ වෘත්තීය ජීවිතයට මෙන්ම පෞද්ගලික දිවියටද මහත් අස්වැසිල්ලක් වූ බවයි.

බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයේ සිව්වන වසර දක්වා ඉගෙනුම ලද ජැක්සන් ඇන්තනීහු ඉන්පසුව ඇතුලත් වන්නේ හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලයටයි.එහි පස්වන ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ඔහු එම කාලය තුලදී පාසලෙහි ඇදි චිත්‍ර මැතක් වන තුරුම පැවතුණි.

එකොළොස්වන ශ්‍රේණිය සමත් වූ ජැක්සන් ඇන්තනී ශිෂය්‍යාහට අ.පොස.උසස් පෙළ සඳහා යෑමට පාසක් දෙකක් පැවතුණි.ඉන් පළමු වැන්න ගුරුකුළ විද්‍යාලයයි.දෙවැන්න ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.දෛවයේ සරදමකට මෙන් ඔහු තෝරා ගනු ලැබූවේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.එදා ගත් එම තීරණය පසු කාලීනව ඔහුගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයද වෙනස් කළ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් විය.

ස්ථානය-ගලහිටියාව මැදි විදුහල් විසල් අරලිය ගස් සෙවන.

මෙම සෙවනට වී සිටිනා උස,හීන්දෑරී කොණ්ඩය තරමක් වවන ලද තරුණයෙකි.පෙනුමෙන් නම් ඔහු යම් ප්‍රශ්ණයක සිටිනා බවකි.එක්වරම නිහඩ පරිසරය හරහා හමා ගියේ ඇසු ඇසුවන් වශීකරනා මියුරු වස්දඬු රාවයකි.උස තරුණයා එක් වරම ගල්ගැසී ගියාක් මෙනි.මිනිත්තු කිහිපයක් එසේ සිටි තරුණයා ඒ වස්දඬු රාවය ඔස්සේ ඒ සංගීතයේ නිමාපකයා සොයා ගියේය.ඔහු එසේ වස්දඬු රාවය ගෙන ගියේ අරලිය ගස් සෙවනට මඳක් එපිටින් පිහිටි සංගීත කාමරය දෙසටයි.ඔහු සොරෙන් සංගීත කාමරයට එබී බැලූ විට ඔහුගේ දෑස් අදහා ගත නොහැකි විය.ඒ සුරූපි තරුණියෙකි.සුදෝ සුදුවන් පාසල් ගවුමකින් සැරසී ගත් ඒ තරුණිය දුටු ඔහුගේ සිතෙහි කිව නොහැකි සතුටක්ල් ඇති වුණි.ඔහු එතනින් නික්ම ගියේ "කවදා හෝ මැය මගේ කරගම්හයි "යන අදිටනින් යුතුවය.ඒ උස තරුණයා ජැක්සන් ඇන්තනීය.වස්දඬු රාවය ඔස්සේ ඔහුගෙ සිතට මල් හීසර විදින ලද ඒ තරුණිය අද ඔහුගේ ආදරණීය බිරිඳ කුමාරි සඳලතා මුණසිංහයන්‍ ය.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය ජැක්සන් ඇන්තනි තරුණයා තුල වූ කලාකරුවා මතු කලේය.ඊට පෙර තම ආදරණීය පියාගේ මැදිහත් වීම මත විවිධ සංගීත ප්‍රසංගයන් සඳහා යොමුවී ජයග්‍රහණ අත්කොටගෙන තිබුණද ඔහු තුළ වූ සකල විධ හැකියාවන් ඔප් නැංවූ තෝතැන්න වූයේ ගලහිටියාව මැදි විදුහලයි.එහි උසස් පෙළ හදාරන සමයේදී එනම් 1976 වසරේ දී ඔහු තමන්ගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සිදු කලේය. ඒ මේ කොයි යන්නේ නම් නාට්‍යයයි.එහි ප්‍රධාන චරිතය වූ වත්සලා නම් අන්ධ තරුණියගේ චරිතයට තෝරා ගනු ලැබුවේ පසුකලෙක ඔහුගේ පෙම්වතිය හා බිරිඳ වූ කුමාරී මුණසිංහයන්‍ ය.

ඉන්පසු ඔහු තම වෘත්තීය වේදිකා රංගන දිවිය ආරම්භ කරමින් 1977 දී නෙවිල් ඩයස් සුබසිංහයන්ගේ වාරුවෙන් යන මිනිස්සු හි චරිතයක් රඟපෑ අතර එහිදි ඔහුගේ මුල්ම පඩිය ලෙස ලැබුණේ එකල මුදලට අනුව රුපියල් දහයකි.

පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසි ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයට බැදුනි.කුඩා කල පටන් විප්ලවීය අදහස් දැරූ ජැක්සන් ඇන්තනීහු 1976 නොවැම්බර් 11 දින සිදු වූ ප්‍රථම ශිෂ්‍ය ඝාතනය වූ රෝහණ වීරසූරිය ශිෂ්‍ය ඝාතනයට එරෙහිව ගලහිටියාව මධ්‍ය විද්‍යාලය හා ඒ ආශ්‍රිත විද්‍යාල කිහිපයක් හා එක්ව උද්ඝෝෂණයක් පවා සිදු කලේය.ඔහුගේ විප්ලවීය ගමන් මඟ වෙනස් වූ කරුණු කිහිපයක් ඇති අතර ඉන් එකක් නම් ’83 කළු ජූලිය ආරම්භයේ සිට අවසානය දක්වා සියැසින් දැකීමයි.ඉන් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ කළකිරුණු ඔහු විප්ලවීය ගමන් මඟ අතැර දැමීය.තවත් එක් හේතුවක් නම් එවකට සිටි සුප්‍රකට නාට්‍යකරුවන් කිහිප දෙනෙකුම මේ නැගී එන තරුණයා දෙස ඇස ගසා ගෙන සිටීමයි.කොළඹ සරසවියෙන් සිංහල හා සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත් ඔහු පසුව පේරාදෙණිය සරසවිය තුළින් ජනමාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳ ආචාර්‍යය උපාධිය ලබා ගත්තේය.

 

1982 දී පමණ දයානන්ද ගුණවර්ධණ මහතාගේ මධුර ජවනිකා නාට්‍යය ඔස්සේ  ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු එදා සිට අද දක්වාත් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි.ඉන් පසු,

§  එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලෝම හංස නාට්‍ය,

§  සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍ය,

§  ධර්මසිරි බණ්ඩාරණායකගේ ධවල භීෂණ,

§  ජයන්ත චන්ද්‍රසිරිගේ අත්,මෝරා,ඔත්තුකාරයා

                                                                                                    වැනි,

ජනප්‍රිය තලයේ වේදිකා නාට්‍යයන්හි ඔහුට රඟපෑමට හැකියාව ලැබුණු අතර ඉන් ඔහුගේ නාමය ජනප්‍රිය විය.

මේ කාලයේදී ඔහු කුමාරි මුණසිංහයන් හා විවාහ වූ අතර විවාහ වී වසරකට පමණ පසු මරාසාද් නාට්‍යයට පෙර දින අවසන් පුහුණුව සිදුකොට නැවත නිවස බලා යද්දී මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පිරිසක් තමන් කොල්ල කෑ සැටිත්,තමන් ට මරණ බිය දැනුණු සැටිත්,තම බිරිද වූ කුමාරි විසින් තමන් බේරා ගත් සැටිත් ඔහු සිහිපත් කරනුයේ ත්‍රාසයෙන් යුක්තවය.කෙසේ වූවත් එම ජීවන අත්දැකීම පසු දින ඇසු සුගතපාල ද සිල්වා මහතා එහිදි ජැක්සන් ඇන්තනීට පැවසුවේ මරාසාද් නාට්‍යයේ එන මරා නම් චරිතය එල්ලා මරණ අවස්ථාවේදී ජැක්සන් ඇන්තනීට එදා දැනුණු මරන බිය එසේම නිරූපණය කරන ලෙසයි.එය කොතෙක් සාර්ථක වීද යත් 1988 පැවති ජාතික වේදිකා නාට්‍ය උළෙලේ දී හොදම නළුවා ලෙස ජැක්සන් ඇන්තනී මහතා සම්මානයට නිර්දේශ වීමට එක් හේතුවක් වූයේ ද මරණයේ අභිනයන් සාර්ථකව නිරූපණය කිරීමයි.

1984 දී ධම්ම ජාගොඩයන් විසින් අධ්‍යක්ෂණය කල ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වන පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ විජේපාලගේ චරිතය සිදු කරමින් රූපවාහිනියට පැමිණෙන ජැක්සන් ඇන්තනී මහතා එතැන් සිට,

§  තාරාදේවි

§  කඩුල්ල

§  ඇල්ල ලඟ වළව්ව

§  වෙද හාමිනේ 

§  අකාල සන්ද්‍යා

§  කන්දේ ගෙදර

§  පිටගම්කාරයෝ

§  සුසීමා

§  අප්පච්චි

§  බණ්ඩාර දෙවියෝ

                               ආදී,

ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වන ලදී.

ජැක්සන් ඇන්තනී නම් සිනමා ශිල්පියාගේ සිනමාගමනය සිදු වන්නේ 1993 වසරේ දීය.ඒ ගුරු ගෙදර සිනමා පටයේ සුනන්ද නම් චරිතයට පණ පොවමිනි.එතැන් පටන්,

§  අයෝමා හි විල්සන්,

§  බව දුක හා බව කර්මහි පේදුරු,

§  ගිනි අවි සහ ගිනි කෙළි හි තුන්මුල්ලේ පද්මේ,

§  සූරිය අරණෙහි සේදිරිස් නම් දඩයක්කරුවා,

§  ගරිල්ලා මාර්කටින් හි ග්‍රේගරි මහාධිකාරම්,

§  කුස පබා හි කුස රජු

§  ප්‍රවේගයෙහි බැන්ඩු නම් පාතාලා නායකයා,

§  ඇඩ්ඩ්‍රස් නෑ හි නාසිවත්තේ හිට්ලර්,

වැනි ප්‍රේක්ෂකයාට මතක සිටිනා චරිත රැසක් සිදුකරමින් ප්‍රේක්ෂක මනසේ මතක සිටිනා චිත්‍රපට නළුවෙක් විය.

එසේම ජැක්සන් ඇන්තනීහු ජනප්‍රිය ලේබලයේ චිත්‍රපට රැසක අධ්‍යක්ෂක වරයෙක්ද විය.ඉන් ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ 1994 දී තිරගත වූ ජුලියට් ගේ භූමිකාව නම් චිත්‍රපටයයි.එසේම ශ්‍රී ලාංකීය ඉතිහාසය අළලා සිදු කල චිත්‍රපට රැල්ලේහි ආරම්භකයා වන්නේද ජැක්සන් ඇන්තනී මහතාය.ඒ එතුමා විසින් අධ්‍යක්ෂණය කල අබා නම් චිත්‍රපටය හරහා ය.ඉන් පසු 2015 දී තිරගත වූ ඇඩ්‍රස් නෑ චිත්‍රපටය හා තිරගත වීමට නියමිත එකගෙයි සොකරි චිත්‍රපටයද ජැක්සන් ඇන්තනී මහතාගේ සිනමා අධ්‍යක්ෂණයන් වේ.

එසේම දස්කොන්,සී රජ වැනි ජනප්‍රිය තලයේ ටෙලිනාට්‍යයන්හි අධ්‍යක්ෂක වරයා වූ මෙතුමා අද පවා දනන් තුඩ තුඩ කියවෙන හපන් පැදුර නම් ජනප්‍රිය ළමා වැඩසටහනේ නිෂ්පාදකවරයාද වෙයි.

එසේම ජැක්සන් ඇන්‍තනී මහත්මා සංචාරකයෙකි. ගවේෂකයෙකි.මෙරට ප්‍රථම වරට සංචාරාත්මක වැඩසටහන් නිර්මාණයේ පෙර මං නියමුවා වන්නේද ජැක්සන් ඇන්තනී මහත්මා ය. ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ඟග ආරම්භයේ සිට අවසානය දක්වාම ගඟ දිගේ නම් සංචාරාත්මක වැඩ සටහනක් කල ලංකාවේ එකම පුද්ගලයා වන්නේද ජැක්සන් ඇන්තනී ශූරීන්‍ ය. එයද සිදුකලේ ලංකාවේ නැගෙනහිර පළාත කොටි ග්‍රහණයේ පැවතෙද්දී වීමද සුවිශේෂි ය. එසේම සිරිපා අවාරේ, සලංහන්තේ, මහා සංචාරය සහ කළු ගඟ දිගේ වැනි සම්මානනීය වැඩසටහන් රැසක් ද මෙතුමා සිදුකොට ඇත.

එසේම ජැක්සන් ඇන්තනී මහතා කතුවරයෙකි.ඔහු විසින් රචිත පලමු කෘතිය වන්නේ මනමේ නාට්‍ය ඇසුරින් ලියවුණු ‘එබැවින් බිහිවිය මනමේ’ ග්‍රන්ථයයි. ඉන් පසු,

§  පනාපුත්‍රගේ මතක වස්තුව නම් තීරු ලිපි සංග්‍රහය

§  මහා සිංහලයේ වංශ කතාව

§  කන්ද උඩ ගින්දර

                                      වැනි,

කෘතීහු එතුමා විසින් රචනා කොට ඇත.

ජැක්සන් ඇන්තනී මහතා ගීත රචකයෙක්ද වෙයි.වර්ථමාන පරම්පරාවේ අතිශය ජනප්‍රිය වූ ස්වර්ණපාලියේ,මිහිරාව ආවා,වැනි ගීතයන් රචකයා වන්නේද මෙතුමාය.එපමණක් නොව මෙතුමා දක්ශ ගායකයෙකි,

§  ලන්දේ උකුළ උඩ

§  සිතේ සුසුම් නිවනා ගායනා

§  දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව

§  රෑ රෑ තාරකාවෝ

§  බණ්ඩාර දෙවියෝ ටෙලි නාට්‍ය තේමා ගීතය

වැනි ගීතයන්ට ජැක්සන් ඇන්තනී මහතා විසින් සිය කටහඬ මුසු කරනා ලදී.

එසේම මෙතුමා එකල දක්ෂ චිත්‍ර කතා ශිල්පියෙකු වූ බව අප්‍රකටය.

ජැක්සන් ඇන්තනී මහතා 1985-1987 කාලයන්හි ශාන්ත ජෝශප් විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිංහල හා ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස සේවය කල අතර 1987-1990 කාලයේ ජාතික පුස්තකාල මණ්ඩලයේ සහකාර පුස්තකාලාධිපතිවරයෙකු ලෙසත් සේවය කරනා ලදී. එසේම කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කල මෙතුමා ස්වර්ණවාහිනීයේ නිර්මාණ අධ්‍යක්ෂක වරයෙකු ලෙසද සේවය කරනා ලදී. තමන්ගේම ආයතනයක් වන ක්‍රියේටිව් හේලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද එතුමා සේවය කලේය.

එසේම ජැක්සන් ඇන්තනී මහතා සම්මානනීය නළුවෙක් ද වෙයි.

§  UNDA සම්මාන උළෙල

§  සුමති සම්මාන උළෙල

§  රයිගම් සම්මාන උළෙල

§  සරසවි සම්මාන උළෙල

§  ජනාධිපති සම්මාන උළෙල

§  සිග්නිස් (SIGNIS) සම්මාන උළෙල

§  OCIC සම්මාන උළෙල

ආදී දේශීය සම්මාන උලෙළවල් හී සම්මානයට පාත්‍ර වූ මෙතුමා,

§  ආසියානු සම්මාන උළෙල

§  FOX INTERNATIONAL සම්මාන උළෙල

වැනි ජාත්‍යන්තර වට්ටමේ සම්මාන උළෙලවල් හී ද සම්මානයට පාත්‍ර වූ ගෞරවණීය චරිතයකි.

 දිනය 2022 ජුලි 2 වන දිනයි. සෝමරත්න දිසානායක මහතා විසින් අධ්‍යක්ෂණය කළ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වී ජැක්සන් ඇන්තනී මහතා ඔහුගේ බාල සොහොයුරා වන සමන් ඇන්තනී සහ මිතුරෙකු සමඟ සිය පෞද්ගලික වාහනයෙන් ආපසු කොළඹ බලා එමින් සිටියේය. නමුත් අවාසනාවකට අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථය වන අලියෙකුගේ ගැටුනි. තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර ජූලි 3 වැනිදා උදෑසන කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කෙරිණි. දැඩි සත්කාර ඒකකයේ පැය හතක ශල්‍යකර්මයකට භාජනය වූ ඔහු මාස 15ක් පමණ මාරයා සහ සටන් වැදුණි. නමුත් අවසානයේ මාරයා ජයග්‍රහණය කෙරිණි. 2023 ඔක්තෝබර් 9 අලුයම ඔහු මෙලොව හැරදා ගියේ ශ්‍රී ලංකාවට ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්, සාහිත්‍යකරුවෙක්, ගවේශකයෙක් සහ රටට වැඩදායක මිනිසෙකු අහිමි කරමිනි.

 

ලංකාවේ පිටිසර ගමක ඉපිද, විවිධ දුක් කරදර මැද රුපියල් දහයකින් තම වෘත්තිය ආරම්භ කොට ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නොමැකෙන සළකුණක් තැබූ  කොන්ගනීගේ ජෝෂප් මැල්සි ජැක්සන් ඇන්තනී නොහොත් පනාපුත්‍ර කුහුඹු පැණියාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

 

“HE IS BETTER THAN OTHERS.”

                          -සුරේෂ් බාලාජී (ධර්මයුද්ධය දමිළ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.)


Leo Kasun Sapumohotti

Zone Director 

Zone B1

Leo District 306 A1

Saturday, October 7, 2023

CHE DAY 2023

 


අද අපි,අපේ මුළු ශක්තිය යොදවා බොලීවියානු අධිරාජ්යවාදයට පහර ගැසීමට අධිෂ්ඨාන කරනවා.අධිෂ්ඨානය අපේ ශක්තියයි.”

ඒ ලොව සිටිනා තරුණ පරම්පරාවේ අමරණීය විප්ලවවාදියා,ප්‍රායෝගික විප්ලවයේ ශ්‍රේෂ්ඨතම සටන්කරුවා ලෙස හැදින්වෙන චේ හෙවත්  අර්නස්ටෝ චේ ගුවේරා ඩි ලා සර්නාගේ දිනපොතේ අවසාන සටහනයි.

අර්නස්ටෝ ගුවේරා ලින්ච් හා සිලියා ඩි ලා සර්නා ලියෝසා ට දාව 1928 ජුනි 14 දා දකුණු ඇමෙරිකාවේ ආර්ජෙන්ටිනාවේ රොසයිනෝ ග්‍රාමයේ ලමුන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස උපදින චේ ගුවේරා කුඩා කල සිටම විප්ලවීය රැඩිකල් මත දරන්නෙක් වූවා.

මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු 1948 දී බුවර්බෝස් අයර්ස් විශ්ව ව්ද්‍යාලයට ඇතුලත්වන ඔහු වෛද්‍ය විද්‍යාව හදාරනු ලබනවා.1952 දී පමණ ඔහු හා ඇල්බෙර්ටෝ ග්‍රැනාඩෝ නම් ඔහුගේ මිතුරා සමඟ කුඩා මෝටර් බයිසිකලයක නැගී ලතින් අමරිකාව පුරා සංචාරයක නිරත වුනා. ඔහු ඒ සංචාරය පිලිබද ලියූ ලිපි පසු කාලීනව The Motorcycle Diaries නමින් කෘතියක් සේම The Motorcycle Diaries නමින් චිත්‍රපටයක් ද නිර්මාණය වුණා.

1953 දී ඔහු වෛද්‍ය උපාධිය සම්පූර්ණ කලත් ඔහු වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දැක්වූයේ නැති නිසා ඔහු ගෝතමාලාවට ගියා.එකල එහි පාලකයා වූයේ ඇමෙරිකානු ගැත්තෙකු වූ ජකොබ් අර්බන්සෙයි.ඔහු දුප්පතුන් තලා පෙලා දමමින් සිය පාලනය ගෙන ගියා.මෙය දුටු චේ අන්වර්ථ නාමයකින් පෙනී සිටිමින් ගෝතමාලා වැසියන්ගේ සාධාරණත්වය උදෙසා සටන් කලා.නමුත් මේ බව දැනගත් ඇමරිකානු මධ්‍යම බුද්ධි සේවය (C.I.A.) ඔහු අල්ලා ගැනීමට මෙහෙයුම් දියත් කලත් ඔහු ගෝතමාලාවෙන් මෙක්සිකෝවට පැමිණි නිසා එම උත්සහයන් ව්‍යර්ථ වෙනවා.

මෙක්සිකෝවේදී තමයි ඔහුගේ ජීවිතය වෙනස් කරන පුද්ගලයින් හමුවෙන්නේ.ඒ කියුබානු ජනතා අරගලයේ නායකයන් දෙපල වන ෆිදෙල් කැස්ත්‍රෝ හා රාවුල් කැස්ත්‍රෝ යි.ඔවුන් හා එක්ව කියුබාවේ ඇමෙරිකානු ගැති පාලකයා වන බැටිස්ටා පලවා හැරීමට ගරිල්ලා කණ්ඩායම් පුහුණු කිරීමට චේ තීරණය කරනවා.

එසේ පුහුණු වූ 81 කින් පමණ යුතු තරුණ ගරිල්ලා කණ්ඩායම “ග්‍රෑන්මා” නම් කුඩා යොට් යාත්‍රාවකින් කියුබාවට ගොඩ බැස්සත් ඒ සැනින්ම වාගේ එල්ල වූ බැටිස්ටා හමුදාවේ ප්‍රහාරයක් හමුවේ ඔවුන් අන්ත පරාජයකට ලක් වුණා.චේ තුවාල ලැබුවා.තුවාල වූ චේ රැගත් පිරිස කියුබාවේ සියෙරා මෙස්ට්‍රා කඳුකරය කරා පසු බැස්සා.

පරාජයෙන් උගත් පාඩම් ඇතිව නැවතත් සංවිධානය වූ චේ හා කැස්ත්‍රෝ සොහොයුරන් බැටිස්ටාගේ රූකඩ රජය පෙරලා දැමීමේ සටන දියත් කලා.1957 ජුලි මස විප්ලවීය හමුදාවේ මේජර් තනතුර දක්වා චේ උසස් කලා.වසර 2ක් වැනි කාලයක් තුලදී බැටිස්ටා රජයට ක්‍රමික පරාජයක් අත්කර දුන් චේ හා කැස්ත්‍රෝ සොහොයුරන් 1959 ජනවාරි 2 දා හවානාවට ඇතුල් වුණා.

චේ යනු සටන්කාමියෙක් සේම බොහෝ ඇසුපිරූ තැන් ඇති අයෙක්.එනිසාම චේ ඇතුලු පිරිසක් නව කියුබානු රජයේ විදේශ සබදතා තරකර ගැනීමේ අරමුණින් සෝවියට් රුසියාව වැනි කොමියුනිස්ට් රාජ්‍යයන් කිහිපයක සංචාරයන්හි නිරත වුනා.ඒවායේදී ඔහු පල කල අදහස් වැඩිකල් නොගොස්ම ලොව පුරා ප්‍රචලිත වුනා.

නැවත පැමිනි චේ ට නව කියුබානු ආණ්ඩුවේ වගකීම් රැසක් පැවරීමට ෆිදෙල් අමතක කලේ නැහැ.

චේ මේ වන විට සිය පලමු බිරිද වන හිල්ඩා ගාවියා දික්කසාද කොට කියුබානු හමුදාවේම සිටි සෙබලියක් වන ඇලෙයිඩා මාච් විවාහ කර ගත්තා.පලමු විවාහයෙන් චේට දියනියක් සිටි අතර දෙවන විවාහයෙන් ඔහුට දරුවන් සිව් දෙනෙක් ලැබුනා.

චේ යනු හොද ලේඛකයෙක්.ඔහු විසින්,

  • ·         1961 දී GURERRILA WARFARE ග්‍රන්ථයත්
  • ·         1965 දී MAN AND SOCIALSISM IN CUBA ග්‍රන්ථයත්
  • ·         1968 දී ඔහුගේ මරණින් පසුව REMINICENCES OF THE CUBAN REVOLUTIONARY ග්‍රන්ථයත් එලි දැක් වුනා.

විප්ලවවාදියෙක් සිටිය යුත්තේ මිනිසුන් අතර විනා කාමරයක් තුල කොටුවී නොවේ.මෙය චේට ද බලපෑවා.එ නිසාම ඔහුගේ අතින් ඔහුගේ භාර දූර කටයුතු මඟ ඇරුනා.එනිසාම ඔහු 1965 අප්‍රේල් මස සියලු වගකීම් වලින් මිදුනා.මේ වන විටත් චේ හා ෆිදෙල් අතර සීතල යුද්ධයක් පැවතුනා.

1965 ඔක්තෝම්බරයේ දී චේ කියුබාවෙ අතුරුදහන් වුනා.ඔහු ඊට හේතු දක්වමින් ෆිදෙල් කැස්ත්‍රෝට මෙසේ ලියා තිබුනා.

අනෙක් ජාතීන් මාගේ නවතම ව්‍යායාමයන්ට සහයෝගය දීමට බලා සිටියි.මාගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ කොයිදෙස ද අධිරාජ්‍යවාදය ඇත්තේ එයට විරුද්ධව නැගී සිටීමයි.ඒ වෙනුවෙන් මාගේ සියලුම දේ පරිත්‍යාග කිරීමට මට හැකි වේවි”

පුරා වසර දෙකක් චේ ආගිය අතක් නොමැති වූවා.1967 අප්‍රේල් මස හවානා හි පැවති TRICONTINETAL SOLIDARITY ORGANIZATION සමුළුවට චේ ලිපියක් මඟින් අමතමින් කියා සිටියේ අධිරාජ්‍යවාදය මුලින් උපුටා දැමීමට සිය මුළු වෙර වීර්යය යොදා සටන් කරන ලෙසයි.

මේ ලිපිය ලියනා කාලය වන විට ඔහු උතුරු වියට්නාමයේ,ලතින් ඇමරිකාවේ හෝ කොගෝවේ රැදී සිටින්නට ඇතැයි සලකනු ලබනවා.ඒ ඔහු කොංගෝවේ නිදහස් ව්‍යාපාරයේ නායකයා වූ ප්‍රැටිස් ලුමුම්බා හමු වූ බවට සාධක ඇති නිසායි.

-------------------------------------------------------------------------------------

1966 නොවැම්බර් මස දිනකදි බොලිවියාවේ ලා පාස් නගරයට අමුත්තෙක් පැමිනියා.ඇඩොල්ෆෝ ගොන්සාලෙස් නමින් හදුන්වා ගත් මේ අමුත්තා එහි හෝටලයක නවාතැන් ගත් අතර හිටි හැටියේම ඔහු අතුරුදහන් වුනා.ඉන් පසුව ඔහු මතු වුනේ බොලිවියාවේ ගරිල්ලා කණ්ඩායමක් තුලින්.ඒ තමයි සමාජවාදී ලෝකයක් උදෙසා නොනිමි අරගලයක නිරත වුනු චේ ගුවේරා.

1967 ඔක්තෝම්බර් මස 08 බොලීවියාවේ සැන්ටා කෲස් නගරයේ සිට කිලෝ මීටර 250ක් පමණ දුරින් පිහිටි ලා හිගුවේරා ගම්මානයට වෙනදා වගේම ඉර පෑයුවත් එහි යම් මලානික බවක් තිබුනා. උදෑසනම ලැබුනා වූ ඔත්තුවකින් කියවුනේ ගරිල්ලා සාමාජිකයින් පිරිසක් ඒ අසල කැලෑවක තිබූ ගල් තලාවක් අසල සිටිනා බවයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ගැරී ප්‍රාඩෝගේ අණ දීම යටතේ වූ රේන්ජර් බලකාය ඒ කැලයට වැදුනේ ඔවුන් අත්තඩංගුවට ගැනීමටයි.නමුත් නොසිතූ ලෙස කඩා වැදුනු හමුදා කණ්ඩය දුටු එම ගරිල්ලා භටයින් නිශ්චිත සැලසුමක් නොමැතිව වෙඩි තබන්නට පටන් ගත් නමුත් ඔවුන් අන්ත පරාජයකට ලක්වුනා.බොහෝ දෙනා මියගොස් තිබූ අතර සමහරෙකු තුවාල ලබා තිබුනා.ඒ තුවාල ලැබූ මුහුන පුරා රැවුල් කෙස් වැවී තිබූ කෙසඟ පුද්ගලයෙකු මෙසේ පැවසූවා.

මම චේ ගුවේරා.ඔබට මාව වටින්නේ පණ පිටින්”

ඔහුගේ පාදයක් තුවාල වී තිබුනා.ඉන් පසු චේ හා ඔහුගේ අනෙක් ගරිල්ලා භටයන් ලා හිගුවේරා හි පිහිටා තිබූ පාසල වෙත ගෙන ගියා.ඉන් පසු තමා චේ අත්තඩංගුවට ගත් බව ගැරී ප්‍රාඩෝ තම ඉහල නිලධාරීන්ට දැන්වූවා.ඉන් පසු ඉහල නිලධාරීන් පැමිණි පසු ගැරී ප්‍රාඩෝ නැවතත් ලා හිගුවේරා හි කැලය තුලට ගියේ ඉතිරි ගරිල්ලා භටයන් සොයා ගැනීමටයි.

නමුත් ගැරී ප්‍රාඩෝ නැවතත් එන විට චේ ගුවේරා නම් ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා පණ පිටින් සිටියේ නැහැ.ඒ ඔහු වෙඩි තබා ඝාතනය කරන්නැයි ලා පාස් හි ඉහල හමුදා නායකත්වයෙන් ලැබී තිබුණු අණයි.එම නියෝගයට අත්සන් කර තිබුනේ එකල බොලිවියාවේ ජනාධිපති රෙනෝ බෙරින්ටෝස් විසින්ය.එම නියෝගය පිටුපස ඇමෙරිකානු C.I.A.ආයතනය ඇති බවට සැක කරන්නේ එදිනම ලා හිගුවේරා ගම්මානයට එන එම සංවිධානයේ නියෝජිත ෆෙඩ්‍රික් රොඩ්රිගෝස් නිසායි.එම අණ එකල වලෙග්‍රන්දා හි හමුදා නායක වූ සන්ටෙනෝ ක්‍රියාවට නැංවූ අතර චේ ගුවේරාට වෙඩි තැබීම සිදු කලේ මාරියෝ ටෙරාන් නම් හමුදා සෙබලායි.

චේ ගුවේරාට වෙඩි තබනා අවස්ථාවේ ඔහු කල අවසන් වදන් පෙල ඔහුගේ නිර්භීතත්වය මනාව කියා පායි.

උඹ මොකටද ආවේ?බය ගුල්ලා,වෙඩි තියපන්.උබ මේ මරන්නේ තවත් එක් මිනිසෙක් පමණයි.”

වෙඩි තැබීමෙන් පසුව චේගේ මල සිරුර මැස්සක ගැටගසා පැමිණි හෙලිකොප්‍ටරයේ යටි පැත්තේ ගැට ගැසූ බොලීවියානු කෲරතර නිලධාරීන් එය බොලිවියාවේ වලෙග්‍රන්දා ගම්මානයට රැගෙන ආවේ 1967 ඔක්තෝම්බර් 09 දිනයි.එහිදි වර්තමාන චේ ගුවේරා අනුස්මරණ ස්ථානය කරා රැගෙන ආ චේ ගුවේරාගේ මෘත දේහය එහි තිබූ සිමෙන්ති බංකුවක් මත තබා එකල වලෙග්‍රන්දා හි රජයේ රෝහලේ හෙදියක් වූ සුසානා ඔසිනාගාට එම දේහය පිරිසිදු කරනා ලෙසට අණ කල අතර ඉන් පසු ඔහුගේ දේහය ඒ අසල වූ මෝචරියට ගෙන ගියේ ඔහුගේ දෙඅත් සිරුරෙන් වෙන් කිරීමටයි.ඒ චේ ගුවේරාගේ ඇගිලි සලකුණු ලබා ගැනීමටයි.

ඉන් පසු 1967 ඔක්තෝම්බර් 10 ඔහුගේ දේහය මහජනයාට හා මාධ්‍යට නැරඹීමට අවසර ලබා දුන්නා.චේ ගුවේරාගේ මුහුණ ක්‍රිස්තුස් වහන්සේට සමානකමක් තිබුනේයැයි සැලකූ වලෙග්‍රන්දා නගර වාසීන් එතැන් සිට චේ ගුවේරා දේවත්වයෙන් සැලකීමට ආරම්භ වූවා.අද පවා චේ ගුවේරාගේ සමාධියට එම නගර වාසීන් සති පතා ගොස් ඉටි පන්දම් දල්වන අයුරු දැකිය හැකියි.

නමුත්1967 ඔක්තෝබර් 11 දින සිට චේ ගුවේරාගේ දේහයට කුමක් වූවාදැයි සොයා ගත නොහැකි වූවා.

පුද්ගලයින්ව වෙඩි තියලා මරලා දමන්න නීතිමය නියෝග සහ නඩු විභාග අවශ්‍යය නැහැ.ඒ සියල්ලම ධනේශ්වර සමාජයක ලක්ෂණ.”

චේ ගුවේරා (කියුබානු විප්ලවයේදී)

 

මෙසේ කාලය ගෙවී ගියා.ඒ අතර කාලයේදී චේ ගුවේරා මරා දැමු හෙවත් චේ ගුවේරා දඩයම නම් මෙහෙයුමට සම්බන්ධ වූ කිසිවෙකුටවත් නිදහසේ ඉන්නට ඉඩක් ලැබුනේ නැහැ.වචනයෙන් මෙසේයැයි කිව නොහැකි හේතු සමූහයකින් ඔවුන් විවිධ අනතුරු වලට මුහුණ පෑවා.

චේ ගුවේරා අත්තඩංගුවට ගත් රේන්ජර් කණ්ඩායමේ අණ දෙන්නා වූ ගැරී ප්‍රඩෝ තම සෙබලෙකුගේ නොසැලකිල්ලෙන් නිකුත් වූ වෙඩි පහරකට ගොඳුරු වූ අතර ඔහු සඳා කාලයටම ආබාධිත වුනා.

චේ මරා දැමීම සඳහා වූ නියෝගය අත්සන් කල රෙනෝ බෙරීටෝස් 1969 අප්‍රේල් මස 29 දින සිදුවූ මාරක හෙලිකොප්ටර් අනතුරකින් මරණයට පත් වුණා.

බෙරීටෝස් ගේ අණ ක්‍රියාත්මක කොට චේ ගුවේරා මරා දැමු එකල වලෙග්‍රන්දා හි ප්‍රධාන හමුදා නායක සෙන්ටෙනෝ 1976 මැයි මස 11 දින ප්‍රංශයේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් මරණයට ලක් වුනා.

චේ ගුවේරාගේ මල සිරුරෙන් දෙඅත් වෙන් කොට ඇඟිලි සළකුණු ගන්නා ලෙස නියෝග කල බෙරින්ටෝස් රජයේ අභ්‍යන්තර ආරක්ෂක ඇමති අන්තෝනියෝ ආර්ගුඩාස් 1990 වසරේදී සිය දෙඅත් මතම අත් බෝම්බයක් පිපිරී මරණයට පත් වුනා.

චේට පහර දී ප්‍රශ්ණ කල හමුදා නිලධාරී ආන්ඩරස් ෆිනිච් පසු කලෙක බොලිවියානු හමුදා නායකයෙකු වූ ජෙනරල් බන්සාට විරුද්ධ වූ නිසා සිරගත කරන ලඳුව එහිදී බොහෝ දුක් විද මරණයට පත් වුණි.

චේ ගුවේරාට වෙඩි තැබූ බවට විශ්වාස කරන මාරියෝ ටෙරාන් 1969 දී සිය දිවි නසා ගැනීමට උත්සහ කල නිසා සන්ටා කෲස් නගරයේ මානසික රෝහලට ඇතුලත් කල අතර දීර්ඝ කාලයක් එහි මානසික රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි.

මෙම සිද්ධි දාමය හඳුන් වන්නේ “චේ ගුවේරා සාපය” ලෙසයි.

කෙසේ වෙතත් චේ ගුවේරා ගේ ඝාතනයෙන් වසර 30 ක් ගෙවී යන තැන 1997 දී බොලිවියානු විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකු වන මාරියෝස් වර්ගාස් සලීනාස් ප්‍රකාශ කලේ තමන් 1967 චේ ගුවේරා දඩයම මෙහෙයුම හා සම්බන්ධව කටයුතු කල බවත්,තමන්ට චේ ගේ මලසිරුර වල දැමු ස්ථානය පෙන්විය හැකි බවයි.ඒ අනුව වලෙග්‍රන්දා ගුවන් තොටුපල කෙලවර බුල්ඩෝසරයක් මඟින් සෑරූ සමූහ මිනි වලක චේ ඇතුළු ගරිල්ලා භටයන්ගේ සිරුරු  මිහිදන් කල බව මාරියෝස් වර්ගාස් සලීනාස් ප්‍රකාශ කලා.

ඒ අනුව එහි කැනීම් සිදු කල පුද්ගලයින්ට 1997 ජුනි 28 චේ ඇතුළු ගරිල්ලා භටයන් සත් දෙනෙකුගේ (7) අස්ථි කොටස් හමු වුන අතර 1997 ජූලි 13 බොලිවියානු රජය නිල නිවේදනයක් සිදුකරමින් චේ ගුවේරාගේ අස්ථි කොටස් හමු වූ බව ප්‍රකාශ කලා.1997 විශේෂ ගුවන් යානයක් මඟින් චේ හා අනෙක් ගරිල්ලා භටයන්ගේ සිරුරු වල භෂ්මාවශේෂ රාජ්‍ය ගෞරව සහිතව කියුබාවට ගෙන ආ අතර කියුබාවේ සැන්ටා ක්ලාරා නගරයේ පිහිටුවන ලද විශේෂ සමාධියක ඔවුන් ගේ භෂ්මාවශේෂ තැන්පත් කරනු ලබනවා.

චේ ගුවේරා තම ජීවිත කාලය තුලදී නව ලොවක් උදෙසා තමාට කැප කල හැකි සෑම දේම කැප කර අවසන තම ජිවීතය පවා කප කරා.

වර්තමානයේ චේ සන්නාමයක් බවට පත් වෙලා.තරුණයින් රැස්වී තනාගන්නා සංගමයේ ලාංඡනයක් බවට පත් වෙලා.නමුත් ඔවුන් දන්නේවත් නැහැ චේ කියන්නේ කවුද කියලාවත්.

ඒ පිළිබද කියුබාවේ හවානාහි චේ ගුවේරා අධ්‍යයන කේන්ද්‍රයේ ප්‍රධාන පරිපාලක වන චේ ගේ පුත්‍රයා වන කැමිලෝ ගුවේරා මෙසේ සඳහන් කරන්නේ,

චේ ගුවේරා දර්ශණය හරි හැටි වටහා ගත හැක්කේ නිදහස ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරන ඒ වාතාවරණය තුල ජීවත් වන සිත් තුල මිස,සුඛෝපභෝගී කාමරවල සිට ජනතාවගේ නිදහස හා ස්වාධිනත්වය වෙනුවෙන් සටන් කරන පුද්ගලයින්ගේ සිත් තුළ නොවේ යනුවෙනි.

එසේම චේ ගුවේරාගේ සිත්තමක් තම කාමරයේ හෝ,තම ශරීරයේ තැනක හෝ,චේ ගුවේරාගේ රුව සහිත ටී-ෂර්ටයක් ඇදගත් පමණින්ම හෝ තම සංවිධානයට CHE යන අකුරු ත්‍රිත්වය එකතු කරගත් පලියට ඔබ සමාජවාදියෙකුවත්,සමාජ අසාධාරණයට සටන් කරන්නෙකුවත් වන්නේ නැත.පළමුව චේ හදාරන්න.ඉන් පසුව ඔබට වැටහේවි  CHE යන අකුරු ත්‍රිත්වය තුල පවතින්නා වූ බලවත් කම.

ලිපියේ අවසානය මෙසේ සිදු කරන්නම්,

දිනක් චේ හට ගුවේරා යන නාමයම සහිත කාන්තාවකගෙන් ලිපියක් ලැබෙනවා. එහි සඳහන් වෙන්නේ,

ඔබත් මමත් අපි දෙදෙනා සමහර විට නෑයන් වෙන්න ඇති.මොකද අපි දෙදෙනාම “ගුවේරලා” නිසා.”

චේ ඇයට මෙසේ පිලිතුරු සපයනවා.

මිනිසෙකුගේ කරදරයකදී,දුකකදී,ඔබට හඩන්නට පුළුවන්නම් අපි නෑදෑයෝ.එසේ නැත්නම් අපේ නම් සමාන වීමෙන් අපි නෑදෑයෝ වෙන්නේ නැහැ.”

Hasta la victoria siempre!

Until victory, always!


Article by:

Leo Kasun Sapumohotti

Zone Director

Zone B1

Leo District 306 A1 

 

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...