Tuesday, November 14, 2023

සමාජ කාංසාව


ලෝකයේ මිනිසුන් සුලභව පීඩා විදින ප්‍රධාන මානසික රෝග තුන අතරින් එකක් වන සමාජ කාංසාව නැති නම් සමාජයට මුහුණ දීමට ඇති අසාමාන්‍ය බිය ජනගහනයෙන් සෑම සිය දෙනකුගෙන්ම පුද්ගලයන් හත් දෙනෙකු පමණ පීඩා විඳින මානසික රෝගී තත්ත්වයකි.

නව යොවුන් වියේ දී හෝ වැඩිහිටි වියේදී වැඩි වශයෙන් ඉස්මතු වන මෙම රෝගී තත්ත්වය ඇති පුද්ගලයින් එදිනෙදා  ජීවිතයේදි පිරිසක් ඉදිරියට යාමට හෝ අනෙක් පුද්ගලයින් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමට දැඩි බියක් දක්වති.මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක කතාවක් පැවැත්වීම හෝ එවැනි  අවස්ථාවන්ට සහභාගි වීම මගහැරීම ,එසේත් නැතිනම් පිරිස් වැඩිවශයෙන් සහභාගිවන උත්සව ආදියට සම්බන්ධ නොවි ඒවා මගහැර හුදකලාව කාලය ගතකිරීම මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විදින පුද්ගලයින්ගේ ප්‍රධාන ලක්ෂණයකි.මෙම රෝගී තත්ත්වය ඇති පුද්ගලයින් අනාගතය පිළිබඳ අනියත බියක් ඇති කර ගනිති. මේ හේතුව නිසා ඔවුන් පිරිසක් ඉදිරියට යාමට පෙර සිටම ඍණාත්මකව සිතීමට පෙලඹෙන අතර ඔවුන් පිරිසක් ඉදිරියට යාමේ දී අන් සියලු දෙනා තමා දෙස විවේචනාත්මක ස්වරූපයෙන් බලා සිටිනවා යන හැඟීමක් ඔවුන් තුළ ඇති වේ.මේ නිසා අධික දහඩිය දැමීම, වේගයෙන් හුස්ම ගැනිම,ක්ලාන්ත ගතියක් ඇතිවීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, උදරයේ අපහසුතා ඇතිවීම, අත්පා වෙව්ලීම,මුහුණ රතුවීම වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

මෙම රෝගයෙන් පීඩාවිඳින පුද්ගලයින් තුළ තමන්  අවට සිටින්නන්ගේ දෝෂ දර්ශනයට, ප්‍රතික්ෂේප වීමට  ලක් වේය යන හැගීම දැඩිව පවතියි.මේ හේතුව නිසාම ඔවුන් එදිනෙදා ජීවිතයේ දී වැදගත් අවස්ථා මග හැරීමටත් අභියෝගයන්ට මුහුණ නොදී ඒවායෙන් පලා යෑමටත් උත්සාහ කරති.එසේ සිදුකිරීම යහපත් තත්ත්වයක් නො වන්නේ එම නිසා මෙම රෝගී තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පැවතීමත් එදිනෙදා  කටයුතු වලට බාධා වීමේ  ඉඩකඩ වැඩි වීමත් සිදුවීමයි.මෙම සමාජ භීතිකාව නැතිනම් සමාජ කාංසාව  කුමන මට්ටමක පැවතියද කණගාටු වීමට කරුණක් නොවේ මන්ද එය නිසි ප්‍රතිකාර මගින් සුව කිරීමේ හැකියාව පැවතීමයි.

මෙම රෝගයෙන් මිදීමට ඇති ප්‍රධානම උපක්‍රමයක් ලෙස තමා තුළ පවතින ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කර ඒවායින් මනස නිදහස් කර ගැනීම පෙන්වා දිය හැකිය. තමාගේ සිතුවිලි වල නිර්මාණකරු තමා පමණක් වන අතර එම සිතුවිලි තමා පිළිබඳව සෘණාත්මක ඒවා ද නැතිනම් ධනාත්මක ඒවා ද යන්න තීරණය කළ හැක්කේ ද තමාට ම පමණක් බව තේරුම් ගත යුතුය.සෑම මොහොතකම ධනාත්මකව සිතීමට උත්සාහ කිරීම තුලින් සිතේ ඇති නිශේධාත්මක සිතුවිලි වලින් මිදීමට හැකි වේ.

මෙයින් මිදීමට ඇති තවත් උපක්‍රමයක් නම් අන් අය තමා පිළිබඳව සිතන්නේ කුමක්ද යන්න පිළිබඳ සිතීම නැවැත්වීමයි.මෙම රෝගය ඇති පුද්ගලයින් බොහෝ විට පිරිසක් ඉදිරියට යාමට බිය වන්නේ අන් අය තමාව වැරදි අයුරින් විනිශ්චය කිරීමට ලක් කරයි හෝ ලැජ්ජාවට පත් කරයි හෝ යන හැඟීම පැවැතීමයි.නමුත් අප සිතන තරම් මිනිස්සු අප දෙස බලා සිටින්නේ හෝ අපව විනිශ්චය කරන්නේ හෝ නැත.එය හුදෙක්ම සිත තුල පවතින  සිතුවිල්ලක්ම පමණි.

බියට නොපැකිළව මුහුණ දීම මෙම රෝගයෙන් මිදීමට ඇති තවත් ක්‍රමයකි. මෙම සමාජ භීතිකාව ඇති පුද්ගලයින් බොහෝ අවස්ථාවල තමාට පිරිසක් ඉදිරියට යාමට,නව පුද්ගලයන් මුණගැසීමට ඇති අවස්ථා මඟ හරියි. එමගින් මෙම රෝගයෙන් මිදීමට අපහසු වේ.නමුත් ක්‍රම ක්‍රමයෙන් එවැනි අවස්ථාවන්ට මුහුණ දීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.බියක් ඇති වු විට අඩු වේගයකින් ගැඹුරු හුස්මක් ගැනීම,මනස සැහැල්ලු කරන භාවනා ක්‍රම අනුගමනය කිරීම, ව්‍යායාම් වල නිරතවීම මගින් සිතේ ඇති කැළඹිලි ස්වභාවය නැතිකොට  සිතට ශක්තිය ලබාගත හැකි අතර  එමගින් යම් තාක් දුරකට මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමටත් ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමටත් හැකිවේ.

පිරිසක් ඉදිරියට ගොස් කතාවක් පැවැත්වීමට හෝ එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වූ අවස්ථාවකදී තමා ලැබු කුඩා  ජයග්‍රහණයක් පිලිබද හෝ තමා හදවතින්ම සතුටු වූ අවස්ථාවක් මතක්  කරගැනීම එසේත් නැතිනම් අනාගතය පිළිබඳ ධනාත්මකව සිතීම මගින් තම ආත්ම විශ්වාසය වැඩි කර ගැනීම සිදු කළ හැකිය.එතුළින් තමාට තමා පිළිබඳව අභිමානයක් ගොඩනගා ගැනීමටත් එම අවස්ථාවට සාර්ථකව නොබියව මුහුණ දීමටත් අවශ්‍ය ශක්තිය ලැබේ.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම රෝගයෙන් මිදීමට නොහැකි ලෙස  දරුණු අයුරින් පවතී නම් මනෝ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය වළක්වා ගැනීමට හැකියාව පවතී.

Leo Madavi Maheshika

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...