Wednesday, November 22, 2023

කඨින මහා චීවර පූජාව


 "යාවතා සබ්බ පරික්ඛාරේ

සංඝස්ස සත්තං දදෙ

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං

ගිරිරාජ සමං රාසිං

සංඝදෙති තිචීචරං

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං"                                                     

  "හික්ෂූන් වහන්සේට නිතර පූජා කරන සියලු පරිෂ්කාරකයන්ට වඩා කඨින දානයකින් ලැබෙන පින ඉතා විශාල ය.මහාමේරු පර්වතය තරම් උසට තුන් සිදුරු(තනිපට සිවුර,දෙපට සිවුර,අඳන සිවුර)ගොඩගසා සංඝයාට පූජා කළ ද ඊට වඩා වැඩි ආනිශංසයක් එක් කඨින චීවර පූජවකින් ලැබේ"...

කඨිනය යන්නෙහි අර්ථයෙන් නොවෙනස්වන්නා වූ ශක්තිමත්භාවය හඟවයි.කඨින චීවර පූජා කිරීමට සහභාගි වීම,අටපිරිකර පූජා කිරීම,සේනාසන(කුටි/සංඝාවාස/පන්සල්)තැනීම සහ නඩත්තු කිරීම,බුද්ධප්‍රමුඛ සිව්වනක් පිරිසට දානය පිළිගැන්වීම,සද්ධර්මය ලිවීමට/පටිගත කිරීමට/මුද්‍රණය කිරීමට/ප්‍රකාශ කිරීමට සහ බෙදා හැරීමට ආධාර කිරීම හා සහභාගී වීම,සඟ පරපුරේ ඉඩම් හා නියමිත ඉඩකඩ පූජා කිරීම,බුද්ධ රූප සහ පිළිම සෑදීම,සංඝයා වහන්සේගේ පරිහරණය සඳහා වැසිකිළි තැනීම සහ තැනීමට සහභාගී වීම යනාදී වූ අටමහා කුසලයන්ගෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නා වූ කුසලය කඨින මහා චීවර පූජාවයි.ඒ නිසාම ලෝ වැසි බෞද්ධ ජනතාව කඨින පූජාවට සුළුවෙන් හෝ සිය දායකත්වය සපයති.මෙම පූජාව ආනන්තරීය පාප කර්මයන්ට හැර වෙනත් කිසිඳු අකුසල මූලයක් විසින් යටපත් කළ නොහැකි බැවින් ද 'කඨිනය' යන නාමයෙන් හඳුන්වනු ලබයි.

       වසරකට එක් වරක් පමණක් විහාරස්ථානයක් ඇසුරින් පැවැත්විය හැකි ගෞරවනීය වූත් සුවිශේෂී වූත් පින්කමක් ලෙස මෙය දක්නට ලැබේ.ඇසළ පුර පසළොස්වක පොහෝ දින විනය කර්මාදී කටයුතු සිදුකරන භික්ෂූන් වහන්සේලා එදා සිට තෙමසක් වස් ආරක්ෂා කරති.මෙම තෙමසක කාලය තුළ සිඟාලෝවාද සූත්‍රයේ එන සදිසා නමස්කාරයන් යටතට අයත් ගිහි-පැවිදි යුතුකම් ඉටු වේ.එබැවින් ගම සහ පන්සල අතර ඇති සබඳතාවය වැඩි වැඩියෙන් ප්‍රකට කරවන කාලවකවානුවක් ලෙස මෙම කාලවකවානුව සැබෑ බෞද්ධයන්ට වඩා ධර්මනුකූල ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගා ගැනීමට මාවත විවර කරන පුණ්‍ය කර්මයකි.එහිදී වස් කාලය නිමා වී චීවර මාසය එළඹෙත්ම මිනිසුන් පිං දහම් වල නිරත වන අතර භික්ෂූන් වහන්සේලා ද දායකයන් හා අනාගත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අවිවේකීව සිය දායකත්වය සපයයි.  

     බුද්ධ දේශනාවට අනුව කඨින චීවරයක් ලැබීමට සුදුසු වන්නේ තෙමසක් වස් වසා,අතිරේක ශික්ෂා පද වලට අනුගත වී,වස් කාලය තුළ බුදුන් වහන්සේ විසින් දේශිත ගුණ ධර්ම පූර්ණය කළ භික්ෂූන් වහන්සේ නමකට පමණි.කඨින චීවර පූජා කිරීමෙන් අනතුරුව කඨින චීවරලාභී භික්ෂූන් හට ශික්ෂා පද පහකින් නිදහස් වී සුව සේ ගුණධර්ම පිරීමට නිදහස හා අවකාශය බුදුන් වහන්සේ විසින් සළසා දෙන ලදී.චීවර මාසය ආරම්භ වන වප් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට මැදින් පුර පසළොස්වක පොහෝ දින තෙක් පස් මසක් පුරාවට කඨින චීවරලාභී භික්ෂූන් හට මෙම ශික්ෂා පද වලින් නිදහස් වීමේ අයිතිය ලැබේ.

"අත්ථක කඨිනානං වෝ භික්ඛවේ පඤ්ච කප්පිස්සන්ති

අනාමන්ත චාරෝ අසමදාන චාරෝ

ඝනභෝජනං යාවදත්ත චීවරං

යෝච තත්ථ චීවරුප්පාදෝ සෝ නේසං භවිස්සති"...

ඒවා පහත පරිදි වේ.

 1)අනාමන්තචාරය

      කඨින චීවරලාභී භික්ෂූන් වහන්සේ නමකට ධර්ම චර්‍යාවක් සඳහා හෝ යහපත් කටයුත්තක් සඳහා අවශ්‍ය මොහොතක කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් බැහැර වීමේ අයිතිය ඇත.

 2)අසමදානචාරය

      තුන් සිවුරෙන් කැමති සිවුරක් ළඟ තබාගැනීමටත් කැමති සිවුරක් බැහැර කිරීමටත් අයිතිය ඇත.

 3)ඝන භෝජනය

       කුමනාකාරයෙන් ආරාධනා කළ ද දායකයින්ට අනුග්‍රහ පිණිස හා තම මෙලොව පරලොව අභිවෘද්ධිය සඳහා ඒ ආරාධනාවන් පිළිගෙන දන් වැළඳීමේ අයිතිය ඇත.

 4)යාවදත්‍ත චීවරය

        තමන් කැමති තාක් සිවුරු පිරිකර පරිහරණය කිරීමටත් අන්‍යයන්ට ලබා දීමටත් අයිතිය ඇත.

 5)යෝච තත්ථ චීවරුප්පාදය

         සඟ සතු කර ලැබෙන සිවුරු හා කඨිනානිශංස පවතින මාස පහ ඇතුළත ලැබෙන සිවුරු තමාට පරිහරණය,අන් අයට ලබා දීම හෝ පූජා කිරීම ආදී ලෙස තම කැමැත්තට අනුව කටයුතු කිරීමට අයිතිය ඇත.

     සෑම කෙනෙකුටම ජීවත් වීමට අවශ්‍ය වන සියලු ආම්පන්න වස් විසූ භික්ෂූන් වහන්සේලාට කඨින චීවරය සමඟ පූජා කරනු ලබයි.එහිදී සිවුරු,පාත්‍ර,වටාපත්,ඉඳිකටු,නූල්,බෙහෙත් වර්ග,බෙහෙත් තෙල් වර්ග,ඇඳ පුටු ආදිය පූජා කිරීමට හැකි වේ.එපමණක් නොව ධාර්මික බෞද්ධ ප්‍රජාව මෙම කඨින චීවර පිංකම මුල් කරගෙන ඊට සමගාමීව මාස තුනක් පුරාවට මල් පිංකම්,බෝධි පූජා පිංකම්,පිරිත් දේශනා,අෂ්ට පරිෂ්කාර පූජා,අවශේෂ සිවුරු පිරිකර පූජා,වස්ත්‍ර/බෙහෙත් පූජා,ආහාර පාන පූජා,ගරු භාණ්ඩ පූජා ආදිය සැදැහැයෙන් පේ වී සිදු කරනු ලබයි.මෙසේ කඨින චීවර මහා පූජාවෙන්  බෞද්ධයාට ලද හැකි අති උත්තම ආනිශංස රාශියක් බුද්ධ භාෂිතයේ අසන්නට දකින්නට ලැබේ.උපනුපන් ආත්මභාවයන් හිදී දිව්‍ය/මනුෂ්‍ය/පරිවාර සම්පත්, ඉඳුම් හිටුම්, වස්ත්‍රාභරණ,සියලු දෙනාගේ ගරු බුහුමන්,වැඳුම් පිදුම් පුද සත්කාර ලැබීමටත්, සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමටත්, සියලු අකුසල කර්මයන්ගෙන් ආරක්ෂා වීමටත්, බඹ ලොව ඉපදීමට අවශ්‍ය ධ්‍යානාදිය උපදවන්නට හේතු වීමටත්,සියලු දෙව් මිනිසුන් අබිබවා ආයු-වර්ණ-සැප-බලයෙන් මෙන්ම ප්‍රඥාවෙන් ආඪ්‍ය ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලැබීමටත්,අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම මහා කුසලය හේතු වේ.

     බොහෝ පරිවාර පරිෂ්කාරකයන්ගෙන් හා පරිවාර පූජාවන්ගෙන් ආඪ්‍ය වූ දීර්ඝ කාලයක් බලාපොරොත්තු ඇති කරගනිමින් සිදු කරන පූජාවක් වන මෙම පුණ්‍ය කර්මය තුළදී   දුප්පත් පොහොසත් භේදයකින් තොරව කඨින චීවරය සෑම නිවසකම තැන්පත් කිරීමට කටයුතු කිරීම තුළින් ප්‍රදේශවාසී හිතමිත්‍රාදින් අතර සබඳතා දියුණු කරගැනීමට ද මෙය ඉවහල් වේ.එබැවින් පින් කැමති සියල්ලෝ මෙම කඨින චීවර පූජාවට ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් පූජෝපහාර දක්වා උත්තම නිර්වාණය අවබෝධ කරගනිත්වා!යි බෞද්ධ අපගේ පැතුමයි.

Leo Dinithi Devindi

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...