Sunday, November 5, 2023

පිට කවරෙ


ජීව් ලෝන්ලියස් නව පරපුරේ රසික හදවත් උන්මාදයට පත් කළ ගායකයෙකි. ඔහු විසින් විරචිත, ගායනා කරනු ලැබූ ගී පද අතර මෙකල ඉතා ජනප්‍රියම ගීතයක් ලෙස පිට කවරෙ ගීතය හැඳින්විය හැකිය. පූජ්‍ය අත්තිඩියේ පුණ්‍යරතන හිමිගේ පද පබැඳුමෙන් මෙය සම්පාදනය වී ඇත. ඇසූ පමණින් හදවත් සලිත වන පද පෙළක් මෙහි තිබේ. හිමිනමක වුවද සමාජ යථාර්ථය මනාවට මේ තුළින් විද්‍යාමාන කර තිබේ. එම ගී පදවලට විශාල සාධාරණයක් සජීව් අතින් සැපයෙයි.

වර්තමාන සමාජය තුළ බොරුව ඇත්තට වඩා ජනප්‍රිය වේ. පිළිගන්නා සුළුයි. මතුපිට අර්ථයට වඩා අභ්‍යන්තරය ගැඹුරු වුවද මතුපිට පමණක් විමර්ශනය කර පිළිතුරු සැපයීම මෙකල සුලබ කරුණකි. නිර්ව්‍යාජත්වයට පිළිගැනීමක් ලෝකයේ මේ වන විට නැත. ඇඳුමෙන් පැළඳුමෙන් මිනිසුන් මනින ස්වරූපයක් සමාජයේ දක්නට ලැබේ. තුන්වන ලෝකයේ රටවල් විශේෂයෙන් මේ කියන්නා වූ ගති ලක්ෂණ අනුගමනය කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. 

ප්‍රතිරූප මවන්නේ නැත්තවුන්ට වටිනාකමක් වර්තමානයේ දී නැත. එවන් පුද්ගලයන්ට සමාජයේ තැනක් නැත. මිනිසා උපදෙස්  දීමට අපේ භාෂාවෙන් ගත්හොත් හෑලි ලිවීමට පෙළඹෙන්නේ කුඩා අඩුපාඩුවක් සහිත තමා කැමති ලෙසින් ජීවත් වන අයට පමණි. නමුත් විශාල පරිමාණයේ වැරදි සහිත පුද්ගලයන්ට උපදෙස් දීමට ඔවුන් නොයයි. උදාහරණයක් ලෙස ගතහොත් ෆේස්බුක් පෝස්ට් නිර්මාණය වන්නේ ස්වාධීනව තමමාට රිසි ලෙස ජීවත් වන ඈයන්ටය. crop top අදින කෙල්ලන්ට tattoo ගහන කොල්ලන්ට හණමිටිකාර අදහස් දරණ්නන්ගෙන් එල්ල වන අභූත චෝදනා වැරදි ක්‍රියාවන්හි සැබැවින්ම නියැලෙන පුද්ගලයන්ට ඔවුන්ගෙන් ලැබේද? සුදු වතට මුවා වී ජනතාව වෙනුවෙන් ඇප කැප වන බව පෙන්වන වූ දේශපාලුවන්ට පවා සමාජයේ පිළිගත් උසස් වැදගත්කමක් ලබාදී තිබේ. සැබැවින්ම ඔවුන් ජනහිතකාමීද? මිනිය කපන කර ගහන

පුද්ගලයාගේ සිට කසළ ශෝධකයන් කුලී සේවකයන් දක්වා කුඩා පුද්ගලයන්ට ලබා දී ඇති සමාජ පිළිගැනීම කුමක්ද? සජීව් පවසන්නේ බැරෑරුම් කරුණකි.

කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ

හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ

පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ


 
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ....

ටයි කෝට් අඳින මහත්මාවරුන් යැයි මවා පෙන්වන පුද්ගලයන්ට වඩා පෙරකී පුද්ගලයන් සතුව අවංකත්වය අව්‍යාජත්වය පෙරමුණට යා හැකි ස්වරූපය තිබිය හැක.

කුණු ගොඩක වුවද මැණික් තිබෙන්නා සේ ඔවුන්ට සමාජයේ ඉදිරියට යා හැකිය. ඇඳුම් පැළඳුම් වලින් මිනිසුන් මැනීම අවසන් වූ කලෙක එය නිතැතින් සිදුවේ.

සමාජය ලස්සන කිරීමට සුන්දර කිරීමට වෙර දරන්නා වූ පුද්ගලයන් පිළිබඳ  කතාවක් නොමැත. ටැටූ එකක් තිබූ පමණින් ඔහු හෝ ඇය අයි.ආර්.සී කාරයෙකු රස්තියාදුවෙකු ලෙස සමාජය හංවඩු ගසනු ලබයි. නමුත් ඔවුන් තුළ ඇති මානුෂීයත්වය එලෙස හංවඩු ගසන්නන් තුළවත් තිබිය නොහැක. ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා යනුවෙන් අත්තිඩියේ පුණ්‍යරතන හිමි සඳහන් කළේ එබැවිනි.

නටුවක් ලෙස  මල දරා සිටීම දන්නේ නටුව පමණි. බලා සිටින කවරෙකුවත් නටුවේ කැප කිරීම පිළිබඳ නොදනී. මේ පෙන්වා දෙන්නේ සමාජය පිළිබඳ අරුමැසි යථාර්ථය නොවේද? සමාජයේ බොල් මිනිසුන් පිළිගත් අයවලුන් බවට පත්වෙයි. මිනිය කපන මිනිය යට කරන මනුෂ්‍යයාට වඩා මල ගමක කිඹුල් කඳුළු හලා අන්‍යයන්ගේ අවධානය දිනා ගන්නා පුද්ගලයාට ගලා එන්නා වූ ආදරණීය වදන් අරුමැසි වදන් ප්‍රමාණය සුලබය. වාහනය, ඇඳුම, රැකියාව, පෙනුම මිනිසුන්ගේ සමාජ තත්වය ඉහළ පහළ දෝලනය කරන්නා වූ සාධක බවට මෙකල පරිවර්තනය වී තිබේ. දුක් විඳින සරල මිනිසුන් ළඟ  පවතින්නා වූ යහපත් ගතිගුණ සියල්ල ඔවුන්ගේ පෙනුම හේතුවෙන් යටපත් වී ඇත. ඒ පිළිබඳව සලකන තාක් කල් රටකට දියුණුවක් නොමැත.

පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා

නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා

ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා

මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා //....

රස්තියාදුකාරයෙක් ලෙස හංවඩු ගසන්න වුන්ට ඔබට මට වඩා යහපත් ගති ගුණතිබිය හැක. මිතුරු වෙසින් සිනාසෙමින් ලං වී පිහියෙන් පපුවට අනින සමාජයක සමාජයක් බව දැන දැනම තව තවත් ඒ ව්‍යාජය තුල ගිලී සිටීමට මිනිසුන් කැමැත්තක් දක්වති.

යහපත යටගොස් අයහපත උඩ මතු වුණ සමාජයක් පිළිබඳව කතිකාවක් මෙම ගීතය හරහා විද්‍යාමාන කෙරේ. දහඩිය මහන්සිය වෙහෙසා කටයුතු කරන්නා වූ පුද්ගලයන්ගේ කාර්යයන්ට නිසි ගෞරවය වරප්‍රසාදය නොලැබේ. ඔවුන් යොදවා කාර්යන් ඉටු කරගන්නා පුද්ගලයන්ගේ ගෞරවය වැඩි වේ. අයකෙකුගේ වෙර වෑයමත් තව අයෙකුගේ ගෞරව නාමයත් රැව් පිළිරැව් දෙන සමාජයක් බිහි වී තිබේ.

සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ

කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ

වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ

මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ

ව්‍යාජත්වය කෙතරම් සමාජයේ මුල් බැස ගෙන තිබුණද යම් සුළුතරයක් සමාජ සම්මතයෙන් යට සිටින්නා වූ මානුෂීය හැඟීමෙන් අනූණ මිනිසුන් කෙරෙහි සංවේදීව බලයි. තමාට රිසිසේ ජීවත් වන පුද්ගලයන් තම අභිමතයන්  අනුව කටයුතු කරන්නා වූ ස්වාධීන මිනිසුන් අවංක අව්‍යාජ මිනිසුන් කෙරෙහි සිනහමුසු බැල්මෙන් බලන්නවුන් පිරිසක් ද නොසිටිනවාම නොවෙයි. පෙර කී ආකාරයේ අවංක පුද්ගලයන් පක්ෂ, පාට, ජාති, කුල, ආගම් භේදයකින් තොරව සියලු දෙනා කෙරෙහි අව්‍යාජ සිනහවකින් ඈත සිට බලා සිටියි. මන්දයත් ඔවුන්ට අනෙකා හා සමපාත විය හැකි ආකාරයේ වටපිටාවක් මෙකල නි(ර්)මාණය වී නොමැති හෙයිනි.

දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ

මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ

උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ///

 

හැමදාමත් සියලු දෙනාට වැරදීම්, අත්පසුවීම්, මගහැරීම් සිදුවී ඇත්තේ හැමවිටම අභ්‍යන්තරයට වඩා බාහිර පෙනුම කෙරෙහි විශ්වාසය තැබීමෙනි.

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ....

හිතන්නට යමක්..!

ගායනය - සජිීව් ලෝන්ලියස්

පද රචනය - පූජ්‍ය අත්තිඩියේ පුන්‍ය රතන හිමි

විචාරය හා නි(ර්)මාණයලියෝ නඳුනී වීරසේකර (තෙවන වසර,ශාස්ත්‍ර පීඨය)


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...