Sunday, December 24, 2023

නත්තල් ගස


නත්තල් සමය ඇරඹීමත් සමගම සැරසිලි වල ආරම්භය සනිටුහන් වේ.ඒ අතරේ සෑම වසරකම ලොව පුරා මිලියන ගණනක් නිවෙස් තුළට ආදරය,උණුසුම,එකමුතුව රැගෙන එන නත්තල් ගසට සුවිශේෂී තැනක් හිමි වේ.ඉස්සරනම් නත්තලට දින දෙකකට තුනකට කලින් පයිනස් වර්ගයේ ගසක කොටසක් කපාගන නිමවාගත් නත්තල් ගස් දැන් විවිධ අමුද්‍රව්‍ය ඇසුරු කරගනත්, විවිධ ආකාරයෙනුත් සාදයි.මොන අමුද්‍රව්‍ය වලින් සෑදුවත් හැඩය වෙනස් නොකිරීමට වග බලා ගනී.පෙරදී මෙන් දෙසැම්බර් අග නොව නොවැම්බර් මාසයෙදීම දැන් නත්තල් ගස් දක්නට ලැබේ.

⭕නත්තල් ගස ගැන පුරාවෘත්ත⭕

මෙම නත්තල් ගස ගැන පුරාවෘත්ත රැසක්ම තිබේ.එමෙන්ම ශීත කාලය ආරම්භය සනිටුහන් කරන්නට විවිධ ගස් සැරසීම පිලිබද පුරාවෘත්ත ඇත.ඒවා මෙසේය,

ජර්මනියේ එක්තරා ප්‍රදේශයක දුප්පත් ගස් කපා ජීවත් වන අයෙක් සිටියා.දිනක් ශීත සෘතුවක සීතලට හසුවුණු දරුවෙකු තමාට ශීතල යැයි කියමින් උපකාර ඉල්ලා මේ ගස් කපන්නාගේ නිවසට පැමිණියා.එම දරුවා ගැන අනුකම්පා කල ගස් කපන්නා තමන්ට හැකි පමණින් උදව් උපකාර කරමින් ආහාර පානාදියෙන්ද සංග්‍රහ කලා.එදින රෑ ගත කල එම දරුවා පසුදින් උදෑසන තමා ළමා ජේසු යැයි පවසමින් දේවදූතයෙකු ලෙස පෙනී සිටියා.

අනතුරුව ගස් කපන්නා අතට දේවදාර අතුරිකිල්ල ලබා දී දේවදූතයා නොපෙනී ගියේය.ගස් කපන්නා එම දේවදාර අතුරිකිල්ල මහත් භක්තියෙන් ඔහුගේ ගේ ඉදිරිපිට මිදුලේ සිටෙව්වා.එය නත්තල් ගසක් ලෙස වැඩුණු බව පුරාවෘත්ත වල සදහන් වේ.

ඊජිප්තු ජාතිකයන් යමක් වර්ධනය සංකේතවත් කිරීමට දෙසැම්බර් අග පාම් අතු නිවෙසට ගෙනවුත් සරසා ඇත.දීර්ඝ ශීත කාලවලට ශක්තිමත්ව ඔරොත්තු දීම සංකේතවත් කරන්නට ශීත කාලයේ කොල හලන්නේ නැති පයිනස් වර්ගයේ සදාහරිත ගස් චීන හා හිබෘ ජාතිකයන් භාවිතා කර තිබේ.

මධ්‍යතන යුගයේදී රෝමන්වරු අලංකාර අතු කපා ඒවායේ මුදුනේත් ගස් පුරාත් ඉරේ ආකෘති සහිත ලෝහ සැරසිලි තබා උත්සව පවත්වා තිබෙනවා.මෙම උත්සව සැටර්නේලියා නමින් හැදින්වේ.ශීත කාලය ඇරඹීමට මෙන්ම ඔවුන්ගෙ කෘෂිකර්මය,ධනය හා විමුක්තියට අධිපති සැටර්න්ස් දෙවියන් පිදීමට දෙසැම්බර් 17 වනිදායින් ඇරඹී සතියක් පුරා මෙම උත්සව පවත්වා ඇත.

බටහිර යුරෝපයේ කෙල්ටික් ආගමේ උසස් පූජකවරු ශීත සෘතුව ආරම්භය සැමරීමට ඕක් ගස්වල ඉටිපන්දම් දල්වා, රන් පාට ඇපල් එල්ලූ බව කියවේ.මධ්‍යතන යුගයේ ආදම් හා ඒවාගේ මංගල්‍යය සැමරීමට දෙසැම්බර් 24 වනදා ෆර්(පයින් වැනි ගස් වර්ගයක්) ගස්වල රතු ඇපල් එල්ලා සරසා,පාරාදීසයේ ගස් ලෙස හදුන්වා ඇත.

⭕නත්තල් ගසේ අතීතය⭕

සදාහරිත ගස් ක්‍රිස්තියානි නත්තල් උත්සවයේ කොටසක් ලෙස භාවිතා කරන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 500 කට පමණ පෙර ජර්මනියේදීය.පැරණි සම්ප්‍රදායන් ආගමට ඇතුලත් කර ගැනීමට ක්‍රිස්තියානි මිෂනාරීන් යම් ඉඩක් දීමක් කර ඇත.1531 දී ජර්මනියේ ඇල්සෙස් නගරයේදී (දැන් මෙම ප්‍රදේශය අයත් වන්නේ ප්‍රංශය ටයි)මුල්වරට නත්තල් ගස සදහා වගා කල ගස් විකුණා තිබේ.එම ගස් සැරසීමක් නැතුව නිවෙස්වල තබාගන ඇත.මුලින්ම නත්තල් ගසක් සරසා තිබෙන බවට වාර්තා වන්නේ 1610 ලැට්වියාවෙදීය.මේ කාලයේ ගස සරසා තිබෙන්නේ කඩදාසි රෝස මල්,පලතුරු සහ රසකැවිලි වලිනි.ඉන් පසු කාලයේ රිබන්,ලේස්,ලෝහ හැඩතල ,කුඩා පොත් හා කැවිලි වලින් සැරසීම සිදුකර ඇත.ඊටත් පසු කලෙක දල්වන ලද ඉටිපන්දම් උපයෝගී කරගත් බවට සදහන් වේ.

දාහත්වන සහ දහඅටවන සියවස් වල ඔස්ට්‍රියාවේ සහ ජර්මනියේ නිවෙස්වල අනෙක් පසට හැරවූ සදාහරිත ගස් මුදුන්,නිවසේ සාලයේ පැත්තකින් එල්ලා ඇපල්,කජු වර්ග හා රතු රිබන්වලින් සරසා තිබූ බව කියවේ.19 වන සියවසේදී නත්තල් ගස් උතුරු යුරෝපා රටවලට පැතිර ගොස් ඇත.

වික්ටෝරියා රැජින ජර්මනියේ ඇල්බට කුමරා හා විවාහ වු පසු 1834 දී වින්ඩ්සර් මාලිගයේ නත්තල් ගසක් තැබීමෙන් මෙම චාරිත්‍රය එංගලන්තයේ ශීඝ්‍රයෙන් පැතිර ගියේය.ඉන්පෙර වික්ටෝරියා රැජිනගේ  මිත්තනිය වන චාර්ලට රැජින 1800 දී වින්ඩ්ස්ර්හි විශේෂ නවාතැනක තැබූ බව ඉතිහාසයේ සදහන් වේ.

සරසන ලද නත්තල් ගසක් ඇමරිකාවට හදුන්වා දී තිබෙන්නේ 1842 දී චාල්ස් මිනේග්‍රෙඩ් නැමැත්තෙකි.ධවල මන්දිරයේ මුල් වරට නත්තල් ගසක් තබා ඇත්තේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් පියර්ස්ගේ කාලයේදීය(1853 - 1857).ධවල මන්දිරයත් වොෂින්ටන් ස්මාරකයත් අතර ඇති Ellipse හි ජාතික නත්තල් ගසක් දැල්වීමේ උත්සවයක් ඇමරිකානු ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් 1923 සිට සිදුවේ.

එසේම ධවල මන්දිරයේ blue room තුල රටේ පළමු කාන්තාවගේ ප්‍රධානත්වයෙන් සෑම වසරකම සත්‍ය නත්තල් ගසක් ප්‍රදර්ශනය වේ.

යුරෝපා ජාතීන් ආසියානු රටවල් යටත් විජිත කරගැනීමත්, ආගම පැතිරවීමත් සමග පෙරදිග රටවල ක්‍රිස්තියානි ආගම වැළද ගත් අයගේ නිවෙස් වල හා පල්ලි තුල එම රටවලට ආවේණික නොවන ශාකවලින් තැනු නත්තල් ගස් තැබීම ප්‍රචලිත වී ඇත.

මෑතක් වන තෙක්ම ක්‍රිස්තියානි ආගමික නිවෙස් තුල සැරසිල්ලක් වූ නත්තල් ගස්, දැන් ආගමික භේදයකින් තොරව විවිධ ස්ථානවල නත්තල, වර්ෂාවසාන නිවාඩුව , නව වසර මෙන්ම ව්‍යාපාර පිලිඹිබු කරන්නටත් එලිමහනේ දැල්වෙනු පෙනේ.

විදදරා ගැනීම සංකේතවත් කරන ,ක්‍රිස්තියානි ආගමටත් වඩා ඉපරණි නත්තල් ගස ,මේ අනුව එක් ආගමකට අයත් නොවී අපගේ සංවේදී ඉන්ද්‍රියන් පිනවනු පමණකින් නොනැවත,ලොවේම සම්ප්‍රදායන් සංවේදන කරනු දැනේ.

⭕නත්තල් ගස් වගා කිරීම⭕

නත්තල් ගස් වගා කිරිම යනු කෘෂිකාර්මික ,වනවගා සහ උද්‍යාන වගාවේ නියැලෙන්නන් විශේෂයෙන් නත්තල් ගස් සදහාම භාවිතා කරන්නා වූ පයින් හා ෆර් වැනි ශාක විශේෂ වගා කිරීමයි.නත්තල් ගස් වගා කිරීමෙ ගොවිපළක් මුලින්ම ස්ථාපනය වූයේ 1901 දී වුවද ,බොහෝ පාරිභෝගිකයන්  1930 හා  1940 ගණන් වන තුරුම තමාට අවශ්‍ය ශාක ලබාගත්තේ වනාන්තරයෙනි.නත්තල් ගස් වගා කිරීම වරකදී ප්‍රමිතියෙන් අඩු ගොඩබිම් වගා කිරිම සදහා යෙදූ ජීව්‍ය විකල්පයක් ලෙස යොදාගත් නමුත් කෘෂිකාර්මාන්තයේ දියුණුවත් සමග එම අනුදැනුම වෙනස් වී ඇත.ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රශස්ත අස්වැන්නක් ලබා ගැනීම සදහා වගා බිම් සමතලා විය යුතු අතර , යටි වගාවෙන් හා දිරාපත් වන ශේෂ කොටස් වලින් තොර විය යුතු බව දැන් සැලකේ.

පයින් සහ ෆර් ශාක විශේෂ වල පුලුල් භේද ගණනාවක් නත්තල් ගස් ලෙස වගා කළද ඒවායෙන් වඩා ජනප්‍රිය විශේෂ ඇත්තේ අතලොස්සක් පමණි.එක්සත් ජනපදය තුළ ඩොග්ලස් ෆර්,ස්කොට්ස් ෆර්,ෆ්‍රේසර් ෆර් යන ශාක විශේෂ හොදින් අලෙවි වන ශාක විශේෂ වේ.එක්සත් රාජධානිය තුල හොදින් අලෙවි වන විශේෂ වනුයේ නොර්මැනන් ෆර් හා නෝර්වේ ස්පෘස් යන ශාක විශේෂ වන අතර මේවා යුරෝපය තුළද ජනප්‍රිය වෙමින් පවතී.අනෙකුත් ඕනෑම කේතුධර ශාකයක් මෙන්ම නත්තල් ගස්ද පලිබෝධකයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි ශාක වේ.

⭕දේශගුණික බලපෑම ⭕

අනෙකුත් කෘෂිකාර්මික වගාවන්ට සේම වේ.ශීත සෘතුවේදී ඇතිවන අධික ශීතල සහ උණුසුම් හා වියලි අන්ත තත්වයන් නිසා අස්වැන්න කැපීමෙන් පසු වගාවට නැවත ගොඩනැගිය නොහැකි හානි සිදුවිය හැකිය.බලාපොරොත්තු වන කාලයකට කලින් හිම වැටීම ආරම්භ වුවහොත් ,අස්වැන්න කපා ගැනීම සහ ඒවා නැව්ගත කිරීම දුෂ්කර වීමට හෝ සම්පූර්ණයෙන්ම නොහැකි වීමටද ඉඩ ඇත.

Leo Poornima Nethmini

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...