Wednesday, February 21, 2024

දියවැඩියාව වළක්වා ගත හැකි ක්‍රම - Article 06


(1) ඕනෑම රෝගියකු හට සුදුසු ආහාර සේම නුසුදුසු ආහාර ද ඇත. ආයුර්වේදයේදී ආහාරවල ගුණ ස්වභාවය මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය ලෙස කොටස් පහකට වර්ග කෙරේ. ඒ අතරින් කටු, තිත්ත, කෂාය කියන රස ත්‍රිත්වය දියවැඩියා  චිකිත්සාවේදී බහුලව යොදා ගනී. බැදපු යව (බාර්ලි), යවවලින් සාදන ලද ආහාර, අමුනම් ධාන්‍යය, කඩල, කොල්ලු, උඳු, මුං ඇට, පැරැණි සහල් වර්ග (හැමදා සහල්) දියවැඩියා රෝගීන් සඳහා සුදුසුය. ත්‍රිපලා (අරළු, බුළු, නෙල්ලි) නෙල්ලි යුෂ, පැරැණි මී පැණි, හාල්, තිත්ත රස පලා වර්ග (කිරි අගුණ, අගුණ, කුරිඤ්ඤං කොළ, තෙබු, කතුරුමුරුංගා) ආදිය ද දියවැඩියාව  සඳහා සුදුසුය. දියවැඩියා රෝගීන්ගේ බහුල රක්තහීනතාවයක් ද දක්නට ලැබෙන බැවින් ඔවුන්ට යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබාදිය යුතුය. ඉහත සඳහන් කළ පලා වර්ගවල යකඩ, ඛණිජ ලවන ආදිය අඩංගු බැවින් දියවැඩියා රෝගීන්ට එවැනි ආහාර වඩාත් සුදුසු වේ.

මාංශ අනුභවයේදී දියවැඩියා රෝගීන් තෝරාගත යුත්තේ මේදය අඩු මස් වර්ගයි. ඌරු මස්, හරක් මස්, කුකුල් මස් තෙල් සහිත බැවින් ඉන් හැකිතාක් ඈත්වීම යෝග්‍යය වේ. නමුත් මේ සියලු දේ ලබාගතයුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුවය. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මාළු වර්ග වැඩිපුර ගැනීමත් දියවැඩියාවට හේතුවන අතර මෙහිදී තෝර මාළු, පරා මාළු, අමු හාල් මැස්සො ආහාර සඳහා උචිතය. 

කාමරංගා දියවැඩියාව රෝගීන්ට වඩාත් ගුණදායක පළතුරකි. මෙවැනි පළතුරක් රසවත් සලාදයක් ලෙස සකසා ආහාරයට ගතහැකි අතර අතුරු විපාක ඇතිවිය හැකි බැවින් ඒවාද අනවශ්‍ය පමණට ආහාරයට ගැනීමටද සුදුසු නැත. ඇඹුල් කෙසෙල්, ගස්ලබු, පේර, නෙල්ලි, නමිනං වැනි ස්වභාවික පළතුරු වර්ගද නියමිත ග්‍රෑම් ප්‍රමාණවලින් ආහාරයට ගතහැකි අතර කෝලිකුට්ටු කෙසෙල්, ඇපල්, මිදි වැනි පලතුරු එතරම් සුදුසු නොවේ.

සාමාන්‍ය දිනකට අපි ආහාර වේල් තුනකට පුරුදුව සිටියද දියවැඩියා රෝගීන්ට අධික ලෙස කුසගිනි දැනෙන නිසා ඔවුන් ආහාර වේල් පහක් ලෙස ආහාර ගත්තාට ගැටලුවක් නැත. නමුත් මෙහිදී එක් එක් වේලක් සඳහා ආහාර ලබාගත යුත්තේ සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් බත් පිඟානක් බෙදා ගැනීමේදී පිඟානක් රැගෙන එය කොටස් හතරකට වෙන්කරගෙන එයින් හතරෙන් එකක් බත්, හතරෙන් එකක් පලා වර්ගයක්, තවත් හතරෙන් එකක් එළවළුවක් හා අනෙක් හතරෙන් එක අප ආහාරයට ගන්නා ප්‍රෝටීන් අඩංගු ද්‍රව්‍යයක් ලෙස ආහාර බෙදාගත යුතුය. හාල්වලිනුත් වඩා සුදුසු රතු සහලයි.

(2)රුධිරයේ සීනි ප්‍රමාණය හා ශරීරයේ බර පාලනය කර ගැනීම.

(3) දුම් පානයෙන් වැලකීම.

(4) මත් පැන් පානය පාලනය කිරීම. මේ මඟින් පාද වලට රුධිර සංසරණය වීම අඩුවීම වලක්වා ගත හැක.

(5) විශාල මාත්‍රා වලින් විටමින් B 12  මේවා වැඩිපුර ගැනීම මඟින් ඉන්සියුලින් වල ක්‍රියාව නිෂ්ක්‍රිය කල හැක.(දිනකට 50-100)

(6) මානසික පීඩනය පාලනය කිරීම. නිතර මනස කැළඹෙන දේවලින් අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය වෙනස් වීම සිදුවිය හැකි අතර එමගින් ඉන්සියුලින් ස්‍රාවයටද බලපෑමක් සිදුවිය හැකිය. දියවැඩියාව හටගන්නේද ඉන්සියුලීන් ස්‍රාවයෙහි බලපෑමෙන් වන නිසා මනසට විවේකය ලබාදීම කළ යුත්තකි. භාවනාව, යෝග, ව්‍යායාම, මානසික ආතතිය තුරන් කිරීමේ මහා පිටුවහලකි.

(7) දියවැඩියාව ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර ඇය තම රුධිර සීනි ප්‍රමාණය ගැන සෑහෙන කාල පරාසයක් තිස්සේ අවධානය යොමු කර තිබීම. නැතහොත් කළලයක් ඇතිවී පළමු සති 5-8 දක්වා කාලය තුල කළලයට විකෘතිතා ඇතිවිය හැක.

(8) වෛද්‍යවරයා හමුවී නියමිත මාත්‍රාවෙන් යුතුව ඖෂධ ලබා ගැනීම.  

(9) දියවැඩියාවෙන්  පෙළෙන රෝගියකුගේ සමට කෙරෙන සත්කාරයක් ලෙස සැවැන්දරා, කුරුඳු කුඩු, එනසාල්, අගිල් සුදුහඳුන් ආදිය හොඳින් අඹරා චූර්ණයක් ලෙස සකස් කර වතුරේ දියකර සමෙහි අලේප කිරීම ගත හැකිය. මෙලෙස මඳ වේලාවක් ආලේප කර සිට පසුව ස්නානය කිරීමෙන් සමෙහි අපද්‍රව්‍ය ඉවත් වී සම පිරිසිදු වීම සිදුවේ.

(10) උදෑසන අවදි වූ ගමන්ම මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමද දියවැඩියා රෝගියකුට වඩාත් සුදුසුය. මේ නිසා ආහාර මාර්ගය පිරිසිදුවීමක් මෙන්ම ආහාර මාර්ගයෙහි එන්සයිම උත්තේජනය වීමක්ද සිදුවේ. නිරෝගී පුද්ගලයන් හටද මෙවැනි පුරුදු ඇතිකර ගැනීම හරහා වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක හිමිකම් කිව හැකිවේ.

(11) ස්ථූලතාවය නිසා දියවැඩියාවට ගොදුරුවූවන් හට නින්ද මඳක් අඩුකරන ලෙස කියා තිබුණත් යම් පුද්ගලයකු කාර්ය බහුලතාවය නිසා නිදිමරනවානම් එය ඉතා අයහපත්ය. රාත්‍රියට අධික ලෙස නිදිමරන පුද්ලයන්ගේ රුධිරයෙහි සීනි මට්ටමද වැඩිවිය හැකි අතර රෝගියකුගේ ඒ තත්ත්වය තවදුරටත් වැඩිවේ. එබැවින් නින්ද යනු රෝගියකු හට අවශ්‍යම දෙයකි. 

(12) එමෙන්ම මනසට සැහැල්ලු සංගීතය රසවිඳීමද රෝගී නිරෝගී ඕනෑම පුද්ගලයකුට සුදුසුය.

මෙවැනි ක්‍රම අනුගමනය කිරීම තුලින් දියවැඩියා රෝගය වළක්වා ගැනීමටත් ,දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමටත් අපට හැකිය.

Leo Rashmi Shasikala

Faculty of Art

University of Colombo

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...