Tuesday, September 17, 2024

1976 ටැන්ෂාන් භූකම්පනය -චීනය [ Safe Guard - Article 13 ]

                                       

Safe Guard

Phase - 1

Session - 1

වර්ෂ 1976 ජූලි 28 වන දින ඒ වන විට දියුණු වෙමින් පැවති කාර්මික මධ්‍යස්ථානයක් වන චීනයේ ටැන්ෂාන් නගරය ආශ්‍රිතව එරට වේලාවෙන් උදෑසන 3.42 ට පමණ ඇති වූ භූමිකම්පා තත්ත්වය මහා ටැන්ෂාන් භූකම්පනය (Grate Tangshan Earthquake) ලෙස වාර්තාවලට ඇතුළත් විය.

භූ කම්පනයේ උපරිම තීව්‍රතාවය රික්ටර් පරිමාණ 8.3 ක් දැක්විණි.මිනිත්තු කීපයක් තුළ ටැන්ෂාන් හි ගොඩනැගිලි වලින් 85% ක් පමණ කඩා වැටීම හෝ භාවිතයට ගත නොහැකි ආකාරයට විනාශයට පත් විය.

විදුලිය, ජල සැපයුම,සන්නිවේදනය යනාදී ප්‍රදේශයේ සියලුම සේවා බිඳවැටුණු අතර අධිවේගී මාර්ග හා දුම්රිය පාලම් විශාල ප්‍රමාණයක් කඩා වැටී හෝ බරපතල ලෙස හානි සිදුවිය. චීනයේ නිල වාර්තාවලට අනුව ටැන්ෂාන් හි පුද්ගල මරණ 275,000 ක් සිදුව ඇති බවත් බරපතළ තුවාල ලැබූ පිරිස 164,851 ක් ලෙසත් දක්වා ඇත.කෙසේ වෙතත් අතුරුදන් වූවන් ,පසුව මියගිය පුද්ගලයන් මෙන්ම බීජිං හා ටියැන්ජින් හි සිදුවූ මරණ සැලකිල්ලට ගත් විට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව අවම වශයෙන් ලක්ෂ තුනකට ආසන්න බව විද්වතුන්ගේ පිළිගැනීමයි.බොහෝ මරණවලට හේතු වූයේ මිනිසුන් ජීවත් වූ නිවාස විශාල ප්‍රමාණයක් ශක්තිමත් නොවීමත්, නියමිත ප්‍රමිතියෙන් තොර වීම බවත් දක්වා තිබේ.

🔵භූ කම්පනවල පසුබිම සහ තත්වයන්

භූමිකම්පා සිදුවනුයේ භූකාරක තැටිවල මායිම්හි ඇති පාෂාණ භූකාරක තැටිවල නොවැළැක්විය හැකි චලනයන්ට ප්‍රතිරෝධ දැක්වීම හේතුවෙන් බව ඒ.එච්.ධනපාල මහතා සිය  ස්වභාවික විපත් කෘතියේ දක්වයි.භූමිකම්පාවක් ඉතාමත්ම නිවැරදිව පුරෝකතනය කිරීමට තවමත් භූවිද්‍යාඥයින් අපොහොසත් වී ඇති ඇත.කෙසේනමුත් චීන ජනතාවගේ විශ්වාසය වන්නේ භූ කම්පනයකට පෙර සතුන්ගේ හැසිරීමෙන් හා භූගත චලන වල ස්වරූපය අනුව එහි පෙරනිමිති හදුනා ගත හැකි බවයි.නිරීක්ෂණ හා පරීක්ෂණ ඇසුරින් භූමිකම්පා පෙරදී හදුනා ගැනීමට චීන විශේෂඥයින් උත්සාහ දරා ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස ඊසාන දිග චීනයේ හායිෂෙන් වලට බලපෑ භූමිකම්පාව සාර්ථක ලෙස පුරෝකතනය කළ අතර නිසි වේලාවට ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කළ බැවින් හායිෂෙන් නගරය දරුණු ලෙස විනාශයට පත්වුවද, විශාල මරණ සංඛ්‍යාවක් ඇතිවීම වළක්වා ගත හැකි විය.නමුත් අවාසනාවන්ත ලෙස පූර්ව අනතුරු ඇගවීමකට පෙර ටැන්ෂාන් හි භූ කම්පනය සිදුවූ අතර අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට ටැන්ෂාන් වැසියන්ට සිදුවිය.මෙවැනිම පූර්ව අනතුරු ඇගවීමකට පෙර සිදුවූ ස්වාභාවික විපතක් 1995 දී ජාපානයේ දෙවැනි විශාලතම නගරය වන ඔසාකා ප්‍රදේශයෙන් වාර්තා වේ. ස්වභාවික විපත් නොවැළැක්විය හැකි බැවින් එවැන්නකට පසුව කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීමෙන් නිසි අවස්ථාවේ දී ක්ෂණික පියවර ගැනීමට ජනතාව දැනුම්වත් වනු ඇත.භූ කම්පන ඇතිවන ප්‍රදේශ හදුනා ගනිමින් ඉංජිනේරුවන් විසින් භූකම්පන විපත් සිතියම් නිර්මාණය කරන අතර එමගින් එවන් ප්‍රදේශ වල සිදු කරන ඉදි කිරීම් වඩාත් ප්‍රමිතියකින් යුතුව ඉදි කිරීමට මෙන්ම පවත්නා ඉදිකිරීම් ආරක්ෂා කිරීමට පියවර ගත හැකිය

🔵ටැන්ෂාන් භූ කම්පනයේ ස්වභාවය සහ පසු ක්‍රියාකලාපය 

මෙම භූ කම්පනය ප්‍රධාන වශයෙන් කම්පන දෙකකින් සමන්විත වූ අතර පළමුවර පෙ.ව.3.42 ට ටැන්ෂාන් හි දකුණු කොටසට යටින්, විශාලත්වය 8.1ක් පමණ වූ බවත් පසු පරීක්ෂණවලදී එය සම්මත පරිමාණයෙන් 7.6ක් වූ බවත් ඇස්තමේන්තු කරන ලදී. නොගැඹුරු භූ කම්පන තත්ත්වයක් වූ බැවින් කම්පන ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් පොළොව මතුපිට සෙලවීමට ප්‍රබල විය. අනාවරණයන්ට අනුව මෙය බටහිර -නැගෙනහිර අක්ෂයේ භූගෝලීය සම්පීඩනය නිසා ඇති වූ අතර ටැන්ෂාන් මධ්‍යයේ සිට 8Km ක් දක්වා විහිදෙන එචිලෝන් කොටස් (Echelon Segments)පහක මතුපිට ඡේදනය වීම සිදුවිය.මෙම සිදුවීම අතරතුරදී ටැන්ෂාන්හි නගරයට යටින් 11Km පමණ ගැඹුරේ පිහිටි ගල් අඟුරු ආකර තුළ සිටි සේවකයන් පිරිසක් භූ කම්පනයට ගොදුරු වූ බව ආචාර්ය ඒ.එච්.ධනපාල මහතා විසින් රචිත `ස්වභාවික විපත්´ යන ග්‍රන්ථයේ දක්වා ඇත. තවද වෛද්‍යවරුන් හා දිවි ගලවා ගත් සෙසු පිරිස ආපදාවට ලක්වූවන්ට උපකාර කිරීමට ක්‍රියා කළ ආකාරය සහ එහි දුෂ්කරත්වය තවදුරටත් මෙම ග්‍රන්ථය දක්වයි.

දෙවන කම්පනය එදින පස්වරු 18.45 ට පමණ ලුආන්ෂියන් (Luanxian) අසල මතු විය. මෙය සිදුවූයේ ටැන්ශාන් දෝෂයේ උතුරු කෙළවර හරහා කැපෙන උතුරු-වයඹ දෙසින් කැපී පෙනෙන සංයුජ දෝෂ කලාපයක ය. මෙම භූ කම්පනය කම්පන මාලාවකින් යුතු වූ අතර සමගාමීව ඇති වූ අනෙක් කම්පන තත්ත්ව හේතුවෙන් තවදුරටත් ටැන්ෂාන් හි ගොඩනැගිලි වලට හානි සිදුවී ඇත.

භූමිකම්පාවෙන් පසු වෛද්‍ය සේවකයින්, ඉදිකරන්නන්, හමුදා සොල්දාදුවන් හා නිලධාරීන් 180,000 ක් පමණ අසල්වැසි ප්‍රදේශ වලින් ටැන්ෂාන් වෙත යවන ලදී.ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට දැඩි දුශ්කරතා වලට මුහුණ දීමට සිදුවු අතර ශල්‍ය උපකරණ වෙනුවට ඇතැම් අවස්ථා වලදී උතුරන ලුණු වතුරේ ජීවානණුහරණය කරන ලද රළු උපකරණ මගින්ද ,කටු චිකිත්සක ක්‍රම මගින්ද රෝගීන්ට ප්‍රතිකාර කර ඇත.ටැන්ෂාන් භූ කම්පනයේ භයානක බව ඉස්මතු වන මෙවැනි සිදුවීම් මගින් පෙන්නුම් කරනුයේ තවදුරටත් මෙලොව මනුෂ්‍යත්වය ජීවමාන වන බවයි.කෙසේ වෙතත් ස්වභාවික විපත් පිළිබඳව ජනතාව දැනුවත් කිරිම වැදගත් වනුයේ එවිට ජීව්ත අහිමි වීමට පෙර ගලවා ගත හැකි බැවිනි.

🔵පරිසර විනාශය (පස ද්‍රවීකරණය වීම)

කම්පනයේ පැවති කාලය තුළ පැවති අභ්‍යන්තර මෙන්ම මතුපිට සෙලවීම එම කලාපයේ සුවිශේෂී ගැඹුරු වැලි පස ද්‍රවයක් බවට පරිවර්තනය කර ඇත.(ද්‍රවීකරණය) මෙම තත්ත්වය දුම්රිය මාර්ග, පාලම්, යටිතල පහසුකම් මෙන්ම පාංශු පාලනය වෙත විනාශකාරී බලපෑමක් එල්ල කළ අතර ඉහළම ද්‍රවීකරණය වූ, ටැන්ෂාන් නගරයට දකුණින් වැලි විශාල වශයෙන් ගලා යෑමෙන් වගාවන්ට සැලකිය යුතු ප්‍රමාණයේ හානි සිදුවිය.

🔵චීන රජයේ ක්‍රියාකලාපය

සමස්තයක් වශයෙන් මධ්‍යම රජය සෘජු ආපදා සහන සඳහා යුවාන් මිලියන 600 ක්, ප්‍රතිසංස්කරණ සඳහා යුවාන් බිලියන 2.5 ක් වෙන්කර ඇති අතර 1983 වසර වන තෙක් නගරය මධ්‍යම රජයට ලැබෙන ආදායමෙන් නිදහස් කරන ලදී. වසර දහයකට පමණ පසු විශාල සම්පත් හා ශ්‍රම ආයෝජනයකින් ටැන්ෂාන් නගරය නැවත ගොඩනංවන ලදී.

2017 වන විට ටැන්ෂාන් භූමිකම්පා අනුස්මරණ ස්මාරකයේ (Tangshan Earthquake Memorial Wall) විපතට පත් වූවන් 246,465 කගේ නම් අඩංගු වූ අතර ඔවුන්ගේ නම් ඥාතීන් විසින් ලියාපදිංචි කර ඇත.

මෙවන් විනාශකාරී ජීවිත හානි,දේපල හානි රාශියකට හේතු වූ මහා ටැන්ෂාන් භූ කම්පනය චීන ඉතිහාසයේ ඇති වූ දරුණුතම ස්වභාවික විපතක් ලෙස ඛේදනීය මතක ආවර්ජනයක ස්වරූපයෙන් මිනිස් තුළ සදා රඳා පවතිනු ඇත.


Leo Eshani Perera

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...