Monday, September 16, 2024

බිනර පුන් පොහෝ දිනය

 


ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.ලොවපුරා බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් අද දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි.වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙය සැළකෙයි.

මෙහෙණි සසුනේ ආරම්භයට අවසරය ලැබෙන්නේ බිනර පොහොය දිනයේ දී වීම ඉතාමත් වැදගත් සිදුවීමකි.මහා ප්‍රජාපති ගෝතමිය විසින් ශාසනයට පිවිසීම සඳහා කිහිප අවස්ථාවකදී ම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කරන ලදී.පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන් අවසරය ලබා ගැනීමට හැකියාව ලැබිණි.ඒ අදවන් වූ බිනර පොහොය දිනකදී ය.

මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියයක් දෙනා මෙහෙණි සසුනට ඇතුළු වූයේ මෙවන් අසිරිමත් පුන් පොහෝ දිනක ය.ඒ සමග ම උපසම්පදාව ද කාන්තා භික්ෂුණීන් වහන්සේට උරුම විය.අෂ්ට ගරු ධර්ම පැනවීම සිදුවුණේ ද බිනර පුන් පොහෝ දිනකයි.එම අෂ්ට ගරු ධර්ම මෙසේය;

1.උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැදුම් පිදුම් කළ යුතුය.

2.භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.

3.භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.

4.වස් අවසානයේදී භික්ෂු – භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5.යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.

6.වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.

7.කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.

8.භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.

පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීමත් පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාව තුළ ඇතැයි යන මතය බුදු දහම පිළිගත් නිසාත් කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැලළක් වීම නිසාත් කාන්තාවන්ට සසුන් දොර විවර වීම අදවන් වූ උතුම් බිනර පොහෝ දිනක සිදුවූ වගට තොරතුරු සපයයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයට බිනර පෝය වඩා වැදගත් වන්නේ තපස්සු භල්ලුක වෙළද දෙබෑයෝ විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා ගන්නා ලද කේශ ධාතු නිධන් කොට තැනූ ගිරිහඬු සෑය සුවිශේෂ පුද පූජා දිනය බිනර පෝය ට යෙදී තිබීමයි.තපස්සු භල්ලුක වෙළද දෙබෑයෝ බුදුරජාණන් වහන්සේගෙන් දහම් සරණ ගිය පළමු උපාසකයෝ ය.බිනර පෝයට යෙදී ඇති තවත් උත්සවයක් නම් සේරුවාවිල මංගල මහා සෑයේ වාර්ෂික පින්කමයි.සේරුවාවිල මංගල මහා සෑයෙහි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු නිදන් කොට ඇතැයි පිළිගනී.එසේම මහියංගන රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර ද බිනර පුන් පොහොය හා බැඳී පවතී.

මෙලෙස ලංකාවාසී මෙන් ම ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන්ට අතිශය වැදගත් පුන් පොහොය දිනයක් ලෙස බිනර පුන් පොහෝ දිනය හඳුන්වා දිය හැකිය.

ඔබ සැමට පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා!!.


Leo Nikeshala Kulawansha

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...