Friday, January 3, 2025

දියවැඩියා රෝගයට හේතූ.


 දියවැඩියා රෝගයට හේතූ.


එදිනෙදා භාවිතයේදී කෙටියෙන් "දියවැඩියාව" ලෙසට හඳුන්වනු ලැබුවද  "මධු දියවැඩියාව", "මධු මේහය" යන නම් වලින්ද මෙම රෝගය හඳුන්වනු ලබයි. බෝ නොවන රෝග ගණයට අදාළ වන දියවැඩියාව ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලූකෝස්  මට්ටම ඉහළ යෑම මත ඇතිවන රෝගී තත්ත්වයක් ලෙසට හඳුන්වා දිය හැකිය. "අවදානමට පෙර සූදානම" ඉතා උචිත බැවින් දියවැඩියා රෝගයට පාදක වන හේතු පිළිබඳව දැනුවත් වී දියවැඩියා රෝගයට ගොදුරු වීමෙන් වැළකීම ඉතා බුද්ධිමත් පියවරකි.


දියවැඩියාව රෝගයට සෘජුවම හෝ වක්‍රව බලපාන හේතු ලෙසට පහත හේතු ගොනු කළ හැකිය.

1.*ප්‍රතිදේහවල ක්‍රියාකාරීත්වය වෙනස්වීම*

පළමුවන වර්ගයේ දියවැඩියාවට හෙවත් යෞවන දියවැඩියාවට ප්‍රතිදේහවල ක්‍රියාකාරීත්වයේ ඇතිවන වෙනස බලපානු ලබයි. සිරුර තුළ ඉන්සියුලින් නමැති හෝර්මෝනය ප්‍රමාණවත් තරම් දේහයට නොලැබීම මෙයට ප්‍රධාන හේතුවයි. ඉන්සියුලින් හිඟතාවය එම හෝර්මෝනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැති වුවද ඇතිවිය හැකිය. 


2. *ජානමය සාධක*

දකුණු ආසියාතික කලාපයේ දියවැඩියා  රෝගයට ගොදුරු වීමට ජානමය සාධකවල බලපෑම හේතු වේ. මෙය වෙනස් කරලීමට නොහැකි තත්ත්වයක් වුවත් දෙවන වර්ගයේ දියවැඩියාවට හෙවත් වැඩිහිටි දියවැඩියාවට බලපාන හේතුවකි. මෙහිදී සිදුවනුයේ පරම්පරාගතව දියවැඩියාව උරුම වීමයි. උදාහරණයක් වශයෙන් පාරම්පරිකව දියවැඩියාව පැවතුණහොත් ඉදිරි පරම්පරාවට ද දියවැඩියාව සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ගැබ්ව පවතී. ඒ හේතුවෙන් ජානමය සාධක දියවැඩියාවට බලපාන වෙනස් කළ නොහැකි හේතුවකි. 


3. *ස්ථුලතාවය*

වර්තමානය වන විට නගරබද පමණක් නොව ගම්බද ප්‍රදේශවලද ස්ථුලතාවය ප්‍රධාන ගැටලුවක්ව ඇත. මෙමගින් ශරීරයේ මේද ප්‍රමාණය වැඩිවී ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අඩුවී දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. මෙය පාලනය කළ හැකි හේතුවකි. නිවැරදිව උස හා බර මැනීමෙන් BMI අගය මැන ගැනීමෙන් ස්ථුලතාවය සොයා ගැනීමට හැකියි. නියමිත BMI අගය 18.5-22.5 වන අතර BMI අගය 23-25  අධිබර ලෙසටත් BMI  අගය   25ට වැඩි වූ විට ස්ථුලතාවය ලෙසටත් දක්වයි. ස්ථුලතාවය පාලනය දියවැඩියාවෙන් වැළකී සිටීමට හේතුවකි. මේ අනුව ස්ථුලතාවය දියවැඩියාවට හේතුවන පාලනය කළ හැකි සාධකයකි.


4. *වැරදි ආහාර පුරුදු හා පැණිරස බීම භාවිතය*

තෙල් අධික ආහාර, සැකසූ ආහාර, පැණි රස බීම ආදිය නිතර නිතර ආහාරයට එකතු කර ගැනීම දියවැඩියාව සඳහා ප්‍රබලවම බලපායි. මෙයද දියවැඩියාව සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වන අතර පාලනය කළ හැකි සාධකයකි.


5. *හෘද රෝග කොලෙස්ටරෝල්, අධි රුධිර  පීඩනය ආදී බෝ නොවන රෝග*

ඉහත දක්වන ලද බෝ නොවන රෝග වලින් පීඩා විඳීමද දියවැඩියාවට බලපාන තවත් සාධකයකි.


6. *ව්‍යායාම නොලැබීම.*

ප්‍රමාණවත් පරිදි ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොමැතිකමද දියවැඩියාවට බලපාන සාධකයකි. දිනපතා ව්‍යායාම රටාවකට හුරුවීම තුළින් දියවැඩියාවට ගොදුරු නොවී සිටීමට හැක.


7. *මානසික ආතතිය*

රැකියා ස්ථානයේ ප්‍රශ්න, නිවසේ ප්‍රශ්න ආදී නොයෙකුත් හේතූන් මත  ඇතිවන මානසික ආතතිය දියවැඩියාවට බලපාන තවත් සාධකයකි. මානසික ආතතිය සමග හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්කම් දියවැඩියාව කෙරෙහි බලපායි. මෙයද පාලනය කළ හැකි දියවැඩියාවට බලපාන එක් සාධකයකි. නිතරම සතුටින් සිටීමට උත්සාහ කිරීම, භාවනා කිරීම, විනෝදාංශයකට හුරුවීම ආදිය මගින් මානසික ආතතිය පලවා හැරීමට හැකිය. ඒ ඔස්සේ වක්‍රාකාරව දියවැඩියාවට ගොදුරු නොවී සිටීමට හැකියි.


8. *ගර්භනී සමයේ ඇති වෙනස්කම්*

තුන්වන වර්ගයේ දියවැඩියාව හෙවත් ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාවට මෙය බලපාන හේතුවකි. ගර්භණී සමයේදී ශරීරයේ ඇතිවන විවිධ හෝර්මෝන වෙනස්කම් ආහාර රටාවේ ඇතිවන වෙනස්කම් ආදිය මෙම දියවැඩියාවට ප්‍රබලවම බලපායි.

ඉහත දක්වන ලද ප්‍රතිදේහවල ක්‍රියාකාරීත්වය වෙනස්වීම පළමු වර්ගයේ දියවැඩියාවටත්,ස්ථුලතාවය සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොමැතිකම දෙවන වර්ගයේ දියවැඩියාවටත්,ගර්භණී සමයේදී ඇතිවන වෙනස්කම් සමග රුධිර ගත සීනි මට්ටම් වැඩිවීම තුන්වන වර්ගයේ දියවැඩියාවටත් බලපාන හේතු සාධක ලෙස නැවත වර්ග කළ හැකිය. කෙසේ වුවද ඉහත සඳහන් කරන ලද හේතු සියල්ලම පොදුවේ දියවැඩියා රෝගයට බලපාන සාධක ලෙසට දැක්විය හැකිය. 


ඉහත දක්වන ලද හේතු  පාලනය කර ගැනීම හා එම වැරදි පුරුදු වලින් වැලකී ක්‍රියා කිරීමෙන් තවදුරටත් දියවැඩියාව නමැති රෝගයේ වහලෙකු ලෙස ක්‍රියා කිරීමට ඔබට අවකාශ නොමැති වනු ඇත.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...