*මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...*
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැළකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි.
බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනක ය. ශාක්‍යයන්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේදී ය. දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේද මැදින් පෝය දිනකදී ය. රජ කිරුළ හැර දමා ගොස් පැවිද්ද ලැබූ සිද්ධාර්ථ කුමරුන්ගෙන් පසුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව ඉන්පසුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කනස්සල්ලට පත්වීම නිසා දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදී ය.
දෙමාපියන්ට සැළකීම බුද්ධ චරිතයේ වටිනා ගුණයකි.බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම වුණ දවසේ සිට සුද්ධෝදන රජතුමා තමන්ට සිටි එකම පුතු ගිහි ගෙය අතහැර යෑම පිළිබඳව මහත් දුකකින් සිටි අතර සිදුහත් කුමාරයා ගිහි ගෙය හැරගිය දවසේ සිට ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේ ය. ඉන්පසු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මහත් ආසාවෙන් සිටි නිසා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එන ලෙස පණිවිඩකරුවන් පිටත් කර හරින ලදී. එහිදී බුදුන් වහන්සේ බැහැ දැක බණ අසා එම පිරිස් පැවිදි දිවියට පත් විය.
අවසානයේ කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගෙන එන ලෙස සුද්ධෝදන රජතුමන් දැනුම් දුන්නේ ය. එහිදී බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය කාළුදායි ඇමැතිවරයා ඇතුළු පිරිස ද බණ අසා මාර්ගඵල අවබෝධය ලබා පැවිදි දිවියට පත් විය. පසුව බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදි සුද්ධෝදන රජතුමන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගන්වන ලදී. එහිදී බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා සිදු කළහ. මෙහිදී ගිහියකු වූ සුද්ධෝදන රජතුමා බණ ඇසීමෙන් පසුව සකෘදාගාමි මාර්ගඵල අවබෝධයට පත්විය. එතැන් සිට සුද්ධෝදන රජතුමා රාජකීය සුඛවිහරණ අත්හැර ඉතා සරල අල්පේච්ඡ දිවියක් ගත කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
යසෝදරා දේවියගේ ගුණ වර්ණිත පෝයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්වේ. යශෝධරාවන්ගේ සිත තුළ පැවැති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේද මෙවන් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනක බව බෞද්ධ පත පොතේ සඳහන් වේ.
සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රාශියකට පාදක වූ මෙම මැදින් පොහෝ දින කුසල් ක්‍රියාවන්හි යෙදෙමින් අර්ථවත්ව ගත කිරීමට ඔබ සැමට හැකි වේවා ! යි ප්‍රාර්ථනා කරමි.