Monday, February 23, 2026

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning
THRIVE PHASE 02 – ARTICLE 10

අනාගත වෘත්තිය සැලසුම්කරණය

Future Career Planning

අනාගත වෘත්තීය සැලසුම්කරණය යන්න සියලුම පුද්ගලයන්ට ඉතා වැදගත් කරුණක් ලෙස පෙන්වාදිය හැකිය. අනාගතයේදී තමන් කුමන රැකියාවක නිරත වන්නේ ද යන්න වර්තමානයේ සිටම සිතා බැලිය යුතුය. එසේම ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය මෙම පාසල් අධ්‍යාපනයේ සිටම සිදුකළ යුතු අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙහිදී පළමුව තීරණය කළ යුත්තේ තමා වැඩි වශයෙන් දක්ෂ කුමන පැතිකඩටද යන්න සොයාබැලීමයි. එලෙස තෝරාගත් අංශය ඔස්සේ තම කුසලතා සහ හැකියාවන් දියුණු කිරීම තුළින් අනාගතයේදී තමා අපේක්ෂා කරන රැකියාවක් සඳහා ගමන් කළ හැකිය.

අනාගත වෘත්තීය සැලසුම්කරණය සඳහා පොතපතෙහි දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. ඉන් ඔබ්බට ගොස් ඔබගේ මෘදු කුසලතා සංවර්ධනය කරගත යුතුය. මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ තොරතුරු තාක්ෂණය (IT) සහ ඉංග්‍රීසි යන කුසලතා සඳහාය. වර්තමානයේ කෘතීම බුද්ධිය (AI) වැනි දියුණු තාක්ෂණික ක්‍රම හමුවේ රැකියා වෙළඳපොලෙහි මෙවැනි අංශ සඳහා වැඩි ඉල්ලුමක් පවති.

උදාහරණයක් ලෙස,අනාගතයේදී ඔබ ව්‍යාපාරිකයෙකු /කළමණාකරුවෙකු වැනි වෘත්තීයකට එළැඹීම සඳහා සැලසුම් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් වලට අමතරව අනෙකුත් බාහිර සාධක පිළිබඳව සාපේක්ෂ වශයෙන් අවධානය යොමු කළ යුතුය. ඉහතින් සඳහන් කළ ආකාරයට අනාගත ව්‍යාපාරිකයකු වීමට සිතා සිටින අයෙක් වර්තමාන ගෝලීය වෙළදපොලෙහි වැඩි ඉල්ලුමක් පවතින්නේ කුමන නිෂ්පාදන වලට ද එය අතීතයට සාපේක්ෂව වර්තමානයේ වෙනස් වී ඇත්තේ කෙසේද සහ එම අවශ්‍යතාවයන් අනාගතය වන විට කුමන ආකාරයකින් වෙනස් විය හැකිදැයි අනුමානයන් සිටිය යුතුය එම වෙනස්කම්වලට අදාළ වන ආකාරයට තම කුසලතා වර්ධනය කර ගත යුතුය .

එසේම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඒවාට සහභාගී වී තම වෘත්තීය නිපුණත්වය වර්ධනය කළ යුතුය. එමගින් අනාගතයේදී තමා අපේක්ෂා කරන රැකියාවකට පිවිසීමට අවස්ථාව උදා වේ.

එසේම වර්තමානයේදී තමන් විසින් අනාගතයේදී තමන් සිදු කරන්නේ කුමන රැකියාවක්ද යන්න තීරණය කර ඒ සඳහා අවශ්‍ය මංපෙත් විවර කර නොගැනීම අනාගතයේදී ඔබට මුහුණ පෑමට සිදුවන ප්‍රබල ගැටලුවකි.එසේම ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වල රැකියා වියුක්තිය ඉහළ අගයක් ගෙන ඇත්තේ මෙම අනාගත වෘත්තීය සැලසුම්කරණයෙහි එක් එක් පුද්ගලයා සතු ගැටලු හේතුවෙනි.

ඒ අනුව අනාගතයේදී තමාට සාර්ථක පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත්වීමට නම් "අනාගත වෘත්තීය සැලසුම්කරණය" ඉතා ප්‍රබල හේතු සාධකයක් වන බව පෙන්වාදිය හැකිය.

Sunday, February 22, 2026

Thrive Phase 02 - Article 09 - රාජ්‍ය අංශයද ?පෞද්ගලික අංශයද?

Thrive Phase 02 - Article 09 - Public Sector or Private Sector?
THRIVE PHASE 02 – ARTICLE 09

රාජ්‍ය අංශයද ?පෞද්ගලික අංශයද?

Public vs Private Sector

වෘත්තිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක සිටින බොහෝ දෙනෙකුට පොදු වූ ප්‍රශ්නයක් වන්නේ තම රැකියාවට ස්ථාවර රාජ්‍ය අංශයක් තෝරනවාද නැතහොත් වේගවත් පෞද්ගලික අංශයක් තෝරනවාද යන්නයි. මේ අංශ දෙකෙහිම පවත්නා ආවේණික වූ වාසි මෙන්ම අවාසිද තිබේ අපගේ පෞද්ගලිකත්වය මත අපට ගැලපෙන අංශයක් තෝරාගෙන වෘත්තීය ජීවිතයට පිවිසීමට අපිට හැකියාව ඇත.

රාජ්‍ය අංශය සතු ලක්ෂණ

  • රැකියාවේ සුරක්ෂිතභාවය
  • රැකියා ස්ථාවරත්ව
  • විශ්‍රාම වැටුප හා දීමනා ලැබීම
  • වැඩ පීඩනය අවම වීම

පෞද්ගලික අංශයේ ලක්ෂණ

  • ඉහළ වැටුප වරප්‍රසාද
  • කෙටි කාලයකින් පහළ සිට ඉහළ තනතුරු වලට යාමට හැකිවීම
  • නවීන තාක්ෂණය සහ මනා වූ වැඩ පරිසරයක් නිර්මාණය වීම

විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හදාරන කලා පීඨයේ උපාධි අපේක්ෂක විද්‍යාර්ථයින්ගේ සිතට නැගෙන ප්‍රශ්නයක් තමයි අප සාමාන්‍යවේදි උපාධියක් හා විශේෂවේදී උපාධිය කොහොමද අපගේ වෘත්තීමය ජීවිතයට බලපාන්නේ යන්නයි.

සාමාන්‍යවේදී උපාධි ලැබුවන් job market එකට විවෘත වීමේදී අපිට job නැති බවට අනියත බියක් ඇති කර ගනියි නමුත් සාමාන්‍යවේදී උපාධිධාරීන් හෝ විශේෂ උපාධි ධාරීන් වුවත් අප තවත් බිය විය යුතුද? සමාජ මතයට බිය වී අපගේ හීන බොදවීමට ඉඩතබනවාද? මදක් අප සිතා බලමු අප සියලු දෙනා කල යුතු වන්නේ උපාධියට අමතරව,

  • IT skills , English knowledge එක සාදාගැනීම
  • Job expenses එක සාදාගැනීම
  • Commiunication skills සාදා ගැනීම

මේ සියල්ල අප ලගා කරගතහොත් අපගේ උපාධියට අපට apply කල හැකි සියලු job වලට යාමට බිය විය යුතු නැත.

අවසාන ලෙස කිවහැකි වන්නේ ඉහතින් සඳහන් කල වෘත්තීමය ජීවිතයට අවශ්‍ය සියලු දේ ලගාකරගෙන අප කැමැත්ත දක්වන ක්ෂේත්‍රයට පිවිසීමයි. වෘත්තීමය ජීවිතය නිදහස්ව හා සුරක්ෂිතව ගතකිරීමට රාජ්‍ය අංශය තෝරාගත හැකිවන අතර නමුත් අභියෝග වලට කැමති දක්ෂතාවයෙන් ලෝකය දිනන්නට වෙහෙසෙන අයෙකුට තම වෘත්තිමය ජීවිතය පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම වඩා වඩාත් ඵලදායි වන බවයි.

Friday, February 20, 2026

Thrive Phase 02 - Article 08 - සම්මුඛ පරීක්ෂණයකට සාර්ථකව මුහුණ දෙමු

Thrive Phase 02 - Article 08 - How to Successfully Face an Interview
THRIVE PHASE 02 – ARTICLE 08

සම්මුඛ පරීක්ෂණයකට සාර්ථකව මුහුණ දෙමු

Interview Preparation

අද සමාජයේ රැකියා, උසස් අධ්‍යාපන අවස්ථා හෝ විවිධ වෘත්තීය අවස්ථා ලබා ගැනීමට සම්මුඛ පරීක්ෂණය වැදගත් පියවරක් වේ.පුද්ගලයෙකුගේ දැනුම, පෞරුෂය, හැසිරීම සහ වෘත්තිය සුදුසුකම් පරික්ෂා කිරීම සඳහා මෙය භාවිතා කරයි.එහෙත් බොහෝ දෙනාට සම්මුඛ පරීක්ෂණයක් ගැන සිතීමත් සමඟම බය, කම්පනය සහ අනියම් හැඟීම් ඇතිවෙයි.එබැවින් සම්මුඛ පරීක්‍ෂණයකට සාර්ථකව මුහුණ දීමට නිසි සූදානම ආත්ම විශ්වාසය සහ නිවැරදි ආකල්පය තිබීම අත්‍යවශ්‍ය වේ.

පළමුව, සම්මුඛ පරීක්ෂණයකට යාමට පෙර හොඳ සූදානමක් කළ යුතුය. අයදුම් කරන ආයතනය පිළිබඳව, එහි සේවාවන්, අරමුණු සහ අප අයදුම් කරන තනතුර පිළිබඳ මූලික දැනුමක් ලබාගැනීම වැදගත් වේ. මෙය සම්මුඛ පරීක්ෂකයන්ට අපගේ උනන්දුව සහ වගකීම පෙන්වයි. එසේම, පොදු ප්‍රශ්න සඳහා පෙර සිතා පිළිතුරු සකස් කරගැනීම අපේ ආත්මවිශ්වාසය වැඩි කරයි.

දෙවැනි කරුණ වන්නේ නිසි පෙනුම සහ හැසිරීමයි. පිළිවෙලින් ඇඳුම් ඇඳීම, වේලාවට පැමිණීම, ගෞරවයෙන් කතා කිරීම සහ මෘදු සිනහවක් පවත්වාගැනීම ඉතා වැදගත්ය. පළමු හැඟීම සාර්ථක වීමට බලපාන බැවින් එය සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වේ.

තෙවැනි කරුණ ලෙස ආත්මවිශ්වාසයෙන් කතා කිරීම සඳහන් කළ හැක. ප්‍රශ්නවලට පැහැදිලිව, කෙටියෙන් සහ නිවැරදිව පිළිතුරු දිය යුතුය. නොදන්න දෙයක් තිබේ නම් ඒ ගැන අවංකව ප්‍රකාශ කිරීම වඩා සුදුසුය. එය පුද්ගලයාගේ අවංකභාවය සහ ඉගෙනගැනීමට ඇති කැමැත්ත පෙන්වයි.

තවද, ශරීර භාෂාවද සාර්ථක සම්මුඛ පරීක්ෂණයකට බලපායි. ඇස් සම්බන්ධතාවය පවත්වාගැනීම, අවශ්‍ය තරම්ම අත් චලනය භාවිතා කිරීම වෘත්තීයමය හැසිරීමක් ලෙස සැලකේ. එමගින් විශ්වාසය සහ ගෞරවය ප්‍රකාශ වේ.

අවසානයේ, සම්මුඛ පරීක්ෂණය භය වීමට හේතුවක් නොව, අපගේ හැකියාවන් පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙස දකින්නාට සාර්ථකත්වය ලැබේ. නිසි සූදානම, ධනාත්මක සිතුවිලි, ගෞරවය සහ විශ්වාසය සමඟ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට අපගේ අනාගතය සඳහා නව දොරටු විවෘත වනු ඇත.

Thursday, February 19, 2026

Thrive Phase 02 - Article 07 - උපාධියට අමතරව වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමේ වැදගත්කම

Thrive Phase 02 - Article 07 - The Importance of Professional Experience
THRIVE PHASE 02 – ARTICLE 07

උපාධියට අමතරව වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමේ වැදගත්කම

Professional Experience

අද සමාජය තුළ උපාධියක් ලබා ගැනීම තරුණයන්ගේ ප්‍රධාන අරමුණක් බවට පත්ව ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් විද්‍යාත්මක දැනුම, සිද්ධාන්තමය අවබෝධය සහ විශ්ලේෂණාත්මක සිතීමේ හැකියාව වර්ධනය කර ගත හැකිය. කෙසේ වෙතත්, වර්තමාන රැකියා වෙළඳපොළ තුළ උපාධියක් පමණක් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. රැකියා දායකයන් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ක්‍රියාකාරී දක්ෂතා සහ වෘත්තීය පළපුරුද්ද ඇති පුද්ගලයන් වෙතය. එබැවින් උපාධියට අමතරව වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීම අද කාලයේ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් ලබා දෙන දැනුම බොහෝවිට සිද්ධාන්තමය වේ. එම දැනුම ප්‍රායෝගික ක්ෂේත්‍රයට යෙදවීමේදී විවිධ අභියෝග හමුවේ. උදාහරණයක් ලෙස කළමනාකරණය, තාක්ෂණය, වාණිජ කටයුතු හෝ සමාජ සේවා වැනි ක්ෂේත්‍රවල, පංතිකාමරයේ ඉගෙනගත් කරුණු සෘජුවම යථාර්ථ ලෝකයට ගැළපෙන්නේ නැත. එවැනි අවස්ථාවලදී වෘත්තීය පළපුරුද්ද මගින් ගැටළු විසඳීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව සහ තත්ත්වයට අනුව ක්‍රියා කිරීමේ හැකියාව වර්ධනය වේ. මෙය සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුම අතර ඇති පරතරය පිරවීමට උපකාරී වේ.

තවද, වෘත්තීය පළපුරුද්ද රැකියා ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට විශාල ලෙස දායක වේ. බොහෝ ආයතන නව සේවකයන් බඳවා ගැනීමේදී පළපුරුද්දක් ඇති පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දෙයි. Internship, part-time employment, volunteer service හෝ industry training වැනි ක්‍රියාකාරකම් මගින් සිසුන්ට මෙම පළපුරුද්ද ලබා ගත හැකිය.

වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමෙන් සන්නිවේදන දක්ෂතා, කණ්ඩායම් කටයුතු කිරීමේ හැකියාව, නායකත්ව ගුණ, කාල කළමනාකරණය සහ වගකීම් භාරගැනීම වැනි මෘදු දක්ෂතා ද වර්ධනය වේ. මෙම දක්ෂතා පංතිකාමරයේ පමණක් ඉගෙනගත නොහැකි අතර, යථාර්ථ කාර්ය පරිසරයකදී පමණක් පූර්ණ වශයෙන් සංවර්ධනය වේ.

අනෙක් වැදගත් කරුණ වන්නේ වෘත්තීය ජාල ගොඩනැගීමයි. වෘත්තීය පළපුරුද්ද ලබන කාලය තුළ සිසුන්ට කාර්ය මණ්ඩලය, පරිපාලකයන්, උපදේශකයන් සහ ක්ෂේත්‍ර විශේෂඥයන් සමඟ සම්බන්ධතා ඇති කරගැනීමට අවස්ථාව ලැබේ. බොහෝ විට internship කාලය තුළම ස්ථිර රැකියා අවස්ථා හිමිවීමද දැකිය හැකිය.

ගෝලීය තරඟකාරී පරිසරයකදී වෘත්තීය පළපුරුද්ද තවත් වැදගත් වේ. තාක්ෂණික දියුණුව, ඩිජිටල්කරණය සහ ජාත්‍යන්තර වෙළඳපොළ ව්‍යාප්තිය හේතුවෙන් වෘත්තීය ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. මෙම වෙනස්කම්වලට හැඩගැසීමට සහ නව තාක්ෂණයන් භාවිතා කිරීමට හැකි වන්නේ ප්‍රායෝගික පළපුරුද්දක් ඇති පුද්ගලයන්ටයි.

අවසානයේ කියා යුතු වන්නේ, උපාධියක් වෘත්තීය ජීවිතයේ මූලික පදනමක් සපයන අතර, වෘත්තීය පළපුරුද්ද එම පදනම ශක්තිමත් කර ප්‍රායෝගික වටිනාකමක් එක් කරයි යන්නයි. උපාධිය සහ වෘත්තීය පළපුරුද්ද එකට එකතු වූ විට සම්පූර්ණ, තරඟකාරී සහ සාර්ථක වෘත්තීය පුද්ගලයෙකු බිහි වේ.

Wednesday, February 18, 2026

Thrive Phase 02 - Article 06 - නවීන ක්‍රමවේද හරහා රැකියා සොයාගන්නේ කෙසේද?

Thrive Phase 02 - Article 06 - How to Find Jobs Through Modern Methods
THRIVE PHASE 02 – ARTICLE 06

නවීන ක්‍රමවේද හරහා රැකියා සොයාගන්නේ කෙසේද?

Modern Job Search Methods

​හෝරාවෙන් හෝරාවට, තත්පරයෙන් තත්පරයට ලෝකය දියුණුවේ හිණිපෙත්තටම ගමන් කරමින් සිටින අතර, තාක්ෂණය හා ගෝලීයකරණය හේතුවෙන් ලෝකය 'ගෝලීය ගම්මානයක්' බවට පරිවර්තනය වී ඇත. අතීතයේ පුවත්පත් දැන්වීම් මත පමණක් රඳා පැවති රැකියා සෙවීමේ යුගය යල් පැන ගොස්, අද වන විට සමස්ත රැකියා වෙළඳපොළම ඩිජිටල් අවකාශය මත පදනම් වූ සංකීර්ණ ජාලයක් බවට පත්ව තිබේ. කෘතිම බුද්ධිය (AI), දත්ත විශ්ලේෂණය සහ දුරස්ථ සේවා අවස්ථා (Remote Work) වැනි නවීන සංකල්ප හඳුන්වාදීමත් සමඟ රැකියා සොයා ගැනීමේ ක්‍රියාවලිය හුදෙක් සුදුසුකම් පෙන්වීමක් පමණක් නොව, තම වෘත්තීය අනන්‍යතාව (Professional Identity) ප්‍රදර්ශනය කිරීමක් බවට පත්ව ඇත.

​වර්තමාන රැකියා වෙළඳපොළ ජය ගැනීමට නම් සම්ප්‍රදායික ක්‍රමවේදවලින් බැහැර වී නවීන තාක්ෂණික මෙවලම් භාවිතය අත්‍යවශ්‍ය වේ. එමඟින් අයදුම්කරුගේ තාක්ෂණික දැනුවත්භාවය සහ ඩිජිටල් අවකාශය තුළ පවතින සක්‍රියභාවය මැනවින් පෙන්නුම් කෙරේ. වර්තමානයේ බහුලව යොදා ගන්නා නවීන ක්‍රමවේද කිහිපයක් පහතින් දැක්වේ:

1. වෘත්තීය සමාජ මාධ්‍ය ජාලා භාවිතය (LinkedIn)
වර්තමානයේ රැකියා සෙවීමට යොදාගන්නා ප්‍රචලිතම ක්‍රමය මෙයයි. සාමාන්‍ය CV පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලබන්නේ රැකියාවකට ඉල්ලුම් කරන අවස්ථාවේදී පමණක් වුවද, LinkedIn Profile එකක් ඕනෑම වේලාවක ඕනෑම අයෙකුට දැකගත හැකිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට හැකි වීම සහ නිර්දේශ (Recommendations) ඇතුළත් කළ හැකි වීමයි. එමෙන්ම, "Hidden Job Market" එකට ප්‍රවේශ වීමට ද LinkedIn මඟ පෙන්වයි.

2. රැකියා ද්වාර හා වෙබ් අඩවි (Job Portals)
ගෝලීය වශයෙන්: Indeed, Glassdoor, Monster.
දේශීය වශයෙන්: TopJobs, XpressJobs, Ikman Jobs.
විශේෂිත තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා GitHub සහ Stack Overflow වැනි අඩවි ද ඉතා වැදගත් වේ.

3. ATS (Applicant Tracking System) සහ CV අතර සම්බන්ධය
විශාල ආයතන වෙත ලැබෙන CV පත්‍රිකා මුලින්ම පරීක්ෂා කරනු ලබන්නේ ATS මෘදුකාංගය මඟිනි. එබැවින් ATS-friendly CV එකක් නිර්මාණය කිරීම අතිශය වැදගත් වේ.

4. ගිග් ආර්ථිකය (Gig Economy) හා දුරස්ථ රැකියා (Remote Work)
Upwork, Fiverr වැනි වෙබ් අඩවි හරහා නිවසේ සිටම විදේශීය ආයතන සමඟ ව්‍යාපෘති පදනම් කරගත් රැකියාවල නිරත වීමේ හැකියාව ලැබේ.

5. ජාලකරණය (Networking) හා YouTube භාවිතය
වෘත්තිකයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම සහ YouTube හෝ Blogs හරහා දැනුම බෙදා ගැනීම සේවා යෝජකයන්ගේ අවධානය දිනා ගැනීමට උපකාරී වේ.

6. කෘතිම බුද්ධිය (AI) රැකියා සෙවීමට යොදා ගැනීම
Cover Letters සකස් කිරීමට සහ Mock Interviews සඳහා ChatGPT වැනි AI මෙවලම් යොදා ගත හැක.

මේ ආකාරයට නොයෙකුත් නවීන ක්‍රමවේද ලෝකයේ ප්‍රචලිතව ඇත. අවසාන වශයෙන් නවීන රැකියා වෙළඳපොළ ජය ගැනීමට හුදෙක් සහතික පත්‍ර පමණක් ප්‍රමාණවත් නොවේ. තාක්ෂණික දැනුම, නිරන්තරයෙන් යාවත්කාලීන වන කුසලතා සහ ධනාත්මක ආකල්ප මෙහිදී තීරණාත්මක වේ. ලෝකය වේගයෙන් ඉදිරියට යන විට අප ද එම නවීන ක්‍රමවේද සමඟ අත්වැල් බැඳගත යුතුය.

Tuesday, February 17, 2026

Thrive Phase 02 - Article 05 - වැටුප සහ වෘත්තීය තෘප්තිය

Thrive Phase 02 - Article 05 - Salary and Career Satisfaction
THRIVE PHASE 02 – ARTICLE 05

වැටුප සහ වෘත්තීය තෘප්තිය

Salary and Career Satisfaction

වැටුප සහ වෘත්තීය තෘප්තිය යනු වත්මන් ලෝකයේ රැකියා නියුක්තිකයෙකුගේ ජීවන තත්ත්වය තීරණය කරන ප්‍රධානතම සාධක දෙකයි. බොහෝ දෙනෙකුගේ මූලික අරමුණ වන්නේ ඉහළ වැටුපක් ලබා ගැනීම වුවද, දිගුකාලීන පැවැත්මක් සඳහා වැටුප මෙන්ම වෘත්තීය තෘප්තිය ද අත්‍යවශ්‍ය වේ. වැටුප මගින් පුද්ගලයෙකුගේ භෞතික අවශ්‍යතා සහ සමාජයීය මට්ටම තීරණය කරන අතර, වෘත්තීය තෘප්තිය මගින් මානසික සුවය සහ පෞද්ගලික වර්ධනය තීරණය කරනු ලබයි. එබැවින් මෙම සාධක දෙක අතර මනා සමතුලිතතාවයක් පවත්වා ගැනීම සාර්ථක වෘත්තීය ජීවිතයක රහසයි.

වැටුප යනු පුද්ගලයෙකු සිය ශ්‍රමය සහ කාලය කැප කිරීම වෙනුවෙන් ලබන සෘජු ප්‍රතිලාභයයි. එය පුද්ගලයෙකුට තම වගකීම් ඉටු කිරීමටත්, ජීවන තත්ත්වය උසස් කර ගැනීමටත් අවශ්‍ය ශක්තිය ලබා දෙයි. යම් රැකියාවක වැටුප අවම මට්ටමක පවතී නම්, එම පුද්ගලයා කෙතරම් එම වෘත්තියට ආදරය කළද කාලයත් සමඟ ඔහු තුළ ආර්ථික පීඩනය සහ අතෘප්තිමත් බවක් ඇති විය හැකිය. එමනිසා, වෘත්තීය ගරුත්වය රැකෙන සහ ජීවන වියදමට සරිලන සාධාරණ වේතනයක් ලැබීම වෘත්තීය තෘප්තිය සඳහා වන මූලික අඩිතාලම වේ.

කෙසේ වෙතත්, ඉහළ වැටුපක් ලැබූ පමණින්ම අයෙකුට වෘත්තීය තෘප්තිය ළඟා කරගත නොහැක. තෘප්තිය යනු වැටුපෙන් ඔබ්බට ගිය, සේවා පරිසරයේ ස්වභාවය, සහෝදර සේවකයින්ගේ සහයෝගය, තමන් කරන කාර්යය අගය කිරීම සහ නිර්මාණශීලී නිදහස වැනි කරුණු මත රඳා පවතින අභ්‍යන්තර හැඟීමකි. අධික වැටුපක් ලැබුණ ද, විෂ සහිත සේවා පරිසරයක් හෝ අධික මානසික පීඩනයක් පවතී නම්, එය පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය පිරිහීමටත්, රැකියාව කෙරෙහි ඇති උනන්දුව හීන වීමටත් හේතු වේ. සැබෑ තෘප්තිය ලැබෙන්නේ තමන් ආශා කරන දෙයක් වටිනාකමක් සහිතව ඉටු කිරීමට අවස්ථාව ලැබෙන විටය.

අවසාන වශයෙන්, වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ වැටුප සහ තෘප්තිය යන දෙකෙහි සංකලනය මතය. මුදල් පමණක් හඹා යාමෙන් මානසික විඩාවත්, තෘප්තිය පමණක් හඹා යාමෙන් ආර්ථික අස්ථාවරත්වයත් උරුම විය හැකිය. එබැවින්, තමන් කරන කාර්යයෙන් සතුටක් ලබන අතරම, ඒ සඳහා සාධාරණ ආර්ථික වටිනාකමක් ද හිමිවන වෘත්තියක් තෝරා ගැනීම නිරෝගී සහ තෘප්තිමත් දිවියකට මඟ පාදයි. වෘත්තීය තෘප්තිය ඉහළ මට්ටමක පවතින විට සේවක කාර්යක්ෂමතාව ඉබේම ඉහළ යන අතර, එය ආයතනයේ මෙන්ම පුද්ගලයාගේ ද දියුණුවට සෘජුවම දායක වේ.

Monday, February 16, 2026

Thrive Phase 02 - Article 04 - ඉංග්‍රීසී භාෂා සන්නිවේදනය : බිය නොවී වෘත්තීය ලෝකයට පිවිසෙන මග

ඉංග්‍රීසී භාෂා සන්නිවේදනය

ඉංග්‍රීසී භාෂා සන්නිවේදනය : බිය නොවී වෘත්තීය ලෝකයට පිවිසෙන මග

English Communication Skills

අද ලෝකය ගෝලීයකරණය වී ඇති සමයක, රටවල් අතර සීමා ඉක්මවා සන්නිවේදනය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසී භාෂාව මගිනි.අධ්‍යාපනය,තාක්ෂණය,ව්‍යාපාර හා වෘත්තීය ක්ෂේත්‍ර වල ඉංග්‍රීසී භාවිතය විශාල වශයෙන් වර්ධනය වී ඇත.ඒ අනුව බියනොවී වෘත්තීය ලෝකයට පිවිසෙන මග මෙලෙස ඉංග්‍රීසි භාෂා සන්නිවේදනය හරහා සිදුවන්නේ කෙලෙසද?

වර්තමාන වෘත්තීය ලෝකයේ ප්‍රසිද්ධ ආයතනවල හෝ විදේශ රැකියා වල හෝ අන්තර්ජාලය හරහා රැකියා සිදුකරනවිට හෝ විදේශ ගනුදෙනුකරුවන් සමග සන්නිවේදනය කරන විට හෝ මෙම කුමන අවස්ථාවක වුවද ඉංග්‍රීසී භාෂාව භාවිතා කිරීම වෘත්තීය ලෝකයට පිවිසීමේ මාර්ගය පහසුවෙන් විවෘත කරනු ලබයි.නිදසුන් ලෙස පහත අවස්ථා කෙරෙහි අවධානය යොමු කර බලන්න.

01.සම්මුඛ පරීක්ෂණයකදී ඔබේ පෞරුෂය සහ දැනුම විදහා දැක්වීම
02.ආයතනික සන්නිවේදනය වෘත්තීය මට්ටමින් පවත්වා ගැනීම
03.යම් අවස්ථාවක ඔබේ අදහස් හා යෝජනා අන් අය ඉදිරියේ ඉදිරිපත් කිරීම
04.දෙස් විදෙස් ගනුදෙනුකරුවන් සමග විශ්වාසවන්තව කටයුතු කිරීම

යන අවස්ථා රැකියා ලෝකයේදී ඉංග්‍රීසි භාෂා සන්නිවේදනය වැදගත් වන ප්‍රධාන අවස්ථා බව අපට හදුනාගත හැක.

අද වනවිට ඉංග්‍රීසි භාෂා සන්නිවේදනය දියුණු කරගත හැකි ක්‍රම ඕනෑතරම් අපට හමුවේ. තනිව වුවද එම හැකියාවන් දියුණුකර ගැනීමේ හැකියාව අප සතුව පවතී.එනම් දිනපතා සරලව ඉංග්‍රීසී බසින් එකිනෙකා සමග කතා කිරීම, short film/prodcast යනාදිය නැරඹීම,ඉංග්‍රීසී ලිපි කියවීම යනාදී සරල ක්‍රම මගින් මෙම සන්නිවේදන හැකියාව ඇතිකරගත හැකි බව පැහැදිලි වේ.

වෘත්තීය මට්ටමින් ඉහළට යන විට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය යනු හුදෙක් අමතර සුදුසුකමක් නොව, ඔබේ වෘත්තීය ගමනේ වේගය සහ දිශාව තීරණය කරන ප්‍රධානතම සාධකයකි.

විශේෂයෙන්ම කළමනාකරණ සහ විධායක මට්ටමේ තනතුරු වලදී, තීරණ ගැනීම සහ නායකත්වය ලබා දීම සඳහා පැහැදිලි සන්නිවේදනයක් අත්‍යවශ්‍ය වේ. රැස්වීම් මෙහෙයවීම, ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කිරීම සහ සංකීර්ණ ගැටලු නිරාකරණය කිරීමේදී ඔබේ අදහස් නිරවුල්ව සහ තර්කානුකූලව ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට හැකි වීමෙන් ඔබේ වෘත්තීය පෞරුෂය ඉස්මතු වේ.

මීට අමතරව, ඕනෑම ක්ෂේත්‍රයක නවතම දැනුම, තාක්ෂණය සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳ තොරතුරු මුලින්ම ප්‍රකාශයට පත් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.

ඒ අනුව ඉංග්‍රීසි භාෂා සන්නිවේදනය මගින් බියනොවී වෘත්තීය ලෝකයට පිවිසීමට හැකියාව ලැබෙන බවට නිගමනය කළ හැකි ය.

Thrive Phase 02 - Article 03 -ඩිජිටල් යුගයට ගැළපෙන ICT කුසලතා

ඩිජිටල් යුගයට ගැළපෙන ICT කුසලතා

ඩිජිටල් යුගයට ගැළපෙන ICT කුසලතා සහ අනාගත ලෝකය

ICT Skills Digital Age

පන්හිඳෙන් ඇරඹි ගමන සිලිකන් චිපය දක්වා මානව ශිෂ්ටාචාරයේ ගමන් මග තීරණය කළේ සොයාගැනීම්ය. අතීතයේ මිනිසා ගල් ලෙන්වල රූ සටහන් ඇඳ අදහස් හුවමාරු කළේය. පසුව පන්හිඳෙන් තල්පතේ අකුරු කර දැනුම ගබඩා කළේය. එහෙත් අද අප ජීවත් වන්නේ තල්පත පසෙක ලා 'ටැබ්ලටය' (Tablet) අතට ගත්, පන්හිඳ වෙනුවට 'ස්ටයිලස්' (Stylus) පෑන භාවිතා කරන යුගයකය. තාක්ෂණය යනු හුදෙක් මෙවලමක්ම පමණක් නොව, එය වර්තමාන මානව ශිෂ්ටාචාරයේ රුධිර නාලිය බවට පත්ව ඇත. එබැවින් "ඩිජිටල් යුගයට ගැලපෙන්න ICT කුසලතා වර්ධනය කරගැනීම" යනු තෝරාගැනීමක් නොව, නොනැසී පැවතීම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.

අතීතයේ තොරතුරු තාක්ෂණය යනු මන්දගාමී ගංගාවකි. පණිවිඩයක් යැවීමට දින ගණනාවක් ගත විය. නමුත් වර්තමානය යනු 'දැනුම පිරි දිය ඇල්ලකි'. අද වන විට ලෝකය 'ගෝලීය ගම්මානයක්' (Global Village) බවට පත්ව ඇත්තේ ICT නිසාය.

අනාගතය දෙස බලන විට එය 'ඩිජිටල් මායා ලෝකයක්' බඳුය. අනාගතයේදී රියදුරෙකු නොමැති වාහන මෙන්ම, නිවසේ සිටම සැත්කම් සිදුකරන වෛද්‍යවරුන් බහුල වනු ඇත. මේ මහා ප්‍රවාහයට හසු නොවී ගොඩ ඒමට නම්, අප අද සිටම අපගේ ICT කුසලතා ඔපමට්ටම් කරගත යුතුය.

කෘතිම බුද්ධිය (Artificial Intelligence): අනාගතයේ මහා බලවේගය
වර්තමාන තාක්ෂණික අහසේ දීප්තිමත්ම තරුව වන්නේ කෘතිම බුද්ධිය (AI) ය. මෙය හුදෙක් පරිගණක වැඩසටහනක් නොව, මිනිස් බුද්ධිය අභිබවා යා හැකි 'අජීවී මොළයකි'.

AI යනු හුදෙක් දත්ත ගබඩාවක් නොවේ. එය අද චිත්‍ර අඳියි, කවි ලියයි, සංගීතය නිර්මාණය කරයි. ChatGPT හෝ Gemini වැනි මෙවලම් අපට අවශ්‍ය ඕනෑම දැනුමක් ක්ෂණයකින් ලබා දෙන 'නූතන අල්ලාදින්ගේ පුදුම පහන' වැනිය.

වෛද්‍ය විද්‍යාවේදී රෝග විනිශ්චය කිරීමටත්, කෘෂිකර්මයේදී පසෙහි තෙතමනය මැන බලා ස්වයංක්‍රීයව ජලය සැපයීමටත් AI භාවිතා වේ. මෙය "නොපෙනෙන හස්තයක්" මෙන් ලෝකය මෙහෙයවයි.

ප්‍රගුණ කළ යුතු නූතන ICT කුසලතා

1. කේතකරණය (Coding): අනාගතයේ විශ්ව භාෂාව
පරිගණකයකට වැඩක් කරවා ගැනීමට නම් එහි භාෂාව (Python, Java, C++) අප දැනගත යුතුය.

2. ක්ලවුඩ් කම්පියුටින් (Cloud Computing):
Google Drive, iCloud වැනි සේවාවන් හරහා ඕනෑම තැනක සිට තම දත්ත ලබාගැනීමේ හැකියාව ලැබී ඇත.

3. දත්ත විද්‍යාව (Data Science):
මිලියන සංඛ්‍යාත දත්ත විශ්ලේෂණය කර අනාගතය ගැන අනාවැකි කීම.

4. සයිබර් ආරක්ෂාව (Cyber Security):
ඩිජිටල් නිවසට අගුල් දැමීම වැනි අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි.

ඩිජිටල් ආර්ථිකය (Digital Economy):
E-Commerce, Cryptocurrency, Freelancing වැනි නව ධන උල්පත්.

තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය. නිවැරදිව භාවිතා කළහොත් ජීවිතය ආලෝකවත් කර ගැනීමටත්, වැරදි ලෙස භාවිතා කළහොත් විනාශයටත් හේතු වේ.

නිගමනය: සැමදා අලුත් වන දැනුම
ඩිජිටල් යුගය යනු වේගයෙන් ගලා යන ගංගාවකි. එම ගංගාවේ ගිලී නොගොස්, දක්ෂ ලෙස පීනීමට අවශ්‍ය ICT කුසලතා නමැති 'පහුර' සකස් කර ගැනීම අත්‍යවශ්‍යය.

තාක්ෂණයට බිය නොවී, එය අපේ ප්‍රගතියේ මෙවලම කර ගනිමු.

Sunday, February 15, 2026

සුබ මහාශිව රාත්‍රී දිනයක් වේවා!!!

මහා ශිව රාත්‍රී දිනය 2026

සුබ මහාශිව රාත්‍රී දිනයක් වේවා!!!

Maha Shivaratri

අඳුරෙන් එළියට යන දිනයක් ලෙස මෙම දිනය ප්‍රකට වේ.ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන "මහා ශිව රාත්‍රී දිනය" යනු අඳුර පරදා ආලෝකයත්,අවිද්‍යාව පරදා ප්‍රඥාවත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන උතුම් රාත්‍රියකි.

මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලොව පුරා හින්දු ජනතාවගේ යහපත් සිතුම් පැතුම් ඉටු වී ජිවිත අර්ථවත් වේවා'යි එකසිතින් ප්‍රාර්ථනා කරමු...

මහා ශිව රාත්‍රී දිනය පෙබරවාරි මස 15 දිනට යෙදී ඇත.

ශිව දෙවියන් "නටරාජා" ලෙසින් රංගනයේ යෙදෙන්නේ විශ්වයේ මැවීම, පැවැත්ම සහ විනාශය යන චක්‍රය නිරූපණය කරමිනි. මෙහි ඇති වැදගත්ම දාර්ශනික අර්ථය නම්, අප තුළ ඇති නරක ගතිගුණ (ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ආශාව) විනාශ කර නව පවිත්‍ර මනසක් ඇති කර ගැනීමයි.

මහ ශිව රාත්‍රිය යනු හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන ඉතා වැදගත් ආගමික උත්සවයකි.

මෙහි ඇති වැදගත්කම

මෙම දිනය ශිව දෙවියන් සහ පාර්වතී දේවියගේ විවාහය සිදු වූ දිනය ලෙස සැලකේ. එමෙන්ම ශිව දෙවියන් "තාණ්ඩව" නමැති විශ්වීය නර්තනයේ යෙදුණු දිනය ලෙසද විශ්වාස කෙරේ. මෙදින උපවාසයේ යෙදීමෙන් සහ නිදි වැරීමෙන් තමන් කළ පව් දුරු වී මෝක්ෂය (නිවන) කරා ළඟා විය හැකි බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි.

මහ ශිව රාත්‍රිය සංකේතවත් කරන්නේ අවිද්‍යාව (අඳුර) පරදා විද්‍යාව (ආලෝකය) ජය ගැනීමයි. මිනිසා තුළ ඇති ලෝභ, දෝෂ, මෝහ වැනි අකුසල් දුරු කර ප්‍රඥාව ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණකි.

වසරේ අනෙකුත් දිනවලට වඩා මෙදින පෘථිවියේ උත්තර අර්ධගෝලයේ පිහිටීම නිසා මිනිසාගේ ශරීරය තුළ ශක්තිය ඉහළට ගලා යාමේ ස්වභාවික නැඹුරුවක් පවතින බව කියවේ. රාත්‍රිය පුරා නිදි වර්ජිතව කොඳු ඇට පෙළ සෘජුව තබාගෙන සිටීමෙන් ආධ්‍යාත්මික පිබිදීමක් ලැබිය හැකි බව මේ නිසා විශ්වාස කෙරේ.

🌻මෙදින සිදුකරන ප්‍රධාන වත්පිළිවෙත්:

උපවාසයේ යෙදීම: ශරීරය සහ මනස පිරිසිදු කර ගැනීම සඳහා බැතිමතුන් ආහාර ගැනීමෙන් වැළකී සිටිති.

ශිව ලිංගයට පූජා පැවැත්වීම: කිරි, මී පැණි සහ ජලය යොදා ගනිමින් අභිෂේක පූජා පවත්වනු ලබයි.

නිදි වැරීම (විජාගරණය ): රාත්‍රී කාලයේ යාම හතරක් පුරා "ඕම් නමඃ ශිවාය" මන්ත්‍රය ගායනා කරමින් භක්ති ගීත ගායනා කිරීම සිදු කෙරේ.

බිල්ව පත්‍ර පූජා කිරීම : ශිව දෙවියන්ට ප්‍රියතම පත්‍රයක් ලෙස සැලකෙන බෙලි කොළ පූජා කිරීම මෙහිදී විශේෂ වේ.

සිදු කරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර...

රාත්‍රී යාම හතරේ පූජාවන් (චතුර් යාම පූජා)

යාමය අභිෂේක කරන ද්‍රව්‍යය වලින් ලැබෙන ප්‍රතිඵලය...

🕐පළමු යාමය කිරි (Milk) නිරෝගී සම්පත ලැබීම

🕐දෙවන යාමය දී කිරි සෞභාග්‍යය සහ දියුණුව

🕐තෙවන යාමය ගිතෙල් ආත්මික ශක්තිය සහ ප්‍රඥාව

🕐සිව්වන යාමය මී පැණි (Honey) මෝක්ෂය හෙවත් නිදහස ලැබීම

වත්පිළිවෙත් ඉටු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:

පවිත්‍රත්වය: එදින උදෑසනම ස්නානය කර පිරිසිදු ඇඳුමින් සැරසී දවස ආරම්භ කිරීම.

පූජාව ආරම්භ කිරීමට පෙර "මම අද දින උපවාසයේ යෙදී ශිව දෙවියන් උදෙසා වත්පිළිවෙත් ඉටු කරමි" යන්න සිතින් අධිෂ්ඨාන කර ගැනීම.

මහ පංචාක්ෂර මන්ත්‍රය : රාත්‍රිය පුරා "ඕම් නමඃ ශිවාය" (Om Namah Shivaya) යන මන්ත්‍රය සිහිපත් කිරීම හෝ ජප කිරීම ඉතා බලවත් බව සැලකේ.

Thrive Phase 02 - Article පෞද්ගලික අංශය ජය ගැනීමට අවශ්‍ය මෘදු කුසලතා

Thrive Phase 02 - Article 02 - Soft Skills

Thrive Phase 02 - Article 02
පෞද්ගලික අංශය ජය ගැනීමට අවශ්‍ය මෘදු කුසලතා

Soft Skills Image

වර්තමානයේදී පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමත්, එහි දිගුකාලීනව සාර්ථකව රැඳී සිටීමත්, අධ්‍යාපන සුදුසුකම් මතම පමණක් සිදු නොවේ. සේවකයෙකුගේ හැසිරීම, මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය, සහ වෘත්තීය ආකල්පය වැනි කරුණු මත ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වය තීරණය වේ. මේ සියල්ලටම මූලික වනුයේ “මෘදු කුසලතා” ලෙස හඳුන්වන ගුණාංගයන්ය. මේවා තාක්ෂණික දැනුමට අමතරව කෙනෙකුගේ වෘත්තීය ජීවිතය සාර්ථක කිරීමට උපකාරී වන වැදගත් කුසලතා වේ.

සන්නිවේදන කුසලතා පෞද්ගලික අංශයේ අතිශයින් වැදගත් මෘදු කුසලතාවකි. සේවකයෙකුට තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමත්, අනෙකුත් අයගේ අදහස් අවබෝධ කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. කාර්යාල පරිසරයකදී ගනුදෙනුකරුවන්, කණ්ඩායම් සාමාජිකයන්, සහ පාලකයන් සමඟ හොඳ සන්නිවේදනයක් තිබීම වැරදි අවබෝධයන් අවම කරයි. එමෙන්ම, ආයතනයේ කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමටද මෙය උපකාරී වේ.

කණ්ඩායම් ලෙස වැඩ කිරීමේ හැකියාවද පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය කුසලතාවකි. බොහෝ ආයතන කණ්ඩායම් පදනම්ව කාර්යයන් සිදු කරයි. එබැවින් අනෙකුත් අය සමඟ ගෞරවයෙන්, සහයෝගයෙන්, සහ සමාන ආකල්පයකින් කටයුතු කළ හැකි සේවකයෙකු ආයතනයට වටිනා සම්පතක් වේ. කණ්ඩායම් වැඩ කිරීම මඟින් කාර්යක්ෂමතාව වැඩි වන අතර, සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

ගැටලු විසඳීමේ කුසලතාද ඉතා වැදගත් වේ. රැකියා ස්ථානයේ විවිධ අභියෝග සහ ගැටලු හටගනී. එවැනි අවස්ථාවලදී සිතා බලා නිවැරදි තීරණ ගැනීමට සහ විසඳුම් සොයා ගැනීමට හැකි සේවකයෙකු ආයතනයට වැදගත් වේ. විශ්ලේෂණාත්මක සිතීම සහ නිර්මාණශීලී අදහස් මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

කාල කළමනාකරණයද පෞද්ගලික අංශයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කුසලතාවකි. බොහෝ වැඩ කාල සීමා සහිතව සිදු වන නිසා, කාලය නිසි ලෙස සැලසුම් කිරීම ඉතා වැදගත් වේ. ප්‍රමුඛතා තීරණය කරමින්, නියමිත කාලයට කාර්යයන් ඉටු කරන සේවකයෙකු කාර්යක්ෂම හා විශ්වාසනීය පුද්ගලයෙකු ලෙස සැලකේ.

වගකීම සහ වෘත්තීය ආකල්පයන් ද පෞද්ගලික අංශයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍යය. නියමිත කාර්යයන් කාලයට ඉටු කිරීම, ආයතන නීති පිළිපැදීම, සහ වගකීමෙන් කටයුතු කිරීම සේවකයෙකුගේ විශ්වාසනීයත්වය වැඩි කරයි. එමඟින් ඔහුට හෝ ඇයට උසස්වීම් සහ වැඩි අවස්ථා ලැබීමටද ඉඩ සැලසෙයි.

අනුවර්තනය වීමේ හැකියාවද අද පවතින පෞද්ගලික අංශයේ ඉතා වැදගත් වේ. තාක්ෂණය, වෙළඳපොළ, සහ කාර්ය පරිසරය නිතරම වෙනස් වන බැවින්, නව තත්ත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වීමට හැකි සේවකයෙකු වැඩි වටිනාකමක් ලබයි. එවැනි පුද්ගලයෙකු ආයතනයට දිගුකාලීන වශයෙන් ප්‍රයෝජනවත් වේ.

අවසානයේ දී නායකත්ව කුසලතාද පෞද්ගලික අංශයේ ඉදිරියට යාමට උපකාරී වේ. නායකත්වය යනු කණ්ඩායමකට මග පෙන්වීම, උත්සාහය ප්‍රවර්ධනය කිරීම, සහ ඉලක්ක කරා ගෙන යාමයි. නායකත්ව හැකියාව ඇති සේවකයන්ට වැඩි වගකීම් සහ උසස්වීම් ලැබීමට ඉඩ වැඩිය.

එබැවින් පෞද්ගලික අංශය ජය ගැනීමට මෘදු කුසලතා අත්‍යවශ්‍යය. සන්නිවේදනය, කණ්ඩායම් වැඩ, ගැටලු විසඳීම, කාල කළමනාකරණය, වගකීම, අනුවර්තනය, සහ නායකත්වය වැනි කුසලතා සංවර්ධනය කිරීමෙන් පුද්ගලයන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගත හැක.

Saturday, February 14, 2026

❤️ Valentines Day 2026 ❤️

Valentines Day 2026

❤️ Valentines Day 2026 ❤️

Valentines Day 2026

සුබ සෙනෙහෙවන්තයන්ගේ දිනයක් වේවා!

හිත් පුරාම ආදරය දැනෙන
දෙහදක් ආදරයෙන් බැදී
අසීමිත වූ ප්‍රේමයක්
හිත් පුරා විදින්නට....

සෙනෙහෙවන්ත හිත්වල බැදීම් තවත් දලුළන...
සදාකල් ආදරයෙන් බැඳෙන හදවත් හමුවන...
ආදරයේ නාමයට කඳුළක් එක් නොවන...
ආදරණීය වසන්තයක් ම වේවා!!!❤️

අපි හැමෝම දන්න, අපි හැමෝම සමරන,සමරන්න හීන දකින මොකක්ද මේ වැලන්ටයින් දිනය කියන්නේ?

මෙම වැලැන්ටයින් දිනය ලෝක ප්‍රකට දිනයක් වීමට මතකාවර්ජනය කර ගත හැකි පුරාවෘත්තයක් පවතිනවා..ඇයි මේ දවස මෙච්චර විශේෂ වෙන්න හේතුව?

වැලන්ටයින් දිනයේ පුරාවෘත්තය

වැලන්ටයින් දිනයේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසේ රෝම අධිරාජ්‍යය දක්වා දිවයයි. එකල රෝමය පාලනය කළේ දෙවන ක්ලෝඩියස් (Claudius II) නම් අධිරාජ්‍යයායි. ඔහු ඉතා දැඩි පාලකයෙකු වූ අතර නිරන්තරයෙන් යුද්ධ වල නිරත විය.

විවාහ තහනම

ක්ලෝඩියස් අධිරාජ්‍යයා විශ්වාස කළේ විවාහක පුරුෂයන්ට වඩා අවිවාහක තරුණයන් දක්ෂ සොල්දාදුවන් වන බවයි. විවාහ වූ පසු සොල්දාදුවන් තම බිරිඳ සහ දරුවන් ගැන සිතා බිය වන බවත්, යුධ පිටියේදී දුර්වල වන බවත් ඔහු සිතුවේය. මේ නිසා ඔහු තරුණයන්ට විවාහ වීම තහනම් කරමින් නීතියක් පැනවීය.

වැලන්ටයින් පියතුමාගේ කැරැල්ල

මෙම අසාධාරණ නීතිය හමුවේ ප්‍රේමවන්තයන් අසරණ විය. එකල විසූ වැලන්ටයින් නම් පියතුමා මෙම නීතියට එරෙහිව රහසින් ක්‍රියා කළේය. ඔහු රෝමයේ පෙම්වතුන් රහසින් කැඳවා ඔවුන්ට ආශිර්වාද කර රහසිගතව විවාහ කර දීමට කටයුතු කළේය.

මෙම රහසිගත ක්‍රියාව අධිරාජ්‍යයාට සැලවූ අතර, වැලන්ටයින් පියතුමාව සිරගත කර මරණ දඬුවම නියම කරන ලදී. සිරගතව සිටි කාලය තුළ ඔහු සිරගෙයි ආරක්ෂකයාගේ අන්ධ දියණිය සමඟ මිතුරු වූ බවත්, ඔහුගේ ඇදහිල්ල හා ආදරය නිසා ඇයට පෙනීම ලැබුණු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

ඔහු මරණ දඬුවමට නියම වූයේ පෙබරවාරි 14 වන දිනකයි. මිය යාමට පෙර ඔහු ඇය වෙත කෙටි ලිපියක් එවමින් එහි අවසානයට අත්සන් කර තිබුණේ "From your Valentine" (ඔබේ වැලන්ටයින්ගෙන්) යනුවෙනි. අදටත් ලොව පුරා වැලන්ටයින් පණිවිඩ අවසානයට එම පාඨය යොදන්නේ ඒ නිසාය.

මෙම පුරාවෘත්තයෙන් පෙන්වන්නේ ආදරය යනු ඕනෑම තහංචියකට වඩා ප්‍රබල, කැපකිරීම් මත පදනම් වූ උතුම් හැඟීමක් බවයි...

ප්‍රේමනීය සැමරුමක සැබෑ අරුත:

ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක් නොව, එය ජීවිතයට අරුතක් දෙන මහා බලවේගයකි. වර්ෂයේ එක් දිනයක් "වැලන්ටයින් දිනය" ලෙස වෙන් කර තිබුණද, සැබෑ ආදරය යනු දින දර්ශනයේ රතු පැහැයෙන් සලකුණු කළ දිනකට පමණක් සීමා වන්නක් නොවේ.

තරුණ අපට ආදරය යනු සමහර විට හමුවීමක්, සිනහවක් හෝ කෙටි පණිවිඩයක් විය හැකිය. නමුත් එහි ගැඹුරුම අර්ථය සැඟවී ඇත්තේ "අත් නොහැරීම" තුළය.

ආදරය යනු අනෙකාගේ නිදහස සීමා කිරීම නොව, අනෙකාට තමා වීමට ඉඩ හැරීමයි. ගෞරවය, විශ්වාසය සහ කැපකිරීම මත ගොඩනැගෙන බැඳීමක් කිසිදා මැලවී නොයයි.

ඔබේ ලෝකය ලස්සන කරන, ඔබේ හද ගැස්ම හඳුනන ඒ සුවිශේෂී පුද්ගලයාට අද දවසේ පවසන්න; "ඔබ මා අසල සිටීම මගේ ජීවිතයට ශක්තියක්" කියා.

Friday, February 13, 2026

Thrive Phase 02 - Article 01 - වෙනස් වන රැකියා වෙළඳපොළ සහ කලා උපාධිධාරියාගේ භූමිකාව

Thrive Phase 02 - Article 01

Thrive Phase 02 - Article 01 - The Changing Job Market and the Role of the Arts Graduate

Changing Job Market

වෙනස් වන රැකියා වෙළඳපොළ සහ කලා උපාධිධාරියාගේ භූමිකාව

අද ලෝකයේ රැකියා වෙළඳපොළ ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. තාක්ෂණයේ දියුණුව, විශේෂයෙන්ම World Economic Forum වාර්තා කරන පරිදි, කෘතිම බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය සහ ඩිජිටල්කරණය නිසා සම්ප්‍රදායික රැකියා අඩුවෙමින් නව රැකියා අවස්ථා මතුවෙමින් පවතී. මේ වෙනස්කම් අතර කලා උපාධිධාරියාගේ භූමිකාව නව අර්ථයකින් දැක්වේ.

රැකියා වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේදී කලා උපාධිධාරියා පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු වන්නේ බොහෝ විට කලා උපාධිධාරියා හදාරන්නේ සාම්ප්‍රදායික විෂයන් යැයි සම්මතයක් ඇති බැවිනි.නිදසුනක් ලෙස රැකියා වෙළඳපොළහෙහිදී එතරම් තරගකාරීත්වයක් ලබා නොදෙන විෂයන් කලා විෂයන් ලෙස බොහෝ දෙනා හඳුනා ගනී.එලෙසම බොහෝ දෙනා තුළ මතයක් ලෙස පවතින්නේ කලා උපාධිධාරියා යනු රැකියා වෙළඳපොළට තරග කිරීමට තරම් සුදුසුකම් නොවන බොහෝ විට ගිරවෙකු මෙන් කටපාඩම් කර ඉදිරියට යන්නෙකු ලෙසයි.නමුත් සත්‍යය වන්නේ ලොව තුළ කලාව යන්න පැවතිය යුතුයි.රැකියා වෙළඳපොළ සමග ගත් ගත්කල ඉතිහාසය, සිංහල විෂය ආදිය එතරම් වැදගත් බවක් නොපෙන්විය හැක.නමුදු යහපත් මනුෂ්‍යයන් බිහිකිරීම සඳහා කලාව සාහිත්‍ය ආදී විෂයයන් නිසැක වශයෙන් අවශ්‍ය වේ.

මෙහිදී විය යුත්තේ කලා විෂයන් ඉවත් කිරීම හෝ කලා උපාධිධාරියා රැකියා වෙළඳපොළින් ඉවත් කිරීම ද නොවේ .ඔවුන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට අවස්ථා ලබා දීමයි.එලෙස ම මෙහි දී කලා උපාධිධාරියා ද තමා හදාරන විෂයන්ට අමතරව ඉංග්‍රීසි භාෂාව ,තවත් භාෂාවන් ,තොරතුරු තාක්ෂණය ආදිය හැදෑරීමට ද තමාගේ මෘදු කුසලතා ආදී අනෙකුත් කුසලතා වර්ධනය කිරීම ද කළ යුත්තකි.මෙය නිදසුන් කිහිපයක් මගින් පහත පහත දැක්වේ.

1. මෘදු කුසලතා (Soft Skills) වල වැදගත්කම

වර්තමාන රැකියා වෙළඳපොළේ, විෂය දැනුම පමණක් නොව, සන්නිවේදන කුසලතා, විචාරාත්මක චින්තනය, ගැටළු විසඳීමේ හැකියාව සහ නායකත්වය වැනි මෘදු කුසලතා ඉතා වැදගත්ය. කලා උපාධිධාරීන්ට මෙම කුසලතා වර්ධනය කර ගැනීමට විශාල අවස්ථා තිබේ.

2. බහුකාර්යභාවය සහ හැඩගැස්වීම

කලා උපාධියක් හිමි පුද්ගලයෙකුට විවිධ ක්ෂේත්‍රවලට ඇතුළු විය හැක. මාධ්‍ය, රාජ්‍ය සේවය, අධ්‍යාපනය, සංවර්ධන ක්ෂේත්‍රය, මානව සම්පත් කළමනාකරණය, පර්යේෂණ සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) වැනි ක්ෂේත්‍ර වල කලා උපාධිධාරීන්ට විශාල භූමිකාවක් ඇත.

3. ඩිජිටල් දැනුම සමඟ එකතුවීම

වෙනස් වන රැකියා වෙළඳපොළට ගැළපීමට කලා උපාධිධාරීන්ට ඩිජිටල් කුසලතා අත්‍යවශ්‍ය වේ. සමාජ මාධ්‍ය කළමනාකරණය, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණය, දත්ත විශ්ලේෂණයේ මූලික දැනුම වැනි කුසලතා එක් කරගැනීමෙන් ඔවුන්ගේ වටිනාකම ඉහළ යයි.

4. නිර්මාණශීලීත්වය සහ සමාජ සංවේදනය

AI සහ යන්ත්‍ර මඟින් පහසුකම් සපයන ලෝකයක, මනුෂ්‍යීය සංවේදනය, සංස්කෘතික අවබෝධය සහ නිර්මාණශීලීත්වය වැනි ගුණාංග වඩාත්ම වැදගත් වෙයි. කලා උපාධිධාරීන්ට මෙම හැකියාවන් ස්වභාවිකවම වර්ධනය කරගැනීමට හැකියාව තිබේ.

5. ජීවිත කාලීන අධ්‍යාපනය (Lifelong Learning)

අද රැකියා වෙළඳපොළේ ස්ථිර රැකියාවකට වඩා, නව කුසලතා නිරන්තරයෙන් ඉගෙන ගැනීම වැදගත්ය. කලා උපාධිධාරීන්ට පශ්චාත් උපාධි, වෘත්තීය පාඨමාලා, කෙටි කාලීන ඩිප්ලෝමා වැනි මාර්ග ඔස්සේ තමන්ගේ වෘත්තීය මාර්ගය ශක්තිමත් කළ හැක.

අවසාන වශයෙන් ගත් කල කලා උපාධිධරයා යනු සමාජය ඉතා වැඩදායි ලෙස හැසිරිවිය හැකි පුද්ගලයෙකි.මන් ද ඔවුන් හදාරන විෂයන් තුළින් ඔවුන්ගේ සංයමය ඉතා හොඳින් වර්ධනය වේ.මේ හා සමග ම ඔවුන් අනෙකුත් කුසලතා ,භාෂා හැකියාවන්වලින් සන්නද්ධ කළහොත් ඔවුන් සමාජයේ ඉහළ තලයකට යා හැකි පුද්ගලයින් පිරිසක් බවට පත් කළ හැකි වේ

Thrive Phase 02 – Article 01

Tuesday, February 3, 2026

ශ්‍රී ලංකා 78 වන ජාතික නිදහස් දිනය – 2026

ශ්‍රී ලංකා 78 වන නිදහස් දිනය

🇱🇰 ශ්‍රී ලංකා 78 වන ජාතික නිදහස් දිනය – 2026 🇱🇰

Sri Lanka Independence Day 2026

ශ්‍රී ලංකාව වසර 133 ක් පුරා පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදී නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 4 වනදාය. එතැන් පටන් සෑම වසරකම අප අභිමානයෙන් සමරන ජාතික නිදහස් දිනය, 2026 වසරේදී සනිටුහන් වන්නේ 78 වන සැමරුම ලෙසිනි. මෙවර නිදහස් දිනය සමරනු ලබන්නේ රටේ ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් උදෙසා සමස්ත ජාතියම ඒකරාශී වී සිටින තීරණාත්මක කාලවකවානුවක වීම විශේෂත්වයකි.

එහි ඓතිහාසික පසුබිම

ලක්මව විදේශීය ග්‍රහණයෙන් මුදාගැනීම වෙනුවෙන් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩී.එස්. සේනානායක, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ටී.බී. ජායා වැනි විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් නායකයන් කැපවී ක්‍රියා කළහ. ඔවුන්ගේ අරමුණ වූයේ භේදයකින් තොරව පොදු ලාංකීය අනන්‍යතාවයක් ගොඩනැගීමයි. 2026 වසරේදී අප නිදහස සමරන විට, එම අතීත මුතුන් මිත්තන් අපේක්ෂා කළ ඒකීය සහ සාමකාමී ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වගකීම වර්තමාන පරපුර හමුවේ පවතී.

2026 නිදහස් දින තේමාව සහ සැමරුම්

මෙවර නිදහස් උළෙල "ගොඩනගමු ශ්‍රී ලංකා"යන තේමාව පෙරදැරිව කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. රාජ්‍ය නායකයන්ගේ සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවයේදී ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සහ ලාංකීය සංස්කෘතිය විදහා දක්වන නර්තන අංගයන්ට ප්‍රමුඛතාවය හිමිවේ. එසේම, දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් සහ ආගමික වතාවත් සංවිධානය කර ඇත්තේ නිදහසට සැබෑ අර්ථයක් එක් කරමිනි.

වර්තමාන අභියෝග සහ අපේ වගකීම

78 වන නිදහස් දිනය සමරන මොහොතේ අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගැනීමයි. නිදහස යනු හුදෙක් කොඩියක් එසවීමට හෝ උත්සව පැවැත්වීමට පමණක් සීමා වූවක් නොවේ. එය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙමින්, දේශීයත්වය අගයමින් සහ ජාතික සමගිය සුරකිමින් අනාගත පරපුරට යහපත් රටක් දායාද කිරීමේ ක්‍රියාවලියකි. විශේෂයෙන්ම තාරුණ්‍යය නව තාක්ෂණය සමඟ එක්වී ලෝකය දිනීමට උත්සාහ කිරීම දිනක සැබෑ ජයග්‍රහණයයි.

අපට උරුම වූ අයිතිවාසිකමක් මෙන්ම රැකගත යුතු වගකීමකි. 2026 වසරේ මෙම 78 වන නිදහස් සමරුව, ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමට ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව අත්වැල් බැඳගැනීමට ලැබෙන වටිනා අවස්ථාවකි. රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා කැපවීමට මෙවර නිදහස් දිනයේදී අපි සැවොම අධිෂ්ඨාන කර ගනිමු.

🇱🇰 ශ්‍රී ලංකා 78 වන ජාතික නිදහස් දිනය – 2026 🇱🇰

Happy 78th Independence Day Sri Lanka – 2026

78th Independence Day Sri Lanka

Celebrating Sri Lanka’s 78th Independence Day:
A Legacy of Courage and Hope 🇱🇰

Sri Lanka Independence Day

Today, as the nation celebrates the 78th Independence Day, we stand together to honor the spirit of a free Sri Lanka. This milestone is not just a commemoration of our past but a celebration of our sovereignty and the shared journey of a resilient people who have weathered many storms to keep the flame of liberty alive.

Honoring the Past

On this very day in 1948, Sri Lanka broke the chains of British rule, reclaiming its right to be a self-governing nation. We remember with deep gratitude the visionary leaders—from the "Father of the Nation" D.S. Senanayake to the many unsung heroes across the island—who fought tirelessly for our right to self-determination. Their legacy is the democratic foundation and the cultural identity upon which we stand today.

A Test of Resilience

The road since 1948 hasn't always been smooth. Our nation has navigated through decades of internal conflicts, devastating natural disasters like the Tsunami, and significant economic shifts. However, the true story of Sri Lanka is not defined by its struggles, but by the remarkable strength of its citizens who have consistently risen above every challenge with courage and compassion. Even today, amidst modern global complexities, the Sri Lankan spirit remains unbowed and vibrant.

Unity in Diversity

At 78, we recognize that our greatest strength lies in our diversity. Sri Lanka is a beautiful tapestry of different ethnicities, religions, and traditions. True independence is realized when we foster a culture of mutual respect and understanding. Our history has taught us that when we stand divided, we falter, but when we stand united as one Sri Lankan family, we are unstoppable.

Looking Forward

As the Lion Flag flutters proudly in the breeze today, let us go beyond celebrations and make a collective pledge. Let us strive to build a nation where justice, equality, and prosperity are not just ideals, but realities accessible to every citizen. By embracing innovation, sustainable growth, and social harmony, we can ensure that the "Pearl of the Indian Ocean" shines brighter than ever before.

Happy 78th Independence Day, Sri Lanka! May we continue to march forward with peace and unity.

🇱🇰 Happy 78th Independence Day Sri Lanka – 2026 🇱🇰

International Women’s Day - 2026

International Women’s Day - 2026 Celebrating Women’s Strength and Leadership on International Women’s Day International...