Friday, May 29, 2026

වෙසක් පුන් පොහොය 2026

වෙසක් පුන් පොහොය 2026
✦ Vesak Poya Day 2026 ✦

සදහම් අසිරිය

වෙසක් පුන් පොහොය

🪷
වෙසක් පුන් පොහොය 2026

✦ Vesak Full Moon Poya Day 2026 ✦

ලොවට බුදුවරයෙකු පහළ වීම මහත් අසිරියකි. එම අසිරිය විවිධාකාරයෙන් අර්ථ විග්‍රහ කළ හැකිය. මිනිසා මරණය රැගෙන එන්නේ ඉපදීමත් සමගම ය. මරණය අතර මගදී ඇතිවන්නක් නොව, උපතත් සමග සිදුවන්නකි. ඉපදීමෙන් හා මරණයෙන් ගැලවෙන්නේ කෙසේද? මේ පැනයට නිසි පිළිතුරක් දීමටයි, ලොවට බුදුවරයෙකු පහළ වන්නේ.

ජීවිතය යන පදය මතුපිටින් ඉතා සරලාර්ථයක් ගෙන දුන්න ද එයින් ධ්වනිත වන අරුත ගැඹුරු ය. ජීවිතය ගැන විමසා තරණය කිරීමට යථාර්ථවාදී විය යුතුය. එහි අරුත එය යි. මේ තත්වය වටහා දීමට ය, ලොවට බුදුවරයෙකු පහළ වන්නේ, බුදුවරයා යනු සියල්ල දත් තැනැත්තා ය.

තුන්කල්හිම පැවැති පදරැත් සියල් ලොව ඇති ඇතැඹුල සේ දනිති එයින් සම්මා සම්බුදුන යෙති..
— බුදුගුණාලංකාරය —

තුන්කාලයෙහිම, එනම් අතීතය, වර්තමානය, අනාගතය යන කාලවල ලොව ඇති සියලු පදාර්ථ අතෙහි ඇති නෙල්ලි ගෙඩියක් සේ දන්නා බැවින් 'සම්මා සම්බුද්ධ' යැයි කියනු ලැබේ. මේ තත්වය අවබෝධ වන්නේ බුදුවරයෙකුට පමණි.

අමාමෑණී තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, බුදු වීම හා පිරිනිවන් පෑම යන ත්‍රිත්වයම සිදු වූයේ වෙසක් පුන් පොහෝ දා ය. බෞද්ධයන්ට සෙසු පොහොයන්ට වඩා වෙසක් පොහොය සුවිශේෂී වන්නේත් ඒ හේතුව නිසා ය.

සෙසු පොහොයවලට වඩා ජනතාව කෙරෙහි පහන් සංවේගය ඇති වී එය විවිධ අයුරින් සැමරීමට අප පුරුදු වී සිටිමු. වෙසක් තොරණ, ශීල සමාදාන, දන්සල්, වෙසක් නාට්‍ය, වෙසක් භක්ති ගීත, පෙරහර, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සල් උයන් ආදියෙන් 'වෙසක් සමය' නැත් නම් 'වෙසක් පොහොය' සැමරීමට අපි පුරුදු වී සිටිමු.

වෙසක් පුන් පොහොය දිනයේ සිදු වූ වැදගත් සිදුවීම්

බෝසතුන් නියත විවරණ ලැබීම.

බෝසත් උපත - බුදු වීම හා බුදුරදුන්ගේ පිරිනිවන් පෑම සිදු වීම.

බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනය හා සිරිපා සටහන් තැබීම.

විජය කුමරුගේ ලංකාගමනය.

දෙවනපෑතිස් රජුගේ දෙවැනි රාජාභිෂේකය.

ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම.

ජීවිතයට අහිතකර අන්ත දෙකක් බුදුරදුනු බැහැර කළහ. ශරීරයට දැඩි සේ දුක් දීම යන 'අත්ථකිලනතානු යෝගය' බැහැර කළහ. එමෙන්ම ශරීරයට ඉතාම සැප දීමේ 'කාමසුඛල්ලිකානුයෝගය' බැහැර කළහ. මේ අන්ත දෙකම අත්හදා බලා එම මාර්ග නැත්නම් අන්තවලින් ජීවිතයට කිසිදු විමුක්තියක් අත් නොවන බව හෙළි කලහ. බඩ පිටට ඇලෙන තුරු ශරීරයට දුක් දීම නිසරු කාර්‍යයක් බව අපට පෙන්වා දුන්හ. එය අත්දැකීම් වලින් කියා පෑහ.

මේ අන්ත දෙක මුළුමුනින්ම බැහැර කොට මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් සේක. යමක් දැඩි සේ අන්තයට නොගොස් සියල්ල මැදහත් සිතින් සිතා කටයුතු කලයුතු යැයි පැවසූහ. ඒ අනුව මැදුම් පිළිවෙත අපට අතිශය සුවදායක ය. දැඩි සේ අන්තවාදී නොවී දැඩි මතධාරීන් නොවී සියල්ල උපේක්ෂාවෙන් සිතා කටයුතු කිරීමෙන් විමුක්තියක් ඇති වේ ය යන නියතය අපට හැගවී ය. මේ සියල්ලන්ටම පිහිට වන්නේ බුදුසමය යී.

ලොව කිසිදු දෙයක් ස්ථිර නැතැ යි අපට බුදුරදුහු කියා පෑහ. අනිත්‍ය - දුක්ඛ - අනාත්ම යනුවෙන් ත්‍රිලක්ශණ ධර්මයක් හෙළි කළහ. යමෙක් ඉපදුනොත් මිය යයි. යමක් ඇති වුවහොත් එය නැති වෙයි. මෙයයි ලෝක ධර්මතාව. වෙසක් පුන් පොහෝදා බෝ මුල දී සාක්ෂාත් කොට ගත් ධර්මයේ හරය මෙයයි. මේ තිලකුණු අප නිතර මෙනෙහි කල යුතුයි.

ගෞතම බුදුරජාණන්වහන්සේ දීපංකර පාද මූලයේ දී නියත විවරණ ලද්දේ ද වෙසක් පුන් පොහෝ දිනයක යි.

බුද්ධත්වයෙන් අටවැනි වසරේදී බුදුරදුන් මණිඅක්ඛිත නා රජු ගෙන් ඇරියුමින්, කැලණියට වැඩම කලේ ද, අනතුරුව සමනළ ගිරිමුදුනේ සිරිපා සටහන තබන ලද්දේ ද වෙසක් පුන් පොහෝ දිනකයි.

විජය කුමරුන් ලංකාවට පැමිණියේ වෙසක් පුන් පොහොය දිනක ය. සිංහල ජාතියේ ආරම්භකයා ලෙස සැලකෙන විජය කුමරු ඉන්දියාවේ සිට ලංකාවේ දඹකොළ පටුනට පැමිණි බව වංශකතා වල දැක්වේ.

ධර්මාශෝක රජු ගේ නියමයෙන් දෙවනපෑතිස් රජු දෙවෙනි වරටත් අභිෂේක ලද්දේ වෙසක් පුන් පෝදාක බව ලංකා ඉතිහාසයේ සදහන් වේ.

ධර්මභාණ්ඩාගාරික ආනන්ද හිමියන් පිරිනිවන් පෑවේ ද මෙවැනි ම උතුම් වෙසක් පුන් පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයෙන් දැනගත හැකිය.

🪷 🌕 🪷

මෙවන් සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ ජාතික ආගමික වැදගත්කමින් අනූන වෙසක් පොහොය බෞද්ධ ලෝකයාගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම දිනය කි.

වෙසක් පුන් පොහොය 2026

වෙසක් පුන් පොහොය 2026 ✦ Vesak Poya Day 2026 ✦ සදහම් අසිරිය වෙසක් පුන් පොහොය ...