Thursday, January 16, 2025

දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම


 දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම


 වර්තමානය වන විට බාල,  මහලු වයස් බේදයකින් තොරව බොහෝ පුද්ගලයින් දියවැඩියා රෝගයට ගොදුරු වන බව අපට දැක ගත හැකිය. මෙම රෝගී තත්ත්වය සඳහා මූලිකවම බලපානු ලබනුයේ, ඉන්සියුලින් හෝමෝනයයි.


ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. ඒ අනුව, දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ. මෙය වළක්වාලීමට පලා වර්ග මහෝපකාරී වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.


ඒ අනුව ගොටුකොළ, මුගුණුවැන්න, කන්කුන්, සාරණ, නිවිති, තම්පලා, අගුණ කොළ සහ තෙඹු යනාදි සියලුම පලා වර්ග දියාවැඩියා රෝගයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.


ඉහත සඳහන් කළ පරිදි, ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කිරීම සඳහා පලා වර්ග උපකාරී වේ. මීට අමතරව සජලනය වැනි තත්ත්වයන් අවම කරමින් දියවැඩියාව සමඟ සටන් කිරීමට පලා වර්ග වැදගත් වේ. නිදසුන් ලෙස, නිවිති, සාරණ සහ සලාද කොළ පෙන්වා දිය හැකිය.


කොළ පැහැති පලා වර්ගවල අධික තන්තු ප්‍රමාණයක් අන්තර්ගත වේ. බොහෝ විට මේවා ආහාරමය තන්තු වේ. මෙම තන්තු මඟින් රුධිර ප්‍රවාහයේ ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී කරයි. එමෙන්ම ස්ථාවර රුධිර මට්ටම ප්‍රවර්ධනය කරයි. මෙනිසා බර කළමනාකරණය වීමක් ද සිදු වේ.


මේ අතරින් දියවැඩියා රෝගය සඳහා සුදුසුම පලා වර්ගයක් ලෙස තෙඹු හඳුනාගත හැකිය. තෙඹු කොළ වල ඉහළ තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට එය සමත් වන බව පෙනී යයි.


ගොටුකොළ, මුගුණුවැන්න, පොතුපලා, කන්කුන් වැනි පලා වර්ගවල විටමින් C, විටමින් K සහ පොටැසියම් වැනි ඛනිජ වර්ග බහුලව අන්තර්ගත වේ. එබැවින් දියවැඩියා රෝගයට මෙම පලා වර්ග අනුභවය තවත් යෝග්‍ය වේ.


මීට අමතරව පලා වර්ගවල ප්‍රතිඔක්සිකාරක ගුණයක් බහුලව පැවතීම ද දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කිරීමට උපකාරී වේ. 


මේ අනුව පෙනී යනුයේ, දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පලා වර්ග මහෝපකාරී වන බවයි.

Tuesday, January 14, 2025

දියවැඩියා රෝගය පාලනයට ව්‍යායාම උපකාර වන ආකාරය


 දියවැඩියා රෝගය පාලනයට ව්‍යායාම උපකාර වන ආකාරය .


දියවැඩියාව පාලනයට සහ වලක්වා ගැනීමට ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගතකිරීමට ව්‍යායාම අතිශය වැදගත් වේ. එය

දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම  පාලනය කිරීමෙහිලා මෙන්ම රුධිරයේ සීනි හා මේද අම්ල සඳහා යහපත් බලපෑමක් ඇති කරයි.

ව්‍යායාම සිරුරේ ශක්තිය දහනය කිරීමටත්, බර පාලනය කිරීමටත් උපකාරීවේ. එමගින් මානසික ආතතිය අඩු කර ගැනීම දියවැඩියා රෝගය පාලනයට පිටුවහලක් වේ. එපමනක්ද නොව ප්‍රබෝධවත් හැඟීමක් පවත්වාගෙන යාමටද ව්‍යායාම ඉවහල් වන බව කිව යුතුය.


මීට අමතරව දිනපතා සිදු කරන ව්‍යායාම මඟින් සිරුර, ඉන්සියුලින් සඳහා දක්වන සංවේදීතාව වැඩි කරයි. එමෙන්ම දියවැඩියා ඖෂධ හා ඉන්සියුලින් වඩාත් ප්‍රතිඵලදායී වීම සඳහාද වැදගත් වේ.තවද ව්‍යායාම තුලින් රුධිරය සිරුරේ ගමන් කිරීම ක්‍රමවත් කරයි.


ව්‍යායාම මඟින් දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාව අඩු කරයි. පාරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය දවාලීමට සුදුසු ලෙස කායික ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ව්‍යායාම කිරීම වැදගත්. සිරුරට ලබාගන්නා ආහාර සීනි හා මේදය ලෙසින් සිරුරේ මාංශ පේශීවල තැන්පත් වේ. ව්‍යායාම කිරීමේදී එම අනවශ්‍ය මේදය දහනය කරන අතර රුධිරියේ පවතින සීනි වලින් යළි අවශ්‍ය ශක්ති ප්‍රමාණය සිරුරට අවශෝෂණය කර ගැනීම නිසා ස්වයංක්‍රීයව රුධිරයේ සීනි මට්ටම පාලනය සිදු වේ.

        සතියකදී වැඩි දින ගණනක්, අවම වශයෙන් මිනිත්තු 30 ක්  ව්‍යයාමයන්හි නිරත වීම වඩාත් ඵලදායී වේ.


ඒ අනුව නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යායාම වැදගත් සාධකයක් වේ.


Monday, January 13, 2025

තෛපෝංගල් දිනය

තෛපෝංගල් දිනය  


      අද 2025 ජනවාරි මස 14 වෙනිදා ය. තෛපෝංගල් දිනය අපට මෙතරම් සුවිශේෂී වන්නේ ඇයි?         

මෙය යුරෝපයේ සහ දකුණු ආසියාවේ විශාලතම සංස්කෘතික හා ආර්ථික උත්සවයක් සේ සැලකේ.දමිළ ගොවියන් නමින් ලබා ගත් අස්වැන්නෙන්,  කොටසක් අස්වැන්න ලබා ගැනීමට උපකාර කල සූර්‍යයාට,වර්ශාවට සහ ගවයින් සදහා පූජා කිරීම තෛපෝංගල් දින සිදු කරයි.මෙම දිනය අපට විශේෂ වන්නේ පරම්පරානුකූල,සාමකාමී සහ පවුලේ සාමාජිකයන් සම්බන්ධීකරණය කිරීම,ආගමික සහ සමාජ ක්‍රියාවලීන් තුල සාමය,ගෞරවය හා සමෘද්ධිය සැලැස්වීම අරමුණු කොට ගැනීමයි.        


  තෛපෝංගල් උත්සවය, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවයයි.ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා සහ හින්දු නොවන ජාතීනුත් තෛපෝංගල් උත්සවය සමරයි.                                      *එදිනට* *දමිළ* *ජනතාව*


🟣 මැටි කළයක   කිරි ඉතිරවීම.   


🟣ගේ දොරකඩ කෝලම් රටා දැමීම.  


🟣විවිධ රසකැවිලි වර්ග පිළියෙල කිරීම.  


🟣තම ගවයා නහවා,සරසවා විශේෂ සැලකිලි දැක්වීම.    

 යනාදි කාර්‍යයන් හි නිරත වේ.


✨ලොව වටා බොහෝ රටවල ජනයා විසින් වසන්ත සෘතුවේ දී හින්දු තෛපෝංගල් උත්සවයට සමාන උත්සවයක් ද සමරනු ලැබේ.මෙය සමරනු ලබන්නේ ඉරු දෙවි,මහී කාන්තාව(පොළොව),වැසි දෙවි සහ අස්වනු නෙලා ගැනීමට උපකාරී වූ ගවයන් සදහා ස්තූති කිරීම,කෘතඥ වීම සදහා වේ.  


🔵   පෝංගු යනු පිරී ඉතිරී යෑම වැනි තේරුමක් දෙන වදනකි.පෝංගල් බත් ඔවුන්ගේ ප්‍රධානම උත්සව ආහාරය යි.එය හකුරු,ගිතෙල්,කිරි,මුද්දරස්පලම් ආදී දේ යොදා පිසින පැණිරස බතකි.      


🔵   මෙම උළෙල      පැවැත්වෙන්නේ 'තායි'  මාසයේ  (දමිළ දින දර්ශනයේ   දහවන මාසය) පළමු දිනයේදී ය.සූර්‍යයාගේ උතුරු දෙසට   ගමන් කිරීම 'උත්තරායන' ලෙස හැදින්වේ.මෙම    උත්තරායනය ඇරඹෙන්නේ තෛපෝංගල් දිනයෙනි.  


🔵 පෝංගල් උත්සවයේ ආරම්භය සනිටුහන් කිරීම සදහා නව මැටි බදුනක පෝංගල් පිසීම සිදු කරයි.මුට්ටිය උතුරා යන විට ඒ වටා රැස්ව සිටින්නෝ 'පෝංගල් පෝංගල්'!!! කියති.සිංහලයන් කිරි උතුරවන්නා සේ කිරිබත උතුරා ගැලීම සුබ ලකුණක් බව ඔවුන් සලකයි.      

                                    *පෝංගල්* *උත්සවය* *දින* *කිහිපයක්* *පුරා* *සමරනු* *ලැබේ* .   


🔘 *භෝගි* *පෝංගල්* - මෙය තෛපෝංගල් උත්සවයේ පළමු දවස වේ.නිවාස පිරිසුදු කිරීම,සුද්ද පවිත්‍ර කිරීම,කෙසෙල්,අඹ අතු,මල් මාලා සවිකර උත්සවය සදහා සූදානම් වීම මෙම දිනය තුළ සිදු කරයි.මෙදින ඉන්ද්‍ර දෙවියන්ට පූජා පැවැත්වීම ද සිදු කෙරේ.භෝගී පෝංගල් පරණ අවුරුද්දේ අවසාන දිනයයි. 


🔘 *සූර්‍ය* *පෝංගල්* - ජනවාරි 14 දින.මෙදින උදෑසනින්ම කාන්තාවන් නිවස ඉදිරිපිට අතුගා පිරිසිදු කොට කෝලම් අදියි.කෝලම් රටා ඇදීමේදී බොහෝ විට ඔවුන් හාල් පිටි භාවිතා කරන්නේ,ඒවා කුහුඹුවන් වැනි සතුන් හට ආහාර වීමට ය.එය මෙම උත්සවය සොබා දහම හා බද්ධ වී ඇති ආකාරය මැනවින් කියා පායි.එසේම මෙදින උදෑසන ස්නානය කොට පිරිසිදු වී අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී පෝංගල් බත් පිසීම ද ප්‍රධාන වේ.මෙය සිදු කරන්නේ නිවසින් පිට අලුත් ලිපක් බැද වීම සුවිශේෂී වේ. එම බත පිසූ පසු එහි මුල්ම කොටස ඉරු දෙවියන්ට,ඉන්ද්‍ර දෙවියන්ට සහ උපේන්ද්‍ර දෙවියන්ට පූජා කරනු ලබයි.ඒ සදහා උළුදු වඩේ ද වෙනස් රසකැවිලි ද පූජා කරයි. 


🔘 *මාට්ටු* *පෝංගල්* - මාට්ටු පෝංගල් සමරනු ලබන්නේ තෛපෝංගල් දිනයට පසු දා වේ.තම අස්වැන්න ලබා ගැනීමට උපකාරී වූ ගවයන් සදහා කෘතගුණ සැලකීම මෙදින සිදු කරයි.මෙම සතුන්ව නහවා පිරිසිදු කොට,මල්මාලා වලින්,අලංකාර කොට,කහවතුර ගල්වා,කුංකුම ආලේප කිරීම සිදු  කෙරේ.මෙදින ඇතැම් ගැමියන් පොල් අත්තකින් හුලු අත්තක් පත්තු කර ගවයා වටා ගෙනගොස්,ඉන්පසු එය රැගෙන ගමේ කොණකට දිව ගොස් හුලු අත්ත අතහරියි.මෙය ගවයින්ට ඇති ඇස්වහ සහ අමනුශ්‍ය බැල්ම සමනය කිරීම සිදු කරනු ලැබේ. 


🔘 *කානුම්* *පෝංගල්* -  මෙය තෛපෝංගල් උත්සවයේ අවසාන දිනය යි.මෙදින වෙන් වී ඇත්තේ නෑ ගම් යෑම,නෑ හිතමිතුරන් සමග තෑගී බෝග හුවමාරු කරගැනීම සදහා වේ.      තෛපෝංගල් උත්සවයේ   ප්‍රධානතම අරමුණ වන්නේ,අලුත් සහලින් දෙවියන් පිදීමයි.සිංහල අවුරුද්දට සමාන වන මෙය අවුරුදු 2000 ක ඉතිහාසයක් ඇති මෙම උත්සවය ලොව පුරා එක හා සමානව සමරනු ලැබේ.          

                       ඉන්දියාව,සිංගප්පූරුව,කැනඩාව,ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව වැනි දමිළ ජනයා වැඩියෙන් වෙසෙන රටවල මෙය ජනප්‍රිය වේ.එනමුත් තෛපෝංගල් සැමැරුම ඉහළින්ම සිදුවන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය. 


ගොවිතැන වටා බැදුනු සංස්කෘතියත්,සශ්‍රීකත්වය සමරන ආකරයත් පිළිබඳව අපට අනුමානයක් ලබා ගැනීමට හැකි වනු ඇත.එසේම එවැනි සංස්කෘතීන් සමග ජනයා සොබා දහම හා බැදී ඇති ආකාරය අපට සිතුවමක් සේ ගම්‍ය වේ.

 

Sunday, January 12, 2025

දුරුතු පුන් පොහොය දිනය


අද අභිනව වර්ශ 2025 දුරුතු මස 13 වෙනිදා ය.දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොය යි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විශය වන පරිසරය සැකසීම අනුව ය.වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට,නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේද යන්න සම්බන්ධව ද මෙනෙහි කළ යුතු හොද ම කඩඉමකි.

දුරුතු පුන් පොහෝ දිනයේ වැදගත් සිදු වීම් මෙසේ පෙළගැස්විය හැකිය.

(1). තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උකහාගත් මහා ප්‍රඥාව සියලු සත්ත්වයාට දේශනා කිරීමට මුල් පියවර තැබීම .මෙය දුරුතු පුන් පොහොය දින වැදගත් වන ප්‍රධානම සාධකයකි.තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උකහාගත් මහා ප්‍රඥාව නැත් නම්,දුකේ වෙළී-පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවාගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝ දා බැවිනි. 

 (2). තුන් බෑ  ජටිලයන් හා දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කිරීම .බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන් බෑ ජටිලයන් වන,උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරන ලද්දේ දුරුතු  පොහෝ දා ය.

 (3). බුදුරදුන්ගේ  ප්‍රථම ලංකාගමනය බුදුරදුන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා ගමන් නැත් නම් ලක්දිවට වැඩමවීම සිදු වූයේ ද මේ පුන් පොහෝ දා ය .මහියංගණයට වැඩමකොට යක්ශ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.

(4). බුදුරදුන්ගේ කේශ ධාතු මහියංගණ දාගැබේ තැන්පත් කිරීම .බුදුරදුන්ගේ කේශධාතු තැන්පත් කොට ඇත්තේ මහියංගණයේ ය. සුමන සමන් දෙවියන් විසින් මහියංගණ දාගැබ ඉදිකොට,එහි බුදුරදුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියෙකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේ මහියංගණ දාගැබ යි.                                මහීන්+අංගණ - 'මහියංගණය' විය.මිනිසාට ශාන්තිය උදා කරන 'තැන්න' නැත් නම් 'ආලිංගණය' වූ නිසා මහියංගණය නම් විය. දුරුතු පොහෝ දා අපට ලැබුණු අති උත්තම දායාදයකි. ඒ අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමාජයේ පෙර නොවූ විරූ පෙරැළියක් විය.ඒ විතරක් නොව , තවත් සිදුවීම් රැසක් මෙයට හේතු කාරණා වී ඇත .ඒවා මේ ආකාරයට පෙළ ගැස්විය හැකිය..

♦️මානව සමාජය විවිධ ආකල්පවල එල්බගෙන්  සිටි හෙයින් 'නිසි මාර්ගය' නැත් නම් 'විමුක්ති මාර්ගය' කුමක්ද යන්න සොයාගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ.මිනිසා ගස්වලට වන්දනය කළේ ය. තවත් පිරිසක් ගල්වලට වැදුම් පිදුම් කළහ.ඇතැමෙක් හිරුට වන්දනය කළහ. එයින් නොනැවතුණු සමහරු අනංගයාට වැදුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියා ය. ආදරයට අධිපති අනංගයාට වැදුම් පිදුම් කළහොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ. එසේම ඇතැම්හු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. චෞරනාග,මහානාග,වීරනාග,ඉලනාග ආදී නම් එයට හොදම නිදසුන් ය.                             මෙවන් පරිසරයක සිටි ජනකායකට බුදුරදුන් ලක්දිවට වැඩම කොට,එම අදුරු වලා පටලයෙන් නැත්නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමගට ගන්නට දැරූ තැන ද ඉතා ප්‍රශංසනීය ය.  

♦️ ඉන් අනතුරුව උගත් සග පරපුරක් බිහි වී  මහා කැලෑ එළි පෙහිළි වී ,ගල්ලෙන්වලට වී සගරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පෝය දා ය. එයට පසුබිම සැකසුණේ ද මෙදා ය.  

♦️යතිවරුන් බුදුරදුන්ගේ පවත්නා අනන්ත වූ ගුණ සමුදායෙන් අංශුවක් නැත් නම් කණිකාවක් හෙළි කිරීමට

 අමාවතුර 

බුත්සරණ සද්ධර්මරත්නාවලිය

සද්ධර්මාලංකාරය

පූජාවලිය 

දහම් සරණ

සග සරණ බදු ග්‍රන්ථ වලින් හෙළි කෙළේ බුදුගුණය යි. ඒ බුදුගුණ ජනකායට අසන්නට සැලසීම මහා පුණ්‍ය කර්මයකි. 

♦️බෞද්ධ ග්‍රන්ථ වලින් නොනැවතුණු එදා සමාජය ගලට ද ජීවයක් කැවීමට උත්සුක් වූහ. හැඩිදැඩි ගලට ජීවයක් කැවීමට යාමේ සාධක ලෙස බුදු පිළිම,සදකඩපහණ, මුරගල,කොරවක්ගල ආදී කැටයම් හැදින්විය හැකි ය.

බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මගින් කෙළේත් බුදු මහිමය කියාපෑමය.අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදුගුණ යි. බුද්ධ චරිතය යි.බුද්ධ ධර්මය යි.මේ දක්වා පැමිණි ගමන් මගට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොය යි.දුර ගමනක් යන්නට ඇති හෙයින් ද, දුර බලන්නට හැකි සන්ධිස්ථානයක් ලෙස ද දුරැත්ත මෙසේ දිග හැරිය හැක.

Leo Methasha Pasindi

දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග


 දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග


බෝනොවන රෝග අතරින් ඉදිරියෙන්ම සිටින දියවැඩියාව අද වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ලංකාවේ වෙසෙන ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව රෝගයෙන් පෙළෙති. එම සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන්නේ නිවැරදි ජීවන පුරුදුවලින් ජනයා බොහෝදුරට ඈත්වෙමින් පවතින පසුබිමක් තුළය.  විශේෂයෙන්ම අද වන විට අප හුරුවී සිටින ආහාර රටාව නිසාද දියවැඩියා රෝගීන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එනිසා මෙම ලිපිය හරහා දියවැඩියා රෝගීන්ට සුදුසුම් හා නුසුදුසු ආහාර වර්ග පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ. 

පිෂ්ඨය, ප්‍රෝටීන, මේද, ඛනිජ ලවණ හා විටමින් අඩංගු සමබල ආහාර වේලක් ලබා ගැනීම සෑම රෝගයකටම ගුණදායක වේ. මෙහිදී ආහාර පිරමීඩයට අනුව ආහාර ප්‍රමාණ  සකසා ගැනීමට අවධානය යොමු කළ යුතු අතර එහිදී ප්‍රධාන අංගය  වන පිෂ්ඨය දියවැඩියා රෝගීන් ලබා ගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාර වලිනි. නැතිනම් පිෂ්ඨය අධික වී රුධිර ගත සීනි මට්ටම තවත් ඉහළයා හැකිය.  නමුත් කෙඳි වැඩි ප්‍රමාණයක් තිබෙන විට ආහාරයේ ඇති පිටි අවශෝෂණය ප්‍රමාද වන අතර කුසගින්න දැනීමද ප්‍රමාද කරයි. මෙහිදී කෙඳි බහුල ආහාර ලෙස නිවුඩු සහල්, කුරක්කන්, උළුඳුපිටි, මුං ඇට, කඩල ආදිය දැක්විය හැකිය. 


දියවැඩියා රෝගීන් ලබාගන්නා පිෂ්ඨ  ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු අතර සෑම දිනකම එකම ප්‍රමාණයක් ගත යුතුය. එක් ආහාර වේලකට අධික පිටි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය. 

මේදය  ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම භේද වර්ගය ගැනද සැලකිලිමත් විය යුතුය.  සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් සුදුසු නැත.  පොල්තෙල් සුදුසු නමුත් භාවිතයට ගත යුත්තේ අවම වශයෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස් යොදය සහිත කිරි, බටර් වල ඇති තෙල් සුදුසු නොවේ.  


ප්‍රෝටීන් ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල,  කව්පි , පරිප්පු, මාළු, සම ඉවත් කළ කුකුළු මස් වලින් ප්‍රෝටීන සපයා ගත හැකිය. කුඩා මාළු වර්ග ඉතා ගුණදායකය. මුගුණුවැන්න, ගොටුකොළ, තම්පලා, නිවිති,  කංකුං කතුරුමුරුංගා ආදී සියලුම පලා වර්ග ගුණදායකය.  බෝංචි, මෑකරල්  දඹල, වම්බටු,  එලබටු, තක්කාලි, ගෝවා, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා ආදී පිෂ්ඨය අඩු එළවළු වර්ග ගුණදායකය.

අතුරුපස ලෙස පළතුරු වර්ග හා සීනි රහිතව මුදවන ලද කිරි ආහාරයට ගත හැකිය. පුඩින් වර්ග, චොක්ලට්, ටොෆි, වටලපන්, අයිස් ක්‍රීම්, කේක්, රස කැවිලි,  තලගුලි, ජෙලිවර්ග, පැණිබීම, තැඹිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට් වර්ග ආදිය නුසුදුසුය. ක්ෂණික ආහාර වර්ග භාවිතය අවම කළ යුතුය. 


දියවැඩියා රෝගය ආහාර මගින් පාලනය කර ගැනීමට දෛනිකව ලබා ගන්නා ආහාර බඳුනේ හතරෙන් එකක් බත් ද , හතරෙන් එකක් එලවළුද , හතරෙන් එකක් පලා වර්ගද, ඉතිරි හතරෙන් එක ප්‍රෝටීන සහිත ආහාර වර්ගද වශයෙන් කොටස් කර ආහාර ගැනීම වැදගත් වේ.

Saturday, January 11, 2025

දියවැඩියා රෝගයේ ප්‍රතිඵල


 *දියවැඩියා රෝගය යනු, රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම අධිකව තිබීම නිසා සිදුවන දිගුකාලීන රෝගයක් වන අතර, එය ප්‍රධාන වශයෙන් *ඉන්සුලින්* හෝ *ඉන්සුලින් කාර්යය* සමඟ සම්බන්ධිත ගැටලු මත සිදුවේ. දියවැඩියා රෝගය තුළ ඇති ප්‍රතිඵල හෝ  අවපීඩනයන්ට මුලින්ම  ප්‍රතිකාර නොකළොත් ඇතිවන ගැටලු පහත පරිදි වේ:


1. *අධික රුධිර සීනි මට්ටම (Hyperglycemia)*

   - දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීම.

   - මෙම තත්වය නිසා ශරීරයේ පරිණාම ක්‍රියාවලියන් බලපායි.


   *2.ඇසේ කාච වල හානි සිදු වේ* 

-ඇසේ කාචවල හානි සිදු වීම සිදු වේ.එම නිසා ඇස් පෙනිමේ දුර්වලතා ඇති විය හැක.

-අධික ලෙස සිනී මට්ටම ඉහල යාම නිසා රුධිර නාලිකා වලට හානි වීම සහ විකෘති වීම සිදු වේ.

-දිගු කාලිනව මෙම රෝගය පැවතිම දෘශ්‍ය මට්ටම අඩු වීම හා සම්පුර්ණයෙන්ම නැති වීමට හේතු වේ.

   

 *3. හෘද රෝග සහ හෘද වාහිනි ආබාධ* 

   - දියවැඩියා හෘද රෝග හා ස්වයංක්‍රීය රුධිර නාලිකා වර්ධනය හා හෘද රෝග ඇතිවීමට හේතු වේ.

   - රුධිර පීඩන වැඩිවීම (Hypertension) සහ රුධිර මට්ටම වැඩිවීම (Hyperlipidemia) හෘදයාබාධ  වැනි තත්වයන් ඇති කරයි.

   

4. *ස්නායු ව්‍යථ වීම* 

   - දියවැඩියා නිසා සංවේදී ස්ථාන හා මනෝභාව පීඩනයට පත්වීම.

   - අඩු සංවේදීතාවය අත්, පාද හා ඇස්වලට බලපායි .

   -  ශක්තිය අඩු වීම, ස්නායු දුර්වල වීම  අහිතකර අත්දැකීම් ඇතිවීමට හේතු වේ.

   

5. *පාද ආසාදනයන්*

 -දියවැඩියා රෝගීන්ගේ පාදවල සංවේදීතාවය අඩු වීම නිසා  ආසාදන ඇතිවීම.

   - මෙම ආසාදන සජීවීතා අඩු කිරීම හා අසනීප තත්වයන් ඇති කළ හැක.

   

6. *වකුගඩු වලට හානි වීම* 

   - දියවැඩියා රෝගය වකුගඩු (kidney) ආසාදනය ඇති වීමට  හේතු වේ.

   - සීනි මට්ටම වැඩිවීම නිසා, ටිකෙන් ටික වකුගඩු  ක්ෂය වීමේ අවදානමක් ඇත.

   

7. *සමහර විට, මාරාන්තික රෝග (Cancer)*

   - දියවැඩියා රෝගය ස්ත්‍රී හා පුරුෂ ලිංග ආශිතව රෝග වර්ධනය කිරීමට හේතු වීම.

-දිගු කාලිනව දියවැඩියා රෝගය පැවතිම පිළිකා රෝගයට ද හේතු වේ.

   

8. *හෝමෝන හා සිරුරේ විකෘතිය* 

   - දියවැඩියා රෝගය ඉන්සුලින්  ප්‍රතිචාරය වෙනස් කිරීමෙන්, හෝමෝන වලට අවශ්‍ය කාර්යයන් අඩු වීම.

   

    දියවැඩියා රෝගය හොඳින් පාලනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, ආහාර පාලනය  අවශ්‍ය වේ.දියවැඩියා රෝගය යනු, ජීවිතයේ දිගු කාලීන ගැටලු සහ අනතුරුදායක ප්‍රතිඵල ඇති කරවන රෝගයකි. එම නිසා රෝගීන්ට ඉතා වැදගත් වනුයේ සීනි මට්ටම පාලනය කිරීම, පෝෂණ යෝජනා හා ව්‍යායාම ප්‍රතිකාර මගින් අදාළ ප්‍රතිඵල වලින් වැලැක්වීමයි.


 *Article by - Kavindya indumini*

Thursday, January 9, 2025

පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)


 පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)


පළමු වර්ගයේ දියවැඩියාව, ඉන්සියුලින් මත යැපෙන දියවැඩියාව ලෙස හැඳින්වේ, මෙය නිදන්ගත තත්වයකි. මෙම තත්වය තුළ අග්න්‍යාශය ඉන්සියුලින් නිපදවීමක් සිදු නොකරයි. ඉන්සියුලින් යනු ශක්තිය නිපදවීමට සෛල තුළට සීනි (ග්ලූකෝස්) ඇතුළු කිරීමට ශරීරය භාවිතා කරන හෝමෝනයකි. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් 5%ක් පමණ පළමු වර්ගයේ දියවැඩියාවට ගොදුරු වූවන් බව සෞඛ්‍ය සංවිධාන පෙන්වා දෙයි.


ප්‍රවේණි විද්‍යාව සහ සමහර වෛරස් වැනි විවිධ සාධක 1 වර්ගයේ දියවැඩියාවට හේතු විය හැක. පළමු වර්ගයේ දියවැඩියාව සාමාන්‍යයෙන් ළමා වියේදී හෝ නව යොවුන් වියේදී ඇති වුවද, එය වැඩිහිටියන් තුළ වර්ධනය විය හැක. මෙයට වයස් සීමාවක් නොමැත


රෝග ලක්ෂණ:


🩸වෙනදාට වඩා පිපාසය දැනීම.

🩸වැඩිපුර මුත්‍රා පිටවෙයි.

🩸රාත්‍රියේදී කිසි දිනක ඇඳ තෙත් නොකළ දරුවන් ඇඳ තෙත් කිරීම.

🩸නිතර නිතර බඩගිනි දැනේ.

🩸උත්සාහයකින් තොරව බර අඩු වී යයි.

🩸නිතර කෝපය ඇති වීම

🩸තෙහෙට්ටුව සහ දුර්වල බවක් දැනේ


නියමිත පරිදි රෝගය හදුනාගත් විට


📌පළමු වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට දිගු, නිරෝගී ජීවිතයක් ගත කළ හැකිය. 

📌ඔබ ඔබේ රුධිරයේ සීනි මට්ටම පිළිබඳව හොදින් නිරීක්ෂණය කළ යුතුය. 

📌ඔබේ වෛද්‍යවරයා ඔබට රුධිරගත ග්ලූකෝස් මට්ටම තිබිය යුතු සංඛ්‍යා තිබිය යුතු පරාසයක් ලබා දෙනු ඇත. 

📌ඔබේ ඉන්සියුලින්, ආහාර සහ ක්‍රියාකාරකම් අවශ්‍ය පරිදි සකස් කරන්න.


📌පළමු වර්ගයේ දියවැඩියාව ඇති සෑම කෙනෙකුම ඔවුන්ගේ රුධිරයේ සීනි පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත් භාවිතා කළ යුතුය.


පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයම ලබාදීමට සිදුවේ

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...