Thursday, January 16, 2025

දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම


 දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම


 වර්තමානය වන විට බාල,  මහලු වයස් බේදයකින් තොරව බොහෝ පුද්ගලයින් දියවැඩියා රෝගයට ගොදුරු වන බව අපට දැක ගත හැකිය. මෙම රෝගී තත්ත්වය සඳහා මූලිකවම බලපානු ලබනුයේ, ඉන්සියුලින් හෝමෝනයයි.


ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. ඒ අනුව, දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ. මෙය වළක්වාලීමට පලා වර්ග මහෝපකාරී වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.


ඒ අනුව ගොටුකොළ, මුගුණුවැන්න, කන්කුන්, සාරණ, නිවිති, තම්පලා, අගුණ කොළ සහ තෙඹු යනාදි සියලුම පලා වර්ග දියාවැඩියා රෝගයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.


ඉහත සඳහන් කළ පරිදි, ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කිරීම සඳහා පලා වර්ග උපකාරී වේ. මීට අමතරව සජලනය වැනි තත්ත්වයන් අවම කරමින් දියවැඩියාව සමඟ සටන් කිරීමට පලා වර්ග වැදගත් වේ. නිදසුන් ලෙස, නිවිති, සාරණ සහ සලාද කොළ පෙන්වා දිය හැකිය.


කොළ පැහැති පලා වර්ගවල අධික තන්තු ප්‍රමාණයක් අන්තර්ගත වේ. බොහෝ විට මේවා ආහාරමය තන්තු වේ. මෙම තන්තු මඟින් රුධිර ප්‍රවාහයේ ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී කරයි. එමෙන්ම ස්ථාවර රුධිර මට්ටම ප්‍රවර්ධනය කරයි. මෙනිසා බර කළමනාකරණය වීමක් ද සිදු වේ.


මේ අතරින් දියවැඩියා රෝගය සඳහා සුදුසුම පලා වර්ගයක් ලෙස තෙඹු හඳුනාගත හැකිය. තෙඹු කොළ වල ඉහළ තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට එය සමත් වන බව පෙනී යයි.


ගොටුකොළ, මුගුණුවැන්න, පොතුපලා, කන්කුන් වැනි පලා වර්ගවල විටමින් C, විටමින් K සහ පොටැසියම් වැනි ඛනිජ වර්ග බහුලව අන්තර්ගත වේ. එබැවින් දියවැඩියා රෝගයට මෙම පලා වර්ග අනුභවය තවත් යෝග්‍ය වේ.


මීට අමතරව පලා වර්ගවල ප්‍රතිඔක්සිකාරක ගුණයක් බහුලව පැවතීම ද දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කිරීමට උපකාරී වේ. 


මේ අනුව පෙනී යනුයේ, දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පලා වර්ග මහෝපකාරී වන බවයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...