Tuesday, May 2, 2023

 සාමයේ කුමරුන් ලොවට දායාද කළ නත්තලේ සැබෑ අරුත 


     නත්තල වූ කලි ජේසු බිලිදාගේ උපත සිහිපත් කරමින් සමරන භක්තිය උතුරා යන, නැති බැරි අයට ඇති හැකි අය විසින් උදව් උපකාර කෙරෙන අවස්ථාවකි.ගව ලෙනක උපත ලබා ලෝක සත්ත්වයාට විමුක්තිය ලබාදීමට සිය ජීවිත කාලය ඇප කැප කළ උන් වහන්සේ මිනිස් වර්ගයා වෙනුවෙන්ම සිය ජීවිතය පුද කළ අයෙකි.එබැවින් අද රට පුරා සෑම දෙව් මැදුරක ම ගැයෙන බැතී ගී වල  සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබ මොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැයි  නාද වනු ඇත.

      නත්තලේ සැබෑ අරුත වන්නේ එකිනෙකා තුළ සාමය සහෝදරත්වය හා ආදරය පැතිරවීම සහ බෙදා ගැනීමයි.එහෙත් වත්මන් සමාජය නත්තලේ සැබෑ ආධ්‍යාත්මික අරුත අමතක කර දමා  ලෞකිකත්වයට මුල්තැන දෙමින් එකිනෙකා පරයා නැගී සිටින්නට උත්සාහ ගන්නා බව පෙනී යයි.නමුත් අප කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ කියාදුන් මානව දයාවේ පණිවුඩය සෑම දනන් තුළ  පතුරුවන්නට ක්‍රියා කිරීමයි.

      මෙහිදි සාමය පිළිබඳ ව අර්ථ නිරූපණයෙහි යෙදෙන බයිබලය, සාමය සිරස්‌ අතට හා තිරස්‌ අතට විහිද යන්නක්‌ බව පැහැදිලි කරයි.සිරස්‌ අතට විහිදෙන සාමයෙන් අදහස්‌ වන්නේ මිනිසා සහ දෙවියන් අතර ඇතිවන සාම සබඳතාවයි.තිරස්‌ අතට විහිදෙන සාමය යනු මිනිසා තමා අතරත්,මිනිසා සහ මිනිසා අතරත් ඇතිකර ගන්නා ආධ්‍යාත්මික හා සහනශීලතා සම්බන්ධතා ය.එනම් සාමය සෑම අස්සක් මුල්ලක් නෑර ම ස්පර්ශ කරන බැව් මේ අර්ථ නිරූපණයෙන් පැහැදිලි වෙන අතර ම නත්තල අර්ථවත් කරන්නේ සාමය ම බැව් ද සපථ වේ.

     කෙසේ නමුත් නූතන සමාජය වෛරයෙන් ඔද්දල් ව ප්‍රේමයෙන් දුරස්ථ ව ගිය බවක් පෙන්නුම් කෙරෙයි.සමාජයේ පහළ ම ස්ථරයේ සිට ඉහළ ම ස්ථරය දක්වා ගැටුම විසින් සමාජය ගිලන් කර තිබේ.එනම් දිනෙන් දින අපට ඇසෙන්නට ලැබෙන්නේ මානව ගරුත්වය කෙලෙසන සිදුවීම් ගැන යි.ලෝක මට්ටමෙන් ගත්ත ද බරපතළ යුද ගැටුම් නිසා ආගමික වෛරය මතු වී ඇති අවස්ථා අපමණය.මෑත කාලිනව සමස්ත විශ්වීය මානව වර්ගයාම කොතරම් අභියෝග,බාධක වලට මුහුණ පෑවද අප සෑම කෙනෙකුගේම ජිවිතය  මොහොතකින් තණ අග පිනි බිඳු සේ වියැකී යා හැකි බව තවමත් ආගන්තුක සේ වී ඇත. මේ සියල්ල පසුපස ඇත්තේ අසීමිත වෛරයයි.නමුත් වැපිරිය යුත්තේ සාමයයි.සාමය වැපිරීමට අවැසි වන්නේ ලයාන්විත හදවතක් පමණී.එකී හදවතක් සතු වෙන්නේ අනෙකා වෙනුවෙන් කැප වෙන, වද වෙන සොඳුරු ඉවසන සිතක් ඇත්නම් පමණී.එබැවින් එය අමතක නොකරන ජනතාවක් අවැසි ව තිබේ.

       ඒ අනුව නත්තලෙහි අභිමතාර්ථය වන්නේ ඡේසු සමිදාණන් විසින් දේශනා කරනු ලැබූ කරුණාව, දයාව හා සාමය අනෙකා සමඟ බෙදා හදා ගැනීම ය. ඡේසුතුමන් "සාමයේ කුමරා" ලෙසින් හැඳින්වෙන්නේ මේ නිසා ය.නත්තල නිමිතිකොට සාමය පතුරුවන්නේ තමන්ට ඇති සම්පත් අසරණ අය සමඟ බෙදා හදා ගැනීමෙනි.මෙය ඈත අතීතයේ සිට ම පැවත ආ කිතුනු සාරධර්මයකි.

       මේ අනුව බලන විට නත්තලේ පණිවුඩය මිහිමත සුසිල් ජනතාවට සාමය උදාවේවා යන්න යි.සැබෑවින්ම මෙදා නත්තල සාමය, සාධාරණත්වය හා සංහිඳියාව අපේක්ෂාවෙන් සිටින සැමට අභියෝගයක්.එහෙත් අපේ ඒකායන අරමුණ විය යුත්තේ සාමය නම්,සංහිඳියාව නම් සුරදූත ගීතයට සවන් යොමුකර නත්තල සැමරීම යි.එනම් අප නත්තල අප දැකිය යුත්තේ අරුණෝදයේ එළැඹුමක් ලෙස ය.එසේම නොයෙකුත් ආර්ථික අපහසුතා මැද එළැඹි නත්තල සැමගේම නත්තලක් වෙන්නට නම් සවිඥානික විය යුතු බවද මේ නත්තල දා ආවර්ජනය කළ යුතුම කාරණාවකි.කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද එකිනෙක හා බෙදාහදා ගනිමින්,නැති බැරි අයට ශක්තියක් වෙමින් උදා වු නත්තල මිනිස් වටිනාකම් ජිවත් කරවන සැබෑ නත්තලක් කරගන්න.

     

  තරුෂිකා සෙව්වන්දි 

  පළමු වසර

  ශාස්ත්‍ර පීඨය

  කොළඹ විශ්ව විද්‍යාලය


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...