Friday, November 3, 2023

දේශීයත්වයෙන් වියැකී යන හත්දා වලියකුම

 දේශීයත්වයෙන් වියැකී යන හත්දා වලියකුම



 විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට පෙරාතුව සිටම මිනිසා ස්වභාවික පරිසරයේ ම අංගයක් බවත් පාරිසරික වස්තූන් දේවත්වයෙහි ලා ආරෝපණය කළ බවත් බොහෝ දෙනා දන්නා හඳුනන කාරණයකි.එහිදී මිනිසා එම ස්වභාවික වස්තූන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් තමාට පැමිණෙන කරදර විපත් වළක්වා ගැනීමට හැකි බව විශ්වාස කළෝ ය.එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය ශාන්තිකර්ම කලාවේ ආරම්භයට මූලබීජය සැපයිණි.'මහනුවර'.මෙය සවන් වැකෙත් ම කාගෙ කාගේත් සිහියට නැගෙන්නේ සෙංකඩගල නුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයයි.පෙරහර මංගල්‍යය පසුපස පවත්නා අති රමණීය වූත්, බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ ,කාලයාගේ ඇවෑමෙන් වියැකී යාමට බොහෝ ඉඩකඩ පවත්නා ශාන්තිකර්මයක් වශයෙන් හත්දා වලියකුම(වලියක් මංගල්‍යය/වලියක් නැටීම/වලියක් තෝත්‍රය) හැඳින්වීමට පුළුවන.සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයට ඉතා භක්තියෙන් දායකත්වය සපයන නිළමේවරුන්, ඇතුළු කට්ටලයේ නිලධාරීන්, නර්තන ශිල්පීන්, අලි ඇතුන් පමණක් නොව දෙස් විදෙස්ගත ජන ප්‍රජාවගේ පවත්නා අපල උපද්‍රව සහ වස්දොස් දුරු කරනු වස් අවසන් රන්දෝලි පෙරහර හා දිය කැපීමෙන් පසුව වීථි සංචාරය කෙරෙන දහවල් පෙරහර පවත්වා ඊට පසු දින සිට සතියක් පුරාවට වලි යකුන් ප්‍රධාන දෙවියන්ට පූජා පිණිස පැවැත්වෙන නෘත,නෘත්‍ය,නාට්‍යාංගයන්ගෙන් විනිර්මුක්ත වූ දේවාශිර්වාදයක් ලෙස මෙය දැක්විය හැකි වේ.ශාන්ති කර්මය හා සම්බන්ධ සියලු රාජකාරි කටයුතු පරම්පරානුගත මාවනැල්ල අසල අලුත්නුවර දේවාලය හා සම්බන්ධ පරම්පරා දෙකක් යටතේ සිදු කෙරේ.උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වෙස් ඇඳුමින් සිය හැඩිදැඩි සිරුර අලංකාර කර ගන්නා වෙස් නර්තන ශිල්පීහු සත් දිනක් මුළුල්ලේ රැය පහන් කරන්නේ නරඹන්නන් හට නර්තනයෙන්, ගායනයෙන් ආශිර්වාද පමුණුවමිණි. ශාන්තිකර්ම රඟ මඬල මධ්‍යයේ නිර්මාණය කර පවත්නා පොල් මල් සැරසිල්ල හා බැතිමතුන් අතර පවත්නා සම්බන්ධතාවය තුළින් විද්‍යාව සහ තාක්ෂණය අතින් කෙතරම් දියුණු සමාජයක වුව මිනිස් සන්තානය තුළ තවමත් යටගියාවක් වශයෙන් පවත්නා දේවත්වයට ඇති සමීප බව මැනවින් විදහා දක්වයි. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළදා මාලිගයේ ප්‍රධාන විෂ්ණු දේවාල භූමිය තුළ වසරකට එක් වතාවක් පමණක් සිදු කෙරෙන මෙම අත්‍යලංකාර දේවාශිර්වාද පූජාව නැරඹිය යුත්තක් ම වශයෙන් හඳුන්වා දීමට හැකි ය.අතීතයේ දී රටෙහි නායකයා වූ රජුගේ ප්‍රධාන මැදිහත්වීම මත මෙය පැවැත්වූවද වර්තමානය වන විට ඊට නිශ්චිත මැදිහත් වීමක් නොමැති වීම නිසා දෝ මෙම ශාන්තිකර්මය දේශීය නර්තන කලා කෙතින් ක්‍රමයෙන් වියැකී යාමක් දක්නට ලැබේ.සමාජ මාධ්‍යයන් විසින් නොගැළපෙන හෝ අනවශ්‍ය සිදුවීම් සමාජගත කරන වටපිටාවක චිරාත් කාලයක පටන් පැවතගෙන එන මෙවන් කලාංග සමාජගත කර තවත් කාලයක් නොනැසී පවත්වා ගැනීමට කටයුතු කරන්නේ නම් දේශීයත්වය,දේශීය කලා සංස්කෘතිකාංග ඉදිරි පරම්පරාවටත් නෙතින් දැකබලා වින්දනය කිරීමට හැකිවනු නොඅනුමාන ය.

සටහන - ලියෝ දිනිති දේවින්දි

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...