Tuesday, December 19, 2023

විශාදය හෙවත් මානසික අවපීඩනය


විශාදය විතරක් නෙවේ ඕනැම මානසික රෝගයක් පිස්සු කියන තත්වය විදියට හඳුන්වන්න අපේ රටේ ඉන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.  නමුත් අපි කතාකරන විශාදය (Depression) කියන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවා නම් විශාදය කියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින ශෝකී බවයි (Sadness). එනම්, විශාදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ මානසික වශයෙන් ඇතිවන වේදනාවන්ය (Mental trauma).

ශ්‍රී ලංකාව ගතහොත් අපගේ ජනගහනයෙන් 4.4% කට පමණ මෙම රෝගී තත්ත්වය පවතිනවා. එබැවින් මෙය ඉතා බහුල රෝගී තත්වයක් කියලා කියන්න පුලුවන්. 

විශාදය කියන්නේ කුමක්ද? (What is depression)

විශාදය කියන්නේ කලින් සඳහන් කල ආකාරයටම මනසේ ඇතිවන දීර්ඝ කාලීන වශයෙන් පවතින් ශෝකී ස්වාභාවයක් කියලා සරලව සඳහන් කරන්න පුලුවන්.

නමුත් අන්තර්ජාතික රෝග වර්ගීකරණයට (ICD 10) අනුව මෙම රෝගය සඳහා වඩා සංකීර්ණ හැඳින්වීමක් කර තිබෙනවා. ඒ අනුව රෝගියාට පවතින රෝග ලක්ෂණ අනුව එම රෝගී තත්ත්වය මද විශාදය (Mild depression) , සමාන්‍යය විශාදය (Moderate Depression), සහ දරුණු ගනයේ විශාදය (Severe Depression) ලෙස වර්ග කල හැකියි.  

විශාදය රෝග ලක්ෂණ (Symptoms of depression)

විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණ 10ක් තිබෙනවා. මේවාගෙන් කොටසක් major symptoms සහ ඉතිරි කොටස minor symptoms කියලා හඳුන්වනවා.

1. දුක්සහිත / ශෝකී ස්වභාවය (Sad mood)

2. වෙනදා සතු‍ටුවන දේ වලින් සතුටට පත්විය නොහැකි බව (Loss of interest/ Joyness)

3. මහන්සිගතිය (Fatiguability)

4. මානසික ඒකාග්‍රතාවය අඩුවීම (Lack of concentration)

5. ආත්ම විශ්වාසය අඩුවීම (Lack of self esteem 

6. සිතේ පවතින වරදකාරී ස්වාභාවය (Guiltiness)

7. අනාගතය පිලිබඳ අශුභවාදි අදහස් (pessimistic ideas on future)

8. සියදිවිහානිකර ගැනිමට සිතීම (suicidal ideas)

9. නින්ද නොයැම (Lack of sleep)

10. කෑම අරුචිය (Lack of appetit) 

මෙම රෝග ලක්ෂණ අනුව වෛද්‍යයවරයෙකු විසින් ඔබට විශාදය ඇති නැති බව සහ එහි බරපතල බව තීරණය කළයුතු වේ. එලෙසම කෙනෙකු මානසික අවපීඩනය තත්ත්වයක් ඇතිබව සිතනවානම් අනිවාර්යෙන්ම වෛද්‍යය වරයෙක් හමු වී එ පිලිබඳ සැකහැර දැනගත යුතු වේ.

විශාදය ඇතිවන්නේ ඇයි? 

අපි හිතන්නේ නම් විශාදය එහෙමත් නැත්නම් ඩිප්‍රෙෂන් ඇතිවෙන්නේ මානසික ගැටලු නිසා කියලා. ඒත් හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැ. මානසිකව ඇතිවෙන දැඩි වේදනාවලුත් (severe mental problems) එක හේතුවක් උනාට ඊට වඩා වැදගත් බොහෝ කරුණු මේ සඳහා බලපායි.

1. ජානමය හේතු (Genetic Causes) 

මෙම රෝගයට බලපාන සමහර කරුණු පරම්පරාගතව පවුල හරහා යන දේවල්. ඒවා ගමන් කරන්නේ ජාන කියන ඒකක හරහාය. ජනාමය හේතු කියන්නේ මේ රෝගයට ප්‍රධාන හේතුවක්. ඒ නිසා ඔබේ සහෝදර සහෝදරියන්ට, දෙමාපියන්ට මෙම රෝගය ඇත්නම් ඔබටත් රෝගය ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා.

2. දීර්ඝ කාලීන රෝගී තත්ත්ව (Chronic illness) 

අපේ රටේ වගේම ලෝකෙත් ගොඩක් අය බෝ නොවන රෝග (NCD) වලින් පෙලෙනවා. උදාහරණ විදියට පිළිකා(Cancers), වකුගඩු රෝග(CKD), ආතරයිටිස්(Arthritis), වගේ රෝග ගන්න පුලුවන්.ඒ වගේ රෝගීන් අතර මෙම රෝගී තත්ත්වය නිතර දකින්නට ලැබෙනවා.

3. සමහර ඖෂධ (Some medications) 

අප ලබාගන්නා සමහර ඖෂධ නිසා සමහර අයට මෙම රෝගය වැළදෙන්න පුලුවන්. ඒ අතර සමහර වේදනා නාශක(Pain killers), වලිප්පුව (Epilepsy) සඳහා ලබාදෙන ඖෂධ වගේ දේවල් ප්‍රධාන වෙනවා.

4. මත්ද්‍රව්‍යය (Drugs) 

සමහර පුද්ගලයන් නිතර විවිධ මත්ද්‍රව්‍යය (illicit drugs) ලබාගන්නට පුරුදු වෙලා ඉන්නවා. මේ වගේ අය ඉතා පහසුවෙන් මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරු වෙන්න පුලුවන්.

5. හදීසි මානසික ගැටලු (Sudden mental trauma) 

මානසික ගැටලු කියන්නේ අපි හැමෝටම හැම වෙලාවකම අඩු වැඩි වශයෙන් මුහුන දෙන්න වෙන තත්ත්වයක්. තමන් ලගින් ආශ්‍රය කරන කෙනෙක් වෙන් උනොත්, එහෙමත් නැත්නම් ශාරීරික වේදනවක් ඇතිවුනොත් වගේ අවස්ථාවක ටිකක් වැඩිපුර දැනෙන්න පුලුවන්. මෙහෙම ඇතිවෙන සමහර මානසික වේදනා දීර්ඝ කාලීනව පැවතිලා විශාදය වගේ තත්ත්වයකට පරිවර්ථනය වෙන්න පුලුවන්.

ඒ එක්කම පෞර්ෂය ආශ්‍රිත ගැටලු, මොළයේ වර්ධනයේ ගැටලු වගේ ගොඩක් දේවල් මෙකට බලපාන්න පුලුවන්. 

විශාදය වර්ග (Types of Depression)  

අපි කලින් කතා කරපු විදියට විශාදයේ රෝග ලක්ෂණ වල තීව්‍ර බව අනුව මද, සාමාන්‍ය සහ දරුණු ගනයේ විශාදය ලෙස බෙදන්න පුලුවන්.

ඒ එක්කම තමයි විශාදය ඇතිවීමට අදාල අවස්ථාව සහ රෝගයේ ලක්ෂණ අනුව විශාදයේ වර්ග 7ක් පවතිනවා.

1.Major Depressive Disorder (MDD)

2.Persistent Depressive Disorder (PDD)

3.Bipolar Disorder

4.Postpartum Depression (PPD)

5.Premenstrual Dysphoric Disorder (PMDD)

6.Seasonal Affective Disorder (SAD)

7.Atypical Depression  

විශාදය සඳහා ප්‍රතිකාර

මද විශාදාය (Mild depression) තත්වයක සිට දරුණු ඝනයේ විශාදය (Severe depression) තත්ත්වයක් දක්වා ප්‍රතිකාර ක්‍රම විවිධ වෙනවා. උදාහරණයක් ලෙස; මද විශාදය තත්ත්වයක් කුඩා මානසික උපදේශනයකින් (counselling) සුව වූවත් සමහර අවස්ථාවලදී ඖෂධමය ප්‍රතිකාර වලට අමතරව ECT ප්‍රතිකාරයද භාවිත කරන්නට වෙන්න පුලුවන්. 

මේ ආකාරයට මෙම විශාදය හෙවත් මානසික අවපීඩන තත්ත්වය හා ඒහ් තුළින් මිදීමට ගත යුතු පියවර පිළිබඳවද අපට අවබෝධයක් ගත හැකිය. 

 Leo Rashmi Shasikala  

Faculty of art

university of colombo

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...