අද ලෝක එක්සත් ජාතීන්ගේ දිනයයි
එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ නිල ආරම්භය සිදු වු දිනය සමරමින් සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය ලෙස නම් කර ඇත. ලෝකයේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය වර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුමුඛතම විශ්වීය සංවිධානය ලෙස 1945 වසරේ ඔක්තෝම්බර් 24 වැනි දින පිහිටුවීය.
අද සමරන්නේ 80 වැනි එක්සත් ජාතීන්ගේ දිනයයි. "එකාවන් ව අනාගතය ගොඩනගමු" යන්න මෙවර එක්සත් ජාතීන්ගේ දින සැමරුමේ තේමාවයි. එක්සත් ජාතීන්ගේ දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවන් හා ප්‍රතිපත්තීන් පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත් කිරීම අරමුණු කර ගනියි. එක්සත් ජාතීන්ගේ දිනය ඔක්තෝම්බර් 20 දින සිට 26 දා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සතියේ කොටසක් ලෙසද සැළකේ.
ලෝක යුද්ධ දෙකක නිමාවත් සමඟ රටවල් අතර සමඟිය හා සහජීවනය උදෙසා එක්රාශී වූ මෙම සංවිධානය ආරම්භයේදී සාමාජික රටවල් 50 කින් සමන්විත වූ අතර, මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති රටවල් සංඛ්‍යාව 193කි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන 15ක් ද පවතී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ අරමුණු අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය කිරීම, ජාත්‍යන්තර සාමය ආරක්ෂා කර ගැනීම, මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස තහවුරු කර ගැනීම, ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික ගැටළු විසඳීම ප්‍රධාන වේ.
වර්තමානය වන විට සාමය, මානව හිමිකම්, සමාජ ප්‍රගතිය, දරිද්‍රතාවය, දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටලු අාමන්ත්‍රණය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන විශාලතම ගෝලීය සංවිධානය වේ.
1955 දෙසැම්බර් 14 වැනි දින, තවත් රටවල් 9ක් සමඟ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ මෙරට මහජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අතර විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා සිය දායකත්වය සපයයි.