Wednesday, July 24, 2024

නව යොවුන් වියේ මානසික සෞඛ්‍ය [ Mind Pulse - Article 07]

 


Mind Pulse

Phase - 1

Session - 1

ලෝකය සුවද කරන්න වගේම ලස්සන කරන්න පුංචි මලකට පුලුවන්. මේ පුංචි මලක් හරියට යෞවනයින් වගේ. පුංචි මල් කැකුල පිපෙන කාලයේදී යම් යම් දේවල් නිසා ඒ මල තැලී පොඩි වී ගියහොත්, එවිට අලංකාරව පිබිදී ලෝකය සුවද කිරීමට තිබූ මලක් අප පරිසරයට අහිමි වී යන්නා සේම දරුවෙකුගේ නව යොවුන් වියේදී සිදුවන යම් යම් මානසික හෝ කායික තාඩන පීඩන එල්ලවීම හේතුකොටගෙන මනා පෞරුෂයකින් යුතු යෞවනයෙක් සමාජයට අහිමි වී යයි.

දරුවෙකුගේ අවුරුදු 10 සිට 19 දක්වා කාලසීමාව නව යොවුන්විය ලෙස සලකයි. ඒ කාල සීමාව, නව හැගීම් දැනීම් ඇති වීම ආරම්භ වන කාලයකි. දරුවෙකුගේ සංක්‍රමණ කාලය ලෙස සැලකෙන මේ කාල වකවානුව තුලදී ශාරීරික, ලිංගික, බුද්ධිමය, මානසික හා සමාජීය යන සමස්ත පරිණතියක් ඇති වේ.

ඇසි පිල්ලමක් ගහන තප්පරයෙන් පවා සිතුවිල්ලක් වෙනස් කරන මෙකී වයසේදී දරුවන් ස්වාධීන වීමට උත්සහ කරයි. එමෙන්ම අලුත් අලුත් දෑ සෙවීමට උත්සහ කිරීම තුලින් කුතුහලයක්ද ඇති වේ. එවිට දරුවන්ට ඇතිවන අභියෝගද වැඩි වේ. ඒ අභියෝග හේතුකොටගෙන නව යෞවනයා හට මානසික ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වේ.

ලංකාවේ වෙසෙන නව යෞවනයින් අතරින් 05% කාංසාවෙන්ද, 09% ක් තනිකමෙන් සහ 06% ක් සමීපතම යහළුවන් නොමැතිකමෙන් පෙළෙන බව අනාවරණය වී ඇත. නව යෞවනයන්ගෙන් 51%ක් අනෙක් සිසුන් කාරුණික සහ උදවු සහගත බව තමන්ට දැනෙන බව ප්‍රකාශ කළද 39% ක් අනෙක් සිසුන්ගේ හිංසනයට ලක්ව ඇති බවද සමීක්ෂණයකින් හෙළිවි තිබේ.

මේ අතරින් නව යෞවනයන්ගෙන් 09% කට සියදිවි හානි කරගැනීමේ සිතුවිලි පහළ වී ඇති අතර, 07% ක් සියදිවි හානි කරගැනීමට උත්සාහ කර ඇති බවද අනාවරණය කරගෙන තිබේ. මෙවැනි කරුණු සලකා බැලීමේදී නව යෞවන වියේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බව පැහැදිලිය. (ශ්‍රී ලංකාවේ සිදු කළ පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක ප්‍රථිඵලයකි)මෙලෙස නව යොවුන් වියේ දරුවන් මානසික ගැටලු වලට ගොදුරු වීමට බලපාන හේතු පිළිබද විමසා බැලීම ඉතා අවශ්‍ය වේ.

අද වර්තමානයේ දරුවෙක් උපන් අවස්ථාවේ සිටම ජංගම දුරකතනය අතට ලබා දෙයි. මානසික ගැටලු සදහා බලපාන විශාල හේතුවක් ලෙස එය දැක්වීමට හැකියි. තවද වර්තමාන දරුවාට නින්ද ලැබෙනුයේද අඩු වශයෙනි. ඒ ජංගම දුරකතනය නිසා, අධ්‍යාපන කටයුතු නිසා හෝ දුරකතන රූපවාහිනී ආදිය නිසා හෝ මොවුන් වැඩි වේලාවක් නිදිවර්ජිතව සිටීමට පුරුදු වී ඇත. 

නමුත් අපි හොදින්ම දන්නා කාරණය නම් දරුවන්ගේ මානසික මෙන්ම කායික නීරෝගීතාව උදෙසා ප්‍රමාණවත් නින්දක් ලබා ගත යුතුම වේ. තවද නූතන දරුවන්ට විවේකය ලැබෙන්නේ ඉතා අඩුවෙනි. ඔවුන්ට නිදහසේ සිටීමට, ක්‍රීඩා කිරීමට කාලයක් නෑ. ඊට ප්‍රධානතම හේතුව නම් වර්තමාන අධ්‍යාපන ක්‍රමයයි. එමෙන්ම දරුවන් ආශ්‍රය කරන මිතුරන් මෙන්ම එම කාල සීමාව තුලදී ඇති කරගනු ලබන ප්‍රේම සබදතාද නව යෞවනයන්ගේ මානසික සෞඛ්‍ය සදහා බාධා ඇති කරයි. 

කාංසාව, විෂාදය, ආතතිය, කේන්ති යාම, නුරුස්නා ගතිය, සියදිවි නසා ගැනීම ගැන සිතීම හෝ කතා කිරීම යනාදිය නව යොවුන් සිත් තුල හටගන්නා මානසික ගැටලු ලෙස සැලකීමට හැකි ය. 

මෙකී මානසික ගැටලු අතරින් ප්‍රධානම තැනක් ගනු ලබන්නේ විෂාදය හෙවත් depression තත්ත්වයයි. මන්ද, මානසික රෝග අතරින් පුද්ගල හානිය මෙන්ම සමාජ හානියද ප්‍රභල වශයෙන් දක්නට ලැබෙන රෝගයක් ලෙස විශාදය පෙන්වා දිය හැකිය. විෂාදය හෙවත් 'ඩිප්රෙෂන්' (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්වයකි.

එය වරින් වර හටගන්නා ශෝකයක් හෝ මානසික වේදනාවකට වඩා බරපතළ මානසික පීඩාවකි.

පසුගිය දා සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ බටහිර ගායිකාවෝ තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කළහ.

"මට සිද්ධ උනා ඒකෙන් මිදෙන්න. මට අවශ්‍ය හැම දේම මට තිබුණත් මම ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි හිටියේ. මම කිසි දෙයක් නොවුණු විදිහට හැම දේම කරන්න උත්සාහ කළත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සඟවන්න උත්සාහ කරනකොට තේරුණා මම මටම හානියක් කරගන්නේ කියලා," ඇමරිකානු සංගීත සම්මාන උළෙළේ දී ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සිය අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කළාය.

💠මෙම විශාදය ඇති වීමට බලපාන හේතු ලෙස,

* හෝමෝන මට්ටම වෙනස් වීම 

* නිවසේ හා වෙනත් අයගෙන් එල්ලවන පීඩනය.

* යොවුන් මොළයේ මනෝභාවය නියාමනය කරන රසායනික ද්‍රව්‍ය අඩු මට්ටමක පැවතීම.     

•යොවුන් මොළයේ මනෝභාවය නියාමනය කරන රසායනික ද්‍රව්‍ය අඩු මට්ටමක පැවතීම.

* ⁠මවුපියන් අහිමි වීම.

* ⁠මානසික හෝ ලිංගික අපයෝජන වැනි සිතට කාවදින සිදුවීම්.

⁠• ජානමය ලක්ෂණ.

•ජීවිත ජයගන්නා ආකාරය පිළිබද ආදර්ශ ලැබී නොතිබීම.

යනාදිය දැක්වීමට හැකිය.

තවද, මානසික ආතතිය ද නව යෞවනයයින් අතර බහුලව දක්නට ලැබෙන මානසික රෝගයකි. මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. යම් මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට මානසික ආතතිය ඇතිවේ.

💠මානසික ආතතිය ඇති වීමට බලපාන සුලභ හේතු ලෙස,

ආර්ථික ගැටළු

රැකියා ගැටළු

සමීපතයෙකුගේ මරණය

පවුලේ ඇතිවන ගැටළු

අන් අය සමග පවතින සම්බන්ධතා වල ගැටළු

තරගකාරී විභාග රටාව

ආදරය කරන පුද්ගලයන් අතර ඇතිවන ගැටළු

යනාදිය පෙන්වා දිය හැකිය.

මෙවැනි විෂාදය, ආතතිය හෝ වෙනත් මානසික ගැටලුවකින් දරුවෙක් පෙළෙනවාදැයි හදුනාගැනීම ඉතා වැදගත් වේ. මන්ද එවැනි ළමුන් හදුනා ගැනීම තුළින් නිකරුණේ මරණයට ගොදුරුවන දරුවන් ඉන් ගලවා ගැනීමට අවකාශ සැලසේ. 

💠මෙකී මානසික රෝගයන්හි රෝග ලක්ෂණ ලෙස,

* ශක්තිය අඩුවීම.

* ⁠ආහාර රුචියේ වෙනස්වීම ඇතිවීම.

* ⁠නිතර තරහා යාම හෝ දුක ඇතිවීම.

* ⁠නිතර නිදිමත ඇති වීම හෝ නින්ද නොයාම.

* ⁠පෙර සතුටට පත් වූ දේවල් පිළිබද උනන්දු නොවීම.

* ⁠අවධානය යොමු කිරීමේ අපහසුතාවය.

* ⁠මත්‍ ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතයට හුරුවීම.

* ⁠අධ්‍යාපනයට දුර්වල වීම.

* ⁠සියදිවි නසා ගැනීම ගැන කතා කිරීම හෝ ඊට තැත් කිරීම.

* ⁠දරුවා නිතර නිතර අසනීප වීම.

* ⁠තද හිසේ කැක්කුමක්, උදරයේ වේදනාවන්, මාංශපේශී වේදනාවන් ඇති බව කීම.

යනාදී ලක්ෂණ පෙන්වා දිය හැකිය.

විශේෂයෙන් කිවයුතු දේ නම් මෙවැනි ලක්ෂණ දරුවන් පෙන්වන විට අධ්‍යාපනයේ පීඩනය හෝ විභාග පීඩනය ලෙස සලකා  දෙමාපියන් එය නොසලකා හැරීම සිදු කරයි. නමුත් හොදින් මතක තබා ගත යුතු කාරණය නම් අධ්‍යාපනය යනු දරුවෙකුගේ ජීවිතයෙන් එක් කොටසක් පමණක් බවයි. ඉන් ඔබ්බට ගිය බොහොමයක් දේවල් දරුවෙකුගේ පුංචි සිතක් තුළ ඇති බව සිහි කළ යුතුම වේ.

මෙවැනි රෝග ලක්ෂණ තමාට ඇති බව තමාටම දැනුන විට හෝ තම දරුවාට, තම යහලුවාට ඇති බව දැනුන විට එවිට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වේ. 

💠මෙවැනි මානසික රෝග තමාගේ ජීවන රටාව වෙනස් කිරීමෙන් පාලනය කර ගැනීමට හැකියාව ඇත. 

උදාහරණ ලෙස,

* ව්‍යායාම වල නිරත වීම

* ⁠අවම පැය 8ක නින්දක් ලබා ගැනීම

* ⁠සීනි හා මේද ආහාර වලින් වැළකී සිටීම 

* ⁠කැෆේන්(කෝපි) භාවිතය අවම කිරීම

* ⁠මත්‍ ද්‍රව්‍ය ඇබ්බැහියෙන් වැළකීම

යනාදී සරල දේවල් තුළින්ද මෙකී මානසික ගැටලු තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාව ඇත.

තවද, ධනාත්මක චින්තනය එනම් ධනාත්මක දේවල් නිතර සිතීම මගින් තමාගේ ආත්ම විශ්වාසය වැඩිවනවා සේම පාලුව කාංසිය ආතතිය යනාදී සිතුවිලි පහවී යයි.

එසේම විශ්ව ආකර්ශණ නීතිය හෙවත් තමන්ට අවශ්‍ය දේ තමන්ට ලැබී තියෙන ලෙස සිතින් දකිමින් අත්විදීම මගින්ද මනසේ තියෙන ආතතිය තුරන් කර ගැනීමට හැකි වේ.

💠එනමුත් එවැනි රෝගී ලක්ෂණ දිගටම පවතී නම් හෝ තම දරුවාට හෝ යහලුවාට මෙවැනි තත්ත්ව දිගටම පවතින බව හැගී යන්නේ නම්,

* දෙමාපියන් හෝ යහලුවෙක් වශයෙන් මුලින්ම මෙකී රෝග ලක්ෂණ හිමියාට මානසිකව හයියක් විය යුතු වෙයි.

* ⁠එම තත්ත්වය දිගටම පවතී නම් වෛද්‍ය නිර්දේශ අනුව මනෝ චිකිත්සාවට හෝ ඖෂධ සදහා යොමු විය යුතුය.

* ⁠එවැනි රෝග ලක්ෂණ ඇති අයව කොන් කිරීමට හෝ රෝග ලක්ෂණ පිළිබදව නොසලකා හැරීම සිදු නොකොට සමාජයක් ලෙස එක්ව ඔවුන්ට උදවු කිරීම ඉතා අවශ්‍ය වේ.

💠මානසික ගැටලු සදහා දරුවන් ගොදුරු වීම වැලැක්වීම සදහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශයන් මගින්ද පියවර රාශියක් ගෙන තිබේ.

✅ පාසල් සෞඛ්‍ය වැඩසටහන්.

* සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මගින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පාසල් වලට ගොස් මානසික සෞඛ්‍ය වෙනිවෙන් ප්‍රවර්ධන වැඩසටහන් මෙහිදී සිදු කරයි.

✅ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්‍ට ජීවන කුසලතා ඉගැන්වීම.

✅ පළාත් මට්ටමින් ගුරුවරුන්ටද දැනුවත් කිරීමේ පාඨමාලා පැවැත්වීම.

 මෙය අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කරයි. මෙහිදී හැසිරීමේ හෝ ඉගෙනීමේ ගැටලු ඇති සිසුන් හා අපයෝජන හා හිංසාවන්ට ලක්වූ සිසුන් හදුනාගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරීම් සිදු කරයි.

✅ දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමට කටයුතු කිරීම.

✅ මානසික ආතතිය හදුන ගැනීම හා ඒවා අවම වන ලෙස දරුවන්ට අධ්‍යාපනය ලබා දී විභාග කරා යොමු කිරීම.

✅ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වල සෙනසුරාද දිනවල යොවුන් පියස මගින් සායන පැවැත්වීම.

 ඒවා මගින් මනෝ උපදේශන ලබා දීම හා ජීවන කුසලතා වර්ධනයට අවශ්‍ය උපදෙස් ලබා දෙයි.

✅ අනෙකුත් රජයේ රෝහල් වල මානසික සෞඛ්‍ය සේවා පිහිටුවා තිබීම.

මෙවැනි ක්‍රියාමාර්ග රැසක් ගැනීම මගින් අරමුණු කරගනුයේ දරුවන් මානසික ගැටලු වලට ගොදුරු වීමට ඇති අවස්ථාව අවම කිරීම හා මානසික රෝග වලට ගොදුරු වී ඇත්තවුන්ට මනෝ උපදේශන වලට ලක් කර ඔවුන් ඒවායින් මුදවා ගැනීමයි.


Leo Kavindi Asha

First Year

Faculty of Arts


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...