Saturday, September 21, 2024

අරනායක සාමසර කන්ද නාය යෑම [ Safe Guard - Article 18 ]

Safe Guard

Phase - 1

Session - 1

ස්වභාවධර්මය විටෙක සන්සුන්ය. චමත්කාර ජනකය. නමුත් තවත් විටෙක විනාශකාරීය. සැහැසිය. ස්වභාව ධර්මය විසින් ඇති කරන සමහර විනාශකාරී බලපෑම් ක්ෂණිකව සහ අනපේක්ෂිත අයුරින් ඇතිවේ.  ඒවා කොතරම් විනාශකාරී ද යත් මිනිස් දේපළ, ගොඩනැගිලි හා ඉදිකිරීම් ඉතා සුළු මොහොතකින් බිමට සමතලා කර දැමිය හැක. එසේම මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාඩි කිහිපයක් තුළ බිළිගැනීමටද හැක.ලෝකය තාක්ෂණික වශයෙන් කොතරම් දියුණු වුවද තවමත් ස්වභාවික උපද්‍රවයන් ඇතිවීමට පෙර මුළුමනින්ම නවතා දැමීමට සමත් වී නොමැත.

ලොව පුරා ව්‍යාප්ත වූ ස්වභාවික උපද්‍රවයන් අතරින් අනපේක්ෂිත හා විටෙක පුරෝකථනය කළ නොහැකි උපද්‍රවයක් ලෙස නාය යෑම හඳුන්වාදිය හැකිය. නාය යෑමක් යනුවෙන් සරලව අර්ථකථනය කරනු ලබන්නේ ඒකාබද්ධ නොවූ රෙගොලිත හෙවත් ප්‍රාවරණ පාෂාණ වැනි ජීර්ණය වූ පාෂාණ ස්ථර පෘතුවිය මතුපිට ලිස්සායාම හෝ චලනය වීමයි. නාය යෑම් ඇතිවීමට ස්වභාවික ක්‍රියාවන් මෙන්ම මානුෂ ක්‍රියාවන් රැසක් බලපානු ලබයි.නාය යෑම් හේතුවෙන් බොහෝ රටවල් විශාල අභියෝගවලට මුහුණ දී ඇත. ඊට හේතුව මේත් සමගම ඇතිවන ද්වීතීක ආපදා තත්ත්වයන් මෙන්ම මෙම ආපදාවලින් පසු නැවත තිබූ පරිදි ගොඩනැගීමට විශාල මුදලක් හා කාලයක් ගතවීමයි.

ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සාමසරකන්ද නාය යෑම මෑත අතීතයේ වාර්තා වූ පළමු දැවැන්ත නාය යාම බව භූ විද්‍යාඥයන්ගේ මතයයි.

අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළඟිපිටිය ග්‍රාම නිලධාරී වසමටත් දෙබත්ගම, පල්ලෙබාගෙ ග්‍රාම  නිලධාරී වසමටත් මැදිව පිහිටා ඇති සාමසර කඳු මුදුනේ අක්කර ගණනාවක් තේ වගාව සිදුකර තිබිණි. ඊට අමතරව කුරුඳු සහ සාදික්කා තැනින් තැන වගා කර තිබුණි. එසේම කන්ද පාමුල ජීවත් වූ පිරිස් කුඹුරු ගොවිතැනේ නියතුව සිට ඇත.කන්ද පාමුල මෙන්ම ඉහළ බෑවුම් ප්‍රදේශයේ ද ගම්වාසීන් තම නිවාස ඉදිකරගෙන තිබුණි.  

2015 මැයි මාසයේ දින 4 පමණ මෙම ප්‍රදේශයට පැවති අධික වර්ෂාපතනය හමුවේ මැයි 17 වන දින අරණායක සාමසරකන්ද නායාමට ලක් විය. කන්ද නායාමට පැය කිහිපයකට පෙර කන්ද දෙසින් මහා මීදුම් පටලයක් දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීහු පවසා තිබූ බවට වාර්තා වල දැක්වේ.

භූ විද්‍යාඥයන්ට අනුව සාමසර කන්දේ නාය යාම ආරම්භ වී ඇත්තේ නාය හිස අවට ප්‍රදේශයේ ඇති කුස්තුර හා පැලුම් ප්‍රසාරණය වී විශාලව  විශාල භූ වපසරියකින් යුත් කොටසක් මව් පාෂාණයෙන් ගැලවී පහළට රූටා යාම හේතුවෙනි.නාය ගිය කොටසේ බෑවුම් පෙදෙස තුළ සිදුකර ඇති තේ වගාව නිසි ජල වහන පද්ධතියකින් තොරව සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත. නායාමට හසු නොවූ කොටසේ ස්වභාවික ජල වාහනය හොඳින් සිදුවීමත්, තේ වගාව සිදුකළ කොටසේ ස්වභාවික ජල වාහනය වෙනස් කර තිබීමත් තුළින් නාය යාමට මූලික හේතුව මේ බවට භූ විද්‍යාඥයන්ගේ මතයයි.

එසේම දින ගණනාවක් පුරා මෙම ප්‍රදේශයට බලපැවැත් වූ අධික වර්ෂාපතනය  හේතුවෙන් පොළොව මතුපිට නිසියාකාරව ජලය ගලායාමට බාධා ඇතිවීම නිසා විශාල ජල ප්‍රමාණයක් පොළව අභ්‍යන්තරයට කිඳා බැස ඇත. එවිට එම ජලය මව් පාෂාණයේ ඇති පැලුම් හා කුස්තුර අතර තැන්පත් වීමෙන් එම පැලුම් හා කුස්තුර තවදුරටත් ප්‍රසාරණය වී මව් පාෂාණයෙන් ගැලවී ගොස් නායයාම සිදුවී තිබේ.

 

මෙම නාය යාම හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් කටයුතු ත්‍රිවිද හමුදාව හා පොලිසියත් ස්වේච්ඡා  සංවිධාන විසින් මහවැසි මධ්‍යයේම ආරම්භ කළ අතර දින 15ක් පුරා එම මෙහෙයුම් කටයුතු සිදුකර තිබේ. හමුදා මෙහෙයුම්වලින් අනතුරුව සොයා ගත් මළසිරුරු සංඛ්‍යාව 27 පමණ වුවත් තවත් මියගිය 21දෙනෙකුගේ සිරුරේ කොටස් හමුවිය.කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව 150ක් බවට පසුව හඳුනාගෙන ඇත. ඒ අතර බොහෝ පිරිසක් අතුරුදන් වූවන් බවට නොරහසකි. පවුල් 178කට උන් හිටි තැන් අහිමි කළ මෙම ව්‍යවසනයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා වලට අනුව විනාශ වී ගිය නිවාස සංඛ්‍යාව 72 කි. එසේම එම නිවාස වලට හිමිකමක් හෝ පැවසීමට කිසිවෙකු ඉතුරිනොවූ පවුල් සංඛ්‍යාව14කි.

ඔවුන්ගේ වාර්තාවලට අනුව මේ අධිඅවදානම් කලාපයේ ජීවත් වූ පවුල් 586ක් වෙනත් ප්‍රදේශවල පදිංචි කළ යුතු බව හඳුනා ගන්නා ලදී. අවතැන් කඳවුරු 23 පුද්ගලයින් 4156ක් රඳවා සිටි අතර මේ වන විට ඔවුන් නැවත පදිංචි කිරීම් කටයුතු සිදුකර ඇති බවට වාර්තාවේ.මෙම ව්‍යවසනයෙන් හානී වූ දේපළවල වටිනාකම රුපියල් මිලියන 4000කට ආසන්න බව රජය විසින් ඇස්තමේන්තු ගත කර ඇත.රජයේ සහ චීන ආධාර යටතේ නිවාස විනාශ වූ පිරිස් ඒ අවට ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් කටයුතු සිදුකර තිබේ. ඒ අනුව වසන්තගම පවුල් 55 ක්, කලුගල පවුල් 74 ක්, හබලක්කාව පවුල් 52 ක්, දූල්දෙණිය පවුල් 16 ක්, තල්ගස්පිටිය,පනපූරවත්ත (මුස්ලිම් වසම) පවුල් 28ක් ,වේරගොඩ වසමේ අඹදෙණිය වත්ත පවුල් 54 ක් , තල්ගමුව වසමේ ගම්මලේවත්ත පවුල් 37 ක්, රුවන්දෙණිය වසම වීදියමන්කඩ පවුල් 23ක් හා රුවන්දෙණිය වසමේ උලු විහාරතැන්න(චීන මිත්‍රත්ව ගම්මානය) පවුල් 59 ආදී වශයෙන් නිවාස යෝජනා ක්‍රම 9ක්මගින් පුද්ගලයන්  1717 දෙනෙකු දෙනෙකු ට හිසට සෙවනක් ලැබී ඇත. 

මෙම ඛේදවාචකය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දුටු බොහෝ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් මෙන්ම රජය විසින් මේ වන වන විට මෙම ඛේදවාචකයෙන් පීඩා විඳි පිරිසට මූලික යටිතල පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබේ. නමුත් ඔවුන්ගේ ආදරණියන් නැතිවූ දුක සහ කම්පනය තවමත් එලෙසම ඔවුන්ගේ හිත් තුළ ඇත.

මෙලෙස දෙස් විදෙස් බොහෝ පිරිසකගේ ආධාර මත විශේෂයෙන් චීන ආධාර මත කඩිනමින් නිවාස ඉදිකර ජනතාව නැවත පදිංචි කරවුවත් ඔවුන් තවමත් මැසිවිලි නගන්නේ ඔවුන් මෙතෙක් කරගෙන ආ ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි වීම පිළිබදවයි.තේ වගාව සිදුකරමින් තම එදිනෙදා ආදායම් මාර්ග උපයාගත් ඔවුන්ට එය මුළුමනින්ම මේ වන විට අහිමිවී තිබේ. අස්වැන්න වෙළඳපොළට ගෙනයාම හා ඒ සඳහා නිසි මාර්ග පහසුකම් නැතිකමින් තමන් බොහෝ අපහසුතාවයට ලක්වන බව තවත් සමහරු පවසයි .

එදා නාය ගිය සාමසර කන්ද අද වන විට  කැලෑ වැවී ස්වභාවික පරිසරය නැවත යථා තත්ත්වයට පත්වෙමින් ඇත. තැනින් තැන නායාමෙන් පසු නටබුන් ලෙස ඉතිරි වූ නිවාස, සිද්ධස්ථාන හා සාමසර මුදුනේ රජයේ කණිෂ්ඨ පාසල හා කඩ ඇතුළු අධි අවධානමේ පැවැති නිවාසද පාලුවට යමින් පවතී.

කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ අසන්නට ලැබුණු දරුණුතම ස්වභාවික ආපදාවන්ගෙන් එකක් ලෙස මෙම සාමසරකන්ද නාය යාම සැලකිය හැක. මිනිස් ජීවිත මෙන්ම ඔවුන් හරිහම්බ කරගත් සියල්ල ඇස් පනාපිට පොළොවට පස්කළ මෙම සාමසර කන්ද කිසිවක් නොවූවාසේ අදටත් නිසොල්මන්ව හිදී.

Leo Nethmini Amarasena

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...