අලි මිනිස් ගැටුමේ අදුරු පැතිකඩ
මානුෂීය ක්‍රියාවන් පාදක කරගෙන උත්පාදනය වනු ලබන ආපදා පොදුවේ මානුෂීය ආපදා වේ. මිනිසාගේ නොදැනුවත්කම, නොසැලකිල්ල යන ආදිය මානුෂිය ආපදා උත්පාදනය කෙරෙහි බලපායි.කෙසේ උත්පාදනය වුවද ස්වභාවික ආපදා මෙන්ම මානුෂීය ආපදා ද මිනිසාගේ එදිනෙදා ජීවන රටාවට බලපෑම් එල්ල කිරීමට සමත්ව තිබේ. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ "මැඩියාව" නමැති ගමේ අලි මිනිස් ගැටුම නිසා ජීවිතයට සමුදුන් විසි හැවිරිදි තරුණයෙකුගේ සිදුවීම පිළිබඳව එම ග්‍රාමයේ ග්‍රාමසේවකතුමිය දැක්වූ අදහස් මෙම සාකච්ඡාවට පසුබිම් වී තිබේ.
නිවේදකයා-ආයුබෝවන් මහත්මිය. මෑත කාලීනව වල් අලි තර්ජනය නිසා ඉතා අවාසනාවන්ත ලෙස තම ජීවිතයට සමුදුන් තරුණයකු පිළිබඳව කතා පුවතක් මෙම ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණා.ඔබතුමියට ඒ ආපදාවේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්න පුළුවන්ද?
ග්‍රාමසේවකතුමිය-ආයුබෝවන්. ඔබතුමා පැවසූ ආකාරයට මෑත කාලයේ පමණක් නොව අද වන විටත් මෙම ප්‍රදේශය තුළ ජනතාව මුහුණ දෙන ආපදාවක් ලෙසට අලි තර්ජනය හෙවත් වල් අලි ගම් වැදීම හඳුන්වාදීමට පුළුවන්. මෑත කාලීනව ගම් ප්‍රදේශයේ විසි හැවිරිදි තරුණයෙක් වල් අලි තර්ජනය නිසා තම ජීවිතයට සමුදුන් සිදුවීමක් සිදුවුණා. මෙහිදී ඉතාමත් කණගාටුදායක සිදුවීම එම තරුණයා උසස් අධ්‍යාපනය හොඳින් අවසන් කර විශ්ව විද්‍යාල වරම් ලබා සිටි තරුණයෙක් වීමයි.
නිවේදකයා-ග්‍රාමසේවක
තුමිය ලෙසට මේ අවස්ථාවේ ඔබතුමියට දැනුණු අදහස කුමක්ද?
ග්‍රාමසේවකතුමිය-අදටත් මතකයට නැගෙන විට පවා හද කම්පා කරවන සිදුවීම් අතරට මෙම ආපදාව එකතු කරන්න පුළුවන්. මෙම තරුණයාගේ පවුල් පසුබිම පිළිබඳව පැහැදිලි කළොත් අගහිකම්වලින් වගේම ආර්ථිකමය දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිතය පවත්වාගෙන ගිය පවුල් පරිසරයක් පැවතුණේ. මෙම ආපදාව දෙමව්පියන්ගේ පමණක් නොව මුළු ප්‍රදේශයක ජනතාවගේ නෙත්වලට කඳුළක් එකතු කිරීමට සමත් වුණා. අධ්‍යාපනයට උපන් හපන්කම් දැරූ මෙම තරුණයා අකල් මරණයට ගොදුරු වීම ඉතාම සංවේදී සිදුවීමක් වුණා.
නිවේදකයා-මෙම ආපදාව නිසා ඔවුන්ට සිදුවූ හානි පිළිබඳව ඔබතුමියට කෙටි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ග්‍රාමසේවකතුමිය-මෙහිදී ජීවිත හානි පමණක් නොවෙයි ඔවුන්ගේ කුඹුරු අස්වැන්නට ද හානි සිදුවූ ආකාරය දැක ගැනීමට පුළුවන් වුණා. මෙම සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කලොත් පෙර දින රාත්‍රියේ කුඹුරුවලට සිදුවූ හානිය දැක බලා ගැනීමට මෙම තරුණයා ගමේ අනෙකුත් පිරිස් සමග
සහභාගී වී තිබෙනවා. උදෑසන අටට පමණ ඔවුන් කුඹුරු යායවල් වෙතට ළඟාවන විට අලි රංචුවකින් වෙන්ව සිටි (සම්ප්‍රදායේ තනි අලියා ලෙසට හඳුන්වන) අලියකුගේ ප්‍රහාරයකට ලක්වී අවාසනාවන්තව ජීවිතයට සමුදීමට ඔහුට සිදුවුණා. මෙහිදී ඔහුගේ ජීවිතයට පමණක් නොව ඔවුන්ගේ කුඹුරු යායවල්වලට එනම් ආර්ථිකමය වශයෙනුත් හානි සිදුවී තිබුණා.
නිවේදකයා-ඔබතුමිය පැවසුවා ජීවිත හානි මෙන්ම ආර්ථිකමය වශයෙන් හානි වලට ද ඔවුන්ට මුහුණ දෙන්න සිදුවූ බව. මෙම ආපදා අවස්ථාවේ ඔවුන්ට නැවත නැගී සිටීමට උපකාර කළේ කවුද?
ග්‍රාමසේවක තුමිය-මෙම ආපදාව අවස්ථාවේ ඔවුන්ට මානසිකමය වශයෙන් විශාල කඩා වැටීමක් සිදුවුණා. මම ඉහතදී සඳහන් කළ ආකාරයට ඔවුන් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළේ. කුඹුරු ගොවිතැන් ප්‍රධාන ජීවනෝපාය වූ නිසාම කුඹුරුවලට සිදුවූ හානියට වඩා වැඩි හානියක් තම දරුවා අනපේක්ෂිත ලෙස ජීවිතයට සමුදීමෙන් ඔවුන්ට අත්විඳීමට සිදුවුණා. මේ අවස්ථාවේදී ගමේ පවතින සමිති සමාගම් මෙන්ම විවිධ ආයතන මඟිනුත් ඔවුන්ට ආධාර උපකාර ලබාදීම මෙන්ම අවමංගල කටයුතුවලදීද විශාල සහයෝගයක් ලබා දුන්නා. පෞද්ගලිකව මේ අවස්ථාවේ ග්‍රාමසේවකතුමිය ලෙසට මමත් ඔවුන්ට හැකි සහයෝගය ලබා දුන්නා.
නිවේදකයා-ඔබතුමිය මුලින් පැවසූ ආකාරයට මෙම ප්‍රදේශය තුළ නිරන්තරයෙන්ම අලි තර්ජන වලට මිනිසුන් මුහුණ දෙනවා. ඔබතුමියට මෙම ආපදාවට හේතුවන පසුබිම පිළිබඳව යම් අදහසක් පවතිනවාද?
ග්‍රාම සේවක තුමිය-ඔව් ඇත්ත වශයෙන්ම නිරන්තරයෙන් මෙම ප්‍රදේශය තුළ සිදුවන අලිතර්ජනය මිනිසුන්ගේ ජීවිතවලට පමණක් නොව දේපළවලටත් හානි පමුණුවනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළොත් මිනිසා සහ අලියා යන දෙපාර්ශවය සොබාදහමේ නිර්මාණයන් දෙකක්. මිනිසා විසින් තම අවශ්‍යතා සංකීර්ණ වීමත් සමඟ වනාන්තර එළි පෙහෙළි කිරීම, වනාන්තර ආශ්‍රිතව මිනිසුන් පදිංචි වීම මෙම අලි මිනිස් ගැටුමට ප්‍රබල හේතුවක්. මෙහිදී මිනිසුන් කොට්ඨාසයක් පමණක් මෙම කර්තව්‍ය සඳහා දායක වෙලා නැහැ.නමුත් මෙම ගැටුම්වලට ප්‍රධාන හේතුවක් ලෙසට නොදැනුවත්භාවය දක්වන්න පුළුවන්. මිනිසුන් මේ පිළිබඳව දැන සිටීම මෙම ආපදා අවම කිරීමට හේතු වෙනවා.
නිවේදකයා-ඔබතුමිය පැවසූ ආකාරයට මෙවැනි ආපදා අනාගතයේදී සිදු නොවීමට මේ වන විට කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වැඩසටහන් පවතිනවාද?
ග්‍රාමසේවකතුමිය-ඔව් මේ වන විටත් විවිධ වැඩසටහන් මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජය මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් කිහිපයක්ම පැවතුණා. ඒ වගේම ආපදා අවම කිරීමේ ව්‍යාපෘතියක් යටතේ හණ ශාකය වැටක් ලෙසට ඉදිකිරීමට මෙහිදී කටයුතු කර තිබෙනවා. වල් අලි හණ ශාකයට දක්වන බිය නිසාම රාත්‍රී කාලයේදී ගම් වැදිම, කුඹුරු වලට හානි කිරීම ආදිය වළක්වා ගැනීමට මෙම ක්‍රියාමාර්ගය උපකාරී වී තිබෙනවා. ඒවගේ ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වල් අලි බියගැන්වීමට රතිඤ්ඤා, අලි වෙඩි ආදිය නොමිලේ ලබා දීමත් සිදු කර තිබෙනවා. එමෙන්ම ආර්ථිකමය වශයෙන් සවිමත් මිනිසුන් විදුලි අලි වැට ස්ථාපනය කිරීමටද යොමුවී තිබෙනවා.මෙවැනි ක්‍රියාමාර්ග මගින් අලි මිනිස් ගැටුම අවම කිරීමට යොමු වී තිබෙන ආකාරයක් දකින්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ද මේ ආකාරයට දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
නිවේදකයා-මෙම ආපදාව පිළිබඳව ඔබතුමියගේ අදහස් ඔස්සේ ආපදාව පිළිබඳව තොරතුරු අප සමග බෙදා ගනිමින් ඔබතුමිය දැක්වූ සහයෝගයට මාගේ හද පිරි ස්තුතිය ඔබතුමියට පුදකර සිටිනවා. ආයුබෝවන්..!
ග්‍රාමසේවකතුමිය-ස්තුතියි.
ආයුබෝවන්..!
අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය,මඩකලපුව දිස්ත්‍රික්කය, මින්නේරිය, යාපහුව, සූරියවැව ආදී ප්‍රදේශ ගණනාවක් මුහුණපා සිටින අලි මිනිස් ගැටුම මිනිසුන් අතර පිළිලයක් බඳු මානුෂීය ආපදාවක් බවට පත්ව තිබේ. දැනුවත්භාවය හා බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් රටෙහි අනාගත පරපුර මෙන්ම දේපළ ආදිය අලි මිනිස් ගැටුමෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු නොඅනුමානය.