රසායනය සමග මත්ද්‍රව්‍ය ගැන පිළිසඳරක් ...
සහෘදයිනි,
ලොව තුළ රකුසන් ලෙස අරුත් ගන්වන්නන් බොහෝය..මානව ශිෂ්ටාචාරය තුළ මානව වර්ගයා විසින් "රකුසා" යන පදය භාවිත කොට ඇත්තේ මානව සමාජයට සෘණාත්මක මෙන්ම ව්‍යවසනකාරී තත්වයන් ඇති කරන ලද ප්‍රපංචයන් ය. කුඩා කල සිටම රකුසු වෙසින් සිටින්නේ යැයි ඔබත් මමත් දන්නා රකුසන් ලෙස දිය රකුසා(එසේ වන්නේ ගංවතුර කලට ,යමෙක් ජලයේ ගිලී මියගිය විටය ; නැත්නම් ජල සම්පත ය.) ,මත් රකුසා ප්‍රකටය..
සැබැවින්ම මත් රකුසා සර්වකාලීන රකුසෙක් ද?
ඔබත් මමත් කුඩා කල සිටම මත් රකුසා ලෙස මිස ජල සම්පත මෙන් " මත් සම්පත " ලෙස අසා හෝ කියවා නැත්තෙමු..
මන්දයත් එතුළින් සර්වකාලීන නිශේධනීය තත්වයන් මිස සාධනීය තත්වයන් ඇති නොකරන හෙයිනි.
කුඩා කල ඔබත් මමත් පෝස්ටර් දැන්වීම් නිර්මාණය කරගෙන " බුදු තාත්තෙ බොන්න එපා " ," මත් රකුසා පරදවමු " , " මත් ද්‍රව්‍ය ඔබව අඩපණ කරයි " යනුවෙන් සුවිසල් ගමන් ගියා මතක ඇතැයි සිතමි..කෙසේ වෙතත් .. රකුසා තවම අධිරාජධානියේ සිටියි..
මත් රකුසා සතුව දුම්වැටි ,මද්‍යසාර ,ගංජා ,මත්පෙති,හෙරොයින් ,ගංජා වැනි විවිධාකාර වූ අසිපත් ඇත්තේය..කාරණාව වන්නේ එකී අසිපත් වලින් මානවයාගෙ ගෙල එකවර නොව,පළමුව පිරිමැද එකී ස්පර්ෂයට ප්‍රියතාවය උපදවාගෙන පසුව කල් ගොස් ගෙල සිඳීමයි..
එවිය ඔවුන්ගේ ගෙල පමණක් නොව ශරීර කූඩුවේද ගැනීමට යමක් නැති ය.
සමාජීය වශයෙන් ,සංස්කෘතිම ය වශයෙන් ,ආර්ථිකමය වශයෙන් මෙකී කාරණා බොහෝ සෙයින් කතා කොට ඇත්තාහ.
එකී කාරණය එසේ හෙයින් මෙකී ලිපිය තුළ මත්ද්‍රව්‍ය යන ප්‍රපංචයේ රසායනික පැතිකඩ විග්‍රහ කිරීමට උත්සුක වීමට අදහස් කළෙමි.
විද්‍යාවට රුචි සහෘද ඔබට මෙය අංශු මාත්‍රයක් හෝ උපකාරී වෙතැයි යන අරමුණ කැටිකොට ගෙන මෙසේ අරඹමි.
මත්ද්‍රව්‍ය යනු භාවිතයේදී ජීව විද්‍යාත්මක වශයෙන් මධ්‍ය ස්නායු පද්ධතියට ( CNS) මෙන්ම මනෝභාවයන්ට ,හැසිරීම් වලට ,සංජානනයන්ට බලපෑම් කරන රසායනික සංයෝග වේ.මෙහිදී අරක්කු ,කසිප්පු ,බියර් ,වයින් ,රා ,විස්කි වැනි සියළු ද්‍රාවණ මද්‍යසාර කුලයේ ද්‍රාවණ වේ.ඒවාගේ අන්තර්ගත ප්‍රමුඛ රසායනික සංයෝගය ඊතයිල් මද්‍යසාරය (Ethyl alchohol ) වේ.ඊතයිල් මද්‍යසාරය යනු ස්නායු අවපීඩකයකි (CNS depressant ) .
සරලව කිවහොත් භාවිතයෙන් පසු ස්නායු පද්ධතිය අවපීඩනයට ලක් කරයි.මන් ද යත් එම මද්‍යසාර ආහාර මාර්ග පද්ධතිය (Digestive system) හරහා ගමන් කොට මොළයට ළඟා වීමට සැලකිය යුතු කාලයක් අවැසි බැවිනි.විද්‍යාත්මක වශයෙන් එය අවම මිනිත්තු 30 කි.එහිදී මද්‍යසාරය භාවිත කළ ප්‍රමාණය හා ගත වූ කාලය යන සාධක පදනම් කොටගෙන හිසරදය,වමනය ,හිස බර ගතිය ,ඔක්කාරය ,ඇඟ පණ නැති වීම ,නිදිමත ,බඩ දැවිල්ල ,අධිකව දහඩිය දැමීම වැනි තත්වයන් ඇති වේ.
එසේ මද්‍යසාර වල බලපෑම ඇතිවන කල්හි " සිගරට් එකක් වගේ ගත්තොත් ?"
සිගරට් නැතහොත් දුම්වැටි දැවී නිකුත්වන දුමාරයේ රසායනික ද්‍රව්‍ය 4000 ක් පමණ අඩංගු වේ.ඉන් 30 ක් පමණ පිළිකාකාරක වේ.ප්‍රධාන වශයෙන් , මීතේන් ,නිකටින්,ෆෝමැල්ඩ්හයිඩ් ,ආසනික් යනාදිය ප්‍රධාන සංඝටක වේ.සමස්තයක් ලෙස දුම්වැටි භාවිතය හේතුකොටගෙන හෘද ස්පන්දනය වැඩි වීම ,දහඩිය දැමීම මෙන්ම රුධිර පීඩනය ඉහළ යාම වැනි කෙටි කාලීන ශාරීරික බලපෑම් මෙන්ම ශ්වසන පද්ධතියේ ආබාධ ,පෙණහළු ආශ්‍රිත පිළිකා තත්ව ,මුඛ පිළිකා ආදී දීර්ඝ කාලීන බලපෑම් ද ඇති වේ.මේවා ඉතා භයානක තත්වයන් ය.
හෙරෝයින් ගත් කල ,හෙරෝයින් යනු මෝර්ෆීන් නම් සංයෝගයකින් නිපදවාගන්නා මත්ද්‍රව්‍යයකි.එබැවින් හෙරෝයින් ඩයි ඇසිටයිල් මෝර්ෆීන් ලෙස ද හඳුන්වයි.මෝර්ෆීන් යනු වෛද්‍ය විද්‍යාත්මකව ඇතැම් රෝගී අවස්ථාවලදී ලබා දෙන ඖෂධයක් වන අතර එයට හේතුව මෝර්ෆීන් වල පවතින ස්නායු අවපීඩක ගුණයයි.
හෙරෝයින් භාවිතයේ නියම රසායනික ලක්ෂණ වන්නේ ක්‍රියාශීලී බව අඩු වීම ,නිදිමත (නිදිකිරා වැටීම),වමනය ,හිස බර ගතිය වැනි අපහසුතා ය.
ගංජා වල අඩංගු ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ ටෙට්‍රාහයිඩ්‍රො කැනබිනෝල් වේ.විද්‍යාත්මක වශයෙන් එමගින් හෘදස්පන්දනය වැඩි වීම ,නිද්‍රාශීලී බව ,ඇස් රතුවීම වැනි ලක්ෂණ භාවිත කිරීමෙන් පසු ඇති වේ.
සමස්තයක් ලෙස මත්ද්‍රව්‍ය මගින් වන සැබෑ රසායනික බලපෑම ස්නායු අවපීඩක ලක්ෂණ වුවත් බොහෝ දෙනා භාවිතයෙන් පසු පෙන්වන්නේ ස්නායු උත්තේජන හැසිරීම් ය.(නැටීම ,ගැයීම ,සින්දු කීම)
කෙසේ වෙතත් ලබා දෙන ප්‍රචාරණය ,භාවිත කර පෙන්වන හැසිරීම් වලට ලබාදෙන සමාව(වරප්‍රසාද)
උදා : " ගණන් ගන්න එපා.. එයා එවෙලෙ බීලනෙ හිටියෙ "
නියම හානිය පිළිබඳ පවතින දුර්වල දැනුම මෙන්ම දුර්වල රාජ්‍ය ප්‍රතිපත්තිද මත්ද්‍රව්‍ය වල සැබෑ තත්වයන් යටපත් වීමට මෙන්ම මර්දනය නොවීමට හේතු වී ඇත.
වසරකට දුම්පානය නිසා මේ කුඩා දූපතේ වැසියන් 15000 -20000 ත් අතර ප්‍රමාණයක් දිවි හැරයන අතර මද්‍යසාර නිසා තවත් 10000 ට ආසන්න පිරිසක් මිය යයි.
ලෝකයේ ගත් කළ දුම්වැටි හා මද්‍යසාර නිසා පිළිවෙලින් 6000000 හා 3600000 වැනි සංඛ්‍යාවක මරණ සිදු වේ.
පෙනහළු පිළිකා වලට 90% ක්ම මෙන්ම මුඛ හා ගලනාලයේ පිළිකා ,ආමාශයේ ,ගැබ්ගෙල පිළිකා මෙන්ම හෘදයාබාධ ,මොළයේ ස්නායු මියයෑම ,පාදවල නහර අවහිර වීම,පෙනහළු පටක විනාශ වීම,කල්පවතින කැස්ස,බ්‍රොන්කයිට්ස්,පුරුෂ ලිංගික බෙලහීනතාවය ,පුරුෂයන්ගේ මඳසරු බව( ශුක්‍රාණු ගණනින් හා ගුණාත්මක බවින් අඩු වීම), ඇදුම ,හතිය,මද සරු දරු උපත් ඇතිවීම වැනි තත්ව මෙන්ම ආමාශයික ප්‍රදාහය ආදියටද දුම්වැටි භාවිතය හේතු වේ.
එමෙන්ම මද්‍යසාර භාවිතය නිසා අක්මා පටල විනාශ වීම(සිරෝසිස්),අධික රුධිර පීඩනය,අග්න්‍යාශ ප්‍රදාහය යනාදී බොහෝ තත්වයන් ඇතිවිය හැකිය.
මත්ද්‍රව්‍ය යනු කුමන ආකාරයෙන් සමාජගත වුවත් සුවිසල් ගැටළුවකි.
නියාමනය මෙන්ම නිසි ක්‍රියාමාර්ග ගැනීම ඉහතදී දැක්වූ මර්දනය නොවීමට හේතු නිශේධ කොට දමා අදාල නීති යාවත්කාලීන කිරීම මෙන්ම සැබෑ තත්වය මනා ලෙස තේරුම්කොට දීම ,වඩා කාර්‍යක්ෂම පුනුරුත්ථාපන ක්‍රියාදාමයන් ඔස්සේ මෙකී ගැටළුවට පිළිතුරු සෙවීම යෙහෙකි.