ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
ඒබී බලනවා...
ශ්‍රී ලාංකීය රසික හදවත් තුළ මෙවන් ගී රැඳවූ ප්‍රකට ගායන ශිල්පියෙකු වන ප්‍රියා සූරියසේන මහතා ඊයේ (2024 දෙසැම්බර් 24) අප අතරින් සමුගත් අතර,මියයන විට එතුමාගේ වයස අවුරුදු 80කි.ඔහුගේ සන්සුන් ගායන ශෛලිය මෙරට ගායන ක්ෂේත්රයේ නොමියෙන මතකයකි.
අඳුර අඳුර මගේ, හෙට දවසේ අප දෙදෙනා, ඈත රන් විමන්, රටකින් එහා ඉගිලී, මගේ ළමැද, මොහොතක සුව දෙන, හදවත ඉල්ලා, සුදු පරවි රෑන සේ ආදිය ඔහුගේ ගී නිර්මාණ අතර අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීත අතරින් කිහිපයකි.1978 වසරේ සිට අඩ සියවසකට ආසන්න කාලයක් ඔහු මෙරට ගීත ක්ෂේත්රය පෝෂණය කළ කලාකරුවෙකු ලෙස නම් දරා තිබේ.
කවියෙකු වූ ජේමිස් අප්පුහාමි සහ එම්.කේ.එම්. පොඩිමැණිකේ යුවළට දාව
1944 ඔක්තෝබර් මස 27 නාත්තණ්ඩිය ප්‍රදේශයේදී උපත ලැබූ මඩවල ලියනගේ දොන් සරත්චන්ද්‍ර ප්‍රියදර්ශි සූරියසේන ලියනගේ, ජනප්‍රිය නාමයකින් ප්‍රියා සූරියසේන ලෙස ප්‍රසිද්ධියට පත් විය.පාසල් අවධියේදී ම මොහිදීන් බෙග් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා වැනි ගායකයින්ගේ ගී ගයමින් ගායන දිවිය ඇරඹූ බව ඔහු වරෙක සරසවිය කලා
පුවත්පත සමග සංවාදයකට එක් වෙමින් සඳහන් කර තිබිණි.
1978 ජූනි 22 දා ඔහු විවාහ දිවියට එළඹුණේ, ඔහු සමග හේවුඩ්හි (වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) සංගීතය හැදෑරූ තමරා කුමාරි වීරසිංහ සමගය.ඇය වෘත්තියෙන් සංගීත ගුරුවරියකි.
1972 දී 'අඳුර අඳුර මගේ' සහ 'මට වාසනා' වැනි ගීත ඔහුගේ මුල් ගීත ලෙස ජනප්‍රිය විය.ප්‍රවීණ ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් සමඟ එකතු වී 'ආදරණීය නේරංජනා' සහ 'සුදු පරවි රෑන සේ' වැනි අරුතැති ආදර ගීත ප්‍රේක්ෂක සහෘදයන් වෙත දායාද කළේය.
ගායන ශිල්පයේ විශිෂ්ටත්වයට පමණක් සීමා නොවූ ප්‍රියා සූරියසේන මහතා ලක්ෂිත ට්‍රේඩ් සෙන්ටර් නමින් කැසට් ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගියේය.ප්‍රියා සූරියසේන විසින් මුල් වරට සංගීත නිර්මාණය කර ගයන ලද ගීත වන 'සරතැස නිවා' සහ 'හෙට දවසේ' යන ගීත දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් අතර,1980 දශකයේ තිරගත වුණු 'ඈතින් ඈතට' චිත්‍රපටයේ ඔහු මිල්ටන් මල්ලවාරච්චි සමග ගැයූ 'කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා' ගීතය අදටත් ජනප්‍රිය ගීතයකි.
ඔහුගේ ජීවිතය විශිෂ්ට ගායකයකු වීමෙන් පමණක් නොව, විශිෂ්ට ගුරුවරයකු වීමෙන් ලද අත්දැකීම්වලින්ද පිරී තිබුණි.නාත්තණ්ඩිය කටුනේරිය මහා විද්‍යාලයට (වර්තමානයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය) මුල් වරට ගුරු පත්වීම ලද ඔහු අනතුරුව කැලණිය ගුරුකුල විද්‍යාලය, ශ්‍රී විජයාරාම මහා විද්‍යාලය සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය ආදී පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කර තිබේ.
ඔහුගේ අභාවය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය තුළ නොපිරිය හැකි අඩුවකි.නමුත් ඔහුගේ ගීත තවදුරටත් ශ්‍රී ලාංකීය රසික හදවත් තුළ අනුරාව දෙනු ඇත.
ඉතින්,
ආදරණීය කලාකරුවණි ඔබට නිවන් සුව...