Sunday, February 2, 2025

 



දියේ ගිය වසර ගණනක මහන්සිය


කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ සාමාන්‍යයෙන් ගංවතුර ආපදා ඇතිවෙනවා ඉතාම අඩු දිස්ත්‍රික්කයක්. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයේ ගොඩවෙල කියන නගරයේ තමන්ගෙම කියලා සිල්ලර කඩයක් කරගෙන ජීවත් වෙමින් හිටපු මුදලාලි මහත්තයෙක්ගෙ කඩයක් සම්පූර්ණයෙන් විනාශ වෙනවා මේ ගොඩවෙල කියන ප්‍රදේශයට ආව ගංවතුර තත්වය නිසා. අපි ඒ මුදලාලි මහත්මයාගෙ කතාවට සවන් දීලා බලමු. 


නිවේදකයා: අංකල් අපි කැමතියි මුලින්ම ඔබගේ නම දැනගන්න. 


සුනිල් අංකල්: මගෙ නම සුනිල්. සුනිල් ආරියසේන. 


නිවේදකයා: හරි අංකල් අංකල් මුහුණ දීපු මේ ආපදාව අයත් වෙන්නේ ස්වභාවික ආපදා ගණයට එහෙම නේද? කොහොමද මේ තත්ත්වය ඇති උනේ? 


සුනිල් අංකල්: ඔව් මේක ගංවතුර තත්ත්වයක් නිසා ඇති උන ආපදාවක්. ඇත්තම කිවුවොත් අපේ මේ ගොඩවෙල ප්‍රදේශය කියන්නෙ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම ඉතාම අඩු නගරයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයම ගත්තත් ගංවතුරට යට වෙන්නෙ නැතිම තරම්. වැස්ස ඇති උනාට මේ ප්‍රදේශයේ කදු නැ තැනිතලා පැති නෑ ඒක නිසා වතුර බැහැගෙන යනවා. 


නිවේදකයා: එහෙම නම් කොහොමද ඔබ තුමාගෙ කඩේ සම්පූර්ණ විනාශ වෙලා යන තරමටම මේ තත්ත්වය ඇති උනේ?

සුනිල් අංකල්: ඇත්තටම අද වෙද්දි නව මංමාවත් ඉදි වෙලා තියෙනවා අධිවේගී මාර්ග හදලා තියෙනවා නගරය පුරා විශාල ගොඩනැගිලි ඉදිවෙමින් තියෙනවා. මේ මේ දේවල් නිසා වතුර බහින්න තිබුණ ඉඩකඩ අවහිර වීමකට ලක් වෙලා තියෙනවා.

එදා සිද්ධිය ගත්තොත් මේක ගංවතුරක්මයි කියන්නත් බෑ. මොකද අපේ ගමට මේ විනාසය උනේ අපේ ගමේ වැවේ එක කොටසක් කඩාගෙන යාමකට ලක් උනා එදා. ඒ නිසා වැවේ වතුර එක පහරට ගම ඇතුලට කඩාගෙන ආවා. වැසි තත්ත්වයේ වැඩි වී යාම නිසා තමයි මේක උනේ. ඒක නිසා නොසිතපු විදිහට ගමට ලොකූ විනාසයක් කලා මේ වතුර පහර. 


නිවේදකයා: ඔබතුමා කොහොමද දැනගත්තේ ඔබගේ කඩයත් විනාශ උනා කියලා. ඔබේ නිවස තිබෙන්නෙත් කඩය ආසන්නයේමද?


සුනිල් අංකල්: නෑ නෑ කඩේ තියෙන්නෙ අපේ ගෙදර ඉදන් ටිකක් දුරින්. මට කඩේ ලග ගෙදරකින් රෑ 11ට විතර කෝල් එකක් ආවා වැවේ කොටසක් කැඩිලා ගම ඇතුලට වතුර පහර ගහන් ආවා. එයාලගෙ ගෙවලුත් ගොඩක් යට වෙලා මගෙ කඩේටත් ලොකු අලාභයක් වෙලා ඇති කියලා එයාලා කිවුවා. නමුත් මං පහුවදා උදේම ගිහින් බලද්දි මං හිතුවටත් වඩා විශාල අලාභයක් කඩේ ඇතුලෙ වෙලා තිබුණා. අපේ ගෙවල් වලට ලොකු වතුර ප්‍රමාණයක් ආවේ නැහැ. ඒක නිසා මම හිතුවේ කඩේටත් ලොකු හානියක් නැතුව ඇති කියලා. නමුත් හාල් පරිප්පු සීනි මේ හැමදෙයක්ම විනාසම වෙලා ගිහින් තිබුණා. විශේෂයෙන්ම මං කඩේට අලුතෙන් හාල් පැකට් ගෙනාවේ මේ සිද්ධිය වෙන්න කලින් දවසෙ. ටිකක් උඩින් තිබුණත් යම්කිසි විදිහකින් හාල් පැකට් පහළට කඩන් වැටිලා තිබ්බා. සීනි අති බහුතරයක්ම වතුරට දිය වෙලා ගිහින් තිබුණා. නැවත විකුණන්න පුලුවන් තත්ත්වෙන් කිසිම දෙයක් තිබුණේ නෑ. බලාපොරොත්තු නොවුන ආකාරයට විශාල ආර්ථික හානියක් අපිට උනා මේ සිද්ධිය නිසා.


නිවේදකයා: ඔබලට රජයෙන් යම්කිසි සහනයක් ලැබුණද?


සුනිල් අංකල්: ඔව් ලැබුණා. නමුත් අවශ්‍ය මොහොතෙදි නෙවෙයි ඒක ලැබුණේ. මගේ පවුලේ අයගේ සහයෝගයෙන් මං මගෙ කඩේ ආපසු තිබුණ තත්ත්වයටම ගොඩගත්තා. අපිට මේ අවාසනාවන්ත සිදුවීම වෙලා මාස 6කට විතර පසුව ලක්ෂයක මුදල් ආධාරයක් ලැබුණා. නමුත් ඒ වෙද්දි අපි කඩේ යථා තත්ත්වයට පත් කරගෙනයි තිබුණේ. 


නිවේදකයා: ඔබ තුමාට එවෙලෙ දැනුන හැඟීම කොහොමද?


සුනිල් අංකල්: ඇත්තටම හරිම දුක්ඛිත හැඟීමක් ඒක. මට මං ගැනම ලොකු කලකිරීමක් ඇති උනා. මගෙ බිරිද ඇතුලු මගේ පවුල මං රැකගත්තේ මගෙ කඩේ නිසයි. එතකොට මගෙ කඩේට වෙලා තිබුණ මේ විනාසය දැක්කම මං කොහොමද මගෙ පවුල මින් පස්සෙ ජීවත් කරවන්නෙ කියන ප්‍රශ්නය මගෙ හිතට ලොකු බරක් ඇති කලා. නමුත් මගේ පවුලේ ශක්තිය නිසාක අද වෙද්දි මං තිබුණටත් වඩා හොදට මගෙ කඩේ ගොඩනගාගෙන තියෙනවා. 


නිවේදකයා: බොහොම ස්තූතියි අංකල් ඔබගෙ කතාව අපිත් එක්ක බෙදාගන්න එකතු උනාට. ඔබට සුභ දවසක්.

Saturday, February 1, 2025

 





මරු කැඳවූ පාස්කු ප්‍රහාරයෙන් අමිහිරි මතක සටහනක්...


පාස්කු ප්‍රහාරය, 2019 අප්‍රේල් 21 වන දින, ශ්‍රී ලංකාවේ සිදුවූ  අමරණීය හා අමිහිරි සිදුවීමකි. එය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් සූදානම් කළ පිපිරීම් මාලාවක් වූ අතර, මනස්කෘතියේ වටිනාකමටත්, මිනිස් ජීවිතයටත් විශාල හානියක් සිදු කළේය. මේ එහි තවත් එක් කඳුළු කතාවක්.


1.නිවේදකයා:ආයුබෝවන්.අපි ආවේ තවමත් නීතියෙන් සාධාරණයක් ඉටු නොවුණු ඔයාගේ මල්ලිගේ කතාව අහන්න.


දත්ත සපයන්නිය: ඔව්.එදා මගේ මල්ලි , එයාගේ බිරිඳ සහ දරුවෝ දෙදෙනා කටුවාපිටිය දේවස්ථානයට ගියා.එයාලා පාස්කු ප්‍රහාරයට ගොදුරු වුණේ එතනදී.ඒකෙන් මගේ මල්ලීයි , නංගියි අපිට නැති වුණා.



2.නිවේදකයා: ප්‍රහාරයෙන්  මිය ගිය අයගේ පවුලට වුනේ මොන ආකාරයක බලපෑමක් ද?


දත්ත දායකයා: ඒ වෙලාවේ මම ඒ ප්‍රහාරය ගැන අහලා ගොඩක් කම්පනයට පත් වුණා. මගේ මල්ලී එතැන ම නැති වෙලා තිබුණා.නංගී නැති වුණේ රෝහලේදී. දරුවෝ දෙන්නා බේරිලා තිබුණා. ඒ දෙන්නට එයාලගේ දෙමාපියන්ගේ සෙනෙහස අහිමි වුණා.දැන් ඒ දරුවෝ දෙන්නාගේ අනාගතය මම තමයි බාර අරන් ඉන්නේ. 


3.නිවේදකයා: ලොකු මානසික බලපෑමක්  විඳින්න සිද්ධ වුණා නේද?


දත්ත දායකයා: ඔව්. මටම ඒ ළමයින් දෙන්නගේ ජීවිතය ගෙනයාම ගොඩක් අමාරු වුණා. ඒ වෙනුවෙන් මගේ ජීවිතය ගොඩක් කැප කරන්න වුණා. පොඩි බබාට වඩා ලොකු බබාගේ මානසිකත්වය හදන්න මට එයාව වෛද්‍ය ප්‍රතිකාර වලට පවා යොමු කරන්න සිදු වුණා.පවුලේ ආර්ථික පැත්තත් අපිට අලුතින් ම හදා ගන්න සිදු වුණා.


4.නිවේදකයා: මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය සහ රාජ්‍ය ආධාර මොනවද ලැබුනේ?


දත්ත දායකයා: නීතියෙන් අපිට කිසිම සාධාරණයක් ඉටු වුණේ නෑ.දරුවෝ දෙන්නටත් කිසිම සාධාරණයක් ඉටු වුනේ නෑ.අපිට පල්ලියෙන් විතරයි ආධාරයක් ලැබුණේ දරුවෝ දෙන්නව ලොකු කරන්න.


5.නිවේදකයා: පාස්කු ප්‍රහාරයෙන් ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?


දත්ත දායකයා: ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමේ වැදගත්කම තේරුණා. ජීවිතේ මතක අතරින් ගොඩක් දේවල් අහිමි වුණාට පස්සේ ඉදිරියට යාමට මනුස්සකම සහ ශක්තිය අතිශය වැදගත් බව මට තේරුණා.


6.නිවේදකයා: බොහෝම ස්තුතියි ඔබට, මේ අසීරු මතක අප හා බෙදාගන්න් එක්වුණාට.





 දැදුරු ඔයෙන් උපන්  කඳුළු කතාවක්...


මිනිසාගේ මැදිහත්වීමකින් තොරව  ස්වභාවික සිදුවීම් තුළින් ජීවිත, දේපළ හෝ පාරිසරික වශයෙන් හානි පැමිණෙන අවස්ථාවක් ස්වභාවික ආපදාවක් ලෙස හඳුනාගත හැක.

මෙම සාකච්ඡාව සඳහා වයඹ පළාතේ දැදුරු ඔය ආශ්‍රිත සීමාවේ වෙසෙන ආපදා තත්ත්වයන්ට මුහුණදී විපතට පත්ව අත්දැකීම් ලැබූ පුද්ගලයකුගෙන් අදහස් ලබා ගැනීම සිදුවිණි. 


නිවේදකයා: ආයුබෝවන් මහත්මිය. මම පළමුවෙන්ම දැනගැනීමට කැමතියි ඔබතුමිය මුහුණ දුන්     ආපදාවේ ස්වභාවය මොන වගේද කියල. ඔබතුමියට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?


දත්ත දායකයා: ආයුබෝවන්. ඔව්. මම වැඩිපුරම මුහුණ දීලා තියෙන්නේ ගංවතුර ආපදා තත්ත්වයට. වැහි කාලයේදී දැදුරු ඔයේ වතුර මට්ටම වැඩි වී පිටාර ගැලීමෙන් අවට පහත් බිම් යටවෙන නිසා අපට මේ ආපදා තත්ත්වය ඇතිවෙනවා.


නිවේදකයා: මෙම උපද්‍රවය නිසා ඔබට සිදුවූ හානි මොනවාද? 


දත්ත දායකයා: ගංවතුර නිසා කුඹුරු සෝදා පාළුවට ලක්වුණා. අපේ නිවස වතුරෙන් යටවුණා. බඩුමුට්ටු වලට හානි වුණා. දරුවන්ගේ පොත්පත් විනාස වුණා. වටිනා කියන ලියවිලි ටිකක් පරිස්සම් කරගත්තේ බොහොම අමාරුවෙන්. දරුවෝ ගොඩක් දුක් වුණා පොත් විනාස වුණු එක ගැන.


නිවේදකයා: කොහොමද ඒ දවස්වල අවශ්‍යතා සපුරා ගත්තේ? 


දත්ත දායකයා: අපිට ආහාරපාන සකස් කරගන්න බැරි වුණා. ඈත පැතිවල උදවිය සකස් කරපු ආහාර ගෙනල්ල දුන්නා. වැසිකිලි කැසිකිලි වතුරට යට වෙලා අවහිර වෙලා තිබුණේ. බොහොමයක් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා. උණ රෝග ඇතිවුණා.


නිවේදකයා: ගංවතුර ආපදාව නිසා ඇතිවුණ හානිය කළමනාකරණය කරගත්තේ කොහොමද? 


දත්ත දායකයා: අපිට විශාල පාඩුවක් තමයි සිද්ධ වුණේ. කුඹුරු ටික විනාශ වෙලා ගියා. ඒවට යොදවපු මුදල් අපරාදේ. නමුත් රජයෙන්  ආධාර නම් ලැබුණේ නැහැ. තාමත් විශාල ගංවතුරක් ආවොත් නිවාසය, කුඹුරු, ඉඩම් වතුරට යට වෙනවා. හානි වෙන දේවල් නැවත  ගොඩනගා ගන්න එක හරි අමාරුයි.


නිවේදකයා: ආපදා තත්ත්වය බලපෑම අඩුකර ගන්න ඔබ ගත් පියවර මොනවාද? 


දත්ත දායකයා: නිවස ගංවතුරට යට වෙන නිසාම අවුරුදු කිහිපයක ඉඳන් අපි තනි තට්ටුවට තිබ්බ නිවස දෙමහල් නිවසක් විදිහට ගොඩනගා ගත්තා. වෙනත් ප්‍රදේශයකින් අලුතින්ම නිවසක් හදාගන්න තරම් අපට වත්කමක් නැහැ. පහළ කොටස ජලයෙන් යට වෙනකොට උඩ තට්ටුවට වෙලා තමයි අපි ඉන්නේ. වැඩි දවසක් ඉන්න අමාරු නිසා ඈත තියෙන ඥාති නිවසකට ගිහිල්ලා ඉඳලා වතුර බැහැලා ගියාට පස්සේ නිවස සෝදලා පිරිසිදු කරලා ටික දවසක් ගත වුණාට පස්සෙයි අපි ආයේ පදිංචියට එන්නේ. 


නිවේදකයා: කොහොමද ආරක්ෂිත ස්ථානවලට යන්නේ මාර්ගවලට හානි සිද්ධ වෙනවා නේද? 


දත්ත දායකයා: ඔව්. පිටාර ගලා යන වතුරට මාර්ග වැහිලා යනවා. ඉනවටක් වගේ වතුර තියෙනකොට අපි වතුරට බැහැලා යනවා. වතුර පාර සැර වැඩි නම් වෙනත් මාර්ග, අතුරු පාරවල් භාවිතා කරන්නත් සිද්ධ වෙනවා.

රජයෙන් හානි වූ මාර්ග පිළිසකර කරලා පාලමක් තැනීම මේ වෙනකොට සිදුකරලා තියෙනවා. ඒ නිසා දැන් ගං වතුර අවස්ථාවලදී වෙනදාට වඩා මාර්ග භාවිතය පහසු වෙලා තියෙනවා.


නිවේදකයා: අවසාන වශයෙන් මෙම ආපදාවට මුහුණ දුන්න නිසා ඔබතුමියගේ අත්දැකීම් අනුව වැඩිපුරම අවධානය යොමුවුණේ කුමන දේටද?


දත්ත දායකයා: අධික වර්ෂාවත් එක්ක මේ ආපදාව අපට ඇති වෙනවා කියලා අපි දන්නවා. මේ වගේ ආපදා ඇති නොවෙන තැනක නිවසක් හදාගන්න එක තමා අපේ බලාපොරොත්තුව. 


නිවේදකයා: බොහොම ස්තුතියි ඔබතුමියට තොරතුරු ලබාදීම සඳහා ඔබගේ වටිනා කාලය වැය කලාට.



Thursday, January 30, 2025

 


පස්‌ කන්දක් නිවසට කඩා වැටීම නිසා පුංචි මල් කැකුලු දෙකක් දැයෙන් සමුගනී.....

ස්වභාවික ආපදා යනු මිනිස් ජීවිතයට හා පරිසරයට දැඩි බලපෑම් ඇති කරන සිදුවීම් වෙයි.නාය  යාම එවන් ආපදාවන් අතර ඉහළ ස්ථානයක් ගනියි.නාය යම් යනු පස් සහ ගල් භූමියෙන් වෙන් වී ගලායාමකි.

මෙම සාකච්ඡාව සඳහා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශයේ වෙසෙන නායයාම් ආපදාවකට මුහුණ දී තම දියණිවරුන්ගෙන් වෙන් වූ මවක් ලැබූ සංවේදී අත්දැකීම් ලබා ගැනීමක් සිදුවුණි.

නිවේදකයා :- ආයුබෝවන් මහත්මිය මේ ඇත්තටම ඔබට  දරා ගත නොහැකි සංවේදී සිදුවීමක් බව මා දන්නවා ඔබතුමියට පුළුවන්ද මාත් එක්ක එකතුවෙලා ඒ ගැන අත්දැකීම් බෙදාගන්න ..

දත්‍ත දායකයා :- ඔව් මට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්.

නිවේදකයා :-  ඔබට මෙම ආපදාව හේතුවෙන් ඇති වූ  අහිමිවීම් මොනවාද? 

දත්ත දායකයා :මේ නාය යාම හින්දා මට ඇතිවෙච්ච ලොකුම අහිමිවීම මගේ නිවුන් දරුවන් දෙදෙනා.. ඔවුන් දෙදෙනාම පස්කනදට යට වෙලා නැති උනා ඒ වගේම මගේ නිවසටත් ගොඩක් හානි ඇතිවුණා.

නිවේදකයා :ඔබේ නිවසේ හිටපු අනිත් අයට හානියක් වුණේ නැද්ද ඒ මොහොතේ ඔබට දැනුණු හැඟීම් මොන වගේද?

දත්ත දායකයා :-අපිටත් කායික වශයෙන් ආබාධ ඇති වුණා දරුවන් දෙදෙනා බේරා ගැනීමට ගොස් මට ඇතිවුන තුවාල කැලැල් තාමත් තියෙනවා .එතකොට මට දැනුණු හැඟීම් විස්තර කරන්න බැරි තරම් දරුවන් දෙදෙනාගේ අහිමිවීම නිසාම මානසික රෝගී තත්ත්වයකට  පවා වැටෙන මොහොතකයි මම හිටියේ.. මම එයට ප්‍රතිකාර පවා ලබා ගත්තා..

නිවේදකයා :ඔබට ඒ දවස්වල ආර්ථිකමය වශයෙන් ගැටලු මතු වෙන්නට ඇති ඒ අත්දැකීම් මොන වගේද?

දත්ත දායකයා :- ඔව් ඇතවුන ලොකුම ගැටලුව තමයි අපි ජීවත් වුණ නිවස අපිට අහිමි වුණා.එය නැවත සකස් කර ගැනීමේදී විශාල මුදලක් ඊට දරන්න වුණා. ඒ වගේ මේ දවස් වල ආහාර වගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමද. ඒ වගේ මේ දවස් වල ආහාර වගේ මූලික අවශයතා  සපුරා ගැනීමේදි ගොඩක් ගැටළුවලට මුහුණපාන්න සිද්ධ වුණා අපේ රැකියා කටයුතු.   අපේ රැකියා කටයුතුත් මේ නිසා මගහැරුණා.

නිවේදකයා :- මේ ආපදාව නිසා ඔබට සෞඛ්‍යමය ගැටලුත් මතුවෙන්න ඇති ඒ අත්දැකීම් මොන වගේද?

දත්ත දායකයා :- ඔව් මං කලින් කිව්වා වගේ මානසික වශයෙන් සෞඛ්‍ය බිද වැටීමක් තමයි අපේ පවුලේ අයට ගොඩක් ඇතිවුණේ ඒ මගේ දරුවන් දෙදෙනාගේ අහිමිවීම හින්දමයි ඒ වගේම මේ දවස්වල නිවසින් බැහැර වෙලා හිටපු හින්දා ආහාර වලදී ගැටලු මතු වුණා. ඒ වගේම වාසස්ථාන අසීරුතා නිසා  වෙනත් රෝගාබාධ වලට ලක් වීමද සිදුවුනා.

 නිවේදකයා :-  ඔව් මං ඔබගෙන් තව දෙයක් දැනගන්න කැමතියි නායයාමෙන් පස්සේ ඔබට යථා තත්ත්වයට පත්වීමට කෙතරම් කාලයක් ගත වුනාද ?ඒ වගේම ඔබට එහිදී රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් ආපදාව වෙනුවෙන් සහනාධාරයක් ලැබුණද?

දත්‍ත දායකයා :- ම්ම් මගේ නිවසට ඇති වුන හානිය යළි සකස් කරගෙන එහි පදිංචි වීමට මට මාස තුනක් වගේ කාලයක්ගතවුණා.එතකන්  මමත් මගේ පවුලෙ අයත් රැඳිල හිටියේ ඥාති නිවසක.මේ දවස්වල අපිට රජයෙන් මූල්‍යමය ආධාර  හම්බුනා නිවස  යළිත් සකස් කර ගැනීමට ,ඒ වගේම වියලි සලාක බඩු මලුත් මේ මාස තුන ඇතුලට මට ලබා දුන්නා..

නිවේදකයා:- මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා ඉඳලා ඔබතුමියගේ සංවේදී තොරතුරු මාත් එක්ක බෙදා හදා ගත්තට බොහොම ස්තුතියි! අවසාන වශයෙන් මං ඔබතුමියගෙන් අහන්න කැමතියි නැවත මෙවැනි ආපදාවක් ඇති නොවීමට ඔබ යම් ක්‍රියාමාර්ගයක් ගත්තාද?

දත්ත දායකයා :- ඔව් මේ අපදාව හින්දා මට ඇති වෙච්ච ලොකුම අහිමිවීම මගේ දරුවන් දෙදෙනාගේ ජීවිතය... නැවත මෙවැනි ජීවිත හිමිවීමක් සිදු නොවීමට ආපදා කළමනාකරණ අංශය ද සහාය ඇතිවෙයි මගේ ගේ  පිටිපස  තිබෙන පස් කන්ද අසල ශක්තිමත් ගල් බැම්මක් ඉදිකර තිබෙනව . මං හිතනවා මේ හින්දා ආයෙත්   විපතක් සිදු නොවෙයි කියලා.මේ ඉඩමෙන් ගිහිල්ලා වෙනත් තැනක පදිංචි වීමට තරම් මට ආර්ථිකමය වශයෙන් හැකියාවක් නැහැ.ඒ නිසා නැවත මෙවැනි ආපදාවක් ඇති නොවන පරිදි මගේ නිවස ආරක්ෂිත කිරීමට මම පියවර ගන්න එක තමයි මගෙ බලාපොරොත්තුව.

නිවේදකයා :- නැවත මෙවැනි ආපදාවක් ඔබට හෝ කිසිම කෙනෙකුට ඇති නොවේවා කියා  මාත් ප්‍රාර්ථනා කරනවා ඔබගේ වටිනා කාලය කැප කරමින් අදහස් බෙදාගත්තාට ඔබට නැවත වරක් ස්තූති වන්ත  වෙනවා....  

(2020 වර්ශයේ වැලිමඩ ප්‍රදේශයෙ සිදූ වූ සත්‍ය සිදුවිමක් ඇසුරින් මෙම සංවාදය ගොඩ නගා ඇත.)


අනාගතයේදී මෙවැනි ආපදාවලට මුහුණ දීම සඳහා ගොඩනැගිලි ආරක්ෂිතව ඉදිකිරීම, ජාතිකආපදා කළමනාකරන ක්‍රමවේද ශක්තිමත් කිරීම,හා ජනතාවට අවශ්‍ය උපදේශන හා පුහුණු වැඩසටහන් සිදුකිරීම කළ හැකිය .මේ හරහා ස්වභාවික ආපදා  කලමනාකරණය කිරීමට අපට පියවර ගත හැකිය.



Wednesday, January 29, 2025

International Day Of Clean Enegry


 🛑අප ජීවත් වන්නා වූ ලෝකය කාර්මිකරණයත් ගෝලීයකරණයත් සමඟ ශීඝ්‍රයෙන් දියුණු වන්නකි.නූතන කාර්මිකත්වය සහ පුද්ගලයන්ගේ අක්‍රමිකතා හේතු කොට ගෙන පරිසරය තුළ දූෂක කාරකයන් ඉහල යමින් තිබේ.මෙම පරිසර දූෂක පිළිබඳවත් ඒ සඳහා විකල්පයක් ලෙස පිරිසිදු බල ශක්තියේ වැදගත්කමත් මෙම ලිපිය තුළින් ඔබට අවබෝධ කරගත හැක.🛑


අන්තර්ජාතික පිරිසිදු බලශක්තිය දිනය ජනවාරි 26 දිනට යෙදී තිබේ.එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි. මෙම දිනයේ මූලිකම අරමුණ බවට පත්ව තිබෙනුයේ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කරලීමත් 2030 වන විට පිරිසිදු  බලශක්තින් සියලුම ප්‍රජාව වෙත ලබාදීමත්ය.  මෙම දිනයේ තවත් අරමුණු කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැක.

    ✅පරිසර හිතකාමී ශක්ති ප්‍රභව හඳුන්වාදීම.

    ✅බලශක්ති හිඟතාවය අවම කර ගැනීමට

   ✅වායුගෝලයේ කාබන් උත්සර්ජනය අඩු කිරීම

   ✅නව රැකියා අවස්ථා ඇතිකිරීම හා ආර්ථිකය නගා සිටුවීම

   ✅රටවල් අතර මෙම ශක්ති ප්‍රභව තාක්ෂණය හුවමාරු කර ගනිමින් ජාත්‍යන්තර සහයෝගය ඇතිකරලීමට

  ✅ප්‍රජාව බලගැන්වීම සඳහා


පිරිසිදු බලශක්තියක අවශ්‍යතාවය පැන නැගෙන්නේ ලෝකයේ පවත්නා බොහෝ ශක්ති ප්‍රභව සමාජයට මෙන්ම ජීව අජීව පරිසරයට හානිදායක ලෙස පවතින නිසාය. බොහෝ විට පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව මෙහි ප්‍රධාන මූල කාරකයන් වියහැක.

 

✅ගල් අගුරු

✅ඛනිජ තෙල් 

✅නිවර්තන වායු 

✅න්‍යෂ්ටික ශක්තිය  

✅ඉන්ධන ද්‍රව  යනාදී පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව හේතුකොටගෙන පරිසරයට සිදුවන්නා වූ හානිය ඉහළ යමින් පවතී.


මෙම ශක්ති මූලයන් අධිපරිභෝජනය හේතුකොට ගෙන බොහෝ රට වල් විවිධ අභියෝගයන්ට මුහුණ පාමින් සිටි. එබැවින් පිරිසිදු බලශක්තියක අවශ්‍යතාවය මෙහිදී පැන නගී.


පිරිසිදු බලශක්ති ප්‍රභව ලෙස මූලික වශයෙන්ම හඳුනාගෙන තිබෙනුයේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයයි. මේවා ස්වභාවික ශක්ති ප්‍රභව වන අතර කාලයක් සමඟ ක්ෂය වීමකට ලක් නොවන බැවින් බලශක්ති හිඟයට ඉතාමත් උචිත විකල්පයකි.එම පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් මෙසේ පෙළ ගැස්විය හැක.

   ✅සූර්ය ශක්තිය

            සූර්ය බලශක්තිය යනු සූර්යාලෝකය විද්‍යුතය බවට පරිවර්තනය කිරීමයි. වර්තමානයේ ප්‍රමුඛ ලෙසම භාවිතයට ගැනෙන ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් ලෙස මෙය හඳුනාගත හැක.

    ✅ජල විදුලිය

             ජලය පවත්නා ශක්තිය උපයෝගී කරගෙන ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවයි. මෙය පරිසර හිතකාමී මෙන්ම ලාභදායක ශක්ති ප්‍රභවයකි.

   ✅ජෛව ස්කන්ධ 

           පෘථිවිය මත ඇති ශාක හා සත්ත්වමය ද්‍රව්‍ය

 ජෛව ස්කන්ධ වේ. ශාක, සත්ත්ව අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය, ගෘහස්ථ අපද්‍රව්‍ය බලශක්තින් ලෙස නිර්මාණය කර ගත හැක. ජෛව ගෑස්,ජෛව ද්‍රව, ජෛව උෂ්ණ විදුලිය ,ජෛව කාබන් වායු නිපදවන්නේ මෙම ජෛව ස්කන්ධ තුළින්ය.

  ✅සුළඟ

           අතීතයේ පටන්ම මිනිසා විසින් සුළගේ ශක්තිය උපයෝගී කරගත් අවස්ථා තිබේ. සුළං ශක්තිය මගින්ද විදුලිය නිපදවිය හැක. මෙමගින් කිසිදු වායු දුෂණයක් නොවන අතර ඉතාමත් පහසුවෙන් ලබා ලබාගත හැකිය.

   ✅භූ තාපය

           පෘතුවියේ අභ්‍යන්තරයේ ඇති උණුසුම මගින් ලබාගත හැකි ශක්තියකි. භූතාපය මගින් ජලය රත් කරවන අවස්ථාවකට නිදසුනක් ලෙස උණු දිය උල්පත් ගත හැක.


මේ අන්දමට ගෝලීය බලශක්ති අභියෝගයන් වලට මුහුණ දීමටත් පාරිසරික හානිවලට විසඳුමක් ලෙසටත් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමටත් පිරිසිදු බල ශක්තිය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.පිරිසිදු බලශක්ති මාර්ග වෙත යොමුවීම මෙන්ම පරිසර හිතකාමි අනාගතයක් උදෙසා කටයුතු කිරීම අපගේ වගකීමක් බව තහවුරු කරගත යුතුය.




 ජන ජීවිතය උඩුයටිකුරු කළ කොරෝනා


අපගේ එදිනෙදා ජීවන රටාවට සෘජුවම බලපෑම් එල්ල කිරීමට ආපදාවලට හැකියාවක් පවතී. ස්වභාවික ආපදා ලෙසට දක්වනු ලබනුයේ ස්වභාවික ක්‍රියාවලි හේතුවෙන් මිනිස් ප්‍රජාවට හෝ දේපළවලට මෙන්ම පරිසරයට හානි සිදුවන ක්‍රියාදාමයකි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ,මෑතකාලීනව ලෝකය පුරාම ප්‍රබලව ව්‍යාප්ත වූ කොරෝනා වෛරසයට ගොදුරු වූ පවුල් සාමාජිකයකු හා සිදුකරන ලද කතාබහ  මෙම සාකච්ඡාවට පදනම වේ.


නිවේදකයා-ආයුබෝවන් මහත්මයා..! ඔබතුමා මුහුණ දුන් ආපදාව පිළිබඳව පැහැදිලි කිරීමක් අපට දැනගැනීමට අවශ්‍යයි. ඔබට ඒ පිළිබඳව අපට පැහැදිලි කර දීමට පුළුවන්ද..?


සංවාදයේ නියැලෙන්නා-ආයුබෝවන් මහත්මයා..! ඔව් පුළුවන්. ඔබතුමා ආපදාවක් පිළිබඳව අහද්දී ම මට මතක් වෙන්නේ මෑත කාලීනව, 2020 වසරේ පමණ මුළු ලෝකයටම පිළිලයක් වුණ කොරෝනා වසංගතය. චීනයේ  වූහාන් නගරයෙන් ආරම්භ වෙලා ලංකාව පුරාම පැතිරුණු මේ වසංගතය  මෑත කාලීන විශාල ආපදාවක් බවට පත්වෙලා තිබුණා.


නිවේදකයා-මේ  ආපදාව පිළිබඳව ඔබතුමා ඉතාම කලකිරීමකින් කතා කළේ. මම හිතන්නේ ඔබතුමාට මේ ආපදාව නිසා බොහොමයක් හානි සිදු වෙන්න ඇති ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද.?


සංවාදයේ නියැලෙන්නා-මම වෘත්තියෙන් පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයෙක්. මගේ බිරිඳ සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ හෙද නිලධාරිණියක් ලෙසට. මගේ එක් දියණියක්   අධ්‍යාපනය ලබන අතර අනෙක් දියණිය  ආපදාවට ලක් වෙන කාලය තුළ  අවුරුද්දක පමණ දරුවෙක්. බිරිඳ හෙද නිලධාරියක් ලෙස සේවය කිරීමත් සමඟ අපිට කොරෝනා වෛරසය වැළඳුනා. මෙහිදී බිරිඳගේ රැකියා කටයුතු සමග ආපදා කාලය තුළ බොහෝ ම පීඩාවන්ට මුහුණ දීමට සිද්ධ වුණා. ආපදාව නිසා ජීවිත හානියක් සිදු නොවුණත් මානසික වශයෙන් නිදහසක්  නැතිවීම වගේම ශාරීරික වශයෙන්  ඇතිවුණු විවිධ අපහසුතා හානි ලෙසට දක්වන්න පුළුවන්.


නිවේදකයා-මෙම ආපදාව නිසා ඔබතුමාට ඇතිවුණු බලපෑම පැහැදිලි  කළොත්.?


සංවාදයේ නියැලෙන්නා-විශේෂයන්ම අවුරුද්දක පමණ දියණිය ආපදාවට ලක් වීම සමග ඇතිවුණු බිය වගේ ම රැකියාවට යාමට නොහැකි වීම සමඟ ආර්ථිකමය වශයෙන් ඇතිවුණු කඩා වැටීමත් ආපදාව නිසා ඇතිවුණු බලපෑම් විදිහට දක්වන්න පුළුවන්.


නිවේදකයා-ආපදාව සමඟ ඔබතුමාට ඇතිවුණු  කායික හා මානසික ආබාධ පිළිබඳව පැහැදිලි කළොත්..?


සංවාදයේ නියැලෙන්නා-කොරෝනා වසංගතයේ රෝග ලක්ෂණ විදිහට හිසරදය,සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස,උගුරේ වේදනාව දක්වන්න පුළුවන්. කායික වශයෙන් ඇතිවුණු ආබාධ ලෙසට ඒවා දක්වන්න පුළුවන්.ඒ වගේම දරුවන් හා බිරිඳ අසනීප වීම සමග ඇතිවුණු බිය,රැකියාවට යාමට නොහැකි වීම සමඟ ඇතිවුණු  ආර්ථික ගැටලු, නිවසේ ගෘහ මූලිකයා වශයෙන් ඇතිවූ මානසික පීඩනය ආපදාව  සමග ඇතිවූ මානසික ආබාධ ලෙසට දක්වන්න  පුළුවන්.


නිවේදකයා-ඔබතුමා මීට පෙර මේ වගේ ආපදාවක් පිළිබඳව අත්දැකීමක් ලබලා තියෙනවද..?


සංවාදයේ නියැලෙන්නා-නැහැ. මේ ආපදාව ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම අලුත් අත්දැකීමක් වුණා. ආපදා පිළිබඳව අත්දැකීම් ලබලා තිබුණට මේ වගේ වසංගතයක් පිළිබඳව මීට පෙර අත්දැකීමක් ලබලා තිබුණේ නැහැ. නමුත්  ආපදාවට පෙර සමාජ මාධ්‍යය වගේම රූපවාහිනිය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත්වීමක් සිදුවෙලා තිබුණා.


නිවේදකයා-ඔබතුමා මෙම ආපදාව සමඟ නිශ්චිත ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම සිදුවුණාද.?


සංවාදයේ නියැලෙන්නා-ඔව් රැගෙන යාමක් සිදුවුණා. ඒ පිළිබඳව පැහැදිලි කළොත් මුල් දින කිහිපය තුළදී නිවසේ සිට නිරෝධායන කාල සීමාවක් තමයි තිබුණේ. නමුත් රෝගය උත්සන්න වීම සමග නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමක් සිදුවුණා. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සමග නිවසේදී  ඇතිවුණාට වඩා කායික මෙන්ම මානසික වශයෙන් බලපෑමක් ඇතිවුණා.නිවසේදී නිරෝධායනය වූ කාලසීමාව තුළදී අසල්වැසියෝ වගේම නෑදෑයොත් ඔවුන්ට හැකි ආකාරයට ආහාර වලින්, බෙහෙත් වලින් අපේ සනිපාරක්ෂක පහසුකම් සපුරාලීමට කටයුතු කළා. මෙහිදී සිදුවුණේ නිවසේ ගේට්ටු අසලට ආහාර වගේම අනෙක් ද්‍රව්‍ය රැගෙන ඔවුන් තබා යෑමත් ඉන් පසුව අප විසින් ඒවා රැගෙන ඒමයි.


නිවේදකයා-ඔබතුමා පැවසු ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානවලදී නිවසේදී තිබූ මානසික පීඩාවට වඩා මානසික පීඩාව වැඩිවීමට හේතුව කුමක් ද.?


සංවාදයේ නියැලෙන්නා-පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්  වෙලා නිරෝධායනය වීම වගේම එහි තිබූ සනීපාරක්ෂක ගැටලු මානසික බලපෑමකට හේතුවුණා. ඒ වගේම ඇතැම් රෝගීන් මියයාම දැකීමත් සමග ඇතිවන බියත් නිරෝධායන මධ්‍යස්ථානයේදී මුහුණ පෑ  ගැටළු විදිහට දක්වන්න පුළුවන්.


නිවේදකයා-මෙම ආපදාව දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට කුමන ආකාරයේ බලපෑමක් ද එල්ල  කලේ.?


සංවාදයෙහි නියැලෙන්නා-ආපදා කාලය තුළ රට තුල පනවා තිබූ ලොක්ඩවුන් නීතියත් සමග අධ්‍යාපනයත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණේ. නමුත් මෙහිදී දරුවන්ට එම ඔන්ලයින් පන්තිවලටවත් සහභාගිවීමට හැකියාවක් තිබුණේ නැහැ.


නිවේදකයා-මෙම කාලසීමාව තුළදී ඔබට බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපකාර සිහිපත් කළොත්.?


සංවාදයෙහි නියැලෙන්නා-මුලින්ම නිවසේදී නිරෝධායනය වන කාලසීමාව තුළදී අසල්වැසියන්ගෙන් මෙන්ම නෑදෑයන්ගෙන් ලැබුණු උපකාරය දක්වන්න පුළුවන්. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට රජය මඟින් ලබා දුන්නු සහයෝගය වගේම නොමිලේ ප්‍රතිකාර කිරීමත් ඇතැම් අවස්ථාවල නිරෝධායන මධ්‍යස්ථානවල උපදේශන සේවාවන් ක්‍රියාත්මක වීම ආදියත් දක්වන්න පුළුවන්. ඊට අමතරව විවිධ බාහිර පාර්ශවකරුවන් සහනාධාර ලබාදීම් සමෘද්ධිය මගින් ආහාර මලු ලබාදීම ආදිය මඟින් විශාල දායකත්වයක් ලැබුණා. විවිධ පෞද්ගලික ආයතන මගිනුත් විවිධ සහනාධාර ලබාදීම් සිදුවුණා.


නිවේදකයා-මේ  ආපදාව අවස්ථාවේදී රජය මගින් ආපදාව වැළැක්වීමට කුමන 

ආකාරයේ පියවරක් ද අනුගමනය කළේ.?


සංවාදයෙහි නියැලෙන්නා-ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ අපදාව ලෝක වසංගතයක්. මේ අවස්ථාවේ රජයක් විදිහට විශාල වගකීමක් ඉටුවුණා. සෞඛ්‍ය අංශය වගේම සෑම අංශයක්ම ආපදාව වළක්වා ගන්න විශාල මෙහෙයක් ඉටු කළා කියලා කියන්න පුළුවන්. ආපදාව වළක්වා ගන්න විතරක් නෙවෙයි ආපදාවෙන් පසුවත් විවිධ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ  ආපදාකරුවන්ගේ මානසික මෙන්ම කායික සෞඛ්‍ය යහපත් කිරීමට පැසසිය යුතු වගකීමක් ඉටුකළා.


නිවේදකයා-මෑත කාලීනව ඔබතුමා මුහුණ දුන්නු ආපදාවක් පිළිබඳව අපිත් සමග  තොරතුරු බෙදා හදා ගනිමින් ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම වෙනුවෙන් මාගේ හද පිරි ස්තුතිය පුද කරනවා. ආයුබෝවන්..!


සංවාදයෙහි නියැලෙන්නා-බොහොම ස්තූතියි. ආයුබෝවන්..!


සොබාදහම් මාතාව වුවද විටෙක කුරිරු වී ස්වභාවික ආපදා ලෙසට අප වෙත පැමිණියද, දැනුවත්භාවය හා පෙර සූදානම තුළින් එවැනි ආපදා ජය ගැනීමට හැකිවනු ඇත.



 




අදෝනා නගන රළ පහර               

                                                    

                                                  මේ 2004 දී සිදු වූ සුනාමි ඛේදවාචකයේ අමිහිරි මතකාවර්ජනයකි.මෙම සිදු වීම බේරුවල ප්‍රදේශයේ අනතුරට ලක් වූ පුංචි කැදැල්ලක ආන්දෝලනාත්මක කතා බහක් පාදක කර ගනී.. (සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වූවකි.මෙහි යෙදී ඇති නම් ගම් මනංකල්පිත වේ.)    


නිවේදකයා : ආයුබෝවන් මහත්මයා! ඔබ මීට වසර ගණනාවකට පෙර මුහුණ දුන් ආපදාව පිළිබදව දැනගන්න පුලුවන්ද?


කුමාර මහතා : ඔව්.අපි 2004 සිදු වූ සුනාමියට තමා මුහුණ පෑවේ.                 


නිවේදකයා : මෑතකාලීනව පසුගිය වසර 5 යන කාලය තුල ඔබ මුහුණ පෑ ස්භාවික ආපදා තිබේද?                        


කුමාර මහතා : ඔව් අපි 2024 වර්ශයේත් ගංවතුර ආපදාවකට ලක් වුනා.ඒ වන විට අපි කැලණියේ දලුගම අපේම 

 නිවාසයක තමා පදිංචි වී සිටියේ.                                     


නිවේදකයා: ඔබ පෙර මුහුණ දුන් සුනාමි ආපදාව හේතුවෙන් ඔබට අහිමි වීම් සිදු වූයේද? ඒ මොනවාද?                              


කුමාර මහතා : ඔව් මගේ පොඩි පුතාට වයස අවුරුදු 5 දී මෙම සිද්ධියෙන් පසුව මතකය නැති වුනා.ඒ වගේම මගේ සහෝදරියගේ දරුවා අහිමි වුනා.දරුවට ඒ වන විය අවු.3 යි.                  

දේපළ ගැන කිව්වොත් අපි බේරුවල හිටියේ.අපේ ඒ ලයින් එකේම නිවාස විනාශ වුනා.                                          


නිවේදකයා : එම ආපදාවට ලක් වූ අවස්ථාවේ ඔබට දැනුණු හැහීම ගැන අපිට කියන්න පුලුවන්ද ?                  


කුමාර මහතා : අපිට අපේ කියලා තිබුණු වටිනම දේවල් අපිට අහිමි වුනා..ඒ වගේම ගොඩාක් අසරණ වුනා.               


නිවේදකයා : ආපදාව තුලින් කුමනාකාරයේ බලපෑමක් සිදු වූයේද?                  


කුමාර මහතා : මම සහ මගේ පවුලේ පිරිස ගොඩාක් මානසිකව පහතටම වැටුණා.අපේම සමීපතමයන් අපෙන් සදහටම ඈත් වෙද්දී,අපේ නිවාස විනාශ වෙද්දී ගොඩාක් ලොකු දරාගන්න බැරි තත්වයක් උරුම වුනා මේ සිදුවීමෙන්..                        


නිවේදකයා: ඔබ කුමන ආකාරයේ ආබාධයන්ට ගොදුරු වූයේද?   එනම් කායිකව හෝ මානසිකව,                             


කුමාර මහතා : කායිකව ගත්තොත් මට වගේම මගේ දරුවන්ටත් සමේ ආසාධන ඇති වුනා. එම විශබීජ හේතුවෙන්. මගේ පුතා මේ අවස්තාවට මුහුණ දෙද්දී ඔහුට වයස අවු.5 යි. එයාට ගොඩාක් මේක බලපෑවා. ඒයයි මමයි මේ අවස්තාවට මහමගම මුහුණ දුන් නිසා පුතා ගොඩක් කම්පනයකට ලක් වුනා. ඒ තත්වෙන් දරුවව මුදවා ගන්න අපිට අවු.4 ක් ගත වුනා.                


නිවේදකයා : ඔබ මුහුණ පෑ මෙම ආපදා අවස්තාවෙන් ලබා ගත් අත්දැකීම කවරාකාරයේද? 


කුමාර මහතා : මේක ඇත්තටම ගොඩක් අප්‍රසන්න අත්දැකීමක්. නමුත් මේ වගේ අවස්තාවක ජීවිතේ නැවත තිබූ තත්වයට ගොඩනගා ගන්න ගොඩක් කැපකිරීම් කරා. මහන්සි වුනා. අපි හැමෝටම වගේ ඒක ලොකු අත්දැකීමක්...                         


නිවේදකයා  : ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබට කවරාකාරයේ බලපෑමක් සිදු වූයේද? 


කුමාර මහතා: ඇත්තටම මගේ පුතාගේ තත්වෙත් එක්ක රැකියාව මට සුපුරුදු පරිදි ඉදිරියට රැගෙන යාමට නොහැකි වුනා. ගොඩක් තැන් වල දරුවට බෙහෙත් කරා. ඒ වෙනුවෙන් රැකියා ස්ථානයෙන් පවා ණය මුදල් ලබා ගන්න සිද්ද වුනා.                                           


නිවේදකයා : ආපදා අවස්ථාවෙන් පසු ඔබ මුහුණ දුන් සෞඛ්‍ය ගැටලු තිබේද? ඒ මොනවාද?                             


කුමාර මහතා : ඔව් සමේ ආසාදන ඇති වුනා. ඒ වගේම මට  මුකුත් කන්න බැරුව පාචනය වගේ තත්වෙකටත් ලක් වුනා. එයට දියර ආහාර මාසයක් පමණ කල් ලබා ගත්තා.                          


නිවේදකයා  : ඔබට තාවකාලික නැවතුම් ස්ථානයන්හි සනීපාරක්ෂක ගැටලු පැවතුනේද?                           


කුමාර මහතා : ඔව්. අපි පන්සලක තමා මාස 1 ක් පමණ නැවතී සිටියේ.එහිදී පිරිසත් සමග වැසිකිළි භාවිතයේ ගැටලු ඇති වුනා. ස්නානයේදී , රෙදි සෝදා ඒවා වියළා ගැනීමේදී ද ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවුනා.                                


නිවේදකයා : ආපදාව සිදු වූ අවස්තාවේ ඔබ ආරක්ෂා වූයේ කෙසේද? 


කුමාර මහතා : ඒ වෙලාවේ මම සහ මගේ පුතාව උපකාරක නර්ථන පන්තියෙන් රැගෙන නිවස බලා එන විට රළ පහර ප්‍රථමයෙන්ම සෙමින් මාර්ගයට ගැසුවා. ඒ විගසම මම මුහුදු සීමාවෙන් ඈතට ගමන් කරා. ඉන්පසු රලු රළපහරත් සමගම අපි කඩ වීදියක තුන් වෙනි මහලට අමාරුවෙන් හෝ ගමන් කර දිවි බේරා ගන්න සමත් වුනා.              


නිවේදකයා : ආපදාවෙන් පසු නැවත පදිංචි වීම් ඇති වූයේද?                           


කුමාර මහතා : ඔව් අපේ නිවාස අහිමි වීම් එම කුරිරු සිදුවීමෙන් පසු මමත් මගේ බිරිදත් පදිංචිය වෙනස් කිරීමට තීරණය කරා. අපි මාසෙකින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ කුලී නිවාසයක පදිංචියට ආවා.                                       


නිවේදකයා : එම ස්ථානයන්හි දී ඔබ මුහුණ දුන් ගැටලු මොනවාද?                             


කුමාර මහතා : ඇත්තටම කුලී නිවාසයක ජීවිතය ගෙවද්දී තමන් ගෙදර කියන හැගීම අපෙන් ඈත් උනා. ඒකත් මානසිකව වදයක් වුනා. මාසික කුලී මුදල 30000 ක් වුනා ඒ වගේම විදුලි බිල්, රැකියා ප්‍රශ්න, බෙහෙත් වියදම් සමග ජීවත් වෙන්න අසීරු උනා.                            


නිවේදකයා : ආපදා අවස්තාවෙන් පසු නැවත යථා තත්වයට පත් වීමට කොපමණ කාලයක් ගත වුණිද?            


කුමාර මහතා  : මාසෙකින් පසු අපි කුලී නිවාසයක පදිංචියට යොමු වූවාට හිටපු තත්වෙත් සමග අපේම කියලා නිවාසයක් තනාගන්න අවු  4 ක් ගත වුනා.                               


නිවේදකයා : මෙවැනි ආපදාවක් සිදු වන බව ඔබ පූර්වයෙහි(පෙර) දැනුවත් වී සිටියාද?              


කුමාර මහතා : ඔව් රූපවාහිනී පුවත් විකාශනයෙන් එවැනි ආපදා අනතුරු ඇගවීමක් නිතරම සිදු කරා.                                       


නිවේදකයා: ඔබ එම තොරතුරු පිළිබදව දැනුවත් වූ ආකාරයක් ක්‍රමෝපායන් මොනවාද?    


කුමාර මහතා  : රූපවාහිනිය, ගුවන්විදුලිය වගේම ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවා තුලින්ද,සමාජ මාධ්‍ය තුලත් සංසරණය වී තිබුණා.                                   


නිවේදකයා : පූර්ව දැනුවත් වීමකදී  ඔබ ඒ සදහා ක්‍රියා කලේද? නැත්ද?             

                                                            

කුමාර මහතා :  ඇත්තටම කොතරම් දැනුවත් කරත් අපිට ඒ මුහුද ගොඩ ගැලීම පිළිබදව එතරම් විමසිලිමත් වුනේ නෑ. එම නිසාම අපි පෙර සූදානමක්ද වුනේ නෑ.        


නිවේදකයා : ආපදාව තුලින් පාසල් ශිෂ්‍යන්ට සිදු වූ බලපෑම කුමනාකාරයේද?                  


කුමාර මහතා  : ඒ වන විට මගේ ලොකු දුවට වයස අවු 12 යි. එයාගේ පාසල් පොත් පත් වටිනා සහතික ,කුසලාන  රාශියක්ම නොසිතූ ආකාරයට විනාශ වුනා. ඒ වගේ පාසලත් රල පහරින් ආපදාවට ලක් වී තිබුණා. දරුවන්ට ප්‍රවාහනයේ දීද විශාල ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වුනා.                    


නිවේදකයා : ආපදා අවස්තාවේදී රාජ්‍ය අංශයෙන් ආධාර හිමි වූයේද? ඒ මොනවාද?         


කුමාර මහතා  : ඔව් අපිට මුදල් සහනත් ලැබුණා. නමුත් එය ප්‍රමාණවත් වූයේ නම් නෑ. නමුත් වියළි ආහාර මළු, පානීය ජල පහසුකම්, දරුවන්ට පාසල් උපකරණත් ලැබුනා.                                        



නිවේදකයා : ඊට අමතරව පෞද්ගලික අංශයෙනුත් ඔබට උපකාර කලේද?                        


කුමාර මහතා : ඔව් නොයෙක් ආකාරයේන් අපිට භාහිර පාර්ශවයන් ගෙනුත් ලැබුනා. එම ප්‍රදේශයේ සිටි ධානපතියන්ගෙන් ඒ වගේම මාධය නාලිකා රැසකින් ද වියළි ආහාර පහසුකම් ලබා දීමට කටයුතු කරා.                         


නිවේදකයා : අපි මේ සම්බන්ධව වටිනා කතාබහක ඔබතුමා සමග යෙදුණා. මේ අවස්තාවට සම්බන්ද වූවාට ගොඩාක් ස්තූතියි.



ලෝක තරුණ නිපුණතා දිනය

  "World Youth Skills Day" එනම්,"ලෝක තරුණ කුසලතා දිනය" සැමරෙන්නේ ජූලි 15 වනදායි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2014 ව...