Sunday, February 2, 2025

 



දියේ ගිය වසර ගණනක මහන්සිය


කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ සාමාන්‍යයෙන් ගංවතුර ආපදා ඇතිවෙනවා ඉතාම අඩු දිස්ත්‍රික්කයක්. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයේ ගොඩවෙල කියන නගරයේ තමන්ගෙම කියලා සිල්ලර කඩයක් කරගෙන ජීවත් වෙමින් හිටපු මුදලාලි මහත්තයෙක්ගෙ කඩයක් සම්පූර්ණයෙන් විනාශ වෙනවා මේ ගොඩවෙල කියන ප්‍රදේශයට ආව ගංවතුර තත්වය නිසා. අපි ඒ මුදලාලි මහත්මයාගෙ කතාවට සවන් දීලා බලමු. 


නිවේදකයා: අංකල් අපි කැමතියි මුලින්ම ඔබගේ නම දැනගන්න. 


සුනිල් අංකල්: මගෙ නම සුනිල්. සුනිල් ආරියසේන. 


නිවේදකයා: හරි අංකල් අංකල් මුහුණ දීපු මේ ආපදාව අයත් වෙන්නේ ස්වභාවික ආපදා ගණයට එහෙම නේද? කොහොමද මේ තත්ත්වය ඇති උනේ? 


සුනිල් අංකල්: ඔව් මේක ගංවතුර තත්ත්වයක් නිසා ඇති උන ආපදාවක්. ඇත්තම කිවුවොත් අපේ මේ ගොඩවෙල ප්‍රදේශය කියන්නෙ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම ඉතාම අඩු නගරයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයම ගත්තත් ගංවතුරට යට වෙන්නෙ නැතිම තරම්. වැස්ස ඇති උනාට මේ ප්‍රදේශයේ කදු නැ තැනිතලා පැති නෑ ඒක නිසා වතුර බැහැගෙන යනවා. 


නිවේදකයා: එහෙම නම් කොහොමද ඔබ තුමාගෙ කඩේ සම්පූර්ණ විනාශ වෙලා යන තරමටම මේ තත්ත්වය ඇති උනේ?

සුනිල් අංකල්: ඇත්තටම අද වෙද්දි නව මංමාවත් ඉදි වෙලා තියෙනවා අධිවේගී මාර්ග හදලා තියෙනවා නගරය පුරා විශාල ගොඩනැගිලි ඉදිවෙමින් තියෙනවා. මේ මේ දේවල් නිසා වතුර බහින්න තිබුණ ඉඩකඩ අවහිර වීමකට ලක් වෙලා තියෙනවා.

එදා සිද්ධිය ගත්තොත් මේක ගංවතුරක්මයි කියන්නත් බෑ. මොකද අපේ ගමට මේ විනාසය උනේ අපේ ගමේ වැවේ එක කොටසක් කඩාගෙන යාමකට ලක් උනා එදා. ඒ නිසා වැවේ වතුර එක පහරට ගම ඇතුලට කඩාගෙන ආවා. වැසි තත්ත්වයේ වැඩි වී යාම නිසා තමයි මේක උනේ. ඒක නිසා නොසිතපු විදිහට ගමට ලොකූ විනාසයක් කලා මේ වතුර පහර. 


නිවේදකයා: ඔබතුමා කොහොමද දැනගත්තේ ඔබගේ කඩයත් විනාශ උනා කියලා. ඔබේ නිවස තිබෙන්නෙත් කඩය ආසන්නයේමද?


සුනිල් අංකල්: නෑ නෑ කඩේ තියෙන්නෙ අපේ ගෙදර ඉදන් ටිකක් දුරින්. මට කඩේ ලග ගෙදරකින් රෑ 11ට විතර කෝල් එකක් ආවා වැවේ කොටසක් කැඩිලා ගම ඇතුලට වතුර පහර ගහන් ආවා. එයාලගෙ ගෙවලුත් ගොඩක් යට වෙලා මගෙ කඩේටත් ලොකු අලාභයක් වෙලා ඇති කියලා එයාලා කිවුවා. නමුත් මං පහුවදා උදේම ගිහින් බලද්දි මං හිතුවටත් වඩා විශාල අලාභයක් කඩේ ඇතුලෙ වෙලා තිබුණා. අපේ ගෙවල් වලට ලොකු වතුර ප්‍රමාණයක් ආවේ නැහැ. ඒක නිසා මම හිතුවේ කඩේටත් ලොකු හානියක් නැතුව ඇති කියලා. නමුත් හාල් පරිප්පු සීනි මේ හැමදෙයක්ම විනාසම වෙලා ගිහින් තිබුණා. විශේෂයෙන්ම මං කඩේට අලුතෙන් හාල් පැකට් ගෙනාවේ මේ සිද්ධිය වෙන්න කලින් දවසෙ. ටිකක් උඩින් තිබුණත් යම්කිසි විදිහකින් හාල් පැකට් පහළට කඩන් වැටිලා තිබ්බා. සීනි අති බහුතරයක්ම වතුරට දිය වෙලා ගිහින් තිබුණා. නැවත විකුණන්න පුලුවන් තත්ත්වෙන් කිසිම දෙයක් තිබුණේ නෑ. බලාපොරොත්තු නොවුන ආකාරයට විශාල ආර්ථික හානියක් අපිට උනා මේ සිද්ධිය නිසා.


නිවේදකයා: ඔබලට රජයෙන් යම්කිසි සහනයක් ලැබුණද?


සුනිල් අංකල්: ඔව් ලැබුණා. නමුත් අවශ්‍ය මොහොතෙදි නෙවෙයි ඒක ලැබුණේ. මගේ පවුලේ අයගේ සහයෝගයෙන් මං මගෙ කඩේ ආපසු තිබුණ තත්ත්වයටම ගොඩගත්තා. අපිට මේ අවාසනාවන්ත සිදුවීම වෙලා මාස 6කට විතර පසුව ලක්ෂයක මුදල් ආධාරයක් ලැබුණා. නමුත් ඒ වෙද්දි අපි කඩේ යථා තත්ත්වයට පත් කරගෙනයි තිබුණේ. 


නිවේදකයා: ඔබ තුමාට එවෙලෙ දැනුන හැඟීම කොහොමද?


සුනිල් අංකල්: ඇත්තටම හරිම දුක්ඛිත හැඟීමක් ඒක. මට මං ගැනම ලොකු කලකිරීමක් ඇති උනා. මගෙ බිරිද ඇතුලු මගේ පවුල මං රැකගත්තේ මගෙ කඩේ නිසයි. එතකොට මගෙ කඩේට වෙලා තිබුණ මේ විනාසය දැක්කම මං කොහොමද මගෙ පවුල මින් පස්සෙ ජීවත් කරවන්නෙ කියන ප්‍රශ්නය මගෙ හිතට ලොකු බරක් ඇති කලා. නමුත් මගේ පවුලේ ශක්තිය නිසාක අද වෙද්දි මං තිබුණටත් වඩා හොදට මගෙ කඩේ ගොඩනගාගෙන තියෙනවා. 


නිවේදකයා: බොහොම ස්තූතියි අංකල් ඔබගෙ කතාව අපිත් එක්ක බෙදාගන්න එකතු උනාට. ඔබට සුභ දවසක්.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...