මරු කැඳවූ රිය අනතුරක අමිහිරි මතක සටහනක්...
මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ජීවිත හා දේපල හානි සිදුවන අවස්ථා මානුෂීය ආපදා ලෙස හඳුන්වනවා.
මෙහිදී වසර කීපයකට පෙර තමා මුහුණ දුන් අනතුරක මතකය අවදි කරමින් තොරතුරු ලබාදීමට මැදිවියේ කාන්තාවක් අප හා එක්වුණා.
නිවේදකයා: ආයුබෝවන් මහත්මිය. ඔබතුමියට පුළුවන්ද ඔබ මුහුණ දුන් ඒ අනතුරේ ස්වභාවය විස්තර කරන්න?
දත්ත දායකයා: ආයුබෝවන්. ඔව් පුළුවන්. ඒක හදිසියේම සිද්ධවුණු රිය අනතුරක්.
පුතාලගේ තාත්තා පපුව අමාරුව හැදිලා ඉස්පිරිතාලේ නවත්තල ඉන්නකොට බලන්න ගිහින් ලොකු පුතත් එක්ක බයික් එකේ අනුරාධපුර පාරෙ අපි ආපහු එමින් හිටියේ. හැන්දෑවේ හය හමාරට විතර තමයි මේ අනතුරට මුහුණ දුන්නෙ. පුතා තමා බයික් එක පදවගෙන ආවේ. හදිසියේම මනුස්සයෙක් පාර හරහා පැන්නා. එතන කහ ඉරක් තිබුනෙත් නෑ. ඒ හරියේ පාරේ විදුලි ලාම්පු තිබුණේ නෑ. අඳුරු පාට ඇඳුමක් ඇඳලා හිටපු නිසා කළුවරේ ඒ මනුස්සයව අපි දැක්කේ නෑ. ඒ මනුස්සයා බයික් එකට හැප්පිලා විසික්ක වෙලා ගිහිල්ලා වැටුණා. බයික් එක පෙරලිලා පුතා පාරෙන් අයින පැත්තටත් මම පාරෙ මැද්දටත් විසික්ක වුණා.
ඉස්සරහින් ලොකු වාහන ආවා. වාහන එනකොට අපිට නැගිට ගන්න බෑ. කකුල් වැදිල මම බොහොම අමාරුවෙන් හිටියේ. කොහොම හරි මම බඩගාගෙන පාර අයිනට ගියා. නැත්තං එදා තමයි අපි මැරෙන්න ලියවෙලා තිබුන දවස. මම හෙමින් හෙමින් බඩගාගෙන පාර අයිනට ගියපු නිසා තමයි බේරුනේ.
නිවේදකයා: ඒ අනතුරට මුහුණ දුන්න අයට සිද්ධ වෙච්ච හානිය කොයි වගේද?
දත්ත දායකයා: එදා මගේ දණහිස පැනලා තුවාල වෙලා සුමාන දෙකක් විතර බෙහෙත් කරා. පුතාගෙත් අත පය තුවාල වෙලා. කොන්දටත් හානි වෙලා තිබුණේ. කොන්දට බෙහෙත් කරන්න එයාට තුන් මාසයක් විතර ඇඳේ ඉන්න වුණා. මගේ දණහිස හොඳටම සුව වෙන්ඩ මාස දෙකක් විතර ගල් කන්දෙන් සිංහල බෙහෙත් කරා.
නිවේදකයා: ඒ සිද්ධිය ආර්ථිකයට බලපෑවේ කොහොමද?
දත්ත දායකයා: ඒ වෙලාවේ මහත්තයත් අසනීප වෙලා හිටියේ. අපේ ව්‍යාපාරත් කරගන්න බැරුව කඩා වැටුණා. බෙහෙත් හේත් වලට ගොඩක් වියදම් වුණා. බයික් එක හදාගන්නත් තව වියදමක් ගියා. ඒ වෙලාවේ අපි ගොඩක් අසරණ වුණා. සමහර වෙලාවට ණයට මුදල් ගන්නත් සිද්ධ වුණා.
නිවේදකයා: එතකොට අනතුරට මුහුණ දුන්න අනෙක් පාර්ශවයට මොකද වුණේ?
දත්ත දායකයා: ඒ මනුස්සයාට වයසයි. අවුරුදු හැත්තෑවක් විතර ඇති. අනතුරෙන් එයාටත් තුවාල සිද්ධ වුණා. එයාව මහව මහ රෝහලට ඇතුළත් කරා. එයාට සෑහෙන කාලයක් බෙහෙත් කරා.
නිවේදකයා: අනතුර සම්බන්ධව නීතිමය කටයුතු සිද්ධ වුණේ කොහොමද?
දත්තදායකයා: අනතුරට පත් වුණු මනුස්සයාගේ පවුලේ උදවිය අපට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. අවසානයේදී නඩු මාර්ගයට ගියා. ඒගොල්ලන්ට වන්දි මුදලක් අවශ්‍යයි කියලා දැඩි තීරණයක හිටියේ. ඒ වෙලාවේ අපි ආර්ථික වශයෙන් කඩා වැටිලා වන්දියක් ගෙවන්න තරම් හැකියාවක් තිබුණෙ නෑ. අනතුරට පත්වෙච්ච මනුස්සයා අවුරුද්දක් විතර ජීවත් වෙලා ඉඳලා මැරුණා. එතනින් නඩුව අවසන් වුණේ නෑ. අපට රුපියල් 25000ක වන්දි මුදලක් ගෙවන්න සිද්ධ වුණා. අවුරුදු දහයකට විතර ඉස්සර අපි ණය වෙලා තමයි ඒ මුදල ගෙව්වේ.
නිවේදකයා: ඒ අනතුරට මුහුණ පෑමෙන් ඔබතුමියට ලැබුණු අත්දැකීම් මොනවද?
දත්තදායකයා: තුවාල සිද්ධ වුණ නිසා ශාරීරිකවත් පවුලේ සාමාජිකයින්ගේ ලෙඩ රෝගත් ව්‍යාපාර කඩාවැටීම්, නීතිමය ප්‍රශ්න නිසා මානසිකවත් සෑහෙන කරදර වලට මුහුණ දුන්නා. ඊට පසුව ඉතාම සුපරික්ෂාකාරීව තමයි වාහනවල ගමන් යන්නේ.
නිවේදකයා: වරද සිදුවුණේ ඔබතුමියගේ පාර්ශවයෙන් නේද?
දත්ත දායකයා: ඔව්. අනතුරක් වළක්වා නොගැනීම යටතේ අපට වරද පැවරුණා. පදිකයින්ද මාර්ග නීතිවලට අනුගත වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒ වෙලාවේ නීතිඥවරුන්ටත් මුදල් ගෙවන්න සිද්ධ වුණා.
නිවේදකයා: මේ ප්‍රශ්නවලින් පස්සේ කොහොමද නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වුණේ?
දත්ත දායකයා: අපේම ධෛර්යයෙන් තමා හැමදේම දරාගෙන හිටියේ. පසුව අසනීපෙන් හිටපු මහත්තයත් මිය ගියා. හැම දෙයක්ම ඉවසගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න මානසික ශක්තිය තමා උපකාර වුණේ.
නිවේදකයා: ඒ අවස්ථාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් රැකවරණයක් රක්ෂණාවරණයක් තිබුනද?
දත්ත දායකයා: ඔව්. මහත්තයාට රාජ්‍ය ආයතනයක ජීවිත රක්ෂනාවරණයක් තිබුණා. ඒකෙන් රුපියල් පනස්දාහක මුදලක් ලැබුණා.
නිවේදකයා: අවසාන වශයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබගේ අදහස් මොනවාද?
දත්ත දායකයා: ඇත්තටම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා හෙම්බත් වෙලා ඉන්නේ. මහත්තයත් නැතුව දරුවන්ගෙ වගකීම මට පැවරිලා තියෙන්නේ. ලොකු පුතා ඉන්න එක මට ශක්තියක්. අනිත් දරුවො දෙන්නගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙනකන් වගකීම් ගොඩක හිරවෙලා ඉන්නේ. ජීවිතයේ ලොකු සතුටක් නෑ.
නිවේදකයා: බොහොම කණගාටුයි ඒ පිළිබඳව. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට මේ තොරතුරු අප සමග බෙදා ගත්තට.