Monday, February 10, 2025

ජිවිතය පෙරලූ රිය අනතුර

ජිවිතය පෙරලූ රිය අනතුර


මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ආපදා මානුශිය ආපදා ලෙස හැඳින්වේ.රිය අනතුරු එවන් ආපදා අතර ප්‍රධාන ස්ථානයක් ගනී . රිය අනතුරක් යනු මාර්ගයේ වාහන අතර හෝ වාහන හා පදිකයන් අතර ඇතිවන අනතුරක් වන අතර, එය ජීවිත හා දේපළ සඳහා දැඩි හානි සිදුකරනු ලබයි.


මීට වසර දෙකකට ප්‍රථම බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරක මතකය ආවර්ජනය කරමින් එම අත්දැකීමට මුහුණ දුන් බස් රථ මගියෙක් අද අපිත් එක්ක තොරතුරු බෙදාගන්න එකතු වෙලා ඉන්නව.


නිවේදකයා :- ආයුබෝවන් මහත්මා ඔබට පුළුවන්ද ඔබ මුහුණ දුන් අනතුර ගැන පොඩි විස්තරයක් කරන්න.


දත්ත දායකයා:- ආයුබෝවන් ඔව් පුළුවන්. ඒ සිදුවීම නම් හිතාගන්නවත් බැරි විදිහට හදිස්සියේම සිදුවන රියනතුරක්.එදා මම බස් එකෙ නැගලා  ටවුන් එකට යන්න තමයි ගියේ .ඒ වෙලාවේ ගොඩක් වේගෙන් ආපු ලොරි  රථයක් එකපාරම ඇවිල්ල බස් එකේ හැප්පුනා.බස් එකේ හිටපු මිනිස්සු එක පාරම ඉස්සරහට විසි උනා ඩ්‍රයිවර් නම් එදා එතනම නැති උනා ඒවගේම ඉස්සරහ සීට් එකේ හිටපු තවත් එක මනුස්සයෙක්  මට මතක විදියට නැති වුණා. අනිත් මගීන්ට  නම් ජීවිත හානි නොවුනට , තුවාල වගේ කායික ආබාධයන්ට ලක්වුනා.එදා මගේ කකුලක් සීට් එකේ වැදිලා ඇතිවුන තුවාලේ කැලලක්  තාමත් තියෙනවා මහත්තයෝ..


නිවේදකයා:- මේ රිය අනතුර හින්දා ඔබට ඇතිවුණු හානි මොන වගේද?


දත්ත දායකයා:- මම දියවැඩියා රෝගයට බෙහෙත් ගන්න කෙනෙක්. එදා අනතුර හින්දා මගේ කකුලෙ තුවාලයක්ඇතිවුණා. ඒකත් එක්කම මගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා.මට තියෙන  රෝගී තත්වේ නිසා තුවාලය සුව කරගැනීමටත් මට කාලයක් ගත වුණා.ඒ වගේම එදා ඇතිවුණු කම්පනයත් එක්ක ලොකු බිඳවැටීමකට මම පත්වුණා.මේ වෙලාවේ ඇතිවුණු මානසික ආතතිය මට විස්තර කරන්න බැරි තරම්..මට විතරක් නෙවෙයි මේ හැඟීම් බස් එකේ හිටපු හැමෝටම දැනෙන්නැති කියලා මං හිතනවා. ඒ වගේම මේ අනතුර හින්දා ඇතිවෙච්ච ලොකුම හානි සිදුවුණේ බස් එකට,  බස් රථයේ ඉදිරි වීදුරුව ගැලවී යන තරම් වේගයෙන් ඇවිත් ලොරි රථයේ හැප්පුනා නම් මේ නිසා බස් එකට ගොඩක් ලොකු හානියක් වුණා.


නිවේදකයා:- මේ සිද්ධිය ඔබතුමාගේ ආර්ථිකයට බලපෑමක් ඇති කරාද? ඒ බලපෑම් මොන වගේද?


දත්ත දායකයා :- රිය අනතුර හින්ද මගේ කකුල තුවාල වුණා. ඒත් එක්කම මට ඇවිදින්න පවා අපහසු වුණා. මේ නිසා මගේ රැකියාව කරගෙන යාමට පවා මට දුෂ්කරතාවයන් මතුවුණා.තුවාලය සනීප කර ගැනීමට බෙහෙත් ගැනීමේදී ත්  ගැටලුවලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. රැකියාවට යාමට නොහැකි වීම නිසා ආර්ථිකය කඩා වැටීමකට ලක්වුණා. මගේ රැකියාව වුණේ පොලේ බඩු විකුණන එක මහත්තයෝ. පවුලේ ගෘහ මූලිකයා වශයෙන් මගේ රැකියාව කිරීමට  නොහැකි වීම නිසා පවුලේ අයටත් දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට සිදු වූ කාලයක් තමයි උද්ගත වෙලා තිබ්බෙ. 


නිවේදකයා:- බොහොම කණගාටුයි ඔබට සිදුවූ දේ පිළිබඳව මට තවත් දෙයක් දැනගන්න ඕනේ මේ අනතුරට මුහුණ පෑව  අනෙක් පාර්ශවයට මොකද උනේ ?


දත්ත දායකයා:- අහ්  ඔබතුමා අහන්නේ ලොරි රථයේ හිටපු රියදුරා ගැන  වෙන්න ඇති ලොරි රථයේ හිටියේ එක්කෙනෙක් ඒ ඩ්‍රයිවර් මහත්තයා බීමතින් පදවපු හින්දා තමයි ලොරිය ඇවිත් බස් එකේ හැප්පුනෙ කියලා තමයි අපිට කිව්වේ දැන් නම් ඒ මනුස්සයා මේ කරපු වරදට අවුරුදු ගානකට හිරේ ගිහින් ඉන්නේ මයෙ හිතේ .


නිවේදකයා :- රිය අනතුර හින්ද නීතිමය වශයෙන් සාධාරණයක් ඔබතුමාට සිදුවුණාද? 


දත්ත දායකයා  :- ඇත්තටම කිව්වොත් ඒ ගැන නම් කතා කරන්නත් කනගාටුයි මහත්තයෝ.. එදා වෙච්ච අනතුර හින්දා ලොරියේ හිටපු ඩ්‍රයිවර් හිරේ ගියපු එක විතරයි සිද්ධ උනේ ,අනතුරට ලක් වෙච්ච මගීන් ගැන කවුරුත් හොයලා බැලුවේ නෑ. මං මගේ පෞද්ගලික වියදමින් තමයි මට ඇතිවෙච්ච තුවාලෙට බෙහෙත් කරේ ,මං හිතන විදියට අනිත් මගින්ටත් එහෙම වෙන්න ඕනේ .අපිට ඇති වෙච්ච ලෙඩ රෝග වලටත් ආධාරයක් ලබාදීම සිද්ධ කළේ නෑ. ලබා දුන්න එකම සාදාරනය තමයි අපිට මේ අනතුර සිදුවීමට හේතුව වූ රියදුරා  අත්අඩංගුවට ගෙන සිරගත කිරීම..


නිවේදකයා:- මං තව දෙයක්  ඔබගෙන් අහන්න කැමතියි, මේ රිය අනතුරට මුහුණ දීමෙන් ඔබ ලැබූ අත්දැකීම් මොන වගේද ?


දත්ත දායකයා :- එදා සිද්ධ වෙච්ච දෙයින් පස්සේ තාමත් මම බස්වල ගමන් කරන්නේ බයෙන්..මේ හින්ද මට සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇති වුණා ,මේ වගේ අනතුරකින් පස්සේ මිනිස්සුන්ගේ ජීවිතේ ගොඩක් අභියෝගාත්මකයි. ඉතින් මං ඒ දේවල්වලට මුහුණ දුන්නා මගේම උත්සාහයෙන්.. මං ඔබතුමාට කිව්වනේ මට රජයෙන් ආධාරයක් ලැබුනේ නැහැ ,මං තනි උත්සාහයෙන් නැගිටලා ආපහු යථා තත්ත්වයට ආවා දැන් මගේ තුවාලේ සනීපයි. මං ආයෙත් මගේ පරණ පුරුදු රස්සාව කරගෙන ඉන්නවා මහත්තයෝ..


නිවේදකයා:- මෙච්චර වෙලා මාත් එක්ක සුහදව අත්දැකීම් බෙදා හදාගත්ත ඔබතුමාගේ අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ වගේ රිය අනතුරු වළක්වා ගන්න අපි කරන්න ඕනෙ මොනවද ?ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන්නේ මොනවගේ මතවාදයක්ද? 


දත්ත දායකයා :- මම නම් හිතන්නේ රියදුන්  අතෙන් සිදුවන වැරදි වළක්වා ගත්ත නම් බොහෝ දුරට මේ අනතුරු වළක්වා ගන්නන පුළුවන්. මිනිස්සු බීලා වාහන එලවනවා ඉතිං මහ මග ඉන්න අහිංසක මිනිස්සු නිරපරාදේ  මැරිලා යනවා ,මේවට නීතිමය ක්‍රියාමාර්ග ත් ගත්ත නම් යම්තාක් දුරකට අපිට මේවා අඩු කරගන්න පුළුවන් වෙයි. මං කියන්නේ  නැ රියදුරු විතරක් සැලකිලිමත් වෙන්න ඕනි කියලා. මගින්ගේ අතිනුත් මේකේ වගකීමක් තියෙනවා. මේ දෙගොල්ලොම හරියට කටයුතු කරා නම් මේ රිය අනතුරු වළක්වා ගන්න පුළුවන් අපිට..


නිවේදකයා :- ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ අත්දැකීම් බෙදා හදාගන්න එකතු උනාටනැවත කිසිම දිනකොට මෙවන් අනතුරකට මුහුණ පෑමට ඔබට හෝ කිසි කෙනෙකුටත් නොවේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....



*රිය අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ග නීති පිළිපැදීම, වාහන නඩත්තු කිරීම, සුරක්ෂිත රියදුරන් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම අනතුරෙන් පසුව ලබාගත හැකි රාජ්‍ය සහ පුද්ගලික සහයෝගිතා පිළිබඳව දැනුවත් වීම ,මෙවැනි මානුෂිය  ආපදා  කළමනාකරණය කිරීම සඳහා හේතුවෙයි*

 

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...