Tuesday, December 26, 2023

බෙත්ලෙහෙමෙහි තාරකාව


ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව බෙත්ලෙහෙම් තරුව යනුවෙන් හැඳින්වෙන නත්තල් තරුව, ලෝකවාසීන්ට අමුතු දෙයක් නොවේ. ජේසුතුමාගේ උපත සලකුණු කිරීමට මෙම තාරකාව පෑයූ බවට ක්‍රිස්තියානුවන්ගේ දැඩි විශ්වාසයයි.මෙහීදි ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව, ඉතා දීප්තිමත් තාරකාවක් නැඟෙනහිර අහස හරහා ගමන් කරමින්, ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ පුවත පැතිර ගියේය. ප්‍රඥාවන්තයන් තිදෙනා බෙත්ලෙහෙමේ උපන් ස්ථානයට ගෙන ගියේ මෙම තීව්‍ර දීප්තියයි.

මේ අනුව බොහෝ දෙනෙකුගේ තවත් විශ්වාසයක් නම් මෙම තාරකාව දිවැසි වැකියක් සම්පූර්ණ කිරීමක් බවය. බයිබලයේ එන මතෙව් සුබාරංචිය අනුව ශාස්ත්‍රවන්තයින් ජෙරුසලමේ හෙරොද් රාජසභාවට පැමිණි අතර ජුදයින්ගේ රජ උපත සලකුණු කළ තාරකාව පිළිබඳ හෙරෝද් රජුට සැලකරන ලදී.ජේසු උපන්දා අහසේ දිස්වූ විස්මිත තරුව පිළිබඳව බයිබලයේ මතෙව් සුබාරංචියේ දැක්වෙන්නේ මෙසේය.   

හෙරෝද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමේදී ජේසුස් වහන්සේ උපන් කල පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත් ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමාණන්ට නමස්කාර කරනු පිණිස ආවෙමුයි කීහ. එපවත් ඇසූ හෙරොද් රජුද මුළු ජෙරුසලම් ජනතාවද කැළඹූහ. එකල ඔහු සෙනලාගේ සියලු නායක පූජකයන්ද විනය ධරයන්ද රැස්කරවා ක්‍රිස්තුස් වහන්සේ කොහේ උපදින සේක්දැයි ඔවුන්ගෙන් විචාලේය. 

(බයිබලය - මතෙව් සුබාරංචිය) 

මෙම හේතුවත් සමග බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ජේසු උපන්දා අහසෙහි පෑයූවේ තාරකාවක් බවයි.තවත් සමහරුන් පවසන්නේ එය ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක් බවයි. එහෙත් නත්තලේ අසිරිය ගෙනෙන නත්තල් තරුව පිළිබඳව ඊට එහා ගිය විද්‍යාත්මක තත්ත්වයක් වර්තමානයේ හෙළි වෙමින් පවතී. මතෙව් සුබාරංචියේ සඳහන් ආකාරයට ප්‍රඥාවන්තයින් (රජවරු) තිදෙනාට ජේසු බිලිඳා සොයා ඒමට මඟ පෙන්වූ බෙත්ලෙහෙම් තාරකාව පිළිබඳ විස්තර සොයා ගැනීමට විද්‍යාඥයෝ බොහෝ කාලයක් තිස්සේ පර්​යේෂණ කළහ. එම පර්යේෂණවලින් ලද තොරතුරු අනුව ඔවුන් පවසන්නේ ජේසු උපන්දා අහසේ පායා තිබුණේ තාරකාවක් නොවන බවයි. ජේසුස් වහන්සේ වැනි සුවිශේෂි කෙනෙකු උපන්දා රෑ අහසේ දිස්වූයේ සුවිශේෂි සිදුවීමක් බව වැඩිදුරටත් ඔවුහු පවසති.   

මෙතෙක් ඉතිහාසයේ සඳහන් වාර්තා සහ බයිබලයේ සඳහන් තොරතුරු ක්‍රමවත්ව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ගණනය කිරීම් සිදුකරමින් නව අධ්‍යයනයක් සිදුකර ඇත. සිදුකළ එම අධ්‍යයනය අනුව එම විද්‍යාඥයන් පවසනු ලබන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ අහසේ දිස්වූ මෙම ආලෝකය තරුවක් නොව මේෂ රාශිය සහ ග්‍රහලෝක කීපයක් සූර්යයා සමඟ එක පෙළට එක එල්ලයට පිහිටීමක් බවයි. එසේ පිහිටි ග්‍රහලෝක වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති, පෘථිවිය සහ සඳය. මෙම ග්‍රහලෝක ත්‍රිත්වය සූර්යයා සමඟ එක එල්ලයට පිහිටි අවස්ථාවේදී දීප්තිමත් ආලෝකයක් අහසේ දිස්වී ඇත.මෙම පිහිටීම අභ්‍යවකාශයේ සිදුවූ ඉතාම විරල සිදුවීමක් බව මෙම පර්​යේෂණය සිදුකළ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥ ඇලෙක්ස් බොට් රොබින්සන් මහතා පවසයි.

ඒ කෙසේ වෙතත්, බෙත්ලෙහෙම් තාරකාව ස්වභාවික තාරකා සංසිද්ධියක් නොව විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි දෙයක් බවට යෝජනා කිරීමට සාක්ෂි තිබේ.පළමුව, බෙත්ලෙහෙමේ තාරකාව ශාස්ත්‍රඥයන්ට පමණක් පෙනෙන්නට තිබීමෙන් පෙන්නුම් කරන්නේ මෙය සාමාන්‍ය තරුවක් නොවන බවයි. එසේම, පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් ආකාශ වස්තූන් සාමාන්‍යයෙන් නැගෙනහිර සිට බටහිරට ගමන් කරයි, නමුත් බෙත්ලෙහෙමේ තාරකාව ජෙරුසලමේ සිට දකුණට බෙත්ලෙහෙම දක්වා ශාස්ත්‍රඥයන් මෙහෙයවීය. එපමණක්ද නොව, එය ඔවුන්ව කෙළින්ම ගෙන ගියේ ජෝසෙප් සහ මරියා නැවතී සිටි ස්ථානයට ඉහළින් නතර කරමිනි. එය කළ හැකි ස්වභාවික තාරකා සංසිද්ධියක් නොමැත.ඒ අනුව බෙත්ලෙහෙමේ තාරකාව හෙවත් නත්තල් තරුව හුදෙක් ස්වභාවික වල්ගා තරුවක්ම යැයි අර්ථකථනය කළ නොහැක.

Leo Tharushika Sewwandi 

Second year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...