Tuesday, February 20, 2024

රෝග ලක්ෂණ - Article 04


1.අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම

 මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණවලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි.

ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමට ද අවශ්‍ය වේ.

මෙම තත්ත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ.මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක් ද ඇති වේ.

2.ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම.

ඔබ බර අඩුකර ගැනීම සඳහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනය වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුළ ඔබගේ ශරිරයේ බර අඩු වූවා නම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.මාස හයක කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

3.නිදන්ගත තෙහෙට්ටුව

ඔබට සෑම අවස්ථාවකදීම විඩාවක් දැනෙනවා නම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියළීමයි.ඔබ එසේ නොකරනවා නම් ඔබගේ ශරීරය තුළ ශක්තිය ලබාගැනීම සඳහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත. මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි.

4.ඇස් බොඳවීම

ඔබගේ ඇස් පෙනීම බොඳ වනවා නම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි.මෙහිදී පටක තුළ ඝන රැධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවෙයි. එමඟින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොඳ වී පෙනෙනු ඇත.

5.තුවාල සෙමින් සුවවීම.

තුවාල සෑදුණු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුව වීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි.රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සඳහා බාධා ඇති කරනු ලබයි.

6.නිරන්තරයෙන් ආසාදන ඇති වීම.

නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ.

7.අත් සහ පාදවල හිරිවැටීම, දැවිල්ල සහ වේදනාව ඇති වීම

මෙම රෝග ලක්ෂණ ද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානි වීම මගින්.

8.සමෙහි ඇතිවන ක්ෂණික ගැටලු

දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම, කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්ත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි. 

 එලෙසම දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අනුව රෝගීන් කාණ්ඩ 3 කට වර්ගීකරණය කරනු ලබයි.

1. රෝග ලක්ෂණ රහිත (Asymptomatic) ආකාරය

2. තීව්‍ර (Acute) ආකාරය

3. උපතීව්‍ර (Sub-acute) ආකාරය 

1. රෝග ලක්ෂණ රහිත ආකාරය

මෙම ආකාරයේ දියවැඩියා රෝගීන්ට කිසිඳු රෝග ලක්ෂණයක් නොමැතිවීම විශේෂත්වයකි. අවාසනාවකට මෙන්, දියවැඩියා රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අයත්වන්නේ මෙම කොටසටය. එමනිසා, මෙවැනි රෝගීන්ට දියවැඩියා රෝගය වැළඳී වසර ගණනාවක් යනතුරු එය හඳුනාගැනීමට නොහැකි වේ. 

2. තීව්‍ර ආකාරය

දියවැඩියාවේ තීව්‍ර ආකාරය බහුලව හටගන්නේ තරමක් වයසින් අඩු අයටය. ඔවුන්ට සති 2 ක සිට සති 6 ක් දක්වා කාලයකදී බහුලව ඇතිවන රෝග ලක්ෂණ 3 ක් ඇතිවනු දැකිය හැක.

1.වැඩිපුර මුත්‍රා පහවීම (Polyuria)

2.අධික පිපාසය

3.බර අඩුවීම

රෝගය ගයේ මුල් අවධියේදී ඇතිවන මෙම රෝග ලක්ෂණ හඳුනානොගැනීම නිසා නිසි ප්‍රතිකාර වලට යොමු නොවුනහොත්, මෙවැනි දියවැඩියා රෝගීන්ට මුත්‍රා සමග කීටෝන (Ketone bodies) පහවීම සහ කීටෝන ආම්ලිකතාවය (Ketoacidosis) නම් වූ උග්‍ර රෝග තත්ත්වය වැළඳීම සිදුවිය හැක.

3. උපතීව්‍ර ආකාරය

දියවැඩියා රෝගයෙහි මෙම ආකාරය වැඩිපුර වැළඳෙන්නේ වැඩිහිටි අයටය. බොහෝවිට ඔවුන්ගේ රෝග ලක්ෂණ මාස ගණනාවක සිට වසර ගණනාවක් දක්වා පැවතිය හැක. අධික පිපාසය, වැඩිපුර මුත්‍රා පහවීම, සහ බර අඩුවීම ඔවුන් අතර බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ වේ. ඒවාට අමතරව, නිතර මස්පිඩු පෙරලීම, ශරීරයට තෙහෙට්ටුවක් දැනීම, පෙනීම බොඳවීම, කාන්තාවන්ගේ යෝනි මුඛය කැසීම, හෝ පුරුෂයන්ගේ ශිෂ්ණයේ පෙරසම හා ශිෂ්ණ මුණ්ඩය තුවාළවීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

දියවැඩියාව දිගුකලක් පැවතීම හේතුවෙන් හටගන්නා සංකූලතා නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණද පවතී. ඒවා නම්:

1.පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවීම.

2.පාද සහ යටිපතුල් වල 3.හිරිගතියක් ඇතිවීම.

4.සෛලීයදාහය (Cellulitis) වැනි සමේ ආසාදන ඇතිවීම.

5.ඇසේ දෘෂ්ටිවිතානයේ 6.ස්නායු දුර්වල වීමෙන් 7.පෙනීම අඩුවීම (Diabetic retinopathy).

8.හෘදයාබාධය, අංශභාගය, සහ පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease or PVD) වැනි ධමනි රෝග වැළඳීම.

වෛද්‍යවරයෙකු විසින් දියවැඩියා රෝගියෙකුට ඇතියැයි හඳුනාගන්නා රෝග නිමිතිද කිහිපයක් පවතී. ඒවා නම්:

1.ශරීරයේ බර අඩුවීම

2.විජලණය

3.සමේ ආසාදන

4.රෝගියාට කීටෝන 5.ආම්ලිකතාවය ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ පිටකරන හුස්ම කීටෝන සුවඳින් යුක්ත වියහැක.

6.දෘෂ්ටිවිතානයේ ඇතිවන හානි.

7.බෙල්ලෙහි සහ කිහිලි වල සම කලුපැහැවීම

8.පාදවල සංවේදනය අඩුවීම.

ඇතැම් රෝගීන් හෘදයාබාධය, අංශභාගය, හෝ පර්යන්ත වාහිනික රෝගය සමග ඇතිවන රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයා වෙත පැමිණෙන අවස්ථාද පවතී.

මෙවැනි රෝග ලක්ෂණ යම් කෙනෙකුට ඇත් නම් ඒ පිළිබඳව දැනුවත් වීමත්, ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමත් වැදගත් වෙනු ඇත.

Leo Rashmi Shashikala

Faculty of Art

University Of Colombo

Sunday, February 18, 2024

අමාවකට නැති හඳ?

 

Leo Tharushika Peelikumbura

Faculty of Arts

University of Colombo

නුබ

 

Leo Ayesha Lakmini

Faculty of Arts

University of Colombo

මෙයින් මතු...

 

Leo Ayesha Lakmini

Faculty of Arts

 University of Colombo

දියවැඩියාවට හේතුවන සාධක - Article 03


දියවැඩියාව යන රෝගී තත්ත්වය සඳහා අධික පිෂ්ඨය සහිත ආහාර වැඩි වශයෙන් යොදා ගැනීම හේතුවන බව බොහෝ දෙනෙකු දැනුවත් කාරණයකි. නමුත් ඊට අමතරව මේ සඳහා බලපාන තවත් හේතු ගණනාවක් පවතී.

මෙම දියවැඩියාව රෝගය සඳහා දීර්ඝකාලීනව පවතින ගැස්ට්‍රයිටිස් තත්ත්වය ද ප්‍රධාන වශයෙන් බලපාන බව බොහෝ දෙනකු නොදැනුවත් කාරණයකි. ඒ අනුව දියවැඩියාව රෝගයේදී බොහෝවිට සිදුවන්නේ අග්න්‍යාශය දුර්වල වීමකි. එහිදී ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විවිධ විෂමතා අග්න්‍යාශ‍යටද ප්‍රධාන බලපෑමක් ඇතිකරයි. එහිදී අග්න්‍යාශය දුර්වල වීම දියවැඩියාව රෝගයට ප්‍රධාන හේතුවක් බවට පත්වෙයි.

තවද අම්ල රසැති ආහාර, උෂ්ණ අධික ආහාර මෙන් ම අනවශ්‍ය පරිදි රසකාරක අධිකව යෙදූ කෘතීම ආහාර වර්ගයන් බහුලව භාවිතා කිරීමද මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. එවැනි කෘතීමව සකස්කල ආහාරවල නයිට්‍රේට් අඩංගු වන අතර ඒවා ශරීරයට එකතුවීම දියවැඩියාව, පිළිකා වැනි රෝගී තත්වයන්ට මූලික හේතුවක් වේ.  ඊට අමතරව වර්තමාන කාර්යබහුල ජීවන රටාව සමඟ ප්‍රධාන ආහාර වේල් සඳහාද ක්ෂණික ආහාර ගැනීමට බොහෝ පිරිසක් පුරුදුව සිටී. ක්ෂණික නූඩ්ල්ස්, පිටි සහිත ආහාර වැනි දේ නිසා ශරීරයට අවශ්‍ය නියමිත පෝෂණය නොලැබී යනු ඇත.  

අතීතයේදී වැඩිහිටි පරම්පරාව අතර වැඩි වශයෙන් දක්නට ලැබුන මෙම රෝගී තත්වය අද වනවිට තරුණ හා ළමා යන කාණ්ඩ අතරද බහුලව දැකගත හැකිය. ඊට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ සිරුරට අවශ්‍ය පරිදි ව්‍යායාමයක් නොලබීමයි.

දවසේ වැඩි කාලයක් එකම ස්ථානයක සිට වැඩ කිරීම තරුණ ප්‍රජාව මෙම තත්වයට පත් වීමට හේතුවී ඇත. වර්තමාන ළමයින් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඔවුන් සිරුර වෙහෙසා සිදුකරන විනෝදේ ක්‍රීඩා ආදියෙහි නියැලෙනුයේ ඉතාම අල්ප වශයෙනි. මෙවැනි තත්වයක් තුළ ළමයින්ද මෙවැනි රෝගවලට ගොදුරු වීම සාමාන්‍යකරණය වූ ඛේදවාචකයක් බවට පත්ව ඇත.

එමෙන්ම දීර්ඝ කාලයක් පුරා වියෝජනය නොවී පරිසරයේ පවතින කාබනික ද්‍රව්‍ය (POP) ද දියවැඩියාව සඳහා හේතු වේ. ඒ සඳහා බහුලව ඉවහල්වන POP වර්ග කීපයක් නම්, 

* DDT - මැලේරියා මර්ධනයට අතීතයේ භාවිතා කල කෘමිනාශකයකි.

* ඩයොක්සීන් - විවිධ ද්‍රව්‍ය දහනයේදී නිකුත්වන රසායනික  ද්‍රව්‍යකි.

මෙවැනි කාබනික ද්‍රව්‍ය සිරුරට ඇතුලු වී ඉන්සියුලීන් ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති කරයි. ස්ථුල අයට මෙම තත්වය වැඩි වශයෙන් බලපාන අතර ඔවුන් ඉතා ඉක්මනින් දියවැඩියා රෝගයට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩිය. 

මීට අමතරව මෙම දියවැඩියාව යන රෝගී තත්වය පරම්පරාවෙන් පරම්පරාවටද සම්ප්‍රේශනය වීමට හැකියාවක් පවතී. නමුත් අද වනවිට නම් බහුලව දක්නට ලැබෙන තත්වය නම් වැරදි ආහාර පුරුදු, පාරිසරික සාධක වැනි කරුණු නිසා හටගත් දියවැඩියා තත්වයන්‍ ය.

මේ ආකාරයට දියවැඩියාව රෝගය සඳහා බලපාන හේතු මොනවාද යන්න පැහැදිලි දැනුවත්භාවයක් මෙමගින් ලබාගත හැකිය.

Leo Nisansala Pathirana

Faculty of Art

University of Colombo

දියවැඩියා වර්ග - Article 02


ලොව පුරා වයස් භේදයකින් තොරව මිනිසුන් පීඩා විඳින දියවැඩියා රෝගය ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීමත් අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය නොවීමත් යන ප්‍රධානතම හේතු සාධක මූලිකව ඇතිවේ.

මෙම දියවැඩියාව ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරක් යටතේ වර්ග කළ හැකිය.

01. පළමු කාණ්ඩයේ දියවැඩියාව

02. දෙවන කාණ්ඩයේ දියවැඩියාව

03. ද්විතීක දියවැඩියාව.

04. ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව.

පළමු කාණ්ඩයේ දියවැඩියාව

දියවැඩියා රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ගෙන් 5%ට පමණ මෙම කාණ්ඩයට අයත් බව සෞඛ්‍යංශ පෙන්වා දී ඇත.  විශේෂයෙන්ම ළමුන් අතර ද දක්නට ලැබෙනුයේ මෙම කාණ්ඩයට අයත් දියවැඩියාවයි. 

අග්න්‍යාශය මගින් ශරීරයේ  ඉන්සියුලින් නිෂ්පාදනය ඇනහිටීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. මෙහිදී ක්‍රමයෙන් රෝගියාගේ ශරීරය කෙට්ටුවන අතර හුස්ම ගැනීමේ අපහසුතා ද ඇතිවේ. සිහිමද ගතියද ඇතිවම අතර මෙවැනි රෝගීන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුවේ. එහිදී මෙවැනි රෝගීන්ට මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන නිසා ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ලබාදීමට සිදුවේ. 

දෙවන කාණ්ඩයේ දියවැඩියාව.

දියවැඩියාවට ගොදුරුවන රෝගීන්ගෙන් 90%-95% අතර ප්‍රමාණයක් මෙම කාණ්ඩයට අයත් වන බව පර්යේෂක දත්තයන් පෙන්වා දී ඇත. මෙම තත්ත්වය වැඩිහිටියන් අතරද බහුලව දක්නට ලැබුණද අද වන විට ළමයින් අතරද මෙම කාණ්ඩයට අයත් දියවැඩියාව දැක ගත හැකිය. 

අධික තරබාරුව, බෙල්ල ප්‍රදේශයේ උඩුහම කළුවීම ආදී සාමාන්‍ය රෝග ලක්ෂණ මෙහිදී දක්නට ලැබේ. දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇතිවීමට මූලිකම හේතුව අධික ස්ථූල භාවය ලෙස හඳුනාගත හැක.  ඊට අමතරව ක්‍රියාශීලී නොවන ජීවන රටාව, මානසික ආතතිය, වැරදි ආහාර රටාව ආදිය ද මේ සඳහා බලපායි.

ද්විතීක කාණ්ඩයේ දියවැඩියාව.

ජානමය හේතූන්, ශරීරයේ වෙනත් හෝමෝනයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවීම, ඇතැම් රෝග සඳහා දිගුකාලීන ඖෂධ ගැනීම වැනි හේතු මේ සඳහා මූලික වේ. අධික ලෙස මත්පැන් පානය කිරීමත්, අග්න්‍යාශය විනාශවීම නිසාත් මෙම තත්ත්වයේ දියවැඩියාව ඇතිවිය හැකිය. 

ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව. 

මෙම දියවැඩියාව පළමුවරට ගර්භනී සමයේදී මවට ඇතිවේ. ගර්භනී සමය අවසන් වීමෙන් පසුව මෙම තත්ත්වය පාලනය වුවද දරු ප්‍රසූතියෙන්  පසුවද මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුවේ. ගර්භනී සමයේ දියවැඩියාවට ගොදුරු වූ මවකට පසු කාලීනව දෙවන වර්ගය දියවැඩියාව ඇතිවීමේ අවධානමක් ඇත. මෙවැනි මව්වරුන් දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසුව පළමු රුධිර පරීක්ෂාව කරගත යුතුය. ඉන්පසු සෑම මාස හයකට වරක් තමාට මෙවැනි අවධානමක් ඇත්තේද යන්න පරීක්ෂා කිරීම වැදගත් වෙයි. 

මේ අකාරයෙන් දියවැඩියාව වර්ගීකරණය වූ කාණ්ඩ මොනවාද යන්න හඳුනා ගත හැකිය.

Leo Nisansala Pathirana

Faculty of Art

University of Colombo

Saturday, February 17, 2024

දියවැඩියාව යනු? - Article 01

 


දේශීය හා ගෝලීය මට්ටමින් එහි ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ විට සාකච්ඡාවට ලක්වන වෛද්‍ය තත්ත්වයක් වන දියවැඩියාව, දැන් වසංගතයක් ලෙස වර්ගීකරණය කර ඇත. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට අනුව, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතර 8.7% ක දියවැඩියා ව්‍යාප්තියක් ඇති අතර, එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බවයි.

ගෝලීය පරිමාණයෙන්, දියවැඩියාව ප්‍රධාන බෝ නොවන රෝග (NCD) හතරෙන් එකක් වන අතර, 2030 වන විට ලෝක ජනගහනය තුල සිදුවන මරණ සඳහා පස්වන ප්‍රධාන හේතුව ලෙස ගණන් බලා ඇත. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල මෙම වර්ධනය වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත්, මේ තත්ත්වය හේතුවෙන් පසුව දියවැඩියාව ආශ්‍රිත මරණවලට මුහුණ දීමට සිදුවන බවත් වැඩිදුරටත් අධ්‍යනය කර ඇත.

සරලව කිවහොත්, දියවැඩියාව යනු අග්න්‍යාශය ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට හෝ ශරීරයට තවදුරටත් අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වූ විට වර්ධනය වන නිදන්ගත රෝගයකි. අධි රුධිර සීනි ලෙසද හැඳින්වෙන හයිපර්ග්ලයිසිමියා රෝගය, ප්‍රතිකාර නොකළ දියවැඩියාව හේතුවෙන් ඇතිවන සුලභ තත්ත්වයකි. පසුකාලීනව මෙය පුද්ගලයෙකුගේ පද්ධති, ස්නායු සහ රුධිර වාහිණී දැඩි ලෙස පිරිහීමට හේතු විය හැකිය.

දියවැඩියාව වර්ග හතරක් ඇත:

1 වර්ගයේ දියවැඩියාව:

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අග්න්‍යාශයේ සෛල විනාශ කරන අතර ඉන්සියුලින් නිපදවීමේ හැකියාවට බාධා කරයි.

2 වර්ගයේ දියවැඩියා රෝගය:

මෙය සිදුවන්නේ පුද්ගලයෙකුගේ පද්ධතිය ඉන්සියුලින්-ප්‍රතිරෝධී වන විට වන අතර, එමඟින් ඔබේ රුධිරයේ ඉහළ සීනි මට්ටමක් එකතු වීමට ඉඩ සලසනු ලබයි.

3 .ගර්භණී දියවැඩියාව: 

මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ විට මවගේ රුධිරයේ සීනි මට්ටම ගර්භණී සමයේදී සාමාන්‍ය මට්ටමට වඩා වැඩි. වන අතර ගර්භණීබව හා බැදුණු විවිධ සංකූලතා ඇතිවීමටත් බලපානු ඇත.

පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම, සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විට දුර්වල වූ ග්ලූකෝස් මට්ටමක් දරා සිටීම සිදු වේ. මෙම තත්ත්වය, 02 වර්ගයේ දියවැඩියාවට මඟ පෑදීමේ සම්භාවිතාවක් ඇති, අතරමැදි අවධියක් ලෙස බොහෝ විට මෙය හඳුනාගෙන ඇත.

මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.

ශ්‍රී ලංකාවේ ළමුන් අතර දියවැඩියා රෝගය ඉහළ මට්ටමක පවතින්නේ ඇයි?

ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ ගෞරවනීය අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසූරිය මහතා සමඟ සංවාදයක් අතරතුරදී,

ළමුන් අතර දියවැඩියා රෝගය වර්ධනය වීමේ ප්‍රධානතම හේතුව වන්නේ ජීවන රටාව වෙනස් කිරීමයි. දරුවන් දැන් නිශ්චල ජීවිත රටාවන් ගත කරන අතර එහිදී ඔවුන් ශාරීරිකව ක්‍රියාශීලීවන ක්‍රීඩාවක යෙදීමට වඩා පරිගණක සහ ලැප්ටොප් සමඟ වැඩි කාලයක් ගත කරති. විද්‍යුත් මාධ්‍ය තුල කා වැද සිටීම, ක්ෂණික ආහාර, විභාග ආතතිය වැනි දේ දරුවන්ට දියවැඩියා තත්ත්වයන් වර්ධනය වීමට බලපාන දැඩි සාධක වේ.

දියවැඩියාව තවදුරටත් වැඩිහිටියන්ට පමණක් ඇති සෞඛ්‍ය සංකූලතාවයක් නොවන බැවින්, දරුවන් ඔවුන්ගේ කාලය ගත කරන ආකාරය, ඔවුන් ගන්නා ආහාරවල පෝෂ්‍යදායී වටිනාකම සහ ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව දෙමාපියන් විසින්  වඩාත් දැනුවත් විය යුතුය.

වේගයෙන් වෙනස් වන ලෝකයක ජීවත් වන විට, අපගේ ප්‍රමුඛතා බොහෝ විට අස්ථානගත විය හැක. විශේෂයෙන් අපගේ මනස සහ ශරීරය සලකා බැලීමේදී, අපගේ ජීවන රටාවේ සරල වෙනස්කම්, දිගු කාලීන ප්‍රතිලාභවලට හේතු විය හැකි බව අප මතක තබා ගත යුතුය. මෙම ධනාත්මක පුරුදු සහ වෙනස්කම් අප සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීම සහතික කිරීම සඳහා ආයෝජනයක් ලෙස සලකන්න.

 Leo Rashmi Shasikala  

Faculty of art 

University of colombo

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...