Tuesday, January 21, 2025

දියවැඩියා රෝගයට එළවලු වල බලපෑම.


 දියවැඩියාවට එරෙහි සටනේ හරිත යුද්ධය: එළවළු වල රහස් බලය


 


දියවැඩියාව යනු අපගේ සාමාන්‍ය ජීවන  රටාවට රිංගාගත් නිහඬ සතුරෙකි. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ නොහැකියාව හේතුවෙන් බොහෝ දෙනෙකුගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වන මෙම රෝගයට එරෙහි සටනේදී, ස්වභාවධර්මයෙහි  හරිත රණ ශූරයන් වන එළවළු විශිෂ්ට ආයුධයක් ලෙස ක්‍රියා කරයි.


එළවළු ස්වභාවික සීනි සමතුලනය කරන්නා ලෙස ද දැක්විය හැකි වේ. ඒ අනුව එළවළු වල අඩංගු විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් දියවැඩියා රෝගීන්ගේ ජීවිතය බිහිසුණු සිහිනයකින් මුදවා ගැනීමට හැකියාවක් ඇත.


 ඒ අතරින් ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි මට්ටමේ ස්ථාවරත්වය පවත්වා නිරෝගී භාවය ස්ථාවර කරලීමෙහිලා එළවළු ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.  එළවළු වල අධික තන්තු ප්‍රමාණය ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී කරමින් රුධිරයට එකවරම සීනි මුදාහැරීම වළක්වයි. මෙමගින් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට උපකාරී වේ.


තවත් වැදගත් අවස්ථාවක් ලෙස, ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව දැක්විය හැකි වේ. ඒ අනුව ඇතැම් එළවළු වර්ගවල අඩංගු සංයෝග ශරීරයේ කෝෂ ඉන්සියුලින් වලට වඩා සංවේදී කරවයි. මෙමගින් ඉන්සියුලින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කිරීමට ඉඩ සලසයි.


එළවළු වර්ග ආහාරවලට එක් කර ගැනීම තුළින් ළඟා කර ගැනීමට හැකියාව ඇති තවත් ප්‍රතිලාභයක් ලෙස බර අඩු කර ගැනීමේ හැකියාව දැක්විය හැකි වේ. ඒ අනුවඑළවළු වල කැලරි ප්‍රමාණය අඩු වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් දිගු කාලීන  තෘප්තියක් ලැබේ. මෙමගින් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම අඩු කර ගැනීමට උපකාරී වේ.


හෘද රෝග අවදානම අඩු කිරීම ද එළවළු වර්ග ආහාරයට එක් කර ගැනිමේ තවත් එක් වැදගත් සෞඛ්‍ය ප්‍රවනතාවයක් ලෙස දැක්විය හැකි වේ. ඒ අනුව, එළවළු වල අඩංගු පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් වැනි ඛනිජ ලවණ රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. එමෙන්ම එළවළු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.


දියවැඩියා රෝගීන් සඳහා වඩාත් සුදුසු එළවළු පිළිබඳව අවධානය යොමු කරන විට,  කොළ පැහැති එළවළුවලට ඉහල ස්ථානයක් ලබා දීමට පුළුවන. ඒ අනුව  බ්‍රොකොලි, කොළ, සලාද, කැරට් වැනි කොළ පැහැති එළවළු විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.


දියවැඩියා තත්වයන් සඳහා තවත් හිතකර එලවළු වර්ගයක් වශයෙන් පිපිඤ්ඤා දැක්විය හැකි වේ. ඒ අනුව පිපිඤ්ඤා වල ජලය බහුල වන අතර එය ශරීරය වෙත හොඳින් ජලය සැපයීමට උපකාරී වේ.


තවත් එළවළු වර්ගයක් ලෙස  තක්කාලි දියවැඩියා තත්වය සඳහා යෝග්‍ය වන ආකාරය පිළිබඳව දැක්වීමේදී, තක්කාලි වල ලයිකොපීන් නම් ප්‍රතිඔක්සිකාරකය හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ. ඒ අනුව හෘධ රෝග තත්වයන් පිළිබඳව අවදානම් තත්වය අවම වන විට ඒ හා සමගාමී ව අත් වන දියවැඩියා තත්වයට ඇති අවදානම ද අවම වෙයි.


 

සුදුළූණු ආහාරයට එක් කර ගැනීම ද ඉතාමත් හිතකර වේ. ඒ අනුව සුදුළූණු වල අඩංගු සංයෝග රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.


එළවළු ආහාර වේලට එක් කර ගන්නා ආකාරය පිළිබඳව අවදානය යොමු කිරීමේ දී  ඒ සඳහා ඔබට නිර්මාණශීලී ක්‍රම වේදයන් සහ හිතකර වට්ටෝරු වර්ග අනුව එය සිදු කළ හැකිය. සලාද, සුප්, ස්මූති, කරි වැනි විවිධ ආහාර වර්ග සඳහා එළවළු එකතු කර ගත හැකිය. තව ද ඔබේ ප්‍රියතම ආහාර වට්ටෝරු වලට එළවළු එකතු කර ඒවා වඩාත් සෞඛ්‍ය සම්පන්න ලෙස සකසා ගැනීමට ද පුළුවන.


මේ පිළිබඳව තව දුරටත් අවධානය යොමු කිරීමේ දී, දියවැඩියා රෝගීන් ආහාර වේලක් සැලසුම් කරන විට වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.


දියවැඩියාව යනු ජීවිත කාලය පුරාම කළමනාකරණය කළ යුතු රෝගයකි. ඖෂධ සහ ඉන්සියුලින් චිකිත්සාවට අමතරව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම දියවැඩියාව පාලනය කිරීමේදී ඉතා වැදගත් වේ. එළවළු යනු දියවැඩියා රෝගීන් සඳහා ස්වභාවිකවම ලැබෙන විශිෂ්ට ආයුධයකි. එබැවින් ඔබේ ආහාර වේලට වස විසෙන් තොර වූ, නැවුම් එලවළු වර්ග නම් වූ ස්වභාවික විශිෂ්ට ආයුධය එක්හාසු කර ගැනිම තුළින් දියවැඩියා රකුසාගේ වසඟයෙන් වැලකීමට අවකාශය ලැබෙනු නිසැකය.

Sunday, January 19, 2025

දියවැඩියා රෝගයට ධාන්‍ය වල බලපෑම


 දියවැඩියා රෝගයට ධාන්‍ය වල බලපෑම


දියවැඩියා රෝගය ලෙසින් හඳුන්වන්නේ රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ත ප්‍රමාණයට වඩා ඉහළ යාමයි. දියවැඩියා රෝගයට ආහාර වල බලපෑමක් ද පවතී. ඒ අතර ධාන්‍ය වර්ග ද වැදගත් වේ. සමබර ආහාර වේලක කොටසක් ලෙස දියවැඩියා රෝගීන් සඳහා ධාන්‍ය අනුභව කිරීම අත්‍යවශ්‍ය වේ.  බොහෝ ධාන්‍ය වර්ගවල තන්තු අඩංගු වේ. පර්යේෂණ මගින් පෙන්වාදී ඇත්තේ විවිධ ධාන්‍ය වර්ග පරිභෝජනය රුධිර සීනි මට්ටම අඩු කරන බවයි.


ධාන්‍ය වලට රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කිරීම, ඉන්සියුලින් සංවේදීතාව ප්‍රවර්ධනය කිරීම සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීමෙන් දියවැඩියාව කළමනාකරණයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකිය. නමුත් ධාන්‍ය වල කාබෝහයිඩ්‍රේට්ද ඇති බැවින් ඒවා මධ්‍යස්ථව පරිභෝජනය වැදගත්වේ. සුදු සහල් වැනි පිරිපහදු කළ ධාන්‍ය ඉක්මනින් ජීර්ණය වන අතර එමඟින් රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ යයි. දුඹුරු සහල්, තිරිඟු,බාර්ලි වැනි පිරිපහදු නොකළ ධාන්‍ය රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ. දියවැඩියාව ඇති හෝ දියවැඩියා අවදානම් සහිත පුද්ගලයින්ට මේවා ප්‍රයෝජනවත් වේ.


දියවැඩියා පාලනය සඳහා ධාන්‍ය වර්ග තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ ග්ලයිසමික් දර්ශකය (Gl)යි. අඩු GI සහිත ආහාර ජීර්ණය වී වඩා සෙමින් අවශෝෂණය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ සීනි මට්ටම මන්දගාමී හා ක්‍රමයෙන් ඉහළ යයි. පිරිපහදු කළ ධාන්‍ය වලට සාපේක්ෂව සම්පූර්ණ ධාන්‍ය සාමාන්‍යයෙන් අඩු GI ඇති අතර, ඒවා දියවැඩියා රෝගීන් සඳහා වැදගත් වේ.

අඩු හෝ මධ්‍යස්ථ ග්ලයිසමික් සහිත ධාන්‍ය තෝරා ගැනීමෙන් දියවැඩියා රෝගීන්ට දවස පුරා ස්ථාවර රුධිර සීනි මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ. 


 ආමන්ඩ්, වෝල් නට්ස්, කජු, රටකජු යන ඇට වර්ගයන්හි ප්‍රෝටීන් අඩංගු වේ. ඒවා දියවැඩියාවට ගුණදායකය. ඕට්මීල්ස් ද දියවැඩියා රෝගීන්ට ගුණදායක ආහාරයකි.


ඕට්ස් ;ද්‍රාව්‍ය තන්තු වලින් ඉහළ ඕට්ස් ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමට සහ රුධිරයේ සීනි නියාමනය කිරීමට උපකාරී වේ.


බාර්ලි; රුධිර සීනි පාලනය සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ධාන්‍ය වර්ගයකි.


දුඹුරු සහල්; ග්ලූකෝස් අවශෝෂණය නියාමනය කිරීමට උපකාරී වන තන්තු අන්තර්ගතය නිසා සුදු සහල් වලට වඩා හොඳය.


මෙනේරි ; දියවැඩියා කළමනාකරණය සඳහා ප්‍රයෝජනවත් වේ.


අවසාන වශයෙන්, ඉහත  සදහන් ධාන්‍ය වර්ග එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීම මගින් දියවැඩියා රෝගය පාලනය කර ගත හැක.

Saturday, January 18, 2025

ලෝක ආගමික දිනය


ලෝක ආගමික දිනය යනු ඇදහිලිවල විවිධත්වය සැමරීමට සහ විවිධ ආගමික ප්‍රජාවන් අතර අවබෝධය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට මිනිසුන් එක් කරන විශේෂ අවස්ථාවකි.මිනිසුන් ලෝක ආගමික දිනය සමරන ක්‍රම කිහිපයක් පහත ආකාරයට දැක්විය හැකිය.

⭕අන්තර් ආගමික රැස්වීම්: ප්‍රජාවන් බොහෝ විට විවිධ ආගම්වලට අයත් පුද්ගලයන් ඔවුන්ගේ විශ්වාසයන්, සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් බෙදාගැනීම සඳහා එකට එක්වන සිදුවීම් පවත්වයි. මෙම රැස්වීම්වලට යාඥා, සංගීතය, ආහාර සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන මාතෘකා පිළිබඳ සාකච්ඡා ඇතුළත් විය හැක.

⭕අධ්‍යාපනික වැඩසටහන්: පාසල්, පුස්තකාල සහ ප්‍රජා මධ්‍යස්ථාන විවිධ ආගම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහ අන්තර් ආගමික සංවාදය ප්‍රවර්ධනය කිරීමට වැඩමුළු, දේශන සහ චිත්‍රපට දර්ශන සංවිධානය කරයි.

⭕ප්‍රජා සේවය: බොහෝ සංවිධාන සහ පුද්ගලයන් ලෝක ආගමික දිනය භාවිතා කරන්නේ සේවා සහ පුණ්‍ය ක්‍රියාවන්හි නියැලීමට, අනුකම්පාවේ හවුල් වටිනාකම් ප්‍රදර්ශනය කිරීමට සහ අන් අයට උපකාර කිරීමට අවස්ථාවක් ලෙස ය.

⭕සමාජ මාධ්‍ය ප්‍රචාරණ: #WorldReligionDay සහ #UnityInDiversity වැනි හැෂ් ටැග් භාවිතා කරමින් සාමය, ඉවසීම සහ අවබෝධය පිළිබඳ පණිවිඩ බෙදා ගැනීමට මිනිසුන් සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරයි.

⭕කලාත්මක ප්‍රකාශන: චිත්‍ර ශිල්පීන් බොහෝ විට චිත්‍ර, මූර්ති, සංගීතය සහ සාහිත්‍ය නිර්මාණය කරන්නේ විවිධ ආගම්වලින් ආභාසය ලබමින්, අධ්‍යාත්මික ප්‍රකාශනයේ අලංකාරය සහ විවිධත්වය විදහා දැක්වීමයි.

ලෝක ආගමික දිනය යනු අපගේ වෙනස්කම් තිබියදීත්, අප සියල්ලන්ම අපගේ හවුල් මනුෂ්‍යත්වය සහ වඩාත් සාමකාමී සහ සාධාරණ ලෝකයක් සඳහා අපගේ පොදු අපේක්ෂාවෙන් සම්බන්ධ වී සිටින බව මතක් කර දීමකි. එය අපගේ විවිධත්වය සැමරීමට, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ වඩාත් සුහදශීලී සහ ඇතුළත් සමාජයක් ගොඩනැගීම සඳහා එකට වැඩ කිරීමට දිනයකි.

Leo Poornima Nethmini

Friday, January 17, 2025

දියවැඩියා රෝගයට පලතුරුවල බලපෑම


 දියවැඩියා රෝගයට පලතුරුවල බලපෑම


ඉන්සියුලින් හෝමෝනයට ශරීරය විසින් ප්‍රතිචාර නොදැක්වීම නිසා හෝ ඉන්සියුලින් ශරීරය තුළ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම නිසා රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය පමණට වඩා ඉහළ යාම දියවැඩියාව ලෙස හැදින්වෙන අතර දියවැඩියා රෝගය පාලනය කිරීමට පලතුරු ආහාරයට ගැනීම ඉතා සුදුසු වේ.එනම් පලතුරු වල පොහොසත් පෝෂක අන්තර්ගතය නිසා දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ ආහාර වේලෙහි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි, නමුත් ඒවායේ බලපෑම පරිභෝජනය කරන වර්ගය සහ ප්‍රමාණය මත රඳා පවතී. දියවැඩියා රෝගීන්ට පලතුරු බලපාන ආකාරය පහත කරුණු ඔස්සේ හදුනාගත හැකිය.


🛑 *දියවැඩියා රෝගීන් සඳහා පලතුරු වල ධනාත්මක බලපෑම්* 


1. *පලතුරු තන්තු වලින් පොහොසත් වීම* 

                ඇපල්, පෙයාර්ස් සහ බෙරි වැනි පලතුරු වල තන්තු බහුල වන අතර එය ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ.



2. *අඩු ග්ලයිසමික් ​​දර්ශකය (GI)* 

               චෙරි, මිදි සහ ස්ට්‍රෝබෙරි වැනි අඩු GI සහිත පලතුරු රුධිරයේ සීනි මට්ටමට අවම බලපෑමක් ඇති කරයි.එම නිසා මෙම පලතුරු ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසු වේ.



3. *පලතුරු විටමින් සහ ඛනිජ වලින් අනුන වීම* 

              පලතුරු අත්‍යවශ්‍ය විටමින් (දොඩම් වල විටමින් සී වැනි) සහ ඛනිජ ලවණ (කෙසෙල් වල පොටෑසියම් වැනි) ලබා දෙයි,එය සමස්ත සෞඛ්‍යයට සහ ප්‍රතිශක්තියට සහාය වේ.



4. *එකතු කළ සීනිවලට වඩා ස්වභාවික සීනි* 

                 පලතුරු වල ඇති ස්වභාවික සීනි පිරිපහදු කළ සීනිවලට වඩා සෞඛ්‍ය සම්පන්න වන අතර තන්තු අන්තර්ගතය නිසා වඩා සෙමින් අවශෝෂණය වේ.



5. *ප්‍රතිඔක්සිකාරක ගුණය* 

                  බ්ලූබෙරි, දෙළුම් සහ පැඟිරි පලතුරු වැනි පලතුරු ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එමඟින් දැවිල්ල අඩු කිරීමට සහ දියවැඩියාව සම්බන්ධ සංකූලතා වැලැක්වීමට උපකාරී වේ.


🛑* *දියවැඩියා රෝගීන් සදහා පලතුරුවල අහිතකර  බලපෑම්* 


1. *ඇතැම් පලතුරු වල අධික සීනි අන්තර්ගත වීම* 

                 අඹ, අන්නාසි සහ මිදි වැනි සමහර පලතුරු වල ස්වභාවික සීනි ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින අතර ඒවා විශාල ප්‍රමාණවලින් අනුභව කළහොත් රුධිරයේ සීනි වැඩිවීමට හේතු විය හැක.



2. *අධික පරිභෝජන අවදානම් වීම* 

                අඩු GI පලතුරු පවා විශාල කොටස් අනුභව කිරීම, කාබෝහයිඩ්රේට වැඩි කිරීමට හේතු විය හැක, රුධිර ග්ලූකෝස් පාලනයට බලපායි.



3. *යුෂ සහ වියළි පලතුරු* 

                   පළතුරු යුෂ සහ වියළි පලතුරු වල සාන්ද්‍ර සීනි ඇති අතර තන්තු නොමැතිකම නිසා රුධිරයේ සීනි වේගයෙන් ඉහළ යයි.

  උදා:- වියළි මිදි


⭕ *දියවැඩියා රෝගීන් සඳහා හොඳම පලතුරු (මධ්‍යස්ථ ලෙස පරිභෝජනය කරන විට):* 


▪️ඇපල්

▪️බෙරි (ස්ටෝබෙරි, බ්ලූබෙරී, රස්බෙරි)

▪️දොඩම් 

▪️පෙයාර්ස් 

▪️කීවි 

▪️පීච්

▪️කාමරංගා

▪️ඇඹරැල්ලා 

▪️අලිගැට පේර (සීනි අඩු, සෞඛ්‍ය සම්පන්න මේදවලින් වැඩි)



 ⭕ *දියවැඩියා රෝගීන් සීමා කළ යුතු පලතුරු:* 


▪️හොදට ඉඳුන අඹ 

▪️අන්නාසි

▪️කොමඩු (එහි ඉහළ GI නිසා)

▪️වියළි මිදි

▪️කෙසෙල් (විශේෂයෙන් වැඩිපුර ඉදුණු)


ඒ අනුව දියවැඩියා රෝගීන් හා දියවැඩියා අවදානම සහිත පිරිස් පලතුරු ආහාරයට ගැනීමේදී ලබා ගන්නා ප්‍රමාණය හා ලබා ගන්නා වු පලතුරුවල ග්ලයිසමික් අගය පිළිබඳව සැලකිලිමත් වෙමින් පලතුරු ආහාරයට එකතු කරගන්නේ නම් ඔවුන්ගේ ශරීරයේ පැවැත්මට මෙන්ම දියවැඩියා තත්ත්වය පාලනය කර ගැනීමටද පලතුරු උපකාරි වේ.

Thursday, January 16, 2025

දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම


 දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම


 වර්තමානය වන විට බාල,  මහලු වයස් බේදයකින් තොරව බොහෝ පුද්ගලයින් දියවැඩියා රෝගයට ගොදුරු වන බව අපට දැක ගත හැකිය. මෙම රෝගී තත්ත්වය සඳහා මූලිකවම බලපානු ලබනුයේ, ඉන්සියුලින් හෝමෝනයයි.


ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. ඒ අනුව, දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ. මෙය වළක්වාලීමට පලා වර්ග මහෝපකාරී වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.


ඒ අනුව ගොටුකොළ, මුගුණුවැන්න, කන්කුන්, සාරණ, නිවිති, තම්පලා, අගුණ කොළ සහ තෙඹු යනාදි සියලුම පලා වර්ග දියාවැඩියා රෝගයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.


ඉහත සඳහන් කළ පරිදි, ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කිරීම සඳහා පලා වර්ග උපකාරී වේ. මීට අමතරව සජලනය වැනි තත්ත්වයන් අවම කරමින් දියවැඩියාව සමඟ සටන් කිරීමට පලා වර්ග වැදගත් වේ. නිදසුන් ලෙස, නිවිති, සාරණ සහ සලාද කොළ පෙන්වා දිය හැකිය.


කොළ පැහැති පලා වර්ගවල අධික තන්තු ප්‍රමාණයක් අන්තර්ගත වේ. බොහෝ විට මේවා ආහාරමය තන්තු වේ. මෙම තන්තු මඟින් රුධිර ප්‍රවාහයේ ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී කරයි. එමෙන්ම ස්ථාවර රුධිර මට්ටම ප්‍රවර්ධනය කරයි. මෙනිසා බර කළමනාකරණය වීමක් ද සිදු වේ.


මේ අතරින් දියවැඩියා රෝගය සඳහා සුදුසුම පලා වර්ගයක් ලෙස තෙඹු හඳුනාගත හැකිය. තෙඹු කොළ වල ඉහළ තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට එය සමත් වන බව පෙනී යයි.


ගොටුකොළ, මුගුණුවැන්න, පොතුපලා, කන්කුන් වැනි පලා වර්ගවල විටමින් C, විටමින් K සහ පොටැසියම් වැනි ඛනිජ වර්ග බහුලව අන්තර්ගත වේ. එබැවින් දියවැඩියා රෝගයට මෙම පලා වර්ග අනුභවය තවත් යෝග්‍ය වේ.


මීට අමතරව පලා වර්ගවල ප්‍රතිඔක්සිකාරක ගුණයක් බහුලව පැවතීම ද දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කිරීමට උපකාරී වේ. 


මේ අනුව පෙනී යනුයේ, දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පලා වර්ග මහෝපකාරී වන බවයි.

Tuesday, January 14, 2025

දියවැඩියා රෝගය පාලනයට ව්‍යායාම උපකාර වන ආකාරය


 දියවැඩියා රෝගය පාලනයට ව්‍යායාම උපකාර වන ආකාරය .


දියවැඩියාව පාලනයට සහ වලක්වා ගැනීමට ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගතකිරීමට ව්‍යායාම අතිශය වැදගත් වේ. එය

දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම  පාලනය කිරීමෙහිලා මෙන්ම රුධිරයේ සීනි හා මේද අම්ල සඳහා යහපත් බලපෑමක් ඇති කරයි.

ව්‍යායාම සිරුරේ ශක්තිය දහනය කිරීමටත්, බර පාලනය කිරීමටත් උපකාරීවේ. එමගින් මානසික ආතතිය අඩු කර ගැනීම දියවැඩියා රෝගය පාලනයට පිටුවහලක් වේ. එපමනක්ද නොව ප්‍රබෝධවත් හැඟීමක් පවත්වාගෙන යාමටද ව්‍යායාම ඉවහල් වන බව කිව යුතුය.


මීට අමතරව දිනපතා සිදු කරන ව්‍යායාම මඟින් සිරුර, ඉන්සියුලින් සඳහා දක්වන සංවේදීතාව වැඩි කරයි. එමෙන්ම දියවැඩියා ඖෂධ හා ඉන්සියුලින් වඩාත් ප්‍රතිඵලදායී වීම සඳහාද වැදගත් වේ.තවද ව්‍යායාම තුලින් රුධිරය සිරුරේ ගමන් කිරීම ක්‍රමවත් කරයි.


ව්‍යායාම මඟින් දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාව අඩු කරයි. පාරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය දවාලීමට සුදුසු ලෙස කායික ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ව්‍යායාම කිරීම වැදගත්. සිරුරට ලබාගන්නා ආහාර සීනි හා මේදය ලෙසින් සිරුරේ මාංශ පේශීවල තැන්පත් වේ. ව්‍යායාම කිරීමේදී එම අනවශ්‍ය මේදය දහනය කරන අතර රුධිරියේ පවතින සීනි වලින් යළි අවශ්‍ය ශක්ති ප්‍රමාණය සිරුරට අවශෝෂණය කර ගැනීම නිසා ස්වයංක්‍රීයව රුධිරයේ සීනි මට්ටම පාලනය සිදු වේ.

        සතියකදී වැඩි දින ගණනක්, අවම වශයෙන් මිනිත්තු 30 ක්  ව්‍යයාමයන්හි නිරත වීම වඩාත් ඵලදායී වේ.


ඒ අනුව නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යායාම වැදගත් සාධකයක් වේ.


Monday, January 13, 2025

තෛපෝංගල් දිනය

තෛපෝංගල් දිනය  


      අද 2025 ජනවාරි මස 14 වෙනිදා ය. තෛපෝංගල් දිනය අපට මෙතරම් සුවිශේෂී වන්නේ ඇයි?         

මෙය යුරෝපයේ සහ දකුණු ආසියාවේ විශාලතම සංස්කෘතික හා ආර්ථික උත්සවයක් සේ සැලකේ.දමිළ ගොවියන් නමින් ලබා ගත් අස්වැන්නෙන්,  කොටසක් අස්වැන්න ලබා ගැනීමට උපකාර කල සූර්‍යයාට,වර්ශාවට සහ ගවයින් සදහා පූජා කිරීම තෛපෝංගල් දින සිදු කරයි.මෙම දිනය අපට විශේෂ වන්නේ පරම්පරානුකූල,සාමකාමී සහ පවුලේ සාමාජිකයන් සම්බන්ධීකරණය කිරීම,ආගමික සහ සමාජ ක්‍රියාවලීන් තුල සාමය,ගෞරවය හා සමෘද්ධිය සැලැස්වීම අරමුණු කොට ගැනීමයි.        


  තෛපෝංගල් උත්සවය, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවයයි.ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා සහ හින්දු නොවන ජාතීනුත් තෛපෝංගල් උත්සවය සමරයි.                                      *එදිනට* *දමිළ* *ජනතාව*


🟣 මැටි කළයක   කිරි ඉතිරවීම.   


🟣ගේ දොරකඩ කෝලම් රටා දැමීම.  


🟣විවිධ රසකැවිලි වර්ග පිළියෙල කිරීම.  


🟣තම ගවයා නහවා,සරසවා විශේෂ සැලකිලි දැක්වීම.    

 යනාදි කාර්‍යයන් හි නිරත වේ.


✨ලොව වටා බොහෝ රටවල ජනයා විසින් වසන්ත සෘතුවේ දී හින්දු තෛපෝංගල් උත්සවයට සමාන උත්සවයක් ද සමරනු ලැබේ.මෙය සමරනු ලබන්නේ ඉරු දෙවි,මහී කාන්තාව(පොළොව),වැසි දෙවි සහ අස්වනු නෙලා ගැනීමට උපකාරී වූ ගවයන් සදහා ස්තූති කිරීම,කෘතඥ වීම සදහා වේ.  


🔵   පෝංගු යනු පිරී ඉතිරී යෑම වැනි තේරුමක් දෙන වදනකි.පෝංගල් බත් ඔවුන්ගේ ප්‍රධානම උත්සව ආහාරය යි.එය හකුරු,ගිතෙල්,කිරි,මුද්දරස්පලම් ආදී දේ යොදා පිසින පැණිරස බතකි.      


🔵   මෙම උළෙල      පැවැත්වෙන්නේ 'තායි'  මාසයේ  (දමිළ දින දර්ශනයේ   දහවන මාසය) පළමු දිනයේදී ය.සූර්‍යයාගේ උතුරු දෙසට   ගමන් කිරීම 'උත්තරායන' ලෙස හැදින්වේ.මෙම    උත්තරායනය ඇරඹෙන්නේ තෛපෝංගල් දිනයෙනි.  


🔵 පෝංගල් උත්සවයේ ආරම්භය සනිටුහන් කිරීම සදහා නව මැටි බදුනක පෝංගල් පිසීම සිදු කරයි.මුට්ටිය උතුරා යන විට ඒ වටා රැස්ව සිටින්නෝ 'පෝංගල් පෝංගල්'!!! කියති.සිංහලයන් කිරි උතුරවන්නා සේ කිරිබත උතුරා ගැලීම සුබ ලකුණක් බව ඔවුන් සලකයි.      

                                    *පෝංගල්* *උත්සවය* *දින* *කිහිපයක්* *පුරා* *සමරනු* *ලැබේ* .   


🔘 *භෝගි* *පෝංගල්* - මෙය තෛපෝංගල් උත්සවයේ පළමු දවස වේ.නිවාස පිරිසුදු කිරීම,සුද්ද පවිත්‍ර කිරීම,කෙසෙල්,අඹ අතු,මල් මාලා සවිකර උත්සවය සදහා සූදානම් වීම මෙම දිනය තුළ සිදු කරයි.මෙදින ඉන්ද්‍ර දෙවියන්ට පූජා පැවැත්වීම ද සිදු කෙරේ.භෝගී පෝංගල් පරණ අවුරුද්දේ අවසාන දිනයයි. 


🔘 *සූර්‍ය* *පෝංගල්* - ජනවාරි 14 දින.මෙදින උදෑසනින්ම කාන්තාවන් නිවස ඉදිරිපිට අතුගා පිරිසිදු කොට කෝලම් අදියි.කෝලම් රටා ඇදීමේදී බොහෝ විට ඔවුන් හාල් පිටි භාවිතා කරන්නේ,ඒවා කුහුඹුවන් වැනි සතුන් හට ආහාර වීමට ය.එය මෙම උත්සවය සොබා දහම හා බද්ධ වී ඇති ආකාරය මැනවින් කියා පායි.එසේම මෙදින උදෑසන ස්නානය කොට පිරිසිදු වී අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී පෝංගල් බත් පිසීම ද ප්‍රධාන වේ.මෙය සිදු කරන්නේ නිවසින් පිට අලුත් ලිපක් බැද වීම සුවිශේෂී වේ. එම බත පිසූ පසු එහි මුල්ම කොටස ඉරු දෙවියන්ට,ඉන්ද්‍ර දෙවියන්ට සහ උපේන්ද්‍ර දෙවියන්ට පූජා කරනු ලබයි.ඒ සදහා උළුදු වඩේ ද වෙනස් රසකැවිලි ද පූජා කරයි. 


🔘 *මාට්ටු* *පෝංගල්* - මාට්ටු පෝංගල් සමරනු ලබන්නේ තෛපෝංගල් දිනයට පසු දා වේ.තම අස්වැන්න ලබා ගැනීමට උපකාරී වූ ගවයන් සදහා කෘතගුණ සැලකීම මෙදින සිදු කරයි.මෙම සතුන්ව නහවා පිරිසිදු කොට,මල්මාලා වලින්,අලංකාර කොට,කහවතුර ගල්වා,කුංකුම ආලේප කිරීම සිදු  කෙරේ.මෙදින ඇතැම් ගැමියන් පොල් අත්තකින් හුලු අත්තක් පත්තු කර ගවයා වටා ගෙනගොස්,ඉන්පසු එය රැගෙන ගමේ කොණකට දිව ගොස් හුලු අත්ත අතහරියි.මෙය ගවයින්ට ඇති ඇස්වහ සහ අමනුශ්‍ය බැල්ම සමනය කිරීම සිදු කරනු ලැබේ. 


🔘 *කානුම්* *පෝංගල්* -  මෙය තෛපෝංගල් උත්සවයේ අවසාන දිනය යි.මෙදින වෙන් වී ඇත්තේ නෑ ගම් යෑම,නෑ හිතමිතුරන් සමග තෑගී බෝග හුවමාරු කරගැනීම සදහා වේ.      තෛපෝංගල් උත්සවයේ   ප්‍රධානතම අරමුණ වන්නේ,අලුත් සහලින් දෙවියන් පිදීමයි.සිංහල අවුරුද්දට සමාන වන මෙය අවුරුදු 2000 ක ඉතිහාසයක් ඇති මෙම උත්සවය ලොව පුරා එක හා සමානව සමරනු ලැබේ.          

                       ඉන්දියාව,සිංගප්පූරුව,කැනඩාව,ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව වැනි දමිළ ජනයා වැඩියෙන් වෙසෙන රටවල මෙය ජනප්‍රිය වේ.එනමුත් තෛපෝංගල් සැමැරුම ඉහළින්ම සිදුවන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය. 


ගොවිතැන වටා බැදුනු සංස්කෘතියත්,සශ්‍රීකත්වය සමරන ආකරයත් පිළිබඳව අපට අනුමානයක් ලබා ගැනීමට හැකි වනු ඇත.එසේම එවැනි සංස්කෘතීන් සමග ජනයා සොබා දහම හා බැදී ඇති ආකාරය අපට සිතුවමක් සේ ගම්‍ය වේ.

 

🕊️ International Day of Hope – July 12 🕊️

🌟 International Day of Hope: Inspiring Resilience and Unity 🌟 🌈 The International Day of Hope The International Day of Hope is a gl...