Monday, January 27, 2025

සුනු විසුනුව යන හීන


 සුනු විසුනුව යන  හීන


ස්වාභාවික  ආපදා  සේම මානුෂීය  ආපදා ද ජීවිතයේ  නොසිතන මොහොතක   සිදුවන  සිදුවීමකි.මානුෂීය  ආපදාවක්  වන රිය අනතුර පිලිබඳව  මම මෙහිදී  මාතෘකාව කරගත් අතර පැලවත්ත  ප්‍රදේශයේ   මීට  වසරකට පමණ   පෙර  අලුයම  තම මෝටර්සයිකලෙන් රැකියාවට  යන  අතර තුර ලංගම  බස් රථයක ගැටී සිදු වූ  දරුණු  රිය  අනතුර පිලිබඳව  ඵම අනතුර සිදු වූ  පුද්ගලයා  හා සිදුකල සාකච්ඡාව මෙහිදී  ලියමි. ( මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන්  ලියන ලද්දකි. එනමුත්  පෞද්ගලිකතත්වය ආරක්ෂා  කිරීම වෙනුවෙන්  යොදාගන්නා  නම,ගම    මනංකල්පිත  වේ.)


 නිවේදකයා: සුභ උදෑසනක්  මහත්මයා ! ඔබට ඇති  වු ආපදා පිලිබඳව විස්තර  දැනගන්න  පුළුවන්ද?                               


නිමල් මහතා  :  සුභ  උදෑසනක්  පුතා !  මීට  වසරකට පමණ  පෙර අලුයම මම රැකියාවට යන අතර තුර ලංගම බස් රථයකට ගැටී  එයින්  මාගේ හිස  දරුණු  ලෙස  වැදීම නිසා ලේ වහනය  වීමත් පපු ප්‍රදේශයේ  සීරීමට ලක් වීම  හා දකුණු  අත හා පාදය කැඩීමට  ලක් වු අතර මාගේ  මෝටර්සයිකලය ද කැඩී තිබුනා. 


නිවේදකයා: එම අඅවස්ථාවේ  ඔබට ඇති වු  හැගීම  කොහොමද?                            


නිමල් මහතා :  ජීවිතය  ගැන  බිය දැනිණි. අත  හා පාද අහිමි  ව අබ්බගාත  තත්වයට  පත්වෙයැයි කියා සිතුනා.


නිවේදකයා: එයින්  ඔබට වු අහිමි  වීම කුමක්ද?                


නිමල්  මහතා :  ජීවිත  හානි;  ඔලුව  දරුණු  ලෙස  වැදීම නිසා ලේ වහනය වීමත්  අත් හා පාද ආබාධ  වලට ලක්වුනා..

දේපල හානි; මෝටර්සයිකලය කැඩීම  


නිවේදකයා: ඔබට මානසික  ආබාධ සිදුවූවා ද?   

 

        නිමල් මහතා   :    ඔව් , මානසිකව ඉතා පහතට වැටුනා,   මතකය නැති වී  යාමට ලක් වුනා ,   වාහනවලට හා  වාහන ශබ්දයට පවා බය වුනා..


නිවේදකයා: එය කොපමණ  කලක්  පැවතියාද?                 


නිමල් මහතා :  අවුරුදු දෙකක්  පමණ  තිබුනා  මානසික වෛද්‍ය   ප්‍රතිකාර  ලබා  ගත්තා..


නිවේදකයා:  සැත්කම්  වලට භාජනය  වූවාද?


නිමල් මහතා:   ඔව් ,              මාගේ    ශරීරයම සැත්කම්  වලට භාජනය  කිරීම. 


නිවේදකයා: ආර්ථික තත්වය  කෙසේ වීද? එයට මුහුණ  දීමට   හැකි වීද?   


නිමල් මහතා :    අවුරුදු  දෙකක් පමණ  රැකියාවට යාමට  නොහැකි  වුනා. රැකියාව  කරන  ස්ථානයෙන්  ජීවිතය  රක්ෂණයක් තිබීම  නිසා ඉන්  මුදල් ලබා ගැනීමට  හැකි වුනා. 


නිවේදකයා: රාජ්‍ය   අංශයේ  හෝ නීතියෙන්  සහනයක්  ලැබුනා ද?  


නිමල් මහතා :   ඔව්,  බස් රථයේ රියදුරු  අපරීක්ෂාකාරී ව රිය  ධාවනය  කල හෙයින්  හා මාර්ග  නීති  කඩ කල හෙයින්   මා  හට  නීතිය  ඉදිරියේ  වන්දි  මුදලක්  ලබා දීමට  කටයුතු  කිරීමට විරුද්ධ පාර්ශවයට සිදුවීය. 


නිවේදකයා: එහිදී  ඔබට ගැටලු  මතුවීද?               


නිමල් මහතා :   ඔව් , වන්දි  මුදල  එකවර නොලැබීම එය වාර 3  කට ලැබීම හා මෝටර්සයිකලය අලුත්වැඩියාවට යන මුලු වියදමෙන්  භාගයක්  පමණක් ලැබුනා. 


නිවේදකයා:  ඔබට දැන්  ජීවිතය  ගැන  කුමක්  හැගේද?             


නිමල් මහතා :   සතුටුදායකයි!    නැවත පෙර  පරිදි  ජීවිතය  ගත කිරීමට  හැකි වුනා. 


නිවේදකයා: මා  සමග ඔබගේ  අදහස්  ගනුදෙනු  කරාට ඔබට  ස්තුතියි!! 

 

අවසාන වශයෙන්  මට හැගීගියේ අපගේ ජීවිතය  වලට  පැමිණෙන   මෙවන් ආපදා   වලින්  අපිත් අන් අයත් ආරක්ෂා  කරගෙන අපට  ජිවිතයේ එන මෙවන්  ආපදා  තත්වයට  නොබියව  ශක්තිමත් ව මුහුණ  දී නැවත නැගී සිටීමයි.


H.Nimesha  kavindi

කැළඹුණු කාලගුණයෙන් බිලිගත් ජීවිත


 කැළඹුණු කාලගුණයෙන් බිලිගත් ජීවිත


සොදුරු දසුන් මවමින් ඇස හා මනස සුවපත් කරන සොබාදහම පෙරළිකාර ලෙස වෙනස් වෙමින් රුදුරු දසුන් මවන්නට ගත වන්නෙ ඇසිපිය හෙලන නිමේශයකි.සොබාදහමේ එවැනි කුරිරු ක්‍රියාකලාපයෙන් අවුරුදු 07ක් පමණ පීඩා විදින දත්ත දායකයෙකුගේ ඛේදනීය කතා පුවත අප හා බෙදාගත්තෙ මහත් සංවේගයෙනි.


නිවේදක : ඔබතුමා මුහුණ දුන් ස්වාභාවික ආපදාව පිලිබද පැරණි මතකය මොහොතකට මතක් කළොත්?


දත්ත දායකයා:විශාල නායයෑම් තත්වයක් තමයි ඇතිවුණේ.එක දිගට දවස් තුනක් විතර වැස්ස තිබ්බා.ඒජි ඔෆිස් එකේ මහත්තුරු ඇවිත් අපිට අයින් වෙන්න කිව්වා.ඔයාලගේ ගෙදර නායයෑම් තර්ජනයකට ලක්වෙලා තියෙනවා.එක පාරටම ඉතින් කිව්වට අපිට යන්න එහෙම තැනක් තිබ්බෙ නෑ.පස්සේ කොහොමහරි වයිෆ්ගේ මල්ලිගේ ගෙදරට තමා අපි අයින් වුනේ.


නිවේදක:නායයෑම් හේතුවෙන් ඔබට අහිමි වුනේ මොනවාද 


දත්ත දායකයා:අපේ ගෙදර.වයිෆ් අවුරුදු ගානක් රට ඉදලා ලෝන් ගහලා තමයි ගේ හැදුවේ.තට්ටු දෙකට තිබුණු ගෙදර සාලෙයි ලොකු දුවගේ කාමරේයි ඉතුරු වෙලා ඉතුරු ඔක්කොම බිත්ති පුපුරලා සම්පූර්ණයෙන් පස් කණ්ඩියට යටවෙලා තිබ්බෙ.


නිවේදක:මේ ඉඩම පාරම්පරික උරුමයක්ද මිලදී ගත් ඉඩමක්ද?


දත්ත දායකයා:මිලදී ගත්ත ඉඩමක්.මගේ යාලුවෙක් මාර්ගයෙන් ගත්තෙ අපේ මහගෙදර ප්‍රශ්න ඇතිවෙලා කුලී ගෙදරක ඉන්න ගමන් තමා ඉඩම ගත්තෙ.මීට අවුරුදු ගානකට කලින් එකම එක පාරක් පස්කණ්ඩිය කඩන් වැටුනට මෙහෙම නායයෑමක් ගැන අපිට දැනීමක් තිබ්බේ නෑ.


නිවේදක:එම ආපදාවට ලක් වූ අවස්ථාවේදී ඔබට දැණුනු හැගීම කෙබඳුද?


දත්ත දායකයා:කන්ද නාය යනවා ගෙදරින් අයින් වෙන්න කියද්දි මුලින්ම හිතුවෙ දෙයියනේ කොහෙටද යන්නෙ කියලා වෙලාවට වයිෆ්ගේ මල්ලිගේ ගෙදරට යන්න පුලුවන් වුනේ.ගෙදර තිබුණු බඩු නම් ඔක්කොම වගේ බේරගත්තා.නාය ගිහින් ආයේ ගෙදරට යද්දි සාලෙයි කාමර කෑල්ලකුයි විතරයි ඉතුරු.වයිෆ්ට ඒක දරාගන්න බැරිවුනා.සති දෙක තුනක් යනකල් එයා කෑවෙත් නෑ.හරියට කල්පනා කරනවා.ගමේ මිනිස්සු කට්ටිය කියලා කියලා තමා හිත හදාගත්තේ.අපිට හිතුනේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි කියලා.ඒ තරම් වයිෆ් මානසික වැටුණා.අවුරුදු ගානක මහන්සිය දවස් තුනක වැස්සයි තත්පර ගානක නායකිනුයි විනාස වෙලා ගියා.


නිවේදක:ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබට කවරාකාරයේ බලපෑමක් සිදු වූයේද?


දත්ත දායකයා:මම ගාමන්ට් එකක ක්ලීනීන් තමා කලේ.සතියක් විතර තමා ජොබ් එක නැතුව හිටියේ ගංවතුර,නායයෑම් එක්ක.ලොකුම ප්‍රශ්නෙ වුනේ කනබොන එකටත් වඩා අපි ආයේ කොහෙටද යන්නෙ.මල්ලිගේ ගෙදර වුනත් හැමදාම ඉන්න බෑ.


නිවේදක:නැවත ආරක්ෂිත ස්ථානයක ආපදාවෙන් පසු පදිංචි වූයේද?


දත්ත දායකත්වය:ගාමන්ට් එකෙන් පොඩි ආධාරයක් ලැබුණා.රජයෙනුත් පර්චස් දහයක ඉඩම් කෑල්ලක් ලැබුණා.හැබැයි කලින් වගේ තට්ටු දෙකකට ගේ හදන්න තරම් බැරිවුණා.නාය යන්න කලින් යට තට්ටුවේ වැඩ ඉවර කරලා තිබ්බෙ.උඩ තට්ටුවේ බිත්ති බැදලා තිබ්බෙ.වහල ගහලා කපරාරු කරලා තිබුනේ නම් නෑ.දැන් අලුතින් හදපු ගෙදර තාම ඉතින් සාලෙයි,කුස්සියකුයි,කාමරේකුයි විතරයි හදාගත්තේ.සල්ලි ලැබෙන විදිහට ඉතුරු ටික හදනවා.අපේ ජීවිත හරි බේරුනු එක ලොකු දෙයක් ඉතින්.


නිවේදක:ඔබට ස්තූතියි.


Leo M.D.Maleesha Manodya

Sunday, January 26, 2025

මූලික රුධිර පරීක්ෂණ


 මූලික රුධිර පරීක්ෂණ



Random Blood Sugar පරීක්ෂණය


 ඔබ වෛද්‍යවරයෙකු හමුවට යන විට ඔබට දියවැඩියාව තිබේදැයි වෛද්‍යවරයා සැක කරන කල්හී ඒ වෙලාවෙම රුධිර සාම්පලයක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් දියවැඩියාවට නිර්දිෂ්ඨ සම්මත රුධිර පරීක්ෂණය FBS නොහොත් නිරාහාර රුධිර පරීක්ෂණය වූවත් ඔබ වෛද්‍යවරයා හමුවට යන්නෙ ඊට සූදානම් වෙලා නොවෙයිනෙ. ඒත් දළ අදහසක් ගන්න ඔබ ඉන්න ආකාරයෙන්ම වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් කළොත් එය Random Blood Sugar  පරීක්ෂණය ලෙස හඳුන්වනවා. ඔබ ලබාගෙන තිබෙන ආහාර වර්ගය, කොපමන වෙලාවක් ආහාර ගැනීමෙන් පසුව ගතවී තිබේද ආදී කරුණූ මත අගයන් වෙනස් විය හැකියි. ඒත් දළ වශයෙන් මෙහි අගය 180 මි.ග‍්‍රෑ./ඩෙ.ලී ට වඩා වැඩි නම් නිරාහාර රුධිර පරීක්ෂාවක් කළ යුතුයි.


Fasting blood sugar නිරාහාර රුධිර පරීක්ෂාව 




 වචනයෙන් ප‍්‍රකට වන ආකාරයටම මෙහිදී සිදු කරණුයේ රෝගියා පැය 10-12 කාලයක් නිරාහාරව ඉන්නට සලස්වා රුධිර නියැදියක් ගෙන එහි ඇති ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමයි. මෙහිදී පහසුව තකා රාත‍්‍රී ආහාරයෙන් පසු නිරාහාරව සිට පසුදා උදෑසන රුධිරය ගැනීමක් සිදු කෙරේ.


මෙහිදී ලැබෙන අගය 70-100 milligrams per deciliter (mg/dL) නම් ඉතා හොඳය.


100-125 mg/dL අතර අගයක් ගැනීමෙන් ග්ලූකෝස් යාමනයේ අසමතුළිතතාවයක් ඉගි කරයි. මෙය පූර්ව දියවැඩියා තත්ත්වය ප‍්‍රකට කරයි.


ග්ලූකෝස් අගය 126 mg/dL හෝ ඊට වැඩි වීම දියවැඩියාව ලෙස සළකා ප‍්‍රතිකාර කිරීමට හේතු වෙයි.



දියවැඩියාව මූත‍්‍රා පරීක්ෂණ - දැන් එතරම් භාවිතයක් නෑ



මුත‍්‍රා වල සීනි මට්ටම වැඩිවීම මත දියවැඩියා රෝගය පිළිබඳව අවබෝධයක් ලැබීම අමාරුයි. දියවැඩියාව විමසීමේ මුත‍්‍රා පරීක්ෂණය දෝෂ වැඩියි. ඊට හේතුවක් තිබෙනවා. වකුගඩු වල ග්ලූකෝස් දරාගැනීමේ මට්ටමක් තිබෙනවා. Renal Threshold යනුවෙන් හඳුන්වන එම මට්ටම ඉකුත් වුණාම විතරයි මූත‍්‍රා වලට ග්ලූකෝස් කාන්දු වෙන්නෙ. ඇතැම් අයගේ මේ දරා ගැනීමේ මට්ටම අඩුයි. ගර්භිණී අවධියේදී මේ Renal Threshold මට්ටම අඩුයි. වකුගඩු රෝගයක් තිබෙන විටත් මේ Renal Threshold මට්ටම අඩු විය හැකියි. එවිට මුත‍්‍රා වල සීනි නෑ. ඒත් ඔහුගේ රුධිර සීනි මට්ටම ඉහළ අගයක් ගන්න පුළුවනි. මුත‍්‍රා වලින් නියම ස්වභාවය පෙන්නුම් කරන්නෙ නෑ.


මේ නිසා දැන් මුත‍්‍රා සීනි පරීක්ෂණ වෙනුවට ග්ලූකොමීටරයෙන් රුධිර සීනි මට්ටම බැලීමෙන් ඔබට දළ අදහසක් ලබාගන්න පුළුවනි. ග්ලූකොමීටරයෙන් රුධිර සීනි මට්ටම මැනීමේදී පිළිගත් නිරවද්‍ය ග්ලූකොමීටරයකින් එම පරීක්ෂණය සිදුකර ගැනීම වගේම නියම කර ඇති පිළිවෙලට එම පරීක්ෂණය සිදු කිරීමත් වැදගත්.


Hemoglobin A1c පරීක්ෂණය නොහොත් HbA1c




 දියවැඩියා රෝගීන්ගේ පසුගිය මාස තුනක කාලයක් ඇතුළත රුධිර සීනි මට්ටම ගැන පෙරයීමක් කරන වටිනා රුධිර පරීක්ෂණයකි HbA1c


ඔබේ රුධිරයේ රතු රුධිරාණූ තුළ ඔක්සිජන් නොහොත් අම්ලකර වායුව පරිවහනය කරන හිමොග්ලොබින් පවතී. මේ සෛල වියපත් වන විට කෙමෙන් ඒ තුළ ග්ලූකෝස් අණු තැන්පත් වේ. මේ ක‍්‍රියාවලිය Glycation නමින් හැඳින්වෙයි. රුධිරයේ වැඩියෙන් ග්ලූකෝස් පැවතීම යනු Glycated hemoglobin වැඩි වීමක්ය. එය මෙම පරීක්ෂණයේදී HbA1c  අගය වැඩි වීමෙන් ප‍්‍රකට වේ.


Ÿ නිරෝගී අගයක HbA1c  පැවතීම යනු HbA1c   ප‍්‍රතිශතය 5 ට වඩා අඩු වීමකි.

Ÿ HbA1c   අගය 7% ට වැඩි නම් ඉන් අදහස් කෙරෙන්නේ පසුගිය කාලය තුළ රුධිර සීනි මට්ටම එතරම් හොඳින් පාලනය වී නොමැති බවයි.


HbA1c   පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පූර්ව පිළියෙළ වීමක් අවශ්‍ය නොවේ.


අක්ෂි පරීක්ෂණය  Dilated Eye Examination




 ඔබ දියවැඩියා රෝගියෙක් නම් කලින් කලට අක්ෂි පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යය. එමගින් දියවැඩියා අක්ෂි රෝගය නම් තත්ත්වය ඇති වී ඇසේ පෙනීම නැති වෙනවාද යන්න කල්යල් ඇතිව හඳුනාගත හැකිය. එසේ නොමැති වූවහොත් ඇස් වලට කල් ගිය පසු ප‍්‍රතිකාර කිරීම පහසු නොවේ.


මෙහිදී ඔබේ අක්ෂි වෛද්‍යවරයා විසින් ඇසට යම් රසායනයක් දමා ඇසේ කළු ඉංගිරියාව විස්තාරනය කිරීමක් මුලින්ම සිදු කර ඉන් පසුව ඇස පරීක්ෂා කරණූ ලබයි. මෙසේ පරීක්ෂා කිරීමෙන් ඔබේ වෛද්‍යවරයා ඔබට දියවැඩියා දෘෂ්ඨි ආබාධයේ මූලික ලක්ෂණ තිබේදැයි හඳුනාගන්නවා ඇත. මේ අවස්ථාවේදී එම තත්ත්වය හඳුනාගතහොත් ඔබ බෙහෙවින් වාසනාවන්තය. එයට යෙදිය හැකි පිළියම් තිබේ. යම් හෙයකින් ඔබත් නොදැනීම දියවැඩියා දෘෂ්ඨි ආබාධය මෝරා ඔබේ පෙණූම නැතිවන අවස්ථාවේදී ඔබ අක්ෂි වෛද්‍යවරයා හමු වුණොත් ඔහුට ඔබ වෙනුවෙන් කිරීමට යමක් ඉතිරි නොවනු ඇත.


දියවැඩියා දෘෂ්ඨි ආබාධය අද වයස අවු. 65 ඉකුත් වූ පුද්ගලයන්ගේ අන්ධභාවයට ප‍්‍රධාන හේතුවකි. 

මෙවන් ඉරණමක් ඔබටත් අත් නොවීමට නම් දියවැඩියා රෝගියෙකු වන ඔබ වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂණයකට ලක් විය යුතුය.


දියවැඩියාව පාද පරීක්ෂණය




 දියවැඩියා රෝගීන් පාද මුහුණ සේ පිරිසිදුව තබාගත යුතු යයි කියමනක් තිබේ. දියවැඩියා රෝගියෙකුගේ ස්නායු පහසුවෙන් දුර්වල විය හැකිය. පාදවල රුධිරගමනාගමනය දුර්වල විය හැකිය. පාදයේ තුවාලයක් සිදු වුණොත් එය සුව කිරීම පහසු නොවේ. ඒ ආසන්නයට රුධිර ගමනාගමනය නොමැති වෙයි. ඒ නිසා ආසන්න පටක මැරී යයි. අවසානයේ එය නතර වන්නේ ඇගිල්ලක්, සමහර විට පාදයේ කොටසක්ම කපා ඉවත් කිරීමෙනි.


දියවැඩියා රෝගියෙකු වශයෙන් ඔබ වෛද්‍යවරයා මුණගැහෙන හැම අවස්ථාවකම ඔබේ වෛද්‍යවරයා ඔබේ පාද සුවසෙත ගැනද විමසිළිමත් වන්නේ එහෙයිනි.


දියවැඩියා රෝගියෙකු සෑම දිනෙකම පාද සුවසෙත පිළිබඳව විමසිළිමත් විය යුත්තේය. හැකි පමණ පිරිසිදුව පාද පවත්වා ගත යුත්තේය. පාද ආපදාවලට ලක්විය හැකි අවස්ථා මග හැරවිය යුත්තේය. සම බිඳීම්, තුවාල, ආසාදන වලින් ආරක්ෂා විය යුත්තේය. නිය කැපීමේදී අගටම නොකපා සුළු ඉඩක් පවතින සේ කොන් තුවාල නොවන සේ නියපොතු කැපිය යුත්තේය.

පාද ආරක්ෂාවට වැඩිදුර උපදෙස්


ඔබේ පාදයට හරියටම සරිලන පාවහන් යුවලක් පළඳින්න.


සපත්තු පැළඳීමේදී වැලිකැට හා වෙනත් බාධක ද්‍රව්‍ය පාවහන් තුළ නොමැති බවට සැක හැරගන්න.


පාද සැමදා සබන් ගා දෝවනය කර හැකිතාක් පිරිසිදුව තබාගන්න. 


ඒවා සෑම විටම වියළිව තබාගන්න. තෙත මාත්තු කරගන්න.


පාද වලට සැර රසායන ද්‍රව්‍ය ගල්වන්න එපා


කරගැට හා වෙනත් තුවාලයක් වෙතොත් වෛද්‍යවරයා ලවාම නොපමාව ප‍්‍රතිකාර ලබාගන්න


දුම් පානයෙන් වළකින්න. ව්‍යායාම වල යෙදෙන්න. ඉන් පාද වලට යහපත් රුධිර ගමනාගමනයක් සැලසේ.


පාවහන් නැතිව ඇවිදීමෙන් වළකින්න

Saturday, January 25, 2025

ජාත්‍යන්තර අධ්‍යාපන දිනය


 ජාත්‍යන්තර අධ්‍යාපන දිනය

 

ජාත්‍යන්තර අධ්‍යාපන දිනය යනු ලෝකය පුරා අධ්‍යාපනයේ වැදගත්කම සැමරීම සඳහා වෙන් කර ඇති වැදගත් දිනයකි.  මෙම දිනයේදී, අධ්‍යාපනයේ බලය, එහි ඇති හැකියාවන් සහ එය ලබා ගැනීමේ අයිතිය ගැන අපි සිතා බලමු.  අධ්‍යාපනය යනු තනි පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් කළ හැකි, රටක දියුණුවට හේතු විය හැකි බලවත් මෙවලමකි.

 

අධ්‍යාපනය හරහා, පුද්ගලයින්ට තමන්ගේ හැකියාවන් හඳුනා ගැනීමට, තමන්ගේ ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීමට සහ තමන්ගේ සමාජයට දායක වීමට හැකි වේ.  එය ආර්ථික ස්වාධීනත්වය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ සමාජ යහපත ඇති කිරීමට දායක වේ.  අධ්‍යාපනය හරහා, පුද්ගලයින්ට තොරතුරු වලට ප්‍රවේශ වීමට, විවිධ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට සහ තර්කානුකූලව චින්තනය කිරීමට හැකි වේ.

 

කෙසේ වුවද, ලෝකයේ බොහෝ ප්‍රදේශවල, තවමත් බොහෝ දරුවන්ට සහ තරුණයින්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත.  දරිද්‍රතාවය, යුද්ධ, භේදභින්නතා සහ ලිංගික භේදය යනාදී බාධක රාශියක් මෙයට හේතු වේ.  මෙම ගැටලු විසඳීම සඳහා, අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුය.  අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීම යනාදී ක්‍රියාමාර්ග ගත යුතුය.

 

අධ්‍යාපනය යනු තිරසාර සංවර්ධනයේ යතුරයි.  එය ආර්ථික වර්ධනයට, සමාජ යහපතට සහ පරිසර ආරක්ෂාවට දායක වේ.  ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී, අපි සියලු දෙනාම අධ්‍යාපනයේ වැදගත්කම ගැන සිතා බලමු,  සහ ලෝකයේ සියලුම දරුවන්ට සහ තරුණයින්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා අපට කළ හැකි දේ ගැන සිතමු.


අද වන විට AI තාක්ෂණය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධව දක්වන ප්‍රතිචාරය කෙබඳුද යන්න අප දැන් විමසා බලමු.


 විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හට AI  තාක්ෂණය නිසා තම උසස් අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව සිදුකිරීමට අද වන විට හැකියාව ලැබී ඇත එනමුත් විශ්වවිද්‍යාල සිසුන් මෙම තාක්ෂණය නිසියාකාරව භාවිතා කරනවද යන්න ඉමහත් ගැටලුවක් බවට වර්තමානයට පත්ව තිබේ.


මෙම AI තාක්ෂණය විශ්වවිද්‍යාල අධ්‍යාපන කාර්යයේ සාර්ථකත්වයට හේතුවන ආකාරය විමසා බලමු. වර්තමානයේ බොහෝමයක් විශ්වවිද්‍යාලයේ සිසුන්ට අභියෝගයක් වී ඇත්තේ තම භාෂාමය හැකියාව වර්ධනය කිරීමට නිසි ක්‍රමවේද නොමැතිවීමයි. නමුත් AI තාක්ෂණය යොදාගෙන අද වන විට කිසිදු ගෙවීමකින් තොරව තම භාෂාවේ හැකියාව වර්ධනය කර ගැනීමට සිසුන් හට හැකියාව ලැබී ඇත.Fully Fuluent, Elsa Speak, Memerise, Duolingo, Rosetta Stone, Busuu, Talk  Pal යන AI යෙදවුම් හරහා තම භාෂාවන් සිසුන් හට වර්ධනය කරගත හැක. තවද විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යන කටයුතු සඳහා සිදුකිරීමට අවශ්‍ය වන Assignment,ව්‍යාපෘති  සඳහා නව අදහස් ලබා ගැනීමටද ලොව රටවල විශ්වවිද්‍යාල මහාචාර්යවරු විසින් ප්‍රකාශිත කරන ප්‍රකාශනයන් ඉතා යුහුසුළු කාලසීමාවක් ඇතුළත ලබා ගැනීමටද හැකියාව ලැබෙයි.Sisi, Chat Gpt වැනි ඉතාම ප්‍රසිද්ධ වූ AI යෙදවුම් හරහා මෙම අධ්‍යයන කටයුතු ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කර ගැනීමට වර්තමානයේ හැකියාව ඇත.


 නමුත් වර්තමාන විශ්වවිද්‍යාලයේ සිසුන් මෙම තාක්ෂණය නිසියාකාරව ලබා ගන්නවාද යන්න ඉමහත් ගැටලුවක් බවට පත්ව ඇත අධ්‍යන කටයුතුවල සාර්ථක භාවය සම්බන්ධව සොයා බලන කල ඒ ඇයි තාක්ෂණය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට දැඩි බලපෑම් සිදු කරන බව අද විවිධ සමීක්ෂණ වාර්තා හරහා සොයාගෙන ඇත.



 විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු යනු නිර්මාණශීලී චින්තනයකින් යුතුව විචක්ෂණශීලී චින්තනයක් මෙහෙයවමින් විචාරශීලී බුද්ධිමට්ටම මෙහෙයවා සෑම කටයුත්තක්ම සිදු කළ යුතු බුද්ධි පිරිසකි.  සාමාන්‍ය පුද්ගලයෙකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අතර දැකිය යුතු පැහැදිලි වෙනස ද එයමය. නමුත් AI තාක්ෂණය විශ්වවිද්‍යාල සිසුන්ගේ මනස වර්තමානය වන විට මොට කරවන තත්ත්වයකට පත්ව ඇත.


 වර්තමානයේ මෙම නව AI යෙදුම් තුළින් සිසුන් තම  උසස් අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි. අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා AI තාක්ෂණය මගින් මූලික මගපෙන්වීමක් ලබාගන්නවා වෙනුවට විශ්ව විද්‍යාල සිසුන් තම සමස්ත අධ්‍යන ක්‍රියාවලියම තාක්ෂණය වෙත පවරනු ලබයි. මේ හරහා ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ බුද්ධිමය හැකියාව මට වන තත්ත්වයට පත්ව ඇත. ශිෂ්‍ය බුද්ධි මට්ටම මෙහෙයවා විචාරශීලීත්වය ඔප්නංවා ගනිමින් සිදු කළ යුතු සියලු වැඩ කටයුතු කෘතීම මනසක් වෙත පවරා ශිෂ්‍යයන් තම බුද්ධිමය මනස නිකරුණේ මොට කරවා ගනී. පසුව සිදුවන්නේ සමාජයට ද ඉතාමත් ප්‍රබල බලපෑමක්. මන්ද විශ්වවිද්‍යාලයක් තුළින් වසර හතරක ගෞරව උපාධි පාඨමාලාවක් නිමවා සමාජයට පියමනින ශිෂ්‍යයා තවදුරටත් ශිෂ්‍ය භූමිකාවක රැඳී නොසිටි. ඔහු සමාජයේ කුමක් හෝ රැකියාවක නිරත වෙයි. නමුත් රැකියා ක්ෂේත්‍රය තුළද ඔහුට සිදුවන්නේ තම මනස නිසියාකාරව විචක්ෂණශීලීව මෙහෙයවා ගැනීමට නොහැකිවීමයි. මේ ඉතා ප්‍රබල බලපෑමකි. වී ඇත්තේ artificial intelligence නම් කෘතීම මනස මිනිස් මනස යටපත් කරගැනීමය.


 නමුත් විය යුත්තේ මෙම තත්ත්වය වෙනස් කිරීමයි. AI තාක්ෂණය බලපෑම් සහගතය කියා ඉවත දැමීම  සිදු නොකළ යුතුය. කළ යුත්තේ ඒ නිසියාකාරව භාවිතා කිරීමයි කෘතීම මනස විසින් ඔබගේ මනස පාලනයට ඉඩ නොතබා ඔබගේ මනස විසින් කෘතීම බුද්ධිය පාලනය කරමින් තම විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය අධ්‍යාපනය හැදෑරිය යුතුය එවිට නියම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හරහා නියම ශිෂ්ට සම්පන්න වූ විචාරශීලී ශිෂ්‍යයකු සමාජයට නිර්මාණය වේ. එවිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියම අරුත සමාජයට දායක වේ.

අකුණුවල දරුණු බව


 අකුණුවල දරුණු බව 


ශ්‍රී ලංකාවේ අකුණු අනතුරු යනු බහුලව සිදුවන ස්වභාවික ආපදාවකි.බස්නාහිර පළාතට අප්‍රේල් මාසයේ අකුණු සැර වැදී ම් බහුලව සිදුවන අතර බක්මහා අකුණු ලෙස ඒවා හඳුන්වයි.මේ බක් මහා අකුණු වලට මුහුණදීමටට සිදුවූ පුද්ගලයෙකුගේ කතාවකි.


නිවේදකයා :ඔබ මුහුණ දී තිබේන්නේ මානුෂීය ආපදාවකටද නැත්නම් ස්වභාවික ආපදා තත්ත්වයකටද?


දත්ත දායකයා:2013වසරේදී මා පාසල් ගොස් ගෙදර පැමිණ පාසලේදී ලාබා දුන් වැඩ කරමින් සිටින විට සවස 4පමණ නිවසට අකුණු සැර පහරකට ලක් වීය.කිසිදු වැහිබර කාලගුණ තත්ත්වයක් තිබුනෙත් නෑ.එදා ගෙදර හිටියේ අම්මයි,අච්චියි ,මායි විතරයි .


නිවේදකයා :ආපදාවන් නිසා ඔබට අහිමිවීම් සිදුවී තිබේද?


දත්ත දායකයා:ඔව් .ගොඩක් අහිමි වුණා.බිත්ති පිපිරීම් සිදුවුණා .විදුලි බල්බ් ගොඩක් පිච්චිලා ගියා.වතුර මෝටරය පිච්චිලා ගියා.ආආ තව රේඩියෝ එක කැලි කැලි වලට කැඩිලා  විසික් වුණා.හැබැයි දෙයියනේ කියලා ජීවිත ටික බේරුණා.


නිවේදනයා:අපදාව තුලින් ඔබට කුමන ආකාරයේ බලපෑමක් එල්ල වුණිද?


දත්ත දායකයා:ඔව් ආපදාව තුළින් අපට විශාල වශයෙන් බලපෑමක් එල්ල වුණා.ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ එය ආර්ථික වශයෙන් එල්ලුණ බලපෑමක්.පිච්චුන විදුලි උපකරණ ටික ගන්න ත් නැවත නිවාසයේ විදුලිය යථා තත්ත්වයට පත් කරගන්න විශාල මුදලක් වැය වුණා.


නිවේදකයා:හොඳයි. අපි ඊළඟට බලමු ඔබට විදුලි සැරවැදීම් නිසා කුමන ආකාරය හෝ ආබාධයන්ට ලක්වුනාද?


දත්ත දායකයා:පිටට පේන්නනම් ආබාධයක් ඇති වුණේ නෑ.නමුත්  ඒ වෙලාවේ දැඩි ශක්තියක් ආපු නිසා බය ඇතිවුණා.අම්මව නං ඒ ශබ්දෙට වැටිලා තිබ්බා .අත පොඩ්ඩක් තුවල වෙලා තිබුණා.


නිවේදකයා: එම ආපදාවට ලක් වූ අවස්ථාවේ ඔබට දැනුණු හැඟීම් කුමන ආකාරයද?


දත්ත දායකයා: අනේ මන්දා වෙලාවේ හැටියට මොනවක්වත් හිතාගන්න බැරි උනා.


නිවේදකයා:එය සිදුවියේ කෙසේද?


දත්ත දායකයා:අම්මා වැහිබර කාලගුණයක් තිබ්බේ නැති හින්දා රේඩියෝ එකේ බණ දැම්මා.දාලා පැය භාගයක් විතර යන්න ඇති විශාල විදුලියක් සමග රේඩියෝ එක කෑලි කෑලි වලට  කැඩිලා ගේ පුරා විසික් වුණා.


නිවේදකයා:ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබට කවර ආකාරයෙන් බලපෑමක් සිදුවූයේද?


දත්ත දායකයා:සිදුවූ ආර්ථික බලපෑම නම් කියලා ඉවර කරන්න බැහැ.අපි ගෙදර  අලුත්වැඩියා කරන්න රත්තරන් බඩු ටික උකස් කරලා සල්ලි ගත්තේ.ඒවා බේරගන්න අවුරුදු ගානක් ගියා.


දැන් නං අපි ටී.වී,රේඩියෝ එක එහෙම දානකොට හොඳට පරිස්සම් වෙනවා මෙවැනි ආපදාවක් ඇති නොවෙන විදිහට.


නිවේදකයා:ඔබට ස්තුතියි අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙන් කරාට.

Friday, January 24, 2025

කඳුළු කතාවන්


 කඳුළු කතාවන් 

 

ජීවිතයට ආපදා එන්න තැනක් කොතනැක් අවශ්‍යද ඒ වගේම වයසක් අවශ්‍ය වෙනවද ඉතිං ඒ වගේ ගැටලුවට මුහුණ දුන්නු ඒ වගේ ජීවිතවලට අත්දැකීම් ලබපු  කොළඹ පුරවරයෙන් ඈත පිහිටි හරි අපූරු පාසලක දරුවන් කීප වෙනුවෙන්ගේ ජීවිතයේ අනුවේදනීය කතාවයි මේ (නම් ගම් සියල්ල පෞද්ගලිකත්වය උදෙසා මනංකල්පිත වේ ) 


නිවේදකයා : ඔයා ආපදාවකට මුහුණ දුන්නේ කොහි සිටින අවස්ථාවේද ?


පූර්ණිමා සිසුවිය : මම ගෙදර ඉන්න වෙලාවෙදි අකුණුසැර වැදීමක් තමයි සිද්ධ වුණේ


නිවේදකයා :  ඒ සිදුවීම අපිට විස්තර කරන්න පුළුවන්ද ?


පූර්ණිමා සිසුවිය :  එදා උදේ වරුවේ ඉඳන්ම හොඳටම වැස්ස. ඒ වෙලාවේ ගෙදර ඉදියේ  මමත් ආච්චි අම්මත් විතරයි. ටිප් ස්විචයට අකුණක් වැදිලා එකවරම ගිනිගන්න ගත්තා. 


නිවේදකයා : ඒක මුලින්ම දැක්කේ කවුද ?


පූර්ණිමා සිසුවිය : මම තමයි ඒක මුලින්ම දැක්කේ. ඒ වෙලාවේ අයියවත් ගෙදර ඉඳියේ නැහැ. මටත් කරන්න ඕන දේ හිතා ගන්න බැරි වුණා එකවරම. 


නිවේදකයා : ගින්න නිවන්න ඔයා ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ?


පූර්ණිමා සිසුවිය : මම ඉක්මනටම තෙත රෙදි ගෝනියක් අරගෙන ගින්න නිවන්න කටයුතු කළා.


නිවේදකයා : ඔබට බෙහෙවින්ම ස්තුතියි.



 *සමීපතයන්ගේ අහිමිවීම තම දෑසින්ම දුටු විට එය පුංචි සිත්  දරාගන්නේ කෙසේද  මේ ඇගේ කතාවයි* . 



නිවේදකයා : ඔබ ආපදාවට මුහුණ දී තිබෙනවද ?


නුවනි සිසුවිය : ඇත්තටම මේ ආපදාවට මුහුණ දුන්නේ මම නෙවෙයි නමුත් මගේ  අම්මගෙ අයියා! ඒ කියන්නේ මගේ මාමායි. 


නිවේදකයා : ඔහු මුහුණ දුන්නේ කවර ආපදාවකටද ?


නුවනි සිසුවිය : ඔහු රැකියාව සඳහා යාමේදී නාය යෑමකට ලක් වුනා.  එයින් ඔහුගේ ජීවිතය පවා අහිමි වුණා. 


නිවේදකයා : එය අත්දැකීම අපිට කියන්න පුළුවන්ද ?


නුවනි සිසුවිය : ඔව් ඇත්තටම. එක දවසක් එයා කොළඹ ඉඳන් අපිව බලන්න ආවා. එයා රැකියා විදිහට කරේ පතල් අංශයේ රැකියාවක්. එතනදි තමා එයා ඒ ආපදාවට මුහුණ දුන්නේ. ඔහුගේ ප්‍රධානියා විසින් ඔහුට පතල ආශ්‍රිත මෝටරයක් ප්‍රතිසංස්කරණය කරන්න යැයි පැවසුවා. ඒ කටයුත්තට  යන ගමන අතරේදී පස් කන්දක් කඩා වැටි ඔහු යටවුණා. ඒ පස් කන්දට යටවෙලා දවස් පහකට විතර පස්සේ තමයි එයාව ගොඩ ගත්තේ. 


නිවේදකයා : ඒ වෙනකොට එයාට මොනවද වෙලා තිබුණේ? 


නුවනි සිසුවිය : ඒ වන විට ඔහු  මියගොස් සිටි අතර දින පහක්ම වතුරවලටත් පස්වරටත් යටවෙලා ඉඳපු නිසා එයාගේ හම සුදු පාට වගේ වෙලා තිබුණා. ඉදිමිලා වගේ තිබුනේ. අන්තිමට එයාගේ මිනිය ගෙනාවේ සීල් කරපු පෙට්ටියක


නිවේදකයා : ඒ අවස්ථාවේදී ඔබට දැනුණු මානසිකත්වය කෙසේද ?


නුවනි සිසුවිය : ඒ වගේ නායාමකට ලක්වෙලා නැති වෙයි කියලා හිතුවේ නෑ. ලොකු දුකක් ඇතිවුණා. 


නිවේදකයා : ඔබට ස්තුතීයි.


කුඩා අවදියේ සිටම ජීවිතයට අඳුරු මතකයන් කියන්නේ පැමිණිය හැකිය.සෑම දෙයක්ම දරාගෙන කුඩා අවදියේ සිටම ජීවිතය ඉදිරියට ගෙන යාමට අප හුරු විය යුතුය.

Thursday, January 23, 2025

දියවැඩියා රෝගයට මාංශමය ආහාරවල බලපෑම.


.දියවැඩියා රෝගයට මාංශමය ආහාරවල බලපෑම.


දියවැඩියාව යනු රුධිරයේ ඇති ග්ලූකෝස් නියමිත ප්‍රමාණයට වඩා වැඩිවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. දෛනික කාර්යන් සදහා ශක්තිය නිපදවීමට ශරීරයෙ සයිලවලට ග්ලූකෝස් අවශ්‍ය වේ. අප ගන්නා ආහාරයෙ අඩoගු කාබෝහයිඩ්‍රේට් ජීරණයේ අන්තර් ඵලයක් ලෙස සෑදෙන ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය වී දේහයේ විවිධ සයිලවලට ළගා වේ. දේහ සයිල තුළට ග්ලූකෝස් ඇතුළුවීමට අග්න්‍යාශය නිපදවන ඉන්සියුලින් හෝමෝනය අවශ්‍යවේ.

සාමාන්‍ය නිරෝගී මිනිසෙකු නිරාහාර අවස්ථාවේ රුධිරය 100mlකට ග්ලූකෝස් 70-110mgක ප්‍රණයක් පවතී. මෙම ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරයෙහි ග්ලූකෝස් පැවතිම නිසා දියවැඩියා තත්ත්වය ඇති බව හඳුනාගත හැකිය.මිනිසුන් වැඩිපුර පැණිරස ආහාරවලට කැමති නමුත් මේවා ප්‍රමාණය ඉක්මවා ගැනීම නිසා ද දියවැඩියා රෝගය ඇති වේ. මෙම තත්ත්වය නිසා තවත් බෝ නොවන රෝග රාශියක් වැළදේ. හදවත් රෝග, ආගාතය, රුදීරපිඩනය,වකුගඩු රෝග, ඉන් කිහිපයකි.


 ප්‍රමාණවත් ව්‍යායාම හා නිවැරදි ආහාර රටාවක් හෙවත් සමබර ආහාරවෙලක්  ගැනිම තුළින් මෙම තත්ත්වය පාලනය කරගත හැකිය.මෙහිදී මාංශමය ආහාර වැදගත් තැනක් ගනී. උදාහරණ ලෙස මාළු මගින් ශරීරයට ප්‍රෝටීන් හා ඔමේගා 3 මේද අම්ල ලැබෙන බැවින් ඉන් දියවැඩියාව පාලනය කරගත හැකිය. ඊට අමතරව  හදවත් රෝග පාලනය හා ශරීරයට ඉතාම ගුණදායී ආහාරයක් ලෙස මාළු හදුනාගත හැක. සාඩි, මැකරල්, හුරුල්ලා, වැනි මාළු වර්ග දිනපතා  ගැනිම යෝග්‍යවේ. බිත්තර අනුභවයද ගුණදායී වේ.මෙහි පොෂ්‍යපදර්ථ රැසක් ඇත. අවම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇත. ප්‍රෝටීන් හා හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇත.මෙහිදී මාළු පිසීමේදී භාවිතාකරන කහ,සුදුළූණු,කුරුදු,  වැනි කුළුබඩු තුලින්ද දියවැඩියා රෝගය පාලනය කරගත හැකිය.බිත්තර සුදුමදය දියවැඩියා රෝගීන්  ගැනීම මගින් මෙම රෝගී තත්වය පාලනය කරගත හැක.දිනකට බිත්තර 1ක් ගැනීම යෝග්‍ය බව ප්‍රයෙක්ෂන මගින් ඔප්පු කර ඇත. මීට අමතරව. සීනි නොදමා මේදය අඩු කිරි, සම ඉවත්කළ කුකුල් මස්, මාංශ බෝගද දියවැඩියා රෝගයට ඉතා ගුණදායී ආහාරයන් කිහිපයකි.මේවා මගින් දියවැඩියාව පාලනය කළ හැකිය.දිනපතා සමබර ආහාර වේලක් ගනිම මගින් නිරෝගී ජීවිතයක් ගත කලහැකිය.


K.A.C.Dinukshi Bandara

ලෝක තරුණ නිපුණතා දිනය

  "World Youth Skills Day" එනම්,"ලෝක තරුණ කුසලතා දිනය" සැමරෙන්නේ ජූලි 15 වනදායි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2014 ව...