Monday, September 30, 2024

ලෝක ළමා දිනය


 "නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය." -එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය-

 2024 තේමාව- දරුවන් රැකගමු. සමසේ සලකමු.

 ළමයා යනු කවුද?

 ළමයා ලෙස සරලව අදහස් වන්නේ වයස අවුරුදු 18 ට අඩු සියලු දෙනා දරුවන්ය. සාහිත්‍ය විචාරයට අනුව ළමයා යනු, විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වේ. මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ද ළමයා වේ. ලොව ඇති වටිනාම සම්පත දරුවන්ය. පවුල නැමැති මූලික කුටුම්භය තුළ පවුලට ආලෝකය, සතුට, ආදරය රැගෙන එනු ලබන්නේ දරුවන්ය.


මල් කැකුළුවන් දරුවන් වෙනුවෙන් ඔවුන් සඳහාම සුවිශේෂී වූ දිනයක් වෙන්කර ඇති අතර එය "ලෝක ළමා දිනය" ලෙස හඳුන්වනු ලබයි. ලෝක ළමා දිනය විවිධ රටවල විවිධ කාලවකවානුවලදී සැමරීමට ලක්කරනු ලබන අතර දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට, ප්‍රවර්ධනය කිරීමට හා සැමරීමට මෙන්ම දරුවන් සඳහා වඩාත් යෝග්‍යමත් සමාජයක් හා ඔවුන්ට යහපත් ලොවක් තනා දීමට ප්‍රවේශයක් ලබා දීම ලෝක ළමා දිනයේ මුඛ්‍යය පරමාර්ථයයි.


ලෝක ළමා දිනයෙහි ඓතිහාසික පසුබිම.

ලෝක ළමා දිනයෙහි ඓතිහාසික පසුබිම පිළිබඳ ගත්කළ මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස්. එච්. ලෙනාර්ඩ් පියතුමා විසිනි. ප්‍රථම වරට මොහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශීවන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ සුභසිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කරන ලදී. ඒ අනුව මෙම දිනය ඔහු "රෝස දිනය" ලෙස නම් කර තිබුණි.

ඉන්පසු තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය. 1925 දී ජිනීවා හි පැවැත්වුණු ළමුන්ගේ සුභසාධනය පිළිබඳ ලෝක සමුළුවේදී ද මේ පිළිබඳව අවධානය යොමු විය. 1950 ජූනි 01 දින සිට වාර්ෂිකව ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර බටහිර රටවල් රාශියක් එය වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්විය.

 එම දිනය "විශ්ව ළමා  දිනය" ලෙස නම් කරමින් 1954 නොවැම්බර් 20 දා සිට එක්සත් ජාතීන්ගේ සමුළුවේ නිර්දේශ මත ගෝලීය ලෙස ළමුන්ට ගරු කිරීම සඳහා ලෝකයේ විවිධ ස්ථානයන්හි ලෝක ළමා දිනය සමරයි. මෙම දිනය තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ළමා ප්‍රඥප්තිය සම්මත වීම මගින් සිදුවිය. ලෝක ළමා දිනය සෑම වර්ෂයකම නොවැම්බර් 20 පැවතුණද එය ලෝකයේ විවිධ රටවල විවිධ දිනයන්හිදී සමරනු ලබයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 01 වැනිදා ළමයින්ගේ රැකවරණය හා සුභසිද්ධිය සැමරීමේ දිනය ලෙස සමරනු ලබයි. ලෝක ළමා දිනයේ වැදගත්කම දෙසට අවධානය යොමු කරන විට එය බොහෝ දේ අරමුණු කරගෙන සමරනු ලබයි. ළමුන්ට සිදුවන හිංසන වැළැක්වීම හා අපචාරවලින් ඔවුන් ආරක්‍ෂා කර ගැනීම, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට මෙම දිනය තුළින් වැඩි අවධානයක් ලබා දෙයි. එමෙන්ම දරුවන්ට විවේකීබවක් ලබාදීම හා ඔවුන්ට ද යම්කිසි සමාජ භාවයක් ඇතිකිරීම, සමාජ මට්ටමින් දරුවන් උතුම් හා වටිනාකමින් යුතුයැයි ප්‍රකට කිරීම උදෙසා මෙම ලෝක ළමා දිනය පවත්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය පාසල් ළමුන් කේන්ද්‍ර කරගෙන පාසල් මට්ටමින් සිදුකරනු ලබන අතර එහිදී විවිධ වැඩසටහන්, විනෝද ක්‍රියාකාරකම් හා ත්‍යාග ලබාදීම් සිදුකරයි. කෙසේ වුවත් ලෝක ළමා දිනය තුළ ඇති යටි අරුත වන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පෙනී සිටීමට රටක් ලෙස බැඳී ඇති බව ඇඟවීමයි.

ශ්‍රී ලංකාවේ ද ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව දැඩි නීතිරීති ක්‍රියාත්මක කරයි. 

▪︎1991 ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය.

▪︎අංක 1939 ළමුන් හා තරුණයන් පිළිබඳ පනත.

 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත.

▪︎1998 අංක 27 දරණ අධිකරණ පනත.

▪︎ අංක 50 දරණ ළමා ආරක්ෂක පනත.

 මෙලෙස ලංකාවේ බොහෝ නීති පද්ධතියක් ළමා අයිතීන් වෙනුවෙන් පවතියි.

ලෝකයේ ළමා දින පැවතිය ද වර්තමාන සමාජයේදී දරුවන්ට විශාල ලෙස අහිතකර බලපෑම් බාහිර සමාජයේදී සිදුවේ. 

* ළමුන් නීති විරෝධී කටයුතුවල යෙදවීම. 

* 18 ට අඩු ළමුන් රැකියාවලට යොමුකර ගැනීම.

* බාල වයස්කාර අපරාධ.

 • ළමා මෙහෙකාර සේවය.

* ළමා අපයෝජනය.

* අවයව සඳහා ළමුන් විකිණීම හා පැහැරගෙන යාම.

අහිතකර බලපෑම් අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග.

* දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන් විසින්  දරුවන්ට සමාජයේ දී ආරක්ෂා වීමට නිතරම උපදෙස් ලබාදීම.

* නිතරම දෙමාපිය රැකවරණය හා ආරක්ෂාව ලබාදීම.

* ළමා අපරාධ හා අපයෝජන ක්‍රියා වැළැක්වීමට නීති ක්‍රියාත්මක කිරීම හා දැඩි දඬුවම් ලබාදීම.

•ළමුන්ට නිසි අධ්‍යාපනය ලබාදීම.

* ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.


ශ්‍රී ලංකාවේ ළමුන්ට සිදුවන අපරාධ හා අපයෝජන ක්‍රියා පිළිබඳ දැනුවත් කිරීමට ළමා හා කාර්යාංශය මඟින් 1929 දුරකථන සේවයක් ආරම්භ කර තිබීම. ශ්‍රී ලංකාවේ ළමා අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකරන ආයතන රාශියකි. ඒවා අතර, ▪︎පොලිස් ළමා  කාන්තා කාර්යාංශය.

 ▪︎ළමා ආරක්ෂක අධිකාරිය.

▪︎ කම්කරු කාර්යාලය.

▪︎ මානව හිමිකම් කොමිෂන් සභාව.

රටේ ජනතාව ළමයින් සම්බන්ධව තීන්දු තීරණ ගන්නා විටත්, ක්‍රියාකරන විටත්, ළමයාට යහපතක් වන පරිදි කටයුතු කළයුතුය. ළමයින්ට අසාධාරණයක්වන, අයහපතක්වන තීරණ හා ක්‍රියාකාරකම් කරන විට ළමයාට ඊට එරෙහි වීමට පුළුවන. ජීවත්වීම ළමයාගේ අයිතියකි. ළමයාගේ නිදහසේ ජීවත්වීමේ අයිතියට හෝ නිසිලෙස වැඩීමේ අයිතියට හෝ ඉඩක් නොලැබේ නම් ඊට එරෙහි වීමට දරුවාට අයිතියක් ඇත.  දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට තමන්ගේ දරුවා මෙන්ම අනෙකුත් දරුවන් මල් කැකුළුය. එබැවින් ළමුන්ට පළමු තැනක් මෙන්ම ආදරය, රැකවරණය, සෙනෙහස හා ආරක්ෂාව නිරතුරුවම ලබාදිය යුතුය. ළමයින්ට සුරක්ෂිත දේශයක් නිර්මාණය කරමින් රටේ අනාගතය වෙනුවෙන් ළමුන් සූදානම් කිරීම අප කාගේත් වගකීම හා යුතුකම වේ. එසේනම් මෙවර ලෝක ළමා දිනය ශ්‍රී ලංකාවේ සියලු පොඩ්ඩන්ගේ සිත් සතුටින් උතුරන ආදරණීය දිනයක් වේවා!

Leo Hashini Kethmini

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...