ලංකාවේ සමාජ පුනරුදයකට මංපෙත්හෙළි *කළ* පොසොන් පොහොය..
වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට සුවිශේෂිත වටිනාකමක් ඇති වන්නේ යම් සේ ද පොසොන් පොහොයත් එසේම ය.බුදුසමය මෙරට ස්ථාවර කළ ද එය වඩාත් පෝෂිත තලයකට සේන්දු වූයේ පොසොන් පොහෝ දා මිහිඳු හිමියන් මෙරටට වැඩීමත් සමග ය.
මේ උදාවන්නේ සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුල භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි.ඒ පින්බර පොසොන් පොහොය යි.පොසොන් පොහොය කී විට මහින්දාගමනය,මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයකි.
මහින්දාගමනයත් සමගම,මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යා හැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පොහොය දිනයේදී ය.එම දායාදය මෙහි රැගෙන ආවේ අනුබුදු මිහිදු මහරහත් තෙරපාණෝය.
✨️පොසොන් පොහොයේ වැදගත්කම...
💟 මිහිදු හිමියන්ගේ ලංකාගමනය
💟 ඇත් පද සුතුර හෙවත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දෙවන පෑතිස් නිරිදුන්ට මිහිදු මාහිමියන් දේශනා කිරීම.
💟 ධර්ම ග්‍රන්ථ ලියැවීමට මුල පිරීම.
💟 මහාවංසය ලියැවීම.
මේ ශ්‍රී සද්ධර්මය අපට දායාද වූයේ මිහිදු හිමියන්ගේ ආගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.එකල මෙම ලක් දෙරණ පාලනය කල දෙවන පෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේ ය.ඒ උතුම් පුන්පොහෝ දිනයේදී අනුබුදු නමින් ලක්වැසියන්ගේ ගෞරවාදයකට පත් මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ඨිය,උත්තිය,සම්බල,භද්දසාල,සුමන සාමණේර වහන්සේර යන මහ රහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවනපෑතිස් රජු හට හමු විය.
"සමණා මයං මහාරාජා
ධම්මරාජස්ස සාවකා
තවේච අනුකම්පාය
ජම්බුදීපා ඉදාගතා"
"මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු.ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.යි" රජුට පැවසූ මිහිදු මහරහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප්‍රශ්න කළේය.
මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැති බව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය.වෙහෙර විහාර දාගැබ් තනා සගරුවන ඒ ආශ්‍රිතව් වෙසෙන්නට භූමිකාව සකසා ජනතාවත්,සගරුවනත් අතර සමීප සම්බන්ධතාවක් ඇති කිරීමට කටයුතු කරන ලදී.වැව-දාගැබ-කෙත ආශ්‍රිත අපේ සංස්කෘතිය ගොඩනැගුණේ ඒ අනුව ය.සිංහල ලකුණ මෙය යැයි අපට පොසොන් පොහොය කියා දුන්නේය.
සංවේදී මිනිස් සමාජයක් බිහි විය.රළු පරළු ගතිවලින් දූරස්ථ වී ඉවසීමේ ගුණය පුරුදු පුහුණු කළේත් පොසොන් දර්ශනය යි.හැඩි දැඩි ගලකට ජීවයක් ලබා දුන්නේ මේ හේතුව නිසාය.සදකඩපහණ,මුරගල්,කොරවක්ගල් පමණක් නොව බුදුරදුන්ගේ අප්‍රමාණ ගුණසමුදායෙන් අංශුවක් නැතිනම් කණීකාවක් ගලකට ආරෝපණය කොට ශෛලමය බුදුරුවක් නිර්මාණය වූයේත් ,මිනිසා සංවේදී වූ හෙයිනි.හිදි බුදු පිළිම,හිටි බුදු පිළිම,සැතපෙන බුදු පිළිම පමණක් නොව නාග,රූකම්,බහිරව රූකම්,පුන්කලස්,නාග මනුෂ්‍ය රූකම් ආදී විවිධ ශෛලමය නිර්මාණ බිහිවූයේ ද පොසොන් පොහෝ දා උදා වූ නව සංස්කෘතිය හේතුකොටගෙන ය.
නව නිර්මාණ කෙරෙහි අප යොමු කෙළේත් මිහිදු දර්ශනය යි.සමාජ සංවර්ධනය අරබයා නව ප්‍රවේශයකට අපේ විඥානය යොමු කිරීම ද මිහිඳු සංස්කෘතියෙන් ඇති වූ තවත් ප්‍රතිඵලයකි.එකින් එක පරිච්ඡේද අප ගොනු කළ හොත් සමාජය විවිධ පැතිකඩ ආශ්‍රිතව යොමු වන්නට වූයේත් මිහිඳු ධර්මය හේතුකොට ගෙන ය.
සුදෝ සුදුවතින් සැරැසී මිහින්තලේ උපාසක- උපාසිකාවන් සිල් සුවද විහිදුවන්නේ මිහිදු මාහිමියන්ට උපහරයක් වශයෙනි.ධර්මය විහිදුවන්නට,ව්‍යාප්ත කරන්නට උපස්තම්භක වූ මිහින්තලාව කේන්ද්‍රස්ථානය කි.පොසොන් පොහෝ දා දාහක් පිරිස් මිහින්තලාවට අතුරු සිදුරු නොමැතිව එක්රැස් වන්නේ මිහිඳු මාහිමියන්ට උපහාර දක්වන්නට ය.ඒ සමග ම තමන්ගේ ජීවිතයට අර්ථයක් ඇතිකරගැනීමේ පරමාර්ථයෙනි.අර්ථවත් ගමන අර්ථපූර්ණ කරගැනීමට විෂය වන මිහින්තලයට පිවිසෙන පියගැටපෙළ සමාධිගත ජීවිතයකට් මූලාරම්භය යි.පඩි පෙළ මතින් නැග ඉහළ මාලයට යන්නකු නිතැතින්ම භාවනාවට යොමු වීම ද නිසැකයෙන්ම සිදු වන්නකි.
අඹ ගසක් පාදකකොට ගෙන අඹ් සංවාදයෙන් ඇරැඹී අපේ ගමන් මග අපේ ඉතිහාසයක් ලියන්නට,පන්හිඳ පතිඉරුවල් දිවයන්නට මුල් විය.එදා-මෙදා තුර ගමන් මග දෙස බලන විට අපට එය එක් අතකින් විස්මයට කරුණකි.අහස සිඹිනා මහා දාගැබ් ඉදි වී,මහා සයුර පරයාලන මහ වැව් තැනී,මුනිගුණ දිගන්තය අරා යන පිළිම ඉදි වී,මහා වනපෙත් කෙත්වතු බවට පෙරැළී මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව ප්‍රගුණ කරන්නට මිහිඳු මාහිමියන් පෑ ප්‍රාතිහාර්‍ය ලියන්නට කොළ ප්‍රමාණවත් ද?
මිහිඳු මාහිමියන් නිසා නිපන් නිදන් පුරාවස්තු තවමත් රජගල පොළොව යට වැළලී ගොසිනි.අද දින පාදා ඇත්තේ ඒවායින් එකක් පමණි.තුනෙන් දෙකක් ම පොලොව යට ය.ලොව වැඩිම පුරාවස්තු සමුදායකට අප උරුමකම් කියන්නේ ද මිහිදු මාහිමියන්ට පින්සිදු වෙන්නට ය.