Thursday, January 18, 2024

වද වී යන ඒකාවේරිය ශාකය

 


උද්භිද නාමය - Rauvolfia serserpentina

English name- Snakewood

මෙය විවිධ නම් වලින් හැදින්වේ .

«  සර්ප ගන්ධා

«  සර්පාක්ශි

«  නා කුලී

«  නා කුලේශ්මා

«  නාග දමනි

«  නාග සුන්ධා

ඉන්දියානු සර්ප ගන්ඩා හෝ සර්ප ගන්ධ ලෙස ද හැදින්වේ .සියවස් ගණනාවක් පුරා දේශීය වෙද ශිල්පයේ චිකිත්සක ගුණාංග සදහා විස්කම් පෑ ඖෂධයක් ලෙස ඒකාවේරිය ශාකය පෙන්වා දිය හැකිය .Aponcynaceae යන පවුලට අයත් බහු වාර්ශික පදුරු ඉන්දියානු උප මහද්වීපයට සහ අග්නිදිග ආසියාවට අයත් වේ.

ඒකාවේරිය යනු දේශීය ශාකයකි .අඩි 3ක් පමණ උසකට වර්ධනය වන ළා පැහැයෙන් යුතු  කොල දිලිසෙන ස්වභාවයක් ගනී .කද වටා කොළ පිහිටා ඇති අතර එවන් එක් වලයක පත් 5ක් පමණ පිහිටා තිබේ .මතු පිට සිලිදුය.

අලංකාර මල් හට ගන්නා අතර දික් නොවූ පොකුරු ලෙසින් සුදු පැහැති මල් හට ගනී .තරමක් දිග නටුවක් මල් වලට ඇත .ඉතා අලංකාර මල් විශේෂයක් වන අතර අලංකරණ කටයුතු සදහා බොහෝ සෙයින් උපකාර වේ.

මෙය Rauvolfia යන නාමයෙන් හදුන්වනු ලබන්නේ මෙම ශාකය බටහිර ලොවට හදුන්වා දුන් Rauvolfia නම් පුද්ගලයාට ගරු කිරීමක් ලෙසය .

ලංකාවේ මැදරට කදුකරයේ සාරවත් වර්ධනයක් දැකගත හැකි අතර පහතරට තෙත් කලාපයේ ද දැක ගත හැකිය .ඊට අමතරව ඉන්දියාවේ හිමාලය ,උත්තර පෙදෙස ,නේපාලය ,සිංගප්පූරුව ආදී රටවල ද දැකිය හැකිය .

මෙය මූලිකවම ඖෂධ වශයෙන් යොදා ගනු ලබන අතර එමගින් සෑදෙන ඖෂධ වලට විවිධ නම් යොදා ගනු ලැබේ .

සර්ප ගන්ධ චූර්ණය

සර්ප ගන්ධීවටී

චන්දරා වටී

චන්දරා පැනිය

අධි රුධිර පීඩනය ,උමතු රෝග ,සෙම් රෝග ,උණ රෝග ,වාත සමනය ,ගර්භනී කාන්තාවන්ගේ වමනය ,ඔසප් වේදනා ආදිය සමනය කරයි .එසේම සර්ප විශ,මීවිශ,ගෝනුසු විස,මකුළු විශ ආදියට ගුණ දායක වේ.

විශේෂයෙන් කොරෝනා වෛරසය පැවති සමය තුල ආයුර්වේදය තුල බොහෝ සෙයින් අවදානය යොමු වූ ශාකයක් ලෙස දැක්විමට හැකිය .බටහිර රටවල ද ශාකසාර ඖෂධ සදහා අවදානය යොමු වී ඇත.

ඒකාවේරිය ශාකයේ මූල පද්ධතිය සර්පයකු ලෙසින් වැඩෙන නිසා සංස්කෘත භාෂාවෙන් " සර්පගන්ධා" යන නාමයෙන් හැදින්වේ .ඖෂධ වශයෙන් මූලිකවම භාවිතා වන්නේ වියලි මුල් වුවද ඒකාවේරිය ශාකයේ පංචාංගයම ඖෂධ පිණිස ගැනේ.විශේෂයෙන් කුඩා දරුවන්ගේ අතීසාරය ,කොලරාව,බඩගිනි වැඩවීමට කදිම ඔසුවකි.

මෙම ශාකයේ අද්විතීය රසායනික සංයුතිය අවබෝධ කර ගැනීම සදහා මෙමෙහි උද්භිද භාවය පදනමක් සපයයි .මෙහි ඇති සියලුම ඖෂධීය ගුණ සදහා වග කිව යුතු වන්නේ එහි ඇති ඇල්කොලෝයිඩ් ය.

ඒකාවේරිය ශාකයේ ඓතිහාසික භාවිතයන් ,ආයුර්වේද සහ චීන වෙද ශිල්පය තුල ගැඹුරින් මුල් බැස ඇත .මෙම ශාකයේ සංස්කෘතික නාමය මත සර්ප ගන්ධ ,සර්ප දශ්ඨ කිරීම් සදහා වෙද කම් කිරීමේදී එහි ඓතිහාසික භාවිතය හුවා දක්වමින් "සර්පයකු මෙන් " ලෙස හුවා දක්වා ඇත .

20 වන සියවසේ අධිරුධිර පීඩනය සදහා සාර්ථක ඔසුවක් වූ මෙය බොහෝ සෙයින් වැදගත් ශාකයකි.

විශේෂයෙන් විවිධ පැලෑටි වර්ග මෙයට අභියෝගයක් වීමත්,ස්වාභාවික පරිසර පද්ධති විනාශ කිරීමත් නිසා මෙම ශාකය වද වී යෑමේ තර්ජනයට ලක්ව ඇත .අපට හැකි අයුරින් ගෙවත්තේ එක් ඒකාවේරිය පැලයක් හෝ සිටුවීමට හැකි නම් මෙයා ඉතා සුලු වශයෙන් හෝ වලක්වා ගත හැකිය .

Leo Pawani Hansika

First Year

Faculty of Arts

බුලත් හපයා


විද්‍යාත්මක නාමය      - Pethia nigrofasciatus

ශ්‍රී ලංකාවේ පොදු නම -  බුලත් හපයා

ඉංග්‍රීසි නාමය           - Sri Lanka Black Ruby Barb

                 බුලත් හපයා ශ්‍රී ලංකාවට ආවේණික ඉතා මනරම් සිරුරක් හිමි නිවර්තන මත්ස්‍ය විශේෂයකි. ශ්‍රී ලංකාවේ වනාන්තර ගංගා ද්‍රෝණි වන නිල්වලා හා  කැලණි ද්‍රෝණිවල හමුවන අතර සිංහරාජය අවට නොගැඹුරු නොඉඳුල් දොළ පහරවල් වලද දැක ගත හැකියි. මොවුන් කලකට පෙර විසිතුරු මාළුවෙකු ලෙස අපනයනය කිරීම නිසා ගහණය අඩු වූ බව මූලාශ්‍රවල පැවසේ.

        මෙම මාලුවාට ශරීරයේ හරස් අතට වැටී ඇති කැපීපෙනෙන කළු පැහැති ඉරිවලින් යුක්ත කහ පැහැති අළු සිරුරක් ඇත. වැඩුණු පිරිමි මසුන් කැපී පෙනෙන රතු පැහැයක් සහ රිදී පැහැයකින් යුක්ත  වන අතර උදරිය වරල ගැඹුරු කළු පැහැයකින් ද සෙසු වරල් අලංකාර රතු පැහැයකින් ද යුක්තය. ගැහැණු සතුන්ගේ ශරීරය රක්ත වර්ණ නොගන්නා අතර වරල්වල පාදස්ථ කොටස් වල  පමණක් කළු පැහැයක් දක්නට ලැබේ.හොඳින් බැලූ විට මොවුන්ගේ මුඛය වටා රතු පැහැ වර්ණය හඳුනාගත හැකියි.   එසේ මුඛය වටා රතු පැහැයක් ගැනීම නිසා මොවුන්ට බුලත් හපයා ලෙස නම් ලැබී ඇති බව සිතිය හැක. (හමුවන ප්‍රදේශය සහ ජල ප්‍රභවය අනුව වර්ණයේ තියුණු බවේ යම් කිසි වෙනස්කම් දැකිය හැක).මොවුන් උපරිම අඟල් දෙක - තුන  අතර වර්ධනයක් පෙන්නුම් කරයි. වැලි හෝ බොරළු උපස්තර සහිත නිහඬව ගලායන සිසිල් මෙන්ම සෙවන සහිත වඩාත් නොගැඹුරු ජලය සහිත වනාශ්‍රිත ඇළ දොළ ස්වාභාවික වාසස්ථාන වේ. සූත්‍රිකාමය ඇල්ගී හා ජලයේ වාසය කරන කුඩා කීටයන් ආහාරයට ප්‍රිය කරයි.

       ප්‍රජනන සමයේ මොවුන්ගේ රටාව වඩාත් තියුණු ස්වභාවයක් ගනී. බිත්තර විසිරුවා හරින මසුන් වර්ගයක් වන මොවුන් නොගැඹුරු ජලයේ බිත්තර 100 -200 අතරන් ප්‍රමාණයක් බරකට හෙළනු ලබයි.  දින1 -2  ත් අතර කාලයකින් පැටව් බිහිවේ. රංචු වශයෙන් ජීවත්වීමට ප්‍රිය කරන ක්‍රියාකාරී සත්වයෙකි.

       වැලිගොඩ දැමීම, මැණික් ගැරීම,  අධික කෘමිනාශක භාවිතය , විසිතුරු මත්ස්‍යයකු ලෙස වාසස්ථාන වලින් ඉවත් කිරීම,මිනිසා විසින් අධික රසායනික පොහොර හා රසායනික ද්‍රව්‍ය කුඩා ජල මූලාශ්‍ර වෙත එක් කිරීම හේතුවෙන් රටට ආවේණික මත්ස්‍යයින්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.

Leo Sadeeka Nethmini

First Year

Faculty of Arts

හොර ශාකය



ලංකාවේ  පොදු නම-  හොර                                                                                                                                විද්‍යාත්මක නම        - Dipterocarpus zeylanicus

       හොර යනු ශ්‍රී ලංකාවට ආවේණික සදාහරිත බහු වාර්ෂික ශාකයකි.ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපවල පහත් බිම්හී දක්නට ලැබෙන ඒක දේශී ශාකයක් වන හොර ශාකය මීටර් හතළිහක් පමණ  උසට වැඩෙන ශාකයකි. මෙම ශාකයේ ඵලයේ ඇති පියාපත් හේතුවෙන්  කුරුල්ලන් ලෙසින් හඳුන්වනු ලබයි. ගෝලාකාර ඵලය දෙපසින් පිහිටි පියාපත් යුගලය හේතුවෙන් බීජ ප්‍රරෝහණය සඳහා විශාල ප්‍රදේශයක පැතිරීමට උපකාරී වේ.

      ශාකයේ පොත්ත ලා තැඹිලි මිශ්‍ර දුඹුරු පැහැයක් ගනියි. ඒ මත  නාරටි මනාව දැක ගත හැකිය. මීටර් හතර - හය  පමණ වට ප්‍රමාණයකින් වැඩෙන විශාල ගසකි. අප්‍රේල් මාසයේ මල් පිපී සුළඟෙන් පැතිර යයි. ශ්‍රී  ලංකාවේ   වනාන්තර පන්තීන් හි උස් තුරු වියන් සාදන  ශාක අතරින් උච්චතම ස්ථානයක් හිමි කර ගැනීමට හොර ශාකය සමත්ය.  අතු බෙදීම ඉතාමත් විරල වන අතර සෙන්ටිමීටර් 25 ක් පමණ දිගැති සෙන්ටිමීටර් 12 ක් පමණ පළල ඇති  පත්‍ර වලින් යුක්ත වේ.  වර්ණයෙන් තේක්ක දැවයට  සමානාත්මතාවයක් දැක්වූ ව ද හොර  දැවය ඊට වඩා වැඩි ශක්තියකින් යුතුවේ.

      ගොඩනැගිලි හා විදුලි දුරකථන රැහැන් ඇදීමට ගන්නා කණු සඳහා ද මෙම දැව  භාවිතා කරන්නේ කඳන් ඍජු කදන් ලෙස පවතින බැවිනි. එමෙන්ම පරාළ බාල්ක දුම්රිය සිල්පර ආදිය සඳහා දැව බහුලව යොදා ගනියි. දැවමය වශයෙන් හොර ශාකය වටිනාකමින් ඉහළ නිසා නිරන්තරයෙන්ම දැව ජාවාරම්කරුවන්ගේ  ග්‍රහණයට   හසුවී ඇත. එසේම ශ්‍රී ලංකාවට ආවේණික මෙම ශාකය  IUCN රතු දත්ත පොතට අනුව දැඩි ලෙස  වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. දිනෙන් දින වඳවී යන හැසිවනාන්තර හා තෙත් කලාපයේ පුද්ගලික බිම් කිහිපයකට පමණක් සීමා වූ හොර ශාකයේ පාරිසරික වැදගත්කම පිළිබඳ අවබෝධයක් ඇත්තේ ඉතා අතලොස්සකට පමණි. එබැවින් කිසිවෙකුට හොර ශාකය තමන්ගේ වතුවල වගා නොකරයි. එහෙත් අප මුතුන් මිත්තන් රැකගෙන ආ අද වන විට ඉතුරු වී ඇති දැවැන්ත හොර ගස් පවා මුදලට කපා විකුණා දමති.

      හොර ශාකයේ වැදගත්කම නොදත් ග්‍රාම නිලධාරී හා  දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් මෙම දැවැන්ත ආවේණික  ගස් කැපීමට අවසර දී ඇත්ද යන්න ගැටලුවකි.එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වී යන උඩකිරුව   වැසි වනාන්තරයේ මෑතකදී සිදු කළ ගවේෂණයක දී හොරගස් කැපීම පැහැදිලිවම දක්නට ලැබුණි. මීටර් හැටක් පමණ උසැති ශ්‍රී ලංකාවේ ඇති ලෝකයේ උසම හොර ගස් මෙම  උඩකිරුව වැසි වනාන්තරය ප්‍රදේශයේ  වන බව නොදත් බලධාරීන්  මෙම වටිනා ශාක කපා දැමීමට ඉඩ දීම මහත් කාට ගාටුවට කරුණකි. මෙම කරුණු හේතු කොට ගෙන පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් ආයතන එක්ව ගස ආරක්ෂිත ශාකයක් ලෙස කඩිනමින්  නීතිගත නොකළහොත් එය සදහටම ශ්‍රී ලංකාවට හා ලෝකයට අහිමි වී යන දිනය වැඩි ඈතක නොවන බව තේරුම් ගත යුතුය.

Leo Sadeeka Nethmini
First Year
Faculty of Arts

Tuesday, January 16, 2024

බිනර ශාකය


විද්‍යාත්මක නාමය         -
Exacum trinervium

ශ්‍රී ලංකාවේ පවතින Exacum විශේෂ අට අතරින් දේශීයව ගිනිහිරිය ලෙස  හඳුන්වන බිනර ශාකය උසින් මීටර් එකක් පමණ දක්වා වර්ධනය වේ. මීටර් 2000 ක පමණ උන්නතාංශයක ව්‍යාප්ත වන අතර බිනර ශාකය විශේෂ අටකින් පමණ හඳුනාගත හැකිය . මෙහි සිවු පාර්ශ්වික කඳක් පිහිටන අතර එහි සුදු, තදනිල්, දම් වැනි පැහැයන් ගනිමින් වෙනස් වේ .ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දුර්ලභ හා වටිනා ඖෂධයක් ලෙස බිනර ශාකය යොදා ගනී .

මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි. නිශ්චිත ප්‍රදේශයක හෝ වාසස්ථානයක ව්‍යාප්තව පවතින අවදෝෂික ශාකයකි. ශ්‍රී ලංකාව තුළ පමණක් ව්‍යාප්ත වන අතර ලොව වෙනත් කිසිදු වාසස්ථානයක දක්නට නොලැබීම විශේෂිතය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ගිනිකොණ දිග කඳුකරයේ තෙත් ස්ථානවල වර්ධනය වේ . හෝර්ටන් තැන්න, පට්ටිපොළ, අඹේවල, ඔහිය හා හග්ගල වැනි ප්‍රදේශවල ව්‍යාප්තව පවතී . නකල්ස් ප්‍රදේශවලද බහුලව දක්නට ලැබේ . මෙම ශාකයේ මල් ජනවාරි සිට ජූනි දක්වා සහ නැවත සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ද දැකගත හැකිවේ . මෙහි බීජ ඉතා කුඩා බැවින් ගෘහස්ථ මට්ටමින් බීජ ප්‍රචාරණය අපහසුවේ . මෙම ශාකයට පවතින්නේ වසරක් වැනි ඉතා කෙටි ආයු කාලයකි . ඒ හා සමානව ඉහළ ආර්ථික වශයෙන් වටිනාකමක් ද බිනර ශාකයට හිමි වේ . විශේෂයෙන් මල් වගා කර්මාන්තය ඉහළ ඉල්ලුමක් පවතින ශාකයකි. නෙදර්ලන්තය වැනි රටවල ශ්‍රී ලංකා රුපියල්වලින් 35000 ක් පමණ වටිනාකමකට බිනර ශාකය අලෙවි වේ.

නමුත් අවාසනාවන්ත ලෙස මෙම ශාකය වද වීමේ තර්ජනයට ලක්වී ඇත. විශේෂයෙන් පාරිසරික තත්ත්වයන් වෙනස් වීම බිනර ශාකයට බලපෑම් ඇතිවේ. මෙම ශාකය වෙළෙඳාමට යොමු කිරීමද තවත් තර්ජනයකි .

අවාසනාවට මෙන් සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ බිනර ශාකය ආරක්ෂා කර නොමැත . මෙම ශාකය ඒ අනුව සීමිත ආරක්ෂාවක් භුක්ති විඳී . නමුත් මේ වන විට බොහෝ පරිසර කණ්ඩායම්වල අවධානය බිනර ශාකය වෙත යොමු වී ඇත.

Leo Imasha Nanayakkara

First Year

Faculty of Arts

ශ්‍රී ලංකා රෝස සමනලයා


විද්‍යාත්මක නාමය         -
Pachlipta Tapan

ශ්‍රී ලංකා රෝස සමනලයා පැපිලොනිිඩේ පවුලට අයත් සුන්දර සමනළ විශේෂයකි . ශ්‍රී ලංකාව මව් රට කරගත් රෝස සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික සමනළ විශේෂයකි . පෙරදී දකුණු ඉන්දියානු සමනළ විශේෂයකින් බිහිවූ බවට සැසදුවත් පසුව ceylon Rose වෙනම විශේෂයක් බව හඳුනාගන්නා ලදී .

මෙම සමනළ විශේෂයට ආවේනික ලක්ෂණ හඳුනා ගැනීමේ දී රෝස සමනලයාගේ පියාපත් යුගල දෙකෙහි කළු පසුබිමේ සුදු පැහැති කහ පැහැය මිශ්‍ර වූ මෝස්තර රටාවක් දැක ගත හැකිය . පහත තටු යුගලයේ දාරයට ආසන්නව රතු මිශ්‍ර තැඹිලි පැහැති කිහිපයක් දැක ගත හැකිවේ . ගැහැණු සතාගේත් පිරිමි සතාගේ තිබූ තිත් මෙන්ම ඊට වඩා ලොකු කොටු හැඩයෙන් දැකිය හැකිය. ගැහැණු මෙන්ම පිරිමි සමනලයාගේත් ගුද පෙදෙසේ අපර කොටස කහ වරණයෙන් දිස්වේ . මෙම සමනළ විශේෂයේ දුර්ලභ බව නිසාම මොවුන්ගේ කීට අවස්ථා පිළිබඳ වාර්තා නොවීම හඳුනාගත හැකිය . දළඹුවාගේ අවස්ථාවේදී තද රතු හා නිල් පැහැ ගන්නා බවත් සප්සඳවැල් පෝෂණ ශාකය ලෙසත් හඳුනාගත හැකිය.

මේ සමනළ විශේෂය ස්වාභාවික පරිසරයේදී හමුවීම අතිශය දුර්ලභය. මෙම සමනළ විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් නිරිත දිග කලාපයේ මධ්‍යම උන්නතාංශ වල පියාසර කරයි.(615m -1230) මෙම සමනලුන් හිමිදිරි පාන්දර පහතට පියාසර කරන අතර පසුව වන වියනෙහි පියාසර කරන බව නිරීක්ෂණය වේ . මොවුන්ගේ බිත්තර කහ දුඹුරු වන අතර දේශීයව දුර්ලභ සමනලයෙකි .

ශ්‍රී ලංකා රෝස සමනලයා ප්‍රධාන වශයෙන් තර්ජනයට ලක්වන්නේ වාසස්ථාන විනාශ වීමෙනි . මෙම සමනලුන් විශේෂය සංරක්ෂණය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ . මෙම සමනලුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් රත්නපුර දෙනියාය වැනි ප්‍රදේශවල ජීවත්වෙයි. වියලි හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතිශය දුර්ලභය . සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකා රෝස සමනලයාගේ අවසන් බලකොටුව විය හැකි බව නිගමනය කෙරේ. නමුත් එම රක්ෂිතයන්ගේත් වර්තමාන මිනිස් ක්‍රියාකාරකම් ඉහල ගොස් ඇති නිසා එයද මෙම සමනලයාගේ තර්ජනයට ලක් වී ඇත .

මේ අනුව අපට හඳුනාගත හැක්කේ ශ්‍රී ලංකා රෝස සමනලයා යනු ශ්‍රී ලංකාවට ආවේණික සමනලුන් විශේෂයක් වන අතර වර්තමානයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා එම සත්ත්ව සම්පත රැකගැනීමට ප්‍රජාව ක්‍රියා කළ යුතු බවයි.

Leo Imasha Nilushi

First Year

Faculty of Arts

Monday, January 15, 2024

වෙසක් මල් ශාකය

 


විද්‍යාත්මක නාමය- dendrobium maccarthiae

ශ්‍රී ලංකාවේ උඩවැඩියා වර්ග 169 ක් පමණ හමුවන අතර එයින් 74ක් ම දිවයිනට ආවේණික වේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර චාල්ස් මැකාර්තියෝ නමින් විද්‍යාත්මකව dendrobium maccarthiae ලෙස හැඳින්වෙන වෙසක් ඕකීඩ් මේ අතරින් විශේෂ වේ. මෙය callista maccarthiae ලෙසද හැදින්වෙයි. මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ ගණයේ ශාකයකි.වෙසක් මල් ඉතා උණුසුම් හා තෙත් නිවර්තන සදාහරිත වනාන්තරවල සාමාන්‍යයෙන් වර්ධනය වේ. 

මෙම ශාකය පහතරට තෙත් කලාපයේ අඩි 2000ක් පමණ උන්නතාංශයක් දක්වා තෙත් දේශගුණයක් තුළ හොඳින් වැඩෙන අතර එය රත්තපුර දිස්ත්‍රික්කයට, විශේෂයෙන් සිංහරාජ වනාන්තරයට සහ ඒ අවට ප්‍රදේශවලට සීමා වී ඇත.දම්පාට මල් වශයෙන් පිපෙන සුවඳවත් මේ ඕකිඩ් මල් විශේෂය වෙසක් සමයේදී එනම් මැයි මාසය තුළදී මල් හට ගන්නා අතර,සමහරවිට පෙබරවාරි,ජූනි සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් වැනි වසරේ අනෙකුත් මාස වලදී ද මල් පිපෙයි.

ස්වභාවයෙන්ම එපිෆයිට් වර්ගයක් වන වෙසක් ඕකිඩ් පසට සම්බන්ධ නැති අතර ගස් කඳන්වල වැඩෙයි.එය ආදාරක ගසින්ද කිසිදු පෝෂණයක් ලබා නොගනී.ශාකය ගසට සම්බන්ධ කර ඇති මුල් මගින් දිරාපත් වන ශාක ද්‍රව්‍ය එක් රැස්කර පෝෂණ අවශ්‍යතාවය සපුරා ගනී.

එය කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණය දක්වා මල් හට ගැනීම සිදුවෙයි. එක පුෂ්ප මංජරියක මල් 5ත් 10ත් අතර ප්‍රමාණයක් හටගන්නා අතර පුෂ්ප පරාගනය සඳහා මී මැස්සන් බඹරුන් වැනි කෘමීන් ඉවහල් වන අතර ඵලය ස්පෝටිකාවක් වශයෙන් හට ගනී.එක් ඵලයක දහස් සංඛ්‍යාත කුඩා බීජ හටගන්නා අතර බීජ සුළඟ මඟින් ප්‍රචාරණය වේ.බීජ ප්‍රරෝහණය සඳහා එක්තරා දිලීරයක් උපකාරී වන අතර දහස් සංඛ්‍යාත බීජ අතරින් බීජ කිහිපයක් පමණක් ශාක බවට පත් වෙයි.

මෙම ශාකය පඳුරු ආකාර වේ.ශාක කඳන් මත එල්ලී වැඩීම සඳහා අවශ්‍ය ශක්තිමත් මූල පද්ධතියකින් ද සමන්විත වෙයි.විශේෂයෙන් මෙම ශාකය සබරගමු පළාතේ පළාත් පුෂ්පය වශයෙන්ද හඳුන්වාදීමට හැකිවන අතර වනාන්තර එළි කිරීම හා අවිධිමත් ලෙස එක් රැස් කිරීම නිසාවෙන් අද වන විට වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ශාකයකි.එම නිසාම 1938 වසරේ සිට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ ආරක්ෂාව ලබාදී ඇති ඕකිඩ් ශාක 6ක් අතරට මෙම වෙසක් උඩ වැඩියා ශාකයද එක් කර ඇත.

Leo Nadee Sakunthala

First Year

Faculty of Arts

බන්දුල පෙතියා


විද්‍යාත්මක නාමය- pethia bandula

බන්දුල පෙතියා යනු දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ගලපිටමඩ අනාරක්ෂිත කුඩා දිය පහර දෙකකට සීමා වූ ආවේණික මත්ස්‍යයෙකි.මොවුන් කුඹුරු හා රබර් වතු හරහා ගමන් කරන කුඩා ගල් සහිත ජල මාර්ගයක වාසය කරන බව නිරීක්ෂණය වී ඇත.මෙම කුඩා මත්ස්‍යයෝ බොහෝවිට ශාකපත්‍ර යටින් සහ ජලය නොගැඹුරු අර්ධ වශයෙන් ගිලී ඇති වෘක්ෂලතා අතර නවාතැන් ලෙස තෝරා ගනිති.

බන්දුල පෙතියා යනු මිරිදිය මත්ස්‍යයෙකි.උපරිම දිග 4.1 cm පමණ වේ.මෙම මත්ස්‍යයාගේ පිරිමි හා ගැහැණු සතුන් සරලව වෙන්කර හදුනාගත හැකිය.මොවුන්ගේ වැඩිහිටි පිරිමි මත්ස්‍යයින් විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන අතර ප්‍රමාණයෙන් කුඩා සිහින් සිරුරක් සහ  ගැහැණු මත්ස්‍යයකුට සාපේක්ෂව වර්ණයෙන් වඩාත් දීප්තිමත් වේ.විශේෂයෙන් පැටවුන් බිහි කරන කාලය තුළ මෙය දැක ගත හැකිය.

පිරිමි මත්ස්‍යයාගේ පුෂ්ඨීය,ගුද සහ ශ්‍රෝණි වරල් කළු හා  පපුවේ වරල විනිවිද පෙනෙන අතර පිටුපස වරල රතු තැඹිලි පැහැයක් පෙන්වයි.ඊට ප්‍රතිවිරුද්ධව, ගැහැණු මත්ස්‍යයාට ඔවුන්ගේ දෙපස සමාන ප්‍රමාණ වල සිරස් කළු ලප ඇත.නමුත් ඔවුන්ගේ ශරීර තද දුඹුරු සිට ලා දුඹුරු දක්වා වර්ණයෙන් යුක්ත වන අතර, ඔවුන්ගේ සියලු වරල් විනිවිද පෙනෙයි. එමෙන්ම ඔවුන්ගේ වරල් අග සුළු කළු ස්වභාවයක් පෙන්වයි.

බන්දුල පෙතියා හට පුළුල් පරාසයක ජල පරාමිතීන් සඳහා පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව ඇති අතර බහුලවම දක්නට ලැබෙන විවිධ මත්ස්‍ය විශේෂ ගණනාවක් සමග සහජීවනයෙන් වාසය කළ හැකිය. උදාහරණ ලෙස Cyprinids, Livebearers, Tetras, Gouramis, Rainbowfish, Loaches සහ Catfish යන මත්ස්‍ය විශේෂ දැක්විය හැකිය.

බන්දුල පෙතියාගේ අභිජනන පුරුදු සම්බන්ධයෙන් සීමිත තොරතුරු ඇතත්, ඔවුන්ගේ අනෙකුත් පෙතියන් විශේෂ වලට සමාන ප්‍රජනක හැසිරීම් වල යෙදෙන බවට අනුමාන කිරීමට හැකිය. එමෙන්ම බන්දුල පෙතියා නම්‍යශීලී ආහාර හැසිරීමක් ප්‍රදර්ශනය කරන අතර ඇල්ගී සහ ශාක අන්තර්ගතයන් බහුලවම ආහාරයට යොදා ගනී.

ඔවුන්ගේ බිත්තර දීප්තිමත් ආලෝකයට විශේෂයෙන් සංවේදී වන බැවින් අඩු ආලෝක තත්ත්වයන් පැවතීම අතිශයින් වැදගත් වේ. මෙම මත්ස්‍යයන්ගේ පැටවුන් බිහිවීමේ ආරම්භක අවස්ථාව පැහැදිලිව පෙනෙන්නේ පිරිමි මත්ස්‍යයා පෙම් සබඳතාවයේ යෙදෙන විට, තම වරල් සංදර්ශන පෙන්වමින් ගැහැනු මත්ස්‍යයා වටා ගමන් කරන විටය. මොවුන් බිත්තර විශාල ප්‍රමාණයක් නිපදවා ඒවා ජලයේ වැඩී ඇති ශාක අතර විසුරුවා හැරීම සිදුකරයි.

පොදුවේ ගත් කල බොහෝ ජලජ විශේෂ මෙන් ම තම බිත්තර විලෝපිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා පැටවුන් බිහිකිරීමෙන් පසු වැඩිහිටි මසුන් ඒ අවට ජලයේ නිරන්තරයෙන් කාලය ගත කරයි. සාමාන්‍යයෙන් බිත්තර පැය 24 ක් ඇතුලත පැටවුන් බිහිවන අතර, අලුතින් බිහි වූ මත්ස්‍ය පැටවුන් දළ වශයෙන් දින එකකට හෝ දෙකකට පසුව නිදහසේ පිහිනීමේ හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට පටන් ගනී. 

බන්දුල පෙතියා 1991 වසරේදී මුලින්ම සොයාගන්නා ලද අතර ඒ වන විට 2000 ක පමණ මත්ස්‍ය ගහණයක් සිටි අතර එය 2010 පමණ වන විට 200 ක් දක්වා අඩුවී ඇත.එනම්, වී වගාවන් ව්‍යාප්ත කිරීම හා අනවසර පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස මසුන් එකතු කිරීම හේතුවෙන්  පසුගිය දශක 2 තුළ බන්දුල පෙතියාගේ ගහණ ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවී එය වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් බවට පත්වී ඇත.

පසුව 2014 දී ක්‍රියාකාරී පියවරක් ගන්නා ලද අතර, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය (IUCN) සමග අනුබද්ධ විශේෂඥයන් කණ්ඩායමක් අතර සහයෝගී ප්‍රයත්නයක් හරහා මෙම බන්දුල පෙතියා පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමත් සමග අද වන විට මොවුන්ගේ  මත්ස්‍ය ගහණය ධන වර්ධනයක් දක්නට ලැබෙන අතර අද වන විට දෙහිවල සත්ව උද්‍යානයේ ද මෙම මත්ස්‍යයා දැකගත හැකිය. 

Leo Nadee Sakunthala

First Year

Faculty of Arts


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...