Tuesday, January 23, 2024

A Journey to Blue planet

 


It was around six o'clock in the evening when Yohan finished cricket training. He completed his training and began to head home. On his way home, he noticed something strange near a nearby jungle. Feeling scared, he peered into the jungle and saw a peculiar sight – a blue man next to a blue flying saucer.

The blue man invited Yohan, saying, "Come and join with me." Terrified, Yohan started to run along the jungle, but his escape was hindered by the blue man, who dragged him into the flying saucer. Despite Yohan's pleas to let him go, he couldn't escape. The blue man took Yohan to a blue planet, where everything – men, women, animals, buildings – was blue.

Wandering around, Yohan discovered the beauty of the planet, encountering blue children playing cricket. He joined them, enjoying their friendly company. However, the blue children suddenly left him alone, and he couldn't find them, making him feel sad. Seeking refuge in a blue house, he met an old blue woman who served him blue rice with blue sauce and a delicious blue ice cream.

Yearning to return home, Yohan approached the door, but the blue old woman refused to let him go. Frustrated, he shouted, "Let me go, let me go!!!" At that moment, his English teacher arrived and questioned Yohan about his shouting, asking if he was mad. It was then that Yohan realized it was all a dream. Other students laughed at Yohan, teasing him as a daydreamer who daydreams during English class.

Leo Nadeesha Mayomi

First Year

Faculty of Arts

දුරුතු වර්ණනා.....


පින්බර දුරුත්තෙහි සැඳෑ අඳුර විනිවිද ගෙන පෙරදිග අහසින් පුන්සඳ උදාවෙන විට හෙල දැයෙහි යටගියාව පිළිබඳ‍ ඓතිහාසික ආගමික පුරාවෘත්තයක් ‍අප ගේ මනැසට නැගී එයි.  එය නම් මේ තම්බපණ්ණියට පළමු වරට ගොයුම් ගොත් දම්රදාණන් වහන්සේ ගේ වැඩම වීම සිදුවුණු දුරුතු පුන් පොහෝ දිනය ගැන යි. මෙයට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට පෙර දුරුතු පුන් පොහෝ දිනයෙක තථාගතයන් වහන්සේ ගේ ප්‍රථම ලංකා ගමන සිදු විය. ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අබිසෙස් ලබා නව මසකින් තිලෝගුරු බුදු සමිඳාණන් වහන්සේ දුරුතු පුන් පොහෝදා උරුවෙල් දනව් පියසෙහි වූ උරුවෙල් කසුප් - නදී කසුප් - ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් සවුවන් දහම් මගට හරවා ඔවුන් හැම අරි අට සඟ ගණ බවට පත්කොට, ඉක්බිති ව එයින් අතුරුදහන් ව හෙළදිව මාවැළි ගඟ අසබඩ මිනිපේ දනව් පියසට ගුවන් ගැබින් පහළ ව පුන්සඳ මඩලක් සේ සවනක් ගන බුදු රැස් මාලාවන් ගෙන් දිලිහි දිලිහී වැඩහුන්හ.

මහානාග වන නමින් හැඳින්වෙන උයන් බිමට රැස් වූ යක් නා කුල සෙබළෝ සිය පරවේණි උරුමය කරගෙන සිටි බිම් පියසෙහි පත් කඩ අතුරා රන්වන් රැස් කඳින් දිලිසෙමින් වැඩ හිඳිනා තිලෝගුරු බුදුරදුන් වෙත විරුදු ව මහා සටනකට එළඹිය හ. එහෙත් සඳකිරණ පරයන සිසිල් සුදෝ සුදු බුදුරැස් දහරා විහිදුවමින් කුළුණුබර දම්රදාණෝ මිහිරි නදින් දහම් දෙසා ඔවුන්ගේ තෙදබල බිඳලූහ. මේ අනඟි බුදුසිරි නැරඹීමට එහි පැමිණ සිටි සමනොළ පවු වැසි සුමන සමන් දෙව්රදාණෝ දහම්රස වළඳා සෝවාන්ව අරිසව්වකු බවට පත්වූහ. එදවස ම බුදුහිමිපාණෝ සුමන සමන් දෙව් රදුන්ගේ අයැදුම් පිරිදි සුරතින් සිය සිරස පිරිමැද කෙස් කළඹක් ප්‍රදානය කළහ. සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කළඹ රන් සුමු‍ඟෙකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිට දහම් අමාවැසි වැස් වූ බිම රුවන් රැසක් අතුරා ඒ මත තබා සත්රියන් උසැති සෑයක් බන්දා කේසධාතු නිදන් කොට පුද පෙරහැර දැක්වූහ.

මේ මියුගුණ මහසෑය සම්බුදුරදුන් බුදු වූ පළමුවැනි වස ම බඳින ලදි. දෙවියකු විසින් බඳින ලද මුල් සෑය මෙය යි. එය අද මුළු ලෝකයේ ම තිබෙන ඉපැරණි මහා සටනක පුරාවෘත්තයක් මතකයට නංවන, තථාගතයන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණසමුදාය සිහිකරන සංකේතයෙකි. එසේ ම පන්සාලිස් වසක් ගෙවී පිරිනිවුණු සම්බුදු හිමියන්ගේ බුදු සිරුර දැවෙන දර සෑයෙන් දම්සෙනෙවි සැරියුත් මහරහත් මාහිමියන් ගේ අත වැසි සරභූ රහත් හිමි විසින් දොළොස් රියනක් උසැති සෑයක් කොට බන්දා ලූහ. රහත් හිමි නමක ගේ මෙහෙය වීමෙන් බඳින ලද මුල් දාගැබ වශයෙන් ද මේ මියුඟුණු සෑ සැලකිය හැකි ය.

ඉන්පසු දෙවන පෑතිස් නිරිඳුන්ගේ මලණු උද්ධචූලාභය කුමරුන් විසින් ඒ මියුගුණු සෑය තිස් රියන් උසැති දාගැබක් කොට බඳවන ලදී. එයින් සියක් වසක් ඇතුළත හෙළදිව එක්සේසත් කළ හෙළ මහා නරවිරුවාණන් වූ දුට්ඨගාමිණි නිරිඳුන් විසින් අසූ රියනක් කොට බඳවන ලදී. මියුගුණු සෑය හෙළදිව පහළවුණු පළමුවැනි සෑය යි. සිංහල ජාතියේ අතීත ප්‍රෞඪත්වය ලොව හමුවේ කියාපාන දායාදයෙකි. එය සිංහල ජාතියේ ඉතිහාසයට ද වඩා පෞරාණික වූවෙකි. ලංකා සම්බුද්ධ ශාසනයට වඩා පැරැණි අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශාරීරික හා පාරිභෝගික වශයෙන් පිවිතුරු බවට පත් චෛත්‍යයෙකි.

අන්ධකාරයේ නිමග්න ව සිටි ජාතියකට ආලෝකය ලබා දෙනු පිණිස ම්ලේච්ඡත්වයේ විසු ජාතියක් ශිෂ්ටත්වයට පත් කරවනු පිණිස වැඩම කර වදාළ ශාන්ති නායකයාණන් වහන්සේ ගේ උදාරතර ඓතිහාසික ප්‍රථම ලංකා ගමන සිහිපත් කරවන මහියංගණ චෛත්‍ය රාජයා වූ කලී අදත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ ගෞරවයට පාත්‍ර වෙමින් ඇත. ජාතියේ වංශ කථාවට මූලාරම්භය වැටුණු, ජාතියේ ප්‍රෞඪත්වයට හා දේශයේ උදාරත්වයට ස්වර්ණමය මාර්ගය උදාවුණු බුදු සිරිපා පහස ලබා පුණ්‍ය ‍බිමක් බවට මේ හෙළ බිම පළමු වරට පත්වුණු දුරුතු පුන් පොහෝ දිනය සිංහල බෞද්ධයා ගේ ආගමික හා ඓතිහාසික දිනයෙකි.

මේ මහා සෑය හා රෝපිත ‍බෝධි ධ්‍රැමය සිරි සඟබෝ වැනි බෝසත් රජවරුන්ගේ දිවි පුද කළ වස්තුවෙකි. මේ ස්ථානයෙහි පිහිටි බෝධිධ්‍රැමය සමීපයෙහි දී සිරි සඟබෝ කුමාරයා සිය මයිලණුවන් වූ නන්ද හිමියන් ඇතුළු මහා සඟනට පිදූ බව ඉතිහාසයෙන් හෙළිවෙයි. අද දක්වා ම ඒ බෝධිධ්‍රැමය මහවැලි ගඟින් හමා එන සිසිල් මඳ පවනින් නැහැවි නැහැවී නිරුපද්‍රිත ව වැඩ වසයි. එම චෛත්‍ය රාජයාගේ ආරක්ෂා පිණිස සුමන සමන් දෙවියන්ගේ දේවාලයක් ඉදි කොට වර්ෂයක් පාසා පෙරහැර, උත්සවාදිය පවත්වනු ලැබේ.

බුදු සිරි පා පහසින් පළමුවරට මේ දිවයින ශුද්ධ භූමියක් බවට පත් කළ ශ්‍රේෂ්ඨ ඓතිහාසික දිනය වන දුරුතු පුන් පොහෝදා සිංහාවලෝකනයක් කිරීමට එනම්, ආපසු හැරී තමන්ගේ රටේ අතීත ඉතිහාසය දෙස විමසුම් නුවණින් පිරික්සා බැලීමට සුදුසු හොඳ ම දිනය යි. අනුබුදු මිහිඳු මහරහත් මාහිමියනට සදහම් නැමැති බීජයන් රෝපණය කිරීමට සිරි ලක් දිව සකස් කිරීමට වැඩම කළ ප්‍රථම දිනය වූ දුරුතු පෝය දා එකී ශ්‍රේෂ්ඨ ධර්ම දායාදය කරණකොට ගෙන ජාතියත් ජනතාවත් ලැබූ ශාන්තිය බුදු පුබුදුවෙන් පිබිදුණු බැතිමතකු ලෙස හැම දෙනා ම මහත් හරසරින් සිහිපත් කළ යුතු ය. ජම්බුද්වීපයේ ගංඟා නිම්නයේ පහළ වූ ඒ උත්තරීතර ධර්මයේ ආශිර්වාදය මේ රටට නො ලැබුණා නම් සිංහලයා තවමත් අඳුරේ ම ය.

අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනය රැකගත් ජාතියක් වශයෙන් මහත් ගර්වයෙන් ජාතියේ ප්‍රෞඪ අතීතය දෙස බලා ප්‍රීති වන්නටත් ,  වර්තමානය දෙස බලා සංවේග වන්නටත් අනාගතය දෙස බලා නො සෙල්වෙන අධිෂ්ඨානයක් ඇති කර ගන්නටත් පුළුවන් මාහැඟි දිනය දුරුතු පෝයදා යි. සමස්ත ලෝකයට ම විමුක්තිය හා සාමය ගෙන දීමට සමත් සම්බුද්ධ ධර්මය මේ රටේ ජාති හිතෛෂි සිංහලයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත ව රැකගත් අයුරු අප ගේ මනසට නංවන්නේ බුද්ධාගමය රැක ගැනීමේ අද්භුත ඉතිහාසය යි. එදා සිංහල මවුවරුන් බුදුගුණ ගීතයෙන් නළවා ආගමික රසයෙන් රසකව‍ා බෝසත් ගතිගුණ වලින් යුක්ත කොට තැනූ දුවා දරුවන් ජාතියේ මුරදේවතාවන් හා ආගමේ ආරක්ෂකයන් බවට පත්ව, කලින් කල පරිහානි ප්‍රපාතයට වැටුණු සිංහල ජාතියත් බුද්ධාගමත් රැක ගත් හැටි සිහිපත් කළ යුතු ය. අද අඳුරේ වැටී ඇති අපේ ජාතියට එළිය දෙන්නට පිරිහී ඇති බෞද්ධ ප්‍රතිපත්තීන් නගා සිටුවන්නට අපරාධ ගිනි නිවා ධර්මද්වීපය යන නාමය නැවැත නැවතත් අනවර්ථ කරන්නට, කෙලෙස් බරින් වෙළී සිටින මනුෂ්‍ය වර්ගයාට ශාන්ත ධර්මයේ ආලෝකයෙන් එළිය ලබාදෙන්නට මුල් පියවර වශයෙන් මේ නව වසරේ බුදුසිරි පා පහසින් පිවිතුරු බවට පත් අනුස්මරණීය දිනය වන දුරුතු පුන් පොහෝදා ඒ පිළිබඳ යහපත් හැඟීම  උපදවා ගත යුතු ය.

බුදුන් වහන්සේ ගේ ධර්මයට අවුරුදු දහස් ගණනක් ගත වුවත් එය අකාලික ව නොවෙනස් ව පවතින්නේ මේ රටේ යි. ඒ ථෙරවාදී බුද්ධ ධර්මයේ ධර්ම භාණ්ඩාගාරය ලංකාව වීම කොතරම් භාග්‍ය සම්පන්න ද? මුළු ලෝකයේ ම ජනයා අපට ගෞරව කරන්නේ අප රටට ආදරය කරන්නේ අනිත් කිසිදු දෙයක් නිසා නොවැ නිර්මල බුද්ධ ධර්මය නිසා ය. මේ ශ්‍රේෂ්ඨ දිවයිනේ බුදු රජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් ගෙන් වැඩි කොටසක් ඇත. එසේ ම උන්වහන්සේ‍ ගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී ‍බෝධිරාජයාත් පරිභෝග කළ පාත්‍රයත් මේ රටේ සුරක්ෂිත ව පවත්නේ ය. 

ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථමවරට පුස්තකාරූඪ කරන ලද්දේත් මේ සිංහල ර‍ටේ දී ය. දුරුතු පුන් පොහෝදා මේ හැම කරුණම අප ගේ මනසට නගාගත යුතු ය. 

ලංකාය යක්ඛ ගණනී භරණෙ ජිනස්ස

චම්මාසනුග්ගත හුතාසන ඵස්ස දාහා

සංසාර රක්ඛස වපුබභව බුබ්බුලංව

යස්මිං විහාති මහියංගණ ථූප රාජා.

Leo Shashini Madhusha

First Year

Faculty of Arts

Artificial Intelligence


තාක්ෂණයේ දියූණුවත් සමග පොත් පත් වලට සීමා වී තිබූ දැනුම වර්තමානය වන විට අන්තර්ජාලය හරහා ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන්ම ලබාගත හැකි ලෙසින් ගබඩා කර ඇති අතර අපට අවශ්‍යය ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරමින් ලබාගැනීමට හැකියාව ලැබී ඇත. වර්තමානය වන විට Zettabytes 120කට ආසන්න ප්‍රමාණයක දත්ත අන්තර්ජාලය තුල පවතින අතර ඒවා අපගේ පෞද්ගලික පරිගණකය වැනි පරිගණක බිලියන 120ක ගබඩා කරලීමට තරම් ප්‍රමාණවත් දත්ත ප්‍රමාණයකි. මෙතරම් අධික දත්ත ප්‍රමාණයකින් අපට අවශ්‍යය දෑ පහසුවෙන්ම ලබාදීම සැබැවින්ම අධි තාක්ෂණික හැකියාවක් වන අතර එම සේවාවන් සැපයීමේ ප්‍රමුඛයා ලෙසින් වසර ගණනාවක්ම මුල් ස්ථානය නිතරගයෙන්ම හිමි කරගෙන සිටියේ Google සමාගමයි. කෙසේ නමුත් පසුගිය වසරේදී මෙම ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් ඇති කරමින් OpenAI සමාගම ChatGPT ලෙසින් ඔවුන්ගේ Chat මෘදුකාංගය එලි දක්වනු ලැබුවේ තව දුරටත් අපට සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරලීමට අවශ්‍යයද යන ප්‍රශ්නය මතු කරලමිනි. මූලිකවම මේ සදහා ඔවුන් භාවිතා කරනු ලැබුවේ Large Language Model ලෙසින් හදුන්වන ක්‍රමවේදයයි. මෙහිදී මූලිකවම ඉතාමත් විශාල දත්ත ප්‍රමාණයක් සමග පුහුණු කරනු ලබන AI Modelයක් හෙවත් මෘදුකාංගයක් මගින් අපට අවශ්‍යය තොරතුරු ලබාදෙන අතර මෙම ක්‍රමවේදයේදී භාවිතා කර ඇති දත්ත ප්‍රමාණය විවිධ ක්ෂේත්‍රයන් වලට අයත් දත්ත නිසාවෙන් ඔබට ඕනෑම ක්ෂේත්‍රයක ගැටලු පහසුවෙන්ම මේ හරහා විසදාගැනීමට හැකියාව පවතී. ගූගල් සමාගම තමන්ගේ තාක්ෂණික හැකියාවන් සමගින් මෙම තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට පිඹුරුපත් සකස් කලද ඒවා සියල්ලම පාහේ මින් පෙර වැරදී ගියේ මෙම තරගයේ ඇති තියුණුබව මනාව පෙන්වා දෙමිනි.

මුල් අවධියේ LLM මොඩල සියල්ලම පාහේ අකුරු සමග පමණක් වැඩ කටයූතු කරලීමට සමත් වූ අතර ඉන්පසු පරීක්ෂකයන්ගේ අවධානය යොමු වන්නේ පින්තූර, විඩියෝ ඕඩියෝ වැනි විවිධ වර්ගයේ දත්ත හැසිරවීමට හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කරලීමේ තාක්ෂණය සොයාගැනීම වෙනුවෙනි. බුද්ධිමත් මිනිසුන් ලෙසින් අපද මේ ආකාරයට විවිධ හැකියාවන් අවශ්‍යය වූ විට එක් එක් හැකියාව සදහා දක්ෂ පුද්ගලයන් සභභාගී කරවාගන්නා අතර එමගින් සමූහයක් ලෙසින් අදාල කාර්‍යය පහසුවෙන් සහ නිවැරදිව ඉටු කරනු ලබයි. මෙම ක්‍රමවේදයම AI තාක්ෂණය සමගින් භාවිතා කරලීම මගින් පින්තූර, විඩියෝ , ඕඩියෝ වැනි විවිධ වර්ගයේ දත්ත හැසිරවීමට හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කරලීම ප්‍රදානවම ඒ සදහා භාවිතා වූ අතර එය Multi-Model ලෙසින් හදුන්වනු ලබයි.

එම ක්‍රමවේදය බොහොමයක් ගැටලු සදහා සාර්ථක ලෙසින් පිලිතුරු ලබාදුන්නද එහි ඇති ප්‍රධානම අඩුපාඩුවක් වන්නේ එක් එක් ගැටලු සදහා නැවත නැවත සකස් කරලීමට සිදුවීමයි. ආරම්භයේදී එය එතරම් දරුණු ගැටලුවක් නොවුනද වෙළදපළ තරගය සහ පරිශීලකයන්ගේ ඉල්ලිම් මත සියලුම කාර්‍යන් එකට සිදු කල හැකි Multimodal හෙවත් බහුකාර්‍යය එක් මොඩලයක් එළිදැක්වීමට සෑම දෙනාම උනන්දුවකින් කටයුතු කල අතර එම තරගයෙන්ද පළමුවෙනි ස්ථානය OpenAI සමාගමේ GPT4 ලබාගත් නමුත් Google Deepmind මගින් දැනට පවතින සියලුම Multimodal වර්ගයේ බුද්ධිමත් මෘදුකාංග සියල්ලම අභිබවා යමින් ඉතාමත් සාර්ථක ලෙසින් Google Gemini එළි දක්වනු ලැබීය.

Google සමාගම විසින් මෙම එලිදැක්වීමත් සමග තාක්ෂණික ලෝකයම උඩු යටිකුරු වූයේ එමගින් පෙන්වා දුන් හැකියාවන් සැබවින්ම විස්මිත වූ නිසාවෙනි.අප විසින් අදිනු ලබන චිත්‍රයක් භාවිතාවෙන් අදහස් දැක්වීම, අප විසින් පවසන අදහසට ගැලපෙන ලෙසින් ක්‍රමලේඛණයක් සකස් කරමින් මෘදුකාංග නිර්මාණය කිරීම මෙහිදී ප්‍රධාන ලෙසින්ම තාක්ෂණික ලෝකයේ සිත්ගත් අංග වූයේ ඒවා මින් පෙර සිදු කරනු ලැබූ AI මෘදුකාංග සියල්ලම අභිභවා යන ආකාරයේ තාක්ෂණික හැකියාවකින් යුක්තව ක්‍රියාකර ඇති නිසාවෙනි.

කොතරම් මෙවැනි LLM AI Model එලිදක්වනු ලැබූවත් ඒවා ඉතාමත් අඩු බලයකින් ක්‍රියාත්මක වන ලෙසින් සකස් කර ඇති ජංගම දුරකතන වැනි දෑ තුල ක්‍රියාත්මක කරලීම සැබැවින්ම මෙතෙක් නිසි ලෙසින් නොවිසදා තිබූ ඉහළ තාක්ෂණික ගැටලුවකි. වර්තමානය වන විට අප විසින් භාවිතා කරනු ලබන Chat GPT වැනි AI සමග ක්‍රියාත්මක වන මෘදුකාංග සියල්ලම පාහේ ක්‍රියාත්මක වීම සදහා අතිවිශාල පරිගණක හැකියාවක් අවශ්‍යය වන අතර ඒ සදහා ගෙවිය යුතු මිලද සැලකිය යුතු ලෙසින් ඉහල මට්ටමක පැවතින්නේ ඒම තාක්ෂණයන්ගේ නිසි ප්‍රයෝජන ලබාගැනීමට යොමුවීම තරමක් දුරට සාමාන්‍යය ජනයාගෙන් ඈත් කරලමිනි. නමුත් Google Gemini, Ulta, Pro සහ Nano ලෙසින් ආකාර තුනකට තම නිර්මාණය භාවිතා කරලීමට ඉඩ සලස්වා ඇත්තේ එක් එක් කාර්‍යය වෙනුවෙන් වඩාත්ම ගැලපෙන තෝරාගැනීම සිදු කරලීම මගින් ඉතාමත් අඩු මුදලකට උවද භාවිතා කරලීමේ පහසුකම පාරිබෝගිකයාට ලබා දෙමිනි. Google සමාගම ඔවුන්ගේ Pixel දුරකතන සදහා මෙම Gemini Nano Modelය හදුන්වාදෙනු ලබන අතර එමගින් ඉතාමත් ඉක්මනින් සහ ලාබදායි ලෙසින් ඔබටද මෙම තාක්ෂණය මගින් ප්‍රතිඵල ලබාගැනිමට හැකියාව ලැබෙයි.

Pro මොඩලය සාමාන්‍යය ප්‍රමාණයේ වැඩ රාජකාරීන් සදහා ප්‍රමාණවත් වන ලෙසින් ඔවුන් සකස් කර ඇති අතර Ultra මොඩලය මගින් ඉතාමත් විශාල සහ සන්කීර්ණ ක්‍රියාවලීන් සදහා අවශ්‍යය හැකියාව ලබාදෙයි. Google Bard වෙත ඔවුන් දැනටමත් Gemini Modelය එකතු කර ඇති අතර එමගින් ඔබට ඉතාමත් පහසුවෙන් මෙම විශ්මිත නිර්මාණයේ පළ ප්‍රයෝජන නොමිලේම ලබාගැනීමට හැකියාව පවතියි. ඔවුන් විසින් ඔවුන්ගේ සියලුම නිර්මාණ සදහා අනාගතයේදී මෙම මොඩලය භාවිතා කරනු ඇති බවට Gemini Era හදුනවා දීමේ වීඩියෝ පටයේදී සදහන් කරන Google ආයතනයේ CEO Sundar Pichai තව දුරටත් සදහන් කරනු ලබන්නේ මෙම මොඩලය ගූගල් නොවන මෘදුකාංග සදහාද පහසුවෙන්ම භාවිතා කරලීමටද ඉඩකඩ සලස්වන බවයි.


Google Gemini භාවිතා කරලීම මගින් අනාගතෙයේ බොහෝ මෘදුකාංග වර්තමානයේ පවතිනවාට වඩා ඉහළ හැකියාවකින් ක්‍රියාත්මක කරලීමට හැකියාව ලැබෙන අතර ඒව අතරින් ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු වෙනසක් දැකිය හැකි ක්ෂේත්‍ර ලෙසින් සෞඛ්‍යය ක්ෂේත්‍රය,මෘදුකාංග ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය හදුනගැනීමට හැකිය.


අධ්‍යාපනය ක්ෂෙත්‍රය කියන්නෙ මේ වෙනකොට ඉතාමත් ක්‍රියාකාරි ලෙසින් ලොව පුරා සෑම දෙනාම පාහෙ වාගේ නියැලී සිටින ක්ෂෙත්‍රයක්. අතීතයේදී අපිට යම් දෙයක් ඉගෙනීමට අවශ්‍යය වූ විට අපිට අනිවාර්‍යෙන්ම ඒ සදහා යම් කිසි කාලයක් වැය කොට ඒ සම්බන්ධ දැනුම සහිත පුද්ගලයකු සොයාගත යුතුව තිබුනද වර්තමානය වන විට ඒ සදහා ඔබ වෙන් කල යුතු වන්නේ තප්පර කිහිපයක කාලයක් සෙව්ම් යන්ත්‍රයක් භාවිතා කරලීම පමණක් වීම සැබවින්ම තාක්ෂණයේ විශ්මිත භාවිතාක් ලෙසින් හදුනාගත හැකි වුවද මේ වනවිට ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ එලෙස ලබාගත හැකි වීඩියෝ, සටහන් ආදියේ ඇති විශ්වාසනීත්වය සහ ඒවා බොහෝ විට පරීශීලනය කරන සියලු දෙනාටම අවබෝධ නොවිමයි.

මෙම ගැටලුවට ඉතාමත් සාර්තක විසදුමක් ඉදිරිපත් කරන Google Gemini මගින් අප වෙනුවෙන්ම නිර්මාණය වුන පාඩම් සටහන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට මෙන්ම අපට තේරුම් ගැනීමට අපහසු ගැඹුරු විශය කොටස් ඉතාමත් සරල ආකාරයට පැහැදිලි කරගැනීමටද මෙම මොඩලය හරහා දැන් හැකියාව පවතී.එමෙන්ම Gemini Modelයේ ඇති තවත් එක් විශේෂ හැකියාවක් වන පින්තූර හදුනාගැනීමේ පහසුකම මගින් අප විසින් ලියනු ලබන පිළිතුරු පත්‍රයක් ඉතාමත් පහසුවෙන්ම පරීක්ෂා කරගැනීමටද හැකියාව ලැබෙන්නේ අපගේ  කාලය ඉතුරු කර දෙමිනි.

Artificial intelligence මගින් වර්තමානය වන විට විශාල තාක්ෂණික පෙරලීන් සිදු කරමින් සිටියද ඒවා මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල තීන්දු තීරණ නම් ගන්නේම නැති තරම්. මෙයට හේතුව වන්නේ සෞඛ්‍යය ක්ෂේත්‍රය කියන්නෙ ඉතාමත් නිවැරදි ලෙසින් තීන්දු තීරණ ගතයුතු, කුඩා වැරදීමකින් ජීවිතයෙන් වුවද වන්දි ගෙවීමට සිදුවන තරමේ බරපතල ප්‍රතිපල ලබාදීමට ඉඩ ඇති සන්කීර්ණ ක්‍රමවේද රාශියක් සමග බැදුන ක්ෂේත්‍රයක් වීමයි. අතීතයේදී රෝගය පැහැදිලි කරනු ලබන විට අත්දැකීම් මගින් ප්‍රතිකාර නියම කර සිටියත් වර්තමානය වන විට බොහොමයක් රෝගාබාධ සදහා ප්‍රතිකාර නිවැරදි ලෙසින් සිදු කරලීමට වෛද්‍යවරු විසින් රෝගියාගේ පැහැදිලි කරලීම් වලට අමතරව ECG, Lipid Profile, Ultrasound Scan ආදී පරීක්ෂණ රාශියක් නියම කරනු ලබන්නේ ගන්නා ලබන තීන්දු තීරණ තව දුරටත් නිවැරදි වීමේ අපේක්ෂාවෙනි.

කෙසේ නමුත් Google Gemini මගින් පෙන්වා ඇති හැකියාවන් නිසාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිමාවන් පුළුල් කරමින් Artificial intelligence තාක්ෂණය භාවිතා කරලමින් තව දුරටත් වෛද්‍යවරුන්ගේ තීරණ වලට උදව් වන ආකාරයේ බුද්ධිමත් යන්ත්‍ර සහ මෘදුකාංග බහුලවම භාවිතා වීම පැහැදිලි ඉඩක් ඇති අතර ඒවා අතර ලබාගන්නා පරික්ෂණ වල ඇති දත්ත විශ්ලේෂණය මගින් අදහස් දැක්වීම, රෝගියාට ප්‍රතිකාර තෝරාගැනීමට අවශ්‍යය දැනුම ලබාදීම, දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය ක්‍රමවත්ව සහ එක් එක් රෝගියාට අනන්‍යය ආකාරයටම නිර්මාණය කරලීම වැනි ක්‍රමවේද රාශියක් හදුනාගත හැකිය.

Artificial Intelligence සම්බන්ධව මත පළකරන බොහෝ තාක්ෂණික නොවන පිරිස් අවධානය යොමු කරනු ලබන ප්‍රධාන කාරණාවක් වන්නේ අනිසි ක්‍රියාවන් සදහා අවශ්‍යය දැනුම සහ සහය ලබාගැනීම වෙනුවෙන් මේවා පහසුවෙන් භාවිතා කරලීමට ඇති හැකියාවයි. ගූගල් සමාගම ඉතාමත් පැහැදිලි ලෙසින් මෙම Gemini නිර්මාණයේ පටන්ම ඒවාට වැටබැදීමට අවශ්‍යය තාක්ෂණික වැට කඩුලු නිර්මාණය කරලීම පිළිබදව අවධානය යොමු කර ඇති බවට ඔවුන්ගේ ප්‍රචාරක පට සහ නිකුත් කර ඇති තාක්ෂණික දත්ත පත්‍රිකා දෙස බැලීමෙන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම ඔවුන් සදහන් කරන්නේ Gemini පුහුණු කරලීමට ලබාගන්නා ලද දත්ත මගින් කිසිවකුගේ පෞද්ගලිකත්වයට හානි සිදු කර නොමැති බවයි.

ගූගල් සමාගම සදහන් කරන පරිදි සහ දැනට පරීක්ෂණ මගින් පෙන්වා දෙන පරිදි Google Gemini වර්තමානයේ ඇති දියුණුම Artificial Intelligence තාක්ෂණය සහිත මෘදුකාංගය වන අතර එමගින් මෙතෙක් මිනිසා විසින් අත්දැක ඇති ඉහළම තාක්ෂණික භාවිතාවක් නුදුරේදීම අපට අත්දැකීමට ඉඩකඩ ලැබෙන්නේ ගූගල් සමාගම පවසන පරිද්දෙන්ම නව යුගයකට දොරටු විවර කරමිනි.

Leo Rashmi Shasikala  

University of colombo  

Faculty of Art

Monday, January 22, 2024

දඬුලේනා (Nature Eye - Article 17)

 


*පොදු නාමය- දඬුලේනා

* විද්‍යාත්මක නාමය-Ratufa marcroura

*ඉංග්‍රීසි නාමය-Sri Lanka giant squirrel

*දෙමළ නාමය-පෙරිය අනිල්

දඬුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ.සාමාන්‍යයෙන් වැඩුණු දඬු ලේනෙකුගේ ශරීර ප්‍රමාණය සෙ.මී.25 ත් 45 ත් අතර වෙයි.ගැහැනු හා පිරිමි සතුන් අතර,ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාලය. ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේ දී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදව් වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඬුලේනාට මේ සඳහා උදව් වන ප්‍රධාන ම දෙය වන්නේ උගේ දිගු ශක්තිමත් වලිගයයි.දුඹුරු ,රතු,අළු හා කළු වර්ණවල ශරීර මේ සත්ත්වයාට හිමිව ඇත.

      ජීවත්වන ප්‍රදේශ පිළිබඳ සඳහන් කිරීමේ දී වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි.මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබේ.

               මොවුන්ගේ ආහාර පිළිබඳ සඳහන් කිරීමේ දී,

 *පලතුරු

*පොල්

*ඇතැම් ගස්වල පොතු

*කුඩා කෘමි සතුන්

      ආහාර ලෙස ගනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු නිසා සම සීත කාලයේ දී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදව් වේ.

      මෙම සත්ත්වයා වඩාත්  ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා  සන්ද්‍යා කාලයේ මුල් භාගයේ ය.එක් ගසක සිට 6m ක් දුරින් පිහිටි ගසකට පවා පැනීමේ හැකියාව ඇත.උදය සහ දවල් කාලයේ දී ක්‍රියාකාරී වන මෙම සත්ත්වයා රාත්‍රි කාලයේ දී හොඳින් නින්දට වැටෙයි.විවේක කාලයේ දී සහ රාත්‍රීයේ දී නිදා ගැනීම සඳහා තනාගත් කූඩුවල වෙසෙයි.සෙසු සෑම අවස්ථාවකම පරිසරයේ ඔබමොබ සැරිසරයි.

      සාමාන්‍යයෙන් තනිව හෝ ඉඳහිට යුගල වශයෙන් දක්නට ලැබෙන අතර බියට පත් වූ විට අනතුරක් අත ළඟ බව දැනෙන විට පලායාම සිරිතකි.විලෝපිකයන්ගෙන් බේරීම සඳහා ඉතා කලාතුරකින් බිමට පැමිණේ.

      මෙම සත්ත්වයා දැනට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත් ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කළ යුතුය.එය අපි  සැමගේම  මහඟු යුතුකමක් වේ.අපි ඒ සඳහා හදවතින් ම එක්විය යුතුය.

Leo Sadali Panagoda
First Year
Facultyy of Arts

කුරුඳු ශාකය (Nature Eye - Article 18)


*පොදු නාමය-කුරුඳු

*විද්‍යාත්මක නාමය-Cinnamomum

*ඉංග්‍රීසි නාමය-Cinnamon


කුරුඳු ශාකය සදාහරිත බහුවාර්ෂික බෝගයකි.ලොරේසියේ කුලයට සහ සිනමෝමම් ගණයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික භෝගයකි.මෙම කුරුඳු ශාකය වර්ග කීපයක් ඔස්සේ අපට හඳුනාගත හැකිය.

    1.කුඩු කුරුඳු (දවුල් කුරුඳු )

2.පැඟිරි කුරුඳු

3.කපුරු කුරුඳු

 දක්නට ලැබෙන ප්‍රභේද අතුරින් වඩාත් උසටම වැඩෙනුයේ දවුල් කුරුඳු ශාකයයි.මෙම කුරුඳු විශේෂය තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ.මීටර් 10ක් පමණ උසට වැඩෙන මෙම විශේෂය පහතරට ප්‍රදේශයේ දුර්ලභ ශාකයකි.

  පර්‍යේෂණ දත්ත අනුව නයිට්‍රජන් පොහොර වලට කුරුඳු ශාකය ශාකය වැඩි නැඹුරුවක් දක්වයි.එම නිසා යූරියා පොහොර කුරුඳු වගාවට ඉතාමත් වැදගත් වේ."ආස්මි"නම් ප්‍රණීත රසකැවිලි නිෂ්පාදනය කිරීමේ දී එකල "දවුල් කුරුඳු " ශාකය බහුලව යොදා ගන්නට විය.   

කුරුඳු ශාකය පිළිබඳ තවදුරටත් සඳහන් කිරීමේ දී වාණිජ කුරුඳු ලෙස ජනප්‍රියව ඇති කුරුඳු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

  1.සත්‍ය කුරුඳු

 2.කැසියා කුරුඳුකැසියා කුරුඳු ප්‍රධාන වශයෙන් නැගෙනහිර ආසියාතික රටවල් වන ඉන්දුනීසියාව,චීනය සහ වියට්නාමය යන රටවල වගා කෙරේ.මෙම කුරුඳු සත්‍ය කුරුඳු වලට වඩා ගුණාත්මක බව බෙහෙවින් අඩුය.

    කුරුඳු සම්භාවය වූයේ ශ්‍රී ලංකාවේ  මධ්‍යම කඳුකරයෙන් බවට අනාවරණය වී ඇති නිසා මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි.කුරුඳු ශාකය  දැනටත් ලංකාවේ මහනුවර ,මාතලේ,බෙලිහුල්ඔය,හපුතලේ හා සිංහරාජ අඩවියේ ඇතැම් ස්ථානවල හමුවේ.කුරුඳු කැලෑ ගසක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර් 300-350 දක්වා උසට වැඩේ.

        කුරුඳු පොත්තේ ගුණාත්මක බව රඳා පවතින්නේ ජානමය කරුණු ,පස සහ දේශගුණික සාධක මතය.ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුත් කුරුඳු නිපදවන්නේ සුදු පැහැති වැලි පසෙහිය.මීගමුව ප්‍රදේශයේ ඇති සුදු වැලි සහිත පසට මෙම පස සමාන වේ.

      මෙහි විද්‍යාත්මක  ලක්ෂණ  පිළිබඳ සඳහන් කිරීමේ දී කුරුඳු අතු බෙදුණු,දුඹුරු පැහැති කඳන්  ඇති,සදාහරිත,මුදුන් මුල්   පද්ධතියක් සහිත ශාකයකි.කුරුඳු පත්‍ර එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස සර්පිලාකාරව කඳට සවි වී ඇති අතර ,පත්‍රවල මුල සිට අග දක්වා විහිදෙන නාරටි තුනක් දක්නට ඇත.කුරුඳු පත්‍රයේ මතුපිට දිලිසෙන සුළුවන   අතර ඉටිමය ස්වාභයකින් යුක්ත වේ

      කුරුඳු පොත්ත බොහෝ විට සිනිඳු වන අතර ආවේණික සුවඳක් ඇත.කුරුඳු මල් ද්වී ලිංගිකය.එක් මලක කුඩා ක්‍රීම් පැහැති රේණු 9ක් සහ වඳ රේණු 3ක් ඇත.මල් වරෙක ස්ත්‍රී පුෂ්පයක් ලෙසත් වරෙක පිරිමි පුෂ්පයක් ලෙසත් ක්‍රියාකාරී වේ

    සියවස් ගණනාවක සිට 80%ක්ම කුරුඳු ඉල්ලුම පියවූයේ ශ්‍රී ලංකාවයි.මෙහි ඖෂධීය සාරය පිළිබඳ සඳහන් කිරීමේ දී ශක්ති වර්ධක පානයක් ලෙස පිළියෙල කොටගනී.

    මෙතරම් ඖෂධීය හා විද්‍යාත්මක වටිනාකමකින් යුත් කුරුඳු ශාකය ආර්ථික වශයෙන් වැදගත් වන අතර එකී වටිනාකම හේතුවෙන් අපනයන ආර්ථික රටාව හමුවේ වඳවී යාමේ තර්ජිතයට බඳුන් වී ඇති ශාක විශේෂයක් ලෙස කුරුඳු ශාකය පෙන්වා දිය හැකිය.

Leo Sandali Panagoda

First Year

Faculty of Arts

හොඳම දවසක් එනතුරා...


නෙලුම් කුලුනේ විසල් රූපය

දිහා බලමින් හවස් යාමෙක

මමත් නැති දා ඔබත් තනියම

සුසුම් හෙලුවද තනිව පාලු ව

අනේ ළඟ හිටියනං කියලා...


ගාලු මුවදොර දෑත් පටලං

තුරුලු වී යන්නන්ව දැකලා

ඉරිසියාවක් සිතෙන් හෙමිහිට

දෝරෙ ගැලුවද හදේ හරහට

පුරුදු උණුසුම දුර නිසා...


ගව් ගනන් දුර ගෙවා ඇවිදින්

අව්ව උහුලන දවස් අතරින්

සිසිල් සුලඟක් හමා ඇවිදින්

සිත් දෙකක් එක් කරනවා

තනියටම කවි ලියනවා...


පුරවරත් සෙංකඩගලත් දෙක

හිතෙන් යා කර මග බලාගෙන

හිතේ ඇති රුව ඇසින් දැකුමට

දින එකින් එක ගනිනවා

හොඳම දවසක් එනතුරා...


Leo Tharushika Peelikumbura

Third Year

Faculty of Arts

කලුවර ශාකය


පොදු නාමය - කලුවර ශාකය

උද්භිත විද්‍යාත්මක නාමය-  Diosyros Ebenum

ඉංග්‍රීසි නාමය- Ceylon Ebony

ලංකාවේ කළුවර ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයකි . මෙම කලුවර ශාකය එබනාසියේ කුලයට අයත් වේ.කලුවර ශාකය අයත් වන  Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ලංකාවේදී හඳුනාගෙන තිබේ .ඒවා සියල්ල ගස් හෝ පඳුරු වශයෙන් වැවේ.

ගස මීටර් 20-25ක් දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වේ. අඟල් 5-8ක් පමණ දිගු පත්‍ර පිහිටා තිබෙන අතර පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදේ. කදෙහි පොත්ත කළු සිට අලු පැහැය ගන්නා අතර කහ සිට සුදු දක්වා පාට මල් හට ගනී.එකම ගසෙහි පූමාංගී හා ජායාංගී මල් නිපදවන අතර මල් ඉතා සුවඳ වේ. ගසෙහි අරටුව කලු සිට දුඹුරු පාට දක්වා පැහැයක් ගන්නා බැවින් මෙම ශාකයට කලුවර යැයි පවසනු ලැබේ.මුහුදු මට්ටමේ සිට අඩි 1800 උස් මට්ටමක් දක්වා කලාප වල මෙම ශාකය වැඩේ.

මෙම ශාකය ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන  ශාකයකි . සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත් ඉන්දුනීසියාවේත් මෙම ගස සීමිතව තිබේ. ඉන්දියාවේ මෙම ශාකය පැතිර තිබෙන්නේ තමිල්නාඩුවේ සහ කර්ණාටක ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශය වල පිහිටි වනාන්තර වල වේ.

 කලුවර ශාකය මුලින්ම උද්භිත විද්‍යාත්මක නාමයක් ලබා දී තිබෙන්නේ වර්ෂ 1776 දී කෝනිග් නම් තැනැත්තා විසිනි.එය ලංකාවේදීම හඳුන්වා දීම විශේෂිත කරුණකි.ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේදී කළුවර දැව විශාල වශයෙන් අපේ රටේ වනාන්තර වලින් කපා විදේශ රටවලට ගෙන ගොස් තිබේ.වර්ෂ 1910දී කළුවර ටොන් 2635ක් විදේශිකයන්ට වෙන්දේසි කළ බව සඳහන් වේ.

 කලුවර ලීය මැදගත් විට දීප්තිමත් කලු පැහැයක් ගනී.මෙම ශාකයේ ලීය ඉතා ශක්තිමත් වන අතර එය කෘමි උවදුරු වලින් තොර වේ.වර්ථමානය වන විට සීමිත කැටයම් ප්‍රතිමා ආදිය තැනුවත් ගෘහ භාණ්ඩ ආදිය තැනීමට මෙම දැව සපයා ගැනීමට නැත. අතීතයේ සිදු වූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මෙම වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කණගාටුවට කරුණකි . ශ්‍රී ලාංකීය ශිල්පීන් ඓතිහාසික වශයෙන් සියුම් කැටයම් කළ ගෘහ භාණ්ඩ , සියුම් මූර්ති සහ සුඛෝපභෝගී දැව භාණ්ඩ නිර්මාණයට ලංකා කලුවර ශාකය යොදා ගෙන ඇත .

 සාම්ප්‍රදායික ජනප්‍රවාද ,කලාව,සහ ශිල්ප ශාස්ත්‍රය තුළ ප්‍රමුඛස්ථානය ගන්නා මෙම ගස රටේ ඉතිහාසයේ සහ උරුමයේ අනිවාර්ය අංගයක් වී ඇත .එය දිවයිනේ පොහොසත් සංස්කෘතික අනන්‍යතාවයේ සාරය පිළිබිඹු කරමින් ශක්තිය ,කල්පැවැත්ම සහ සදාකාලික සුන්දරත්වය සංකේතවත් කරයි.

කලුවර ශාකයේ පොතු,කොළ මල් සහ ගෙඩි ආයුර්වේද ඔසු සඳහා බහුලව භාවිත කරනු ලැබේ.මෙම ශාකයේ ගෙඩි තුවාල සුව කිරීමට යොදා ගන්නා අතර ඉදුණු ගෙඩි පාචනය සහ අතීසාරය සඳහා ප්‍රතිකාර වලට යොදා ගනී.බීජ වලින් ලබා ගන්නා තෙල්ද ඖෂධ ලෙස යොදා ගනී.පුරාණයේ මසුන් මැරීමට දියපහර වලට යොදන විසක් ලෙසද කළුවර ගෙඩි භාවිතා කර තිබේ.

කලුවර දැව ඝන මීටරයක් රු:123,228.00පමණ වේ.2007 වර්ෂයේ රතු දත්ත පොතට ( The 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka) අනුව ශ්‍රී ලංකාවේ වදවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක වර්ගීකරණයේ අන්තරායට ලක් වූ ශාක විශේෂයක් (Endangered -  EN) ලෙසට නම් කොට ඇත .

අවසාන වශයෙන් Diospyros Ebenum , ceylon Ebony  ශ්‍රී ලංකාවේ ස්වභාවදර්මය , සංස්කෘතික හා ශිල්පීත්වය අතර ඇති සංකීර්ණ අන්තර් සම්භන්දතාවයේ සාක්ෂියක් ලෙස පෙනී සිටියි.එහි අඳුරු සහ දිලිසෙන දැව දක්ෂ ශිල්පීන්ගේ දෑත් අලංකාර කරනවා පමණක් නොව දිවයිනේ පාරිසරික සහ සංස්කෘතික උරුමයන්ද මූර්තිමත් කරයි.එහි තිරසාර කළමනාකරණය සහතික කිරීමේ උත්සහය  අඛණ්ඩව පවතින අතර මෙම ආවේණික විශේෂය ඔරොත්තු දීමේ සංකේතයක් ලෙස පවතින අතර මානව උත්සහයන් හා ස්වභාවික ලෝකය අතර සුසංයෝගී සහජීවනයක අවශ්‍යතාවය පවතී..

Leo Amanda Oshadi

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...