Wednesday, December 27, 2023

නත්තලේ මූල ප්‍රභවයෝ මිත්‍යාදෘෂ්ටික ගෝත්‍රික චාරිත්‍ර කරා දිව යනවාද?

 


 සාමයේ පණිවිඩය රැගෙන පැමිණි ජේසු බිලිදාගේ උපත සිහිකරමින් සකල ලෝකවාසී කිතුනු බැතිමතුන් විසින් මහත් හරසරින් යුතුව දෙසැම්බර් 25 වන දින නත්තල සමරනු ලබයි. කිතුනු දේවස්ථාන වල ප්‍රධාන දේව මෙහෙයන් ශුද්ධ වූ පියතුමන්ලා විසින් මහත් භක්තියෙන් යුක්තව සමරනු ලබන අතර ජීවිතයේ සැබෑ අරුත පැමිණි රැගෙන ස්වාමි දරුවාගේ පණිවිඩය මතක් කිරීම, දුප්පතුන්ට උදව් කිරීම, සතුට, සහයෝගය, සමාව දීම වැනි ගුණධර්ම නැවත මතක් කිරීමට නත්තල ඉඩකඩ සපයයි. 

     මෙහිදී ප්‍රධාන වශයෙන් නත්තල් උත්සවයේ ප්‍රභවය පිළිබඳ පවතින ලේඛනගත තොරතුරු, ජනප්‍රවාද සහ පුරාවෘත්තයන් ගැන විමසමින් එහි මූලාරම්භය කොතෙක් දුරට වෙනත් ආගමික පාර්ශ්වයන් හා සහ සම්බන්ධ වන්නේ ද? ඒවා මොනවාද? ඒවා අද්‍යතනය දක්වා ජනගත වූයේ කෙසේද? යන්න පිළිබඳ කෙටි විමසීමක් කිරීම මෙහිලා අපේක්ෂිතය. 

     වර්තමානයේ පවතින බොහෝ ආගමික උත්සවයන්හි මූලයෝ විමසීමේදී ඒවා ප්‍රධාන භූමිකාවෙන් පරිබාහිරව වෙනත් යම් යම් දේ සමග බැඳී පවතින බව අසත්‍යයක් නොවේ. නත්තල පිළිබඳ මූලාරම්භය සෙවීම මතභේදකාරී සහ සංකීර්ණ වන අතර විවිධ ලේඛන හා විවිධ සම්ප්‍රදායන් නිසා පැටලිලි සහගත තත්ත්වයක් උද්දීපනය කරයි. නත්තල ප්‍රධාන වශයෙන් සමරනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පදනම් කරගෙන වන නිසා  නත්තලේ ආදි මූලයන් සෙවීමට පෙර උපත පිළිබඳ සෙවීම වටී. දෙසැම්බර් 25 වන දින ජේසුස් වහන්සේගේ උපන්දිනය ලෙස නියම කිරීමේ නිශ්චිත මූලාරම්භය අපැහැදිලි වන අතර අලුත් ගිවිසුම මේ සම්බන්ධයෙන් නිශ්චිත ඉඟි ඉදිරිපත් නොකරයි. ක්‍රිස්තුස් වහන්සේගේ උපත දෙසැම්බර් 25 ලෙස සඳහන් වන පැරණිතම සාක්ෂිය "The Chronograph of 354" බව කියැවෙයි. නත්තල් උත්සවේ වාර්ෂික නිවාඩුවක් හෝ මංගල්‍යයක් ලෙස සැමරීමක් ගැන මෙහි සඳහන් වන බව පැවසෙන අතර ක්‍රි.ව. 336 දී රෝමයේදී ලියා ඇති බව කියැවේ. නමුත් මුල් කාලීන ක්‍රිස්තියානි දේවධර්මාචාර ලේඛකයකු වූ Irenaeus ගේ ලයිස්තුවල පවා නත්තල ගැන සඳහන් නොවේ. ඊට ප්‍රථමයෙන් එය මාර්තු ජනවාරි හෝ ජූනි මාසය යැයි පිළිගෙන ඇති අතර කෙසේ වෙතත් හතරවන සියවසේදී පල්ලිය විසින් දෙසැම්බර් 25 ලෙස පිළිගෙන ඇත. 

     මෙහි ඇති ගැටලුව වන්නේ එවකට සමකාලීන ලෝකය හා සැසඳීමේදී නත්තල් දිනය ඒ ආකාරයටම රෝමධිරාජ්‍යයේ සූර්යයාගේ උපත හා සම්බන්ධ වන බැවිනි. දෙසැම්බර් 25 වන දින "died invicti nati" (අපරාජිත සූර්යයාගේ උපත) හා සම්බන්ධ වෙයි. මුල්ම පල්ලිය මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන් ( මෙහිදී මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හඳුන්වනු ලබන්නේ ක්‍රිස්තියානි නොවන යන අර්ථයෙනි. මෙයට බහු දේවවාදී රෝමවරු, ස්කැන්ඩිනේවියානු නෝරස් ජනයා හෝ බ්‍රිතාන්‍ය දූපත්වල පැරණි කෙල්ට්වරුන් ඇතුළත් විය හැක.) හා පිළිවෙත් වලින් නිශ්චිතව වෙන්කර හඳුනා ගැනීම දුෂ්කරවන අතර බොහෝ කිතුනු ලේඛකයන් බොහෝ විට සූර්යයාගේ නැවත ඉපදීම හා ක්‍රිස්තුස් වහන්සේගේ උපත අතර සම්බන්ධයක් ඇති කළේය. 09 සියවසේදී නත්තල විශේෂ පූජනීයත්වයෙන් හා වැදගත්කමකින් යුක්තව සමරා ඇති අතර අනෙකුත් වැදගත් දිනයන් වන මහා සිකුරාදා හා පාස්කු දිනය ආදියට වැදගත්කමක් ලබාදී නැත.

    නැගෙනහිර යුරෝපය, ඊසාන දිග අප්‍රිකාව, බටහිර ආසියාව ආදී නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් රටවල් ජේසුස් වහන්සේගේ උපත ජනවාරි 06 දින "එපිෆනි" උත්සවයට සමගාමීව සමරා ඇත. පැරණි ජූලියෙන් දින දර්ශනයේ දෙසැම්බර් 25 ග්‍රෙගරියානු  දින දර්ශනයෙන් ජනවාරි 07ට  අනුරූප වීමද ගැටලුවකි. කෙසේ වෙතත් උත්සවයක් ලෙස නත්තල ආරම්භ වීම පිණිස යුරෝපීය මිත්‍යා දෘෂ්ටික චාරිත්‍ර හෝ උත්සවයන්, ඇතැම් ගෝත්‍රික චාරිත්‍රයන් හා යම් සම්බන්ධයක් පවතින්නට ඇති බව පෙනී යයි. එය බොහෝවිට ශීත සූර්යාලෝකය සමඟ සමපාත වන අතර පූර්ව ක්‍රිස්තියානි අංගෝපාංග ඇතුළත් වෙයි. 

     පුරාණ රෝමයේ වැසියන් Saturnalia නම් සෙනසුරු දෙවියන්ට ගෞරව කිරීම පිණිස දෙසැම්බර් 17න් පටන් ගන්නා දින ගණනාවක් පුරා පවතින උත්සවයක් පවත්වා ඇත. දෙසැම්බර් 25 වෙනි දින එහි උච්චතම කාලයක් ලෙස සලකා ඇති අතර එය Brumalia ලෙස හඳුන්වා ඇත. රෝම සමාජ සම්මතයන් පවා උඩු යටිකුරු කරමින් සැණකෙළි පවත්වා ඇති අතර නිදහසේ තොප්පිය ඔවුන් පැළඳ සිටියහ.ඉටිපන්දම් දල්වා ඇත, තහනම් කැට සූදුවට පවා අවසර දී ඇත. ඉටි හෝ පිඟන් මැටි වලින් කළ කුඩා රූප තෑගි ලෙස හුවමාරු කර ඇති අතර බල කොටුවල හරක් මස්, පාන්, ආනයිනික වයින් හෝ මී පැණි, කුලුබඩු මිශ්‍ර ආහාර ගෙන ඇත. මෙම Santurnalia යම් අඳුරු පැත්තක් තිබෙන්නට ඇත. උත්සවය දින තිහක කාලයක් සඳහා රෝමානු වැසියෙකු වැරදි පාලනය අධිපතියා ලෙස තෝරා පත් කරගෙන ඇත. යුරෝපයේ මැද භාගයේ පසුකාලීන සැමරුම් වලට විශේෂයෙන් නත්තලට, අහිංසකයන්ගේ මංගල්‍යයන්ට, එපිෆනී ආදී සම්ප්‍රදායන්ට Saturnalia බලපෑම් කළ හැකි අතර නත්තලේ ආදි මූලයන් මේ තුළ ද පැවතිය හැක.

    එසේම රෝමයේ එම කාලය තුළම තවත් උත්සවයක් පැවති අතර එය පෙර සඳහන් කරන ලද අපරාජිත සූර්යයාගේ උපන් දින සැමරුමයි. දෙසැම්බර් 25 වැනි දින ඔරේලියන් අධිරාජ්‍යයා විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇති අතර ඉහළ පැලැන්තියේ පිරිමින් විසින් පමණක් සමරනු ලැබ ඇත. මෙහි සිත් ගන්නා සුළු කාරණා දෙකක් නම්, කිතුණුවන් ජේසුස් වහන්සේගේ උපත සැමරීමට මෙම දිනය තීරණය කිරීම සහ ජෙසුස් වහන්සේගේ එක් නාම පදයක් "යුක්තියේ සූර්යයා" වීමයි.

    Saturnalia ට හැර නත්තලට විශාල බලපෑමක් කළ තවත් උත්සවයක් වන්නේ Yule උත්සවයයි. වසර දහස් ගණනකට පෙර උතුරු යුරෝපයේ නෝර්ස් ජනතාව විසින් බොහෝ දුරට සමරනු ලැබ ඇති යූල් සම්ප්‍රදාය අද නත්තල් සම්ප්‍රදාය බවට හැඩගැසී ඇති බව සිතිය හැක. විශාල යූල් කඳන් වලට ගිනි තැබීම, හරක් මස් අනුභවය, යූල් ගස සැරසීම, වයින් පානය, රාත්‍රිය පුරාම දැල්වෙන ගින්න ආදී යූල්හි ඇතුම් ලක්ෂණ වර්තමාන නත්තලේ ද පවතී. එසේම ඔවුන් ස්වභාවධර්මයේ චක්‍ර නිරීක්ෂණය කිරීම සඳහා අලුයම වනතුරු අවදියෙන් සිට ඇත. Yule logs ආකාරයේ කේක් වර්තමාන නත්තල් උත්සවයේද පවතී. ඒවා පැරණි සම්ප්‍රදායෙහි නෂ්ටාවශේෂ ලෙස සිතිය හැක.

    එසේම මෙම කාලසීමාවේදී තවත් වැදගත් මිථ්‍යා ග්‍රීක දෙවියකු වන ඩයෝනිසස්ගේ උපන්දිනය සමරයි. මේ විනෝදාස්වාදයන්, මංගල්‍යයන්,බේබදුකම සහ ප්‍රීතිය ගෙන දෙනු ලැබීය. එසේම මෙම කාලයේදී ෆින්ලන්තය තුළ හිරු දේවතාවිය Beiwe සමරනු ලැබීය. ඇය ඇටකටු වලින් සාදන ලද යමක් මත ගමන් කරන බව කියනු ලබන අතර එය සුදු පැහැති මුවකු විසින් ඇදගෙන යන ලදී. එසේම පුරාණ ස්ලාව් ජාතිකයන් තම ආදරණීයන් උණුසුම තබා ගැනීම සඳහා ශීත ඍතුවේ මෙම දිනවලදී සුසාන භූමිවල සහ හරස් මාර්ගවල ගිනි දල්වා ඇත. මළවුන්ට ගෞරව කිරීම සහ ඔවුන් පෝෂණය කිරීම සඳහා උත්සවයන් සංවිධානය කර ඇත. මෙකී පිළිවෙත් නූතන නත්තල් අංගෝපාංග හා ඒකාබද්ධව ඇත. 

   එසේම නිවෙස්වල චිමිනිය හරහා නිවෙස් වලට රිංගා යන අද්භූත ජීවීන් ගැන යුරෝපීය පුරාවෘත්තයන් පවතී. ස්කොට්ලන්ත සහ ඉංග්‍රීසි ජනප්‍රවාද වලද ඒ  පිළිබඳව සඳහන් වන අතර මධ්‍යකාලීන යුගයේදී මායාකාරියන් ඔවුන්ගේ චිමිණි හරහා නිවෙස් වලට ඇතුල්වන බව මිථ්‍යා කතා පවතී. 

    එසේම මධ්‍යම යුරෝපීය රටවල ශීත කාලයෙහි පවතින ජනප්‍රිය පුරාවෘත්තයක් වන ක්‍රැම්පස් යනු එළුවකුගේ මුහුණක් සහ යක්ෂයෙකුගේ ශරීරයකින් යුත් අර්ධ යක්ෂයෙකි. ඔහු වැරදි දරුවන්ට දඬුවම් කරමින් වීදි පුරා හැසිරෙන බව කියැවේ. කතෝලික පල්ලිය ඔහුව තහනම් කිරීමට උත්සහ කලද ඔහු ශාන්ත නිකලස් කතාව සමඟ පසුව සම්බන්ධ වී ඇත. ශාන්ත නිකලස් හොඳ දරුවන්ට තෑගි තබමින් යන අතර ක්‍රෑම්පස් දඟකාරයින්ට අතු සහ පොළොවලින් පහර දෙමින් යන බව ජනප්‍රවාදයන්හි පවතී. 20 ශතවර්ශයේ අග භාගයේදී ඔස්ට්‍රියාවේ සහ ජර්මනියේ වැඩි වශයෙන් මෙය ජනප්‍රිය වී ඇත. 

    නත්තල ලෙසින් අද අපි සමරනු ලබන සුවිශේෂී ආගමික උත්සවයේ ආදි මූලයෝ මුල් කාලීන නිලීන චාරිත්‍ර විධි හා බැඳී පවතින බව සිතිය හැකි අතර මේ ගැන විමසීම ඉතාම මතභේදකාරී විය හැක. පරිබාහිර කරුණු හා සුසංයෝජනය වීමේදී ඇති ගැටළුව, මිථ්‍යා විශ්වාසයන්, ජනප්‍රවාද, පුරාවෘත්තයන් සමඟ මේවා සංකලනය වී ඇත. ප්‍රභවය කෙසේ වෙතත් වර්තමානය වන විට නත්තල කිතුණු බැතිමතුන්ට පමණක් සීමා නොවී බොහෝ දෙනා නිදහස සහ විනෝදය උපදවන සාමයට යුක්තියට මග පාදන සර්ව මානවහිතෛෂී සැමරුමක් වී අවසන්ය.

Leo Chathuranga Lakmal

First Year

Faculty of Arts


References

Melton, J. Gordon (2011). Religious Celebrations: An Encyclopedia of Holidays, Festivals, Solemn Observances, and Spiritual Commemorations [2 volumes]

English, Adam C. (October 14, 2016). Christmas: Theological Anticipations. Wipf and Stock Publishers. pp. 70–71. ISBN 978-1-4982-3933-2.

Melton, J. Gordon (2011). Religious Celebrations: An Encyclopedia of Holidays, Festivals, Solemn Observances, and Spiritual Commemorations [2 volumes]

English, Adam C. (October 14, 2016). Christmas: Theological Anticipations. Wipf and Stock Publishers. pp. 70–71. ISBN 978-1-4982-3933-2.

Roy, Christian (2005). Traditional Festivals: A Multicultural Encyclopedia. Santa Barbara, California: ABC-CLIO. p. 146. ISBN 978-1-57607-089-5. Archived from the original on January 11, 2014. Retrieved February 3, 2012.

http://edition.cnn.com/EVENTS/1996/christmas/history.html

https://www.britannica.com/topic/Feast-of-Fools

https://www.english-heritage.org.uk/christmas/the-history-of-christmas/

https://www.history.com/topics/christmas/history-of-christmas

https://www.bbc.com/reel/video/p0dl578j/the-astonishing-pagan-origin-of-christmas

http://edition.cnn.com/EVENTS/1996/christmas/history.html

https://www.britannica.com/topic/Feast-of-Fools

https://www.english-heritage.org.uk/christmas/the-history-of-christmas/

https://www.history.com/topics/christmas/history-of-christmas

https://www.bbc.com/reel/video/p0dl578j/the-astonishing-pagan-origin-of-christmas

Tuesday, December 26, 2023

බෙත්ලෙහෙමෙහි තාරකාව


ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව බෙත්ලෙහෙම් තරුව යනුවෙන් හැඳින්වෙන නත්තල් තරුව, ලෝකවාසීන්ට අමුතු දෙයක් නොවේ. ජේසුතුමාගේ උපත සලකුණු කිරීමට මෙම තාරකාව පෑයූ බවට ක්‍රිස්තියානුවන්ගේ දැඩි විශ්වාසයයි.මෙහීදි ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව, ඉතා දීප්තිමත් තාරකාවක් නැඟෙනහිර අහස හරහා ගමන් කරමින්, ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ පුවත පැතිර ගියේය. ප්‍රඥාවන්තයන් තිදෙනා බෙත්ලෙහෙමේ උපන් ස්ථානයට ගෙන ගියේ මෙම තීව්‍ර දීප්තියයි.

මේ අනුව බොහෝ දෙනෙකුගේ තවත් විශ්වාසයක් නම් මෙම තාරකාව දිවැසි වැකියක් සම්පූර්ණ කිරීමක් බවය. බයිබලයේ එන මතෙව් සුබාරංචිය අනුව ශාස්ත්‍රවන්තයින් ජෙරුසලමේ හෙරොද් රාජසභාවට පැමිණි අතර ජුදයින්ගේ රජ උපත සලකුණු කළ තාරකාව පිළිබඳ හෙරෝද් රජුට සැලකරන ලදී.ජේසු උපන්දා අහසේ දිස්වූ විස්මිත තරුව පිළිබඳව බයිබලයේ මතෙව් සුබාරංචියේ දැක්වෙන්නේ මෙසේය.   

හෙරෝද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමේදී ජේසුස් වහන්සේ උපන් කල පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත් ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමාණන්ට නමස්කාර කරනු පිණිස ආවෙමුයි කීහ. එපවත් ඇසූ හෙරොද් රජුද මුළු ජෙරුසලම් ජනතාවද කැළඹූහ. එකල ඔහු සෙනලාගේ සියලු නායක පූජකයන්ද විනය ධරයන්ද රැස්කරවා ක්‍රිස්තුස් වහන්සේ කොහේ උපදින සේක්දැයි ඔවුන්ගෙන් විචාලේය. 

(බයිබලය - මතෙව් සුබාරංචිය) 

මෙම හේතුවත් සමග බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ජේසු උපන්දා අහසෙහි පෑයූවේ තාරකාවක් බවයි.තවත් සමහරුන් පවසන්නේ එය ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක් බවයි. එහෙත් නත්තලේ අසිරිය ගෙනෙන නත්තල් තරුව පිළිබඳව ඊට එහා ගිය විද්‍යාත්මක තත්ත්වයක් වර්තමානයේ හෙළි වෙමින් පවතී. මතෙව් සුබාරංචියේ සඳහන් ආකාරයට ප්‍රඥාවන්තයින් (රජවරු) තිදෙනාට ජේසු බිලිඳා සොයා ඒමට මඟ පෙන්වූ බෙත්ලෙහෙම් තාරකාව පිළිබඳ විස්තර සොයා ගැනීමට විද්‍යාඥයෝ බොහෝ කාලයක් තිස්සේ පර්​යේෂණ කළහ. එම පර්යේෂණවලින් ලද තොරතුරු අනුව ඔවුන් පවසන්නේ ජේසු උපන්දා අහසේ පායා තිබුණේ තාරකාවක් නොවන බවයි. ජේසුස් වහන්සේ වැනි සුවිශේෂි කෙනෙකු උපන්දා රෑ අහසේ දිස්වූයේ සුවිශේෂි සිදුවීමක් බව වැඩිදුරටත් ඔවුහු පවසති.   

මෙතෙක් ඉතිහාසයේ සඳහන් වාර්තා සහ බයිබලයේ සඳහන් තොරතුරු ක්‍රමවත්ව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ගණනය කිරීම් සිදුකරමින් නව අධ්‍යයනයක් සිදුකර ඇත. සිදුකළ එම අධ්‍යයනය අනුව එම විද්‍යාඥයන් පවසනු ලබන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ අහසේ දිස්වූ මෙම ආලෝකය තරුවක් නොව මේෂ රාශිය සහ ග්‍රහලෝක කීපයක් සූර්යයා සමඟ එක පෙළට එක එල්ලයට පිහිටීමක් බවයි. එසේ පිහිටි ග්‍රහලෝක වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති, පෘථිවිය සහ සඳය. මෙම ග්‍රහලෝක ත්‍රිත්වය සූර්යයා සමඟ එක එල්ලයට පිහිටි අවස්ථාවේදී දීප්තිමත් ආලෝකයක් අහසේ දිස්වී ඇත.මෙම පිහිටීම අභ්‍යවකාශයේ සිදුවූ ඉතාම විරල සිදුවීමක් බව මෙම පර්​යේෂණය සිදුකළ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥ ඇලෙක්ස් බොට් රොබින්සන් මහතා පවසයි.

ඒ කෙසේ වෙතත්, බෙත්ලෙහෙම් තාරකාව ස්වභාවික තාරකා සංසිද්ධියක් නොව විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි දෙයක් බවට යෝජනා කිරීමට සාක්ෂි තිබේ.පළමුව, බෙත්ලෙහෙමේ තාරකාව ශාස්ත්‍රඥයන්ට පමණක් පෙනෙන්නට තිබීමෙන් පෙන්නුම් කරන්නේ මෙය සාමාන්‍ය තරුවක් නොවන බවයි. එසේම, පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් ආකාශ වස්තූන් සාමාන්‍යයෙන් නැගෙනහිර සිට බටහිරට ගමන් කරයි, නමුත් බෙත්ලෙහෙමේ තාරකාව ජෙරුසලමේ සිට දකුණට බෙත්ලෙහෙම දක්වා ශාස්ත්‍රඥයන් මෙහෙයවීය. එපමණක්ද නොව, එය ඔවුන්ව කෙළින්ම ගෙන ගියේ ජෝසෙප් සහ මරියා නැවතී සිටි ස්ථානයට ඉහළින් නතර කරමිනි. එය කළ හැකි ස්වභාවික තාරකා සංසිද්ධියක් නොමැත.ඒ අනුව බෙත්ලෙහෙමේ තාරකාව හෙවත් නත්තල් තරුව හුදෙක් ස්වභාවික වල්ගා තරුවක්ම යැයි අර්ථකථනය කළ නොහැක.

Leo Tharushika Sewwandi 

Second year

Faculty of Arts

පාපයේ නගරය


🌋පුරාණ රෝමානු නගරයක් වන පොම්පෙයි    පාපයේ නගරය ලෙස හදින්වයි .මෙය  පිහිටා තිබුණේ නේපල්ස් නගරයට ගිනිකොන දෙසින්, දැන් ඉතාලියේ කැම්පානියා ප්‍රදේශයේ ය. එය වෙසුවියස් කන්දේ ගිනිකොන දෙසින් වූ අතර සර්නස් (නූතන සර්නෝ) නදියේ මුඛයෙන් උතුරට වන්නට ඇති ප්‍රාග් ඓතිහාසික ලාවා ප්‍රවාහයකින් සෑදුණු ස්තරයක් මත ඉදිකරන ලද්දකි.

🌋පොම්පෙයි නගරය ප්‍රසිද්ධ වන්නේ ක්‍රි.ව. 79 දී අසල පිහිටි ගිනි කන්දක් වන විසුවියස් ගිනි කන්දක් පුපුරා යාමෙන් එය විනාශ වී අවම වශයෙන් අඩි 19 (මීටර් 6) පමණ අළු සහ අනෙකුත් ගිනිකඳු සුන්බුන් වලින් වැසී ගිය බැවිනි. 16 වන ශතවර්ෂයේ අගභාගයේදී එහි නටබුන් සොයා ගැනීමට කටයුතු කර ඇති අතර මෙම නගරය සංරක්ෂණ යටද පියවර ගෙන ඇත . 

💀පුරාණ රෝමයට දකුණින් පිහිටි සමෘධිමත් නිවාඩු නිකේතනයක් වන පොම්පෙයි, ක්‍රියාකාරී ගිනි කන්දක් වන වෙසුවියස් කන්දේ සෙවණෙහි ඉතාලියේ වෙරළ තීරයේ පිහිටා තිබුණි. එහි වඩාත් ප්‍රසිද්ධ පිපිරීම සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 79 දී පොම්පෙයි නගරය ගිනිකඳු අළුවලින් යුත් ඝන ස්තරයක් යට වැළලූ අවස්ථාවේදීය. 

🌋පොම්පෙයිහිදී අරුම පුදුම දේවල් 5 කි.

• ක්‍රිස්තු වර්ෂ 79දී විසුවියස් කන්ද පිපිරී පොම්පෙයි නගරය අඩි 20ක් පමණ අළු සහ ලාව වලින් යටවී වැළලී ගියේය.

• මිනිස් සිරුරු වල ප්ලාස්ටර් වලින් ඔතා තිබීම.

• පුරාණ ග්‍රැනයිට් පාශාන බහුලය.

• කල් තබා ගත් පාන් හමුවීම.

• පෞරාණික ආපනශාලා කාණුවකින් සෙයා ගත් ජිරාෆ් ඇට සැකිල්ල.

🌋පොම්පෙයි නගරය හැදුවේ කවුද?🤔

පොම්පෙයි, බොහෝ දුරට ග්‍රීක යටත් විජිතවාදීන් විසින් ආරම්භ කරන ලද කැම්පානියාවේ අනෙකුත් නගර මෙන් නොව, ඔස්කන්වරුන් විසින් ගොඩනගා ඇත, බොහෝ විට ක්‍රි.පූ. 9-8 වැනි සියවසේදී පමණ, දැනට පවතින සාක්ෂි 6 වැනි සියවසෙන් ඔබ්බට නොගියද. ලාවා තට්ටු මත නගරය සංවර්ධනය වූයේ සියවස් ගණනාවකට පෙරය. 

🌋පොම්පෙයි පාප නගරය ලෙස හඳුන්වන්නේ ඇයි? 🤷

එය ප්‍රචණ්ඩ තෘෂ්ණාවෙන් ප්‍රබෝධමත් වූ සහ තමන්ටම ආවේණික වූ පන්තියකට අයත් වූ පුද්ගලයින් ට පමනක් බලය පැවති  නගරයකි. බල ක්‍රීඩා, ලිංගික ආශාවන්, අසීමිත අභිලාෂය සහ නිර්මාණාත්මක ප්‍රතිභාව වීදිවල දැනෙන්නට විය, පල්ලි වල තරමක නිදහසක් පැවති අතර  ක්‍රිස්තු වර්ෂ 79 ඛේදජනක පිපිරීමෙන් ඉතිරි වු බිතුසිතුවම් වලින් නිර්නය  කළ හැකිය.

🌋පොම්පෙයි කී දෙනෙක් මැරුණාද?🤔

ක්‍රිස්තු වර්ෂ 79 දී විසුවියස් කන්ද පිපිරී ගිය විට එය සිදු කළ විනාශය පෙර නොවූ විරූ තරම්ය. පොම්පෙයි හි 2,000 ක් පමණ මිය ගිය අතර හර්කියුලේනියම් හි 300 ක් මිය ගිය බව දන්නා නමුත්, සමස්ත මරණ සංඛ්‍යාව 16,000 ක් පමණ විය හැකිය.

🌋පොම්පෙයි පාලනය කළේ කවුද?🤷

සැම්නයිට්වරුන් විසින් පාලනය කරනු ලැබුවද, පොම්පෙයි රෝම සීමාවට ඇතුළු වූ අතර, එය තුන්වන සැම්නයිට් යුද්ධයේදී සහ පිරස්ට එරෙහි යුද්ධයේදී පවා විනාශ නොවිනි. 

🌋පොම්පෙයි සොයාගත්තේ කවුද? 🧐

ගෘහ නිර්මාණ ශිල්පී ඩොමිනිකෝ ෆොන්ටානා විසිනි.

පොම්පෙයි හි නටබුන් මුලින්ම සොයාගනු ලැබුවේ 16 වන සියවසේ අගභාගයේදී ගෘහ නිර්මාණ ශිල්පී ඩොමිනිකෝ ෆොන්ටානා විසිනි.

හර්කියුලේනියම් 1709 දී සොයා ගන්නා ලද අතර, 1738 දී එහි ක්රමානුකූල කැණීම් ආරම්භ විය.

🌋පොම්පෙයිහි මළ සිරුරු කීයක් සොයා ගත්තාද?⚰️⚰️🧟

සිරුරු 1,150 ක්

එය සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කරන ලද පුරාණ නගරයක් වන අතර, සුන්බුන් තුළ ගොඩනැගිලි, පුරාවස්තු සහ මිනිස් සිරුරු දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයන් විසින් පොම්පෙයිගේ සුන්බුන්වලින් සිරුරු 2,000 න් 1,150 ක් සොයාගෙන ඇති අතර, Vesuvius ගිනි කන්දෙ ගොදුරු බවට පත් වූවන්ගේ අතීත ජීවිත සහ අවසාන අවස්ථාවන් පෙන්වයි. 

🌋පොම්පෙයි ඇතුළත ඇත්තේ මොනාද ? 🧐🤷

සියවස් ගණනාවක් පුරා කැල්සිකරණය වූ අළු වල මීටර් 6 ක් ගැඹුරට වළලනු ලැබූ අතර, විසුවියස් කන්දේ ගොදුරු වූවන්ගේ සිරුරු අළු ආරක්ෂිත කවචයක සංරක්ෂණය කර ඇත. මෙම සිරුරුවල සම සහ පටක අවසානයේ දිරාපත් වූ විට, ඔවුන් ඔවුන්ගේ අවසාන මොහොතේ නිශ්චිත හැඩයෙන් ඔවුන් වටා අළු තට්ටුවේ ආකාරයටම  තැන්පත් ව  තිබේ.

🌋අවම වශයෙන් අවුරුදු 55 ක් පමණ පැරණි පිරිමින් යැයි විශ්වාස කෙරෙන මෙම ඇටසැකිලි දෙක සොයාගෙන ඇත්තේ කැස්ටි අමන්ටි නොහොත් නිර්මල පෙම්වතුන්ගේ නිවසෙනි - එහිදී වර්ණවත් බිතුසිතුවම් සහ ධාන්‍ය සඳහා ඇඹරුම් ගල් වැඩ කළ කොටළුවන්ගේ ඇටසැකිලි අතීතයේ දී අනාවරණය වී ඇත. ප්‍රදේශය ගිනිකඳු ද්‍රව්‍යවලින් වැසී යාමට පෙර කඩා වැටුණු බිත්තිය වලිං සමන්විතය.

🌋පොම්පෙයිහිදී මියගිය ප්‍රසිද්ධ පුද්ගලයින් කවුද?🤷

මෙම විනාශකාරී ස්වභාවික ව්‍යසනය පොම්පෙයි, හර්කියුලේනියම් සහ ඔප්ලොන්ටිස් නගරවල එළිදරව් විනාශයට තුඩු දුන් අතර එය දහස් ගණනකගේ මරණයට හේතු විය. මෙම පුද්ගල යින්  අතර රෝම කතුවරයක වන ප්ලැනියස්  සහ නාවික හමුදාපති ප්ලිනි ද විය.

Leo Nadeesha Mayomi

First year

Faculty of Arts

Monday, December 25, 2023

වසංගත සූදානම පිලිබද ජාත්‍යන්තර දිනය


වසංගත රෝග වැළැක්වීමේ, සූදානමේ සහ හවුල්කාරීත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම සදහා අධ්‍යාපනය සහ දැනුවත් කිරිමේ ක්‍රියාකාරකම් හරහා ,උචිත ආකාරයෙන් සහ ජාතික සන්දර්භයන්ට සහ ප්‍රමුඛතාවන්ට අනුකූලව වාර්ෂිකව වසංගත සදහා සූදානම් වීම පිලිබද දෙසැම්බර් 27 වන දිනය වන අද දිනයේදී සිදු කෙරේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සියලුම සාමාජික රටවල්, එක්සත් ජාතීන්ගේ පද්ධතියේ සංවිධාන ,සහ අනෙකුත් ගෝලීය , කලාපීය සහ උප කලාපීය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යන ආයතන, පුද්ගලයන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් ඇතුලුව පුද්ගලික අංශයට සහ සිවිල් සමාජයට වසංගත සූදානම පිලිබද ජාත්‍යන්තර දිනය සැමරීමට ආරාධනා කරයි.

වසංගත වලට ප්‍රතිචාර දැක්වීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවය සහ බහුපාර්ශ්වීකත්වය වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි.වසංගත කළමනාකරණයේ සෑම අධියරකදීම සෑම පුද්ගලයෙකු, ප්‍රජාවක් සහ රාජ්‍යක්ම සහ කලාපීය ,ජාත්‍යන්තර සංවිධාන අතර හවුල්කාරීත්වයේ සහ සහයෝගීතාවයේ වැදගත්කම මෙන්ම මේ සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබද ඉදිරි දර්ශනයක් සළකා බැලීමේ වැදගත්කම අපි අවධාරණය කල යුතුය.

එක්සත් ජාතීන්ගේ පද්ධතිය විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත වලට ප්‍රතිචාර සම්බන්ධීකරණය කිරීමේදී එහි විධානයට අනුකූලව සහ බෝවන රෝග සහ වසංගතවල බලපෑම වැළැක්වීම,අවම කිරීම සහ ආමන්ත්‍රණය කිරීම සදහා ජාතික,කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට සහය වීමේදී ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරයි.2030 න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාමේ ඉලක්කයට අනුකූල.

ලොකයේ සෞඛ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් සිටින් කාන්තාවන් විශේෂයෙන් ගෝලීය සෞඛ්‍ය අභියෝග වලට මුහුණ දීම සදහා රජයන්ගේ මූලික කාර්‍යභාරය සහ වගකීම සහ අදාල පාර්ශ්වකරුවන්ගේ දායකත්වය අප හදුනාගත යුතුය.

එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යන්,අවදානමට ලක්විය හැකි හෝ අවදානමකට ලක්විය හැකි අවස්ථාවලදී වසංගත ආසාදනයට වැඩිම ඉඩක් ඇති අය කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරමින් , ඇතුලත්,සමාන හා වෙනස් කොට සැලකීම්වලින් තොර සහභාගීත්වයක් සහතික කිරීමට කැපවී සිටිති.අවදානමට ලක්විය හැකි හෝ අවදානම් තත්ත්වයන් තුළ සිටින අය වෙත ලගා වීමට ඔරොත්තු දෙන සහ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් තිබීම හදිසි අවශ්‍යතාවයකි.

ජාත්‍යන්තර අවධානයක් නොමැති අවස්ථාවක අනාගත වසංගත තීව්‍රතාවය සහ ගුරුත්වාකර්ෂණය අනුව පෙර ඇති වූ වසංගත අභිබවා යා හැකිය.වසංගත වැළැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සදහා ඵලදායි පියවරක් ලෙස ප්‍රාදේශීය , ජාතික,කලාපීය සහ ගෝලීය මට්ටමින් වසංගත රෝග පිලිබද දැනුවත් කිරීම ,තොරතුරු හුවමාරු කිරීම , විද්‍යාත්මක දැනුම සහ හොදම භාවිතයන්,ගුණාත්මක අධ්‍යාපනය සහ උපදේශන වැඩසටහන් විශාල අවශ්‍යතාවයකි.

එමෙන්ම වසංගත කළමනාකරණය සහ වළක්වා ගන්නේ කෙසේද,මූලික සේවාවන් නතර කිරීම වලක්වා ගන්නේ කෙසේද සහ ඉහල නැංවීම ලබා ගැනීම සදහා සූදානම් වීමේ මට්ටම ඕනෑම දෙයකට මුල්ම සහ වඩාත්ම ප්‍රමාණවත් ප්‍රතිචාර දැක්වීමද සිදු කල යුතුය.

Leo Poornima Nethmini

First year

Faculty of Arts

අඳුරු මතකයේ කඳුළු ආවර්ජනය.....


උදේ හවා නෙත ගැටෙන

රැයක් දවාලකින් අතොරව

රැලි හඬ නංවමින් 

වෙරළකොන සිප ගන්නා 

මුහුදු රළ කෙසේද 

චණ්ඩ වූයේ 

පුරා වසර ගණනකට පෙර සිතන්නටවත් පුළුවනි ද මරුමුවට ජීවිත කැන්දන්ට 

දෑස් අයා බලා සිටිඅයුරු මතකයන් කෙමෙන් 

දිව යයි ඈතට

චණ්ඩ රළ පෙළ 

සැණින් ඇවිදින් 

දහස් ගණන්  බිලි ලෙස 

මිනිසුන් රැගෙන ගියා මරුමුවට 

ඉදින් ,ඒ කඳුළු අතීතයට පුරා වසර දහනමයකි අදට..

2022 දෙසැම්බර් 26, අද තමයි ලෝකවාසී මෙන්ම ලංකාවාසී ජන ගඟක් කඳුළින් තෙත් කළ දවස. මීට වසර 19කට පෙර නත්තල් සිරිය වියකී යාමටත් පෙරාතුව ලොවෙහි මුවෙහි සිනහව සඟවමින් නෙත් සිත් කඳුළින් තෙත් කළ ඛේදජනක දිනය. ඒ තමයි 2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යවසනය  ඇතිවුණු දවස.නත්තල් සිරි අසිරි විදිමින් ප්‍රීතිමත්ව සිටි ජනයාගේ සතුට සොරාගෙන ජීවිතය උඩුයටිකුරු කළ මුහුදු චණ්ඩ මාරුතය එහෙම නැත්නම් මේ සුනාමි ව්‍යවසනය ඇති වූයේ මීට වසර 19කට ඉහත අද වගේ දවසක.රටවල් දාහතරකට ආසන්න වශයෙන් දස දහසක් ජීවිත බිලිගත් විනාශකාරී සුනාමි රළ පෙළ මුළු මහත් ලෝකයෙහිම අඳුරු ඡායාවක් කළු පැල්ලමක් වී හමාරය.

⭕"සුනාමියෙහි" අරුත්

සුනාමි යන වචනය නුහුරු වචනයක් වුවද එය ජපන් භාෂාවෙන් බිඳී ආවකි.එහි සරල අදහස වනුයේ "විශාල වරාය රළ "යන්නයි. මුහුදු රළෙහි උසෙහි වැඩිවීම නිසා ජපන් ජාතිකයන් එය"සුනාමි" ලෙස හඳුන්වා ඇත.මෙය හඳුන්වන තවත් අන්වර්ථ නම් ලෙස, "උදම් රළ"," දළ රළ" ආදිය පෙන්වා දිය හැකිය.

⭕ලංකාවට ආ සුනාමි

2004 දෙසැම්බර් මස 26 වැනි උඳුවප් පුන් පොහොය දිනෙහි පෙරවරු 9.30පමණ ලංකාවට කිලෝමීටර් 2500ක් පමණ නැගෙනහිරින් පිහිටි සුමාත්‍රා දූපතට කිලෝ මීටර් 200 බටහිරින් මුහුදේ කිලෝමීටර් 10 කට ඇති වූ  භූ කම්පනයක  ප්‍රතිඵලයක් ලෙස ලංකාවට සුනාමි තත්ත්වය බලපා ඇත. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මේ ව්‍යවසනයට විශාල වශයෙන් ගොදුරු වී තිබේ.ලංකාවට බලපෑ දරුණුතම ස්වභාවික ආපදාව වන්නේ ද මෙයයි.

⭕සුනාමියක් ඇති වීමට බලපාන සාධක

සුනාමි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන වශයෙන් මුහුදු පතුලේ ඇතිවන භූ කම්පන,නාය යෑම්,  ගිනිකඳු පිපිරීම්, උල්කාපාත කඩා වැටීම් ,මෙන්ම හිම කඳු සාගරයට කඩා වැටීම කියන ප්‍රධාන කාරණා බලපානු ලබයි.2004 වර්ෂයේ ඇතිවූ සුනාමි ඛේදවාචකය  භූ කම්පන තත්ත්වයක් නිසා ඇතිවූවක් බව අනාවරණය වී ඇත.

⭕සුනාමියට පෙර නිමිති

සුනාමියක් ඇතිවීමට පෙර බොහෝවිට අනතුරු ඇඟවීම් දක්නට නොලැබෙන අතර සුනාමියක් ඇතිවීමට පෙර මුහුදු ජලය පසුපසට ගමන් කිරීමක්, වෙරළාශ්‍රිත ජලය පැහැදිලි ලෙස අඩුවී දියේ  ගිලී පවතින ප්‍රදේශ දිස්වීම ආදී නිමිති ප්‍රධාන වශයෙන් දැකගත හැකිය.වර්තමානයේ සුනාමියක් ඇතිවීමට පෙර අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් සවි කර ජනතාව ඒ පිළිබඳව දැනුවත් කර ඇත.

⭕සුනාමියේ බලපෑම

සුනාමිය මඟින් විනාශ වු ලාංකික ජීවිත ගණන 39000 වූ අතර තවත් ජීවිත රාශියක් අනතුරට පත්ව මිනිසුන් 4100 පමණ අතුරුදහන් වී ඇත. ජීවිත මෙන්ම දේපළ දස දහස් ගණනක් විනාශ කරමින් සමාජීය ,ආර්ථික වශයෙන් විශාල තර්ජනයක් මේ ඔස්සේ එල්ල විය. යාල ජාතික වනෝද්‍යානයටත් මේ හරහා දැඩි බලපෑමක් එල්ල වී වන සතුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇත. කෙසේ නමුත්, 2004 පැමිණි සුනාමි ඛේදවාචකය නිසා වර්තමානය වන විට මේ පිළිබඳව පුළුල් ලෙස දැනුවත් වී තිබෙන ආකාරයටත් ,නැවත මෙවැනි තත්ත්වයකින් ආරක්‍ෂා වීමටත් මෙය විශාල පන්නරයක් ලෙසත් අපට සැලකිය හැකිය.

රුදුරු රළ ඉතිරි කළ අඳුරු මතකවලට වසර දහනමයක් සපිරෙන අද වන් දිනෙක එදා මරුමුවට බිලි වූ දස දහසක් ජීවිත යළි සිහිපත් කරමු.රටම කඳුළින් තෙත් කළ මෙවන් අදුරු දිනයක් යළි කිසිදු දිනෙක අප රටට නොම වේවා!.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

උඳුවප් පොහොය දිනය


අද උඳුවප් මාසේ එනම් මේ වසරේ අවසාන මාසයේ 26 වැනිදා .අද තමයි උඳුවප් පුර පසළොස්වක පොහොය දින ඉදිලා තියෙන්නේ. බෞද්ධයන් වන ලංකාවාසී,  ලෝකවාසී සියලු ජනයාට මේ උතුම් පොහොය ඉතාමත් වැදගත් පොහොය දිනයක්.දෙව් මිනිසුන්ගේ තිලොවට  අග්‍ර වූත්, ගෞතම බුදුන් වහන්සේගේ සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් හා උන්වහන්සේගේ නිමල බුද්ධ දේශනාව ආශ්‍රයෙන් වැදගත් සිදුවීම් රාශියක් ද  සාසනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රාශියක්ද උතුම් උඳුවප් පුන් පසළොස්වක පොහොය දින සිදුවී ඇත .එසේ සිදු වූ වැදගත්කම් මෙසේ පෙන්වාදිය හැකිය.

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම.

අපේ බුදුන් අපි වදින්ඩ

සමන් දෙවියෝ පිහිට වෙන්ඩ 

නළල තබා ගොස් වදින්ඩ 

පෙරළි පෙරළි අපි වදින්ඩ 

 සාදු සාදු නිවන් යන්ඩ

 උත්තම සිරි පා වදින්ඩ

බුදුන් වහන්සේගේ ලංකාගමනයේදී සිදුවූ එක් වැදගත් සිදුවීමක් වනුයේ සුමන සමන් දේව රාජයාගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සමග තවත් රහතන් වහන්සේලා පන්සියයක් දෙනා සමනළ කන්දට වැඩම කර තමන් වහන්සේගේ වම් සිරිපතුල සලකුණු කිරීමයි.එසේ බුදුන් වහන්සේගේ වම් ශ්‍රී  පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ආරම්භ වනුයේද මෙම උතුම් උඳුව පුන් පොහොය දිනයේදී ය.ශ්‍රී ලාංකික බෞද්ධ හා අනෙක් ජනතාව ද නොඉවසිල්ලෙන් බලා සිටිනුයේ සිරිපා සමය ආරම්භ වන තුරුය.උඳුවප් පොහොයේ එක් වැදගත්කමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.

මහින්දාගමනයත් සමඟ නිර්මල බුදු දහම ලංකාවට හිමිවීමත් සමඟම බුදු දහම ශීඝ්‍රයෙන් ලාංකිකයන්ගේ වැළඳ ගැනීමට පාත්‍ර විය.බෞද්ධයන්ට වන්දනාමාන කිරීමට මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතිව දේවානම්පියතිස්ස රජතුමාගේ ආරාධනාවෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ලංකාවට ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව වැඩම කර මහමෙව්නාවේ රෝපිත කිරීම සිදුවිය.සකල විධ බෞද්ධයන්ගේ නොමඳ වන්දනාමානයට පාත්‍රවන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැනට ලොව ශේෂ වී පවතින ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති පැරණිතම වෘක්ෂය ලෙස ද සැලකිය හැකිය.ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහා බෝ රදුන් ජීවමාන බුදුන් වහන්සේ   හා සමානව බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මෙම බෝධීන් වහන්සේගේ මව් බෝධියද අද ඉන්දියාවේ දක්නට නොමැත.බෞද්ධයන් වන අපට උඳුවප් පුන් පොර පොහොය දිනය ඉතා සුවිශේෂී වන්නේ මේ නිසාය.

ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.

මිහිඳු මහරහතන් වහන්සේගේ මහින්දාගමනයත් සමඟ සම්බුද්ධ ධර්මය ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව මෙරට ගිහි කාන්තා පුරුෂ දෙපක්ෂයම එය වැළඳගත් අතර බුදු දහම කෙරෙහි පැහැදී මෙරට සෝවාන්ව සිටි අනුලා බිසව ඇතුළු තවත් පන්සියයක්  කාන්තාවන්ට පැවිදිවීමට අවශ්‍ය විය.එසේ කාන්තාවන් සඳහා පැවිදි  භාවය ලබාදීමට මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුමින් ගිහිකල තමන්ගේ සොහොයුරියෝ වූ සංඝමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට වැඩම කර භික්ෂුණී ශාසනය මෙරට ආරම්භ කිරීමද සිදුවූයේ මෙවන් උඳුවප් පුන් පසළොස්වක පොහොය දිනයකදී ය .ලක්දිව කාන්තාවන්ට පැවිදි භාවය ලබාදී භික්‍ෂුණී සාසනය ආරම්භ වූයේ එසේය.

වර්ෂ අවසානයේ යෙදෙන  මෙම උඳුවප්පුර පසළොස්වක පොහොය දිනය මෙවැනි ශාසනික හා සම්බුද්ධ චරිතය තුළ සිදු වූ අසිරිමත් සිදුවීම් නිසා වැදගත් පුන් පොහොය දිනයක් ලෙස සැලකේ.ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම අසිරිමත් උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා! .

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

Sunday, December 24, 2023

නත්තල් ගස


නත්තල් සමය ඇරඹීමත් සමගම සැරසිලි වල ආරම්භය සනිටුහන් වේ.ඒ අතරේ සෑම වසරකම ලොව පුරා මිලියන ගණනක් නිවෙස් තුළට ආදරය,උණුසුම,එකමුතුව රැගෙන එන නත්තල් ගසට සුවිශේෂී තැනක් හිමි වේ.ඉස්සරනම් නත්තලට දින දෙකකට තුනකට කලින් පයිනස් වර්ගයේ ගසක කොටසක් කපාගන නිමවාගත් නත්තල් ගස් දැන් විවිධ අමුද්‍රව්‍ය ඇසුරු කරගනත්, විවිධ ආකාරයෙනුත් සාදයි.මොන අමුද්‍රව්‍ය වලින් සෑදුවත් හැඩය වෙනස් නොකිරීමට වග බලා ගනී.පෙරදී මෙන් දෙසැම්බර් අග නොව නොවැම්බර් මාසයෙදීම දැන් නත්තල් ගස් දක්නට ලැබේ.

⭕නත්තල් ගස ගැන පුරාවෘත්ත⭕

මෙම නත්තල් ගස ගැන පුරාවෘත්ත රැසක්ම තිබේ.එමෙන්ම ශීත කාලය ආරම්භය සනිටුහන් කරන්නට විවිධ ගස් සැරසීම පිලිබද පුරාවෘත්ත ඇත.ඒවා මෙසේය,

ජර්මනියේ එක්තරා ප්‍රදේශයක දුප්පත් ගස් කපා ජීවත් වන අයෙක් සිටියා.දිනක් ශීත සෘතුවක සීතලට හසුවුණු දරුවෙකු තමාට ශීතල යැයි කියමින් උපකාර ඉල්ලා මේ ගස් කපන්නාගේ නිවසට පැමිණියා.එම දරුවා ගැන අනුකම්පා කල ගස් කපන්නා තමන්ට හැකි පමණින් උදව් උපකාර කරමින් ආහාර පානාදියෙන්ද සංග්‍රහ කලා.එදින රෑ ගත කල එම දරුවා පසුදින් උදෑසන තමා ළමා ජේසු යැයි පවසමින් දේවදූතයෙකු ලෙස පෙනී සිටියා.

අනතුරුව ගස් කපන්නා අතට දේවදාර අතුරිකිල්ල ලබා දී දේවදූතයා නොපෙනී ගියේය.ගස් කපන්නා එම දේවදාර අතුරිකිල්ල මහත් භක්තියෙන් ඔහුගේ ගේ ඉදිරිපිට මිදුලේ සිටෙව්වා.එය නත්තල් ගසක් ලෙස වැඩුණු බව පුරාවෘත්ත වල සදහන් වේ.

ඊජිප්තු ජාතිකයන් යමක් වර්ධනය සංකේතවත් කිරීමට දෙසැම්බර් අග පාම් අතු නිවෙසට ගෙනවුත් සරසා ඇත.දීර්ඝ ශීත කාලවලට ශක්තිමත්ව ඔරොත්තු දීම සංකේතවත් කරන්නට ශීත කාලයේ කොල හලන්නේ නැති පයිනස් වර්ගයේ සදාහරිත ගස් චීන හා හිබෘ ජාතිකයන් භාවිතා කර තිබේ.

මධ්‍යතන යුගයේදී රෝමන්වරු අලංකාර අතු කපා ඒවායේ මුදුනේත් ගස් පුරාත් ඉරේ ආකෘති සහිත ලෝහ සැරසිලි තබා උත්සව පවත්වා තිබෙනවා.මෙම උත්සව සැටර්නේලියා නමින් හැදින්වේ.ශීත කාලය ඇරඹීමට මෙන්ම ඔවුන්ගෙ කෘෂිකර්මය,ධනය හා විමුක්තියට අධිපති සැටර්න්ස් දෙවියන් පිදීමට දෙසැම්බර් 17 වනිදායින් ඇරඹී සතියක් පුරා මෙම උත්සව පවත්වා ඇත.

බටහිර යුරෝපයේ කෙල්ටික් ආගමේ උසස් පූජකවරු ශීත සෘතුව ආරම්භය සැමරීමට ඕක් ගස්වල ඉටිපන්දම් දල්වා, රන් පාට ඇපල් එල්ලූ බව කියවේ.මධ්‍යතන යුගයේ ආදම් හා ඒවාගේ මංගල්‍යය සැමරීමට දෙසැම්බර් 24 වනදා ෆර්(පයින් වැනි ගස් වර්ගයක්) ගස්වල රතු ඇපල් එල්ලා සරසා,පාරාදීසයේ ගස් ලෙස හදුන්වා ඇත.

⭕නත්තල් ගසේ අතීතය⭕

සදාහරිත ගස් ක්‍රිස්තියානි නත්තල් උත්සවයේ කොටසක් ලෙස භාවිතා කරන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 500 කට පමණ පෙර ජර්මනියේදීය.පැරණි සම්ප්‍රදායන් ආගමට ඇතුලත් කර ගැනීමට ක්‍රිස්තියානි මිෂනාරීන් යම් ඉඩක් දීමක් කර ඇත.1531 දී ජර්මනියේ ඇල්සෙස් නගරයේදී (දැන් මෙම ප්‍රදේශය අයත් වන්නේ ප්‍රංශය ටයි)මුල්වරට නත්තල් ගස සදහා වගා කල ගස් විකුණා තිබේ.එම ගස් සැරසීමක් නැතුව නිවෙස්වල තබාගන ඇත.මුලින්ම නත්තල් ගසක් සරසා තිබෙන බවට වාර්තා වන්නේ 1610 ලැට්වියාවෙදීය.මේ කාලයේ ගස සරසා තිබෙන්නේ කඩදාසි රෝස මල්,පලතුරු සහ රසකැවිලි වලිනි.ඉන් පසු කාලයේ රිබන්,ලේස්,ලෝහ හැඩතල ,කුඩා පොත් හා කැවිලි වලින් සැරසීම සිදුකර ඇත.ඊටත් පසු කලෙක දල්වන ලද ඉටිපන්දම් උපයෝගී කරගත් බවට සදහන් වේ.

දාහත්වන සහ දහඅටවන සියවස් වල ඔස්ට්‍රියාවේ සහ ජර්මනියේ නිවෙස්වල අනෙක් පසට හැරවූ සදාහරිත ගස් මුදුන්,නිවසේ සාලයේ පැත්තකින් එල්ලා ඇපල්,කජු වර්ග හා රතු රිබන්වලින් සරසා තිබූ බව කියවේ.19 වන සියවසේදී නත්තල් ගස් උතුරු යුරෝපා රටවලට පැතිර ගොස් ඇත.

වික්ටෝරියා රැජින ජර්මනියේ ඇල්බට කුමරා හා විවාහ වු පසු 1834 දී වින්ඩ්සර් මාලිගයේ නත්තල් ගසක් තැබීමෙන් මෙම චාරිත්‍රය එංගලන්තයේ ශීඝ්‍රයෙන් පැතිර ගියේය.ඉන්පෙර වික්ටෝරියා රැජිනගේ  මිත්තනිය වන චාර්ලට රැජින 1800 දී වින්ඩ්ස්ර්හි විශේෂ නවාතැනක තැබූ බව ඉතිහාසයේ සදහන් වේ.

සරසන ලද නත්තල් ගසක් ඇමරිකාවට හදුන්වා දී තිබෙන්නේ 1842 දී චාල්ස් මිනේග්‍රෙඩ් නැමැත්තෙකි.ධවල මන්දිරයේ මුල් වරට නත්තල් ගසක් තබා ඇත්තේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් පියර්ස්ගේ කාලයේදීය(1853 - 1857).ධවල මන්දිරයත් වොෂින්ටන් ස්මාරකයත් අතර ඇති Ellipse හි ජාතික නත්තල් ගසක් දැල්වීමේ උත්සවයක් ඇමරිකානු ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් 1923 සිට සිදුවේ.

එසේම ධවල මන්දිරයේ blue room තුල රටේ පළමු කාන්තාවගේ ප්‍රධානත්වයෙන් සෑම වසරකම සත්‍ය නත්තල් ගසක් ප්‍රදර්ශනය වේ.

යුරෝපා ජාතීන් ආසියානු රටවල් යටත් විජිත කරගැනීමත්, ආගම පැතිරවීමත් සමග පෙරදිග රටවල ක්‍රිස්තියානි ආගම වැළද ගත් අයගේ නිවෙස් වල හා පල්ලි තුල එම රටවලට ආවේණික නොවන ශාකවලින් තැනු නත්තල් ගස් තැබීම ප්‍රචලිත වී ඇත.

මෑතක් වන තෙක්ම ක්‍රිස්තියානි ආගමික නිවෙස් තුල සැරසිල්ලක් වූ නත්තල් ගස්, දැන් ආගමික භේදයකින් තොරව විවිධ ස්ථානවල නත්තල, වර්ෂාවසාන නිවාඩුව , නව වසර මෙන්ම ව්‍යාපාර පිලිඹිබු කරන්නටත් එලිමහනේ දැල්වෙනු පෙනේ.

විදදරා ගැනීම සංකේතවත් කරන ,ක්‍රිස්තියානි ආගමටත් වඩා ඉපරණි නත්තල් ගස ,මේ අනුව එක් ආගමකට අයත් නොවී අපගේ සංවේදී ඉන්ද්‍රියන් පිනවනු පමණකින් නොනැවත,ලොවේම සම්ප්‍රදායන් සංවේදන කරනු දැනේ.

⭕නත්තල් ගස් වගා කිරීම⭕

නත්තල් ගස් වගා කිරිම යනු කෘෂිකාර්මික ,වනවගා සහ උද්‍යාන වගාවේ නියැලෙන්නන් විශේෂයෙන් නත්තල් ගස් සදහාම භාවිතා කරන්නා වූ පයින් හා ෆර් වැනි ශාක විශේෂ වගා කිරීමයි.නත්තල් ගස් වගා කිරීමෙ ගොවිපළක් මුලින්ම ස්ථාපනය වූයේ 1901 දී වුවද ,බොහෝ පාරිභෝගිකයන්  1930 හා  1940 ගණන් වන තුරුම තමාට අවශ්‍ය ශාක ලබාගත්තේ වනාන්තරයෙනි.නත්තල් ගස් වගා කිරීම වරකදී ප්‍රමිතියෙන් අඩු ගොඩබිම් වගා කිරිම සදහා යෙදූ ජීව්‍ය විකල්පයක් ලෙස යොදාගත් නමුත් කෘෂිකාර්මාන්තයේ දියුණුවත් සමග එම අනුදැනුම වෙනස් වී ඇත.ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රශස්ත අස්වැන්නක් ලබා ගැනීම සදහා වගා බිම් සමතලා විය යුතු අතර , යටි වගාවෙන් හා දිරාපත් වන ශේෂ කොටස් වලින් තොර විය යුතු බව දැන් සැලකේ.

පයින් සහ ෆර් ශාක විශේෂ වල පුලුල් භේද ගණනාවක් නත්තල් ගස් ලෙස වගා කළද ඒවායෙන් වඩා ජනප්‍රිය විශේෂ ඇත්තේ අතලොස්සක් පමණි.එක්සත් ජනපදය තුළ ඩොග්ලස් ෆර්,ස්කොට්ස් ෆර්,ෆ්‍රේසර් ෆර් යන ශාක විශේෂ හොදින් අලෙවි වන ශාක විශේෂ වේ.එක්සත් රාජධානිය තුල හොදින් අලෙවි වන විශේෂ වනුයේ නොර්මැනන් ෆර් හා නෝර්වේ ස්පෘස් යන ශාක විශේෂ වන අතර මේවා යුරෝපය තුළද ජනප්‍රිය වෙමින් පවතී.අනෙකුත් ඕනෑම කේතුධර ශාකයක් මෙන්ම නත්තල් ගස්ද පලිබෝධකයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි ශාක වේ.

⭕දේශගුණික බලපෑම ⭕

අනෙකුත් කෘෂිකාර්මික වගාවන්ට සේම වේ.ශීත සෘතුවේදී ඇතිවන අධික ශීතල සහ උණුසුම් හා වියලි අන්ත තත්වයන් නිසා අස්වැන්න කැපීමෙන් පසු වගාවට නැවත ගොඩනැගිය නොහැකි හානි සිදුවිය හැකිය.බලාපොරොත්තු වන කාලයකට කලින් හිම වැටීම ආරම්භ වුවහොත් ,අස්වැන්න කපා ගැනීම සහ ඒවා නැව්ගත කිරීම දුෂ්කර වීමට හෝ සම්පූර්ණයෙන්ම නොහැකි වීමටද ඉඩ ඇත.

Leo Poornima Nethmini

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...