Tuesday, May 2, 2023

 දන්ත දාඨා වඩින පෙරමග - බලා සිටිනා මැඳුරෙ වගතුග


කලාබර නිකිණි පුරහඳෙහි චන්ද්‍රකාන්තියට වත්තම් ව සොබාදම් මාතාවගේ මේ ගෙවී යන්නේ වසරේ මල්වර කාර්තුවයි .ඇගේ වස්සාන හසකැන් පූජා ස්වරයෙන් කාන්තිමත් කරවන බැතිබර සැන්දෑ හෝරාවන් ගණනාවක් සෑම වසරකම අගෝස්තුවේ එළඹෙනු ලබයි .එකල කිත්සිරිමෙවන් රජ දවස ඇරඹී සකල ජනානන්දකරවූ උත්තම දළදා පෙරහැර පූජෝත්සවය මෙවර කන්ද උඩරට විරාජමානව ගමන් අරඹනුයේ 1712 වන වතාවටයි .දළදා පෙරහැර වනාහි ලෝකවාසී හා ලංකාවාසී බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන්මල්කඩ බඳු තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ වාම දළදාව උදෙසා වාර්ෂිකව සිදු කරවනු ලබන උත්තුංග පූජාවයි .අතීතයේ දී දළදා පෙරහැරෙහි අවසන් දිනය වන මහා රන්දෝලිය දිනයේදී පමණක් මෙම උතුම් වාම දළඳා වහන්සේ දළඳා මාළිගාවෙන් පිටතට වැඩම වූ බව සඳහන් වෙයි .නමුත් වත්මන් පෙරහැර චාරිත්‍ර අනුගතව මෙම උතුම් වාම දළදා වහන්සේ වැඩ සිටින කරඬුන් වහන්සේ පමණක් මහා රන්දෝලියේදී මාලිගාවෙන් පිටතට වැඩමවා සහසක් දනන්ගේ සාධුකාර නද මස්තකප්‍රාප්ත කරවන බව සඳහන් වේ .


දන්ත ධාතුන් වහන්සේ,  දළදා පෙරහැර, දළදා මාළිගාව යන ත්‍රිවිධ තේමාවන් ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් රැසක් රැගෙන වත්මනට පැමිණ තිබෙන බැවින් මෙම ත්‍රිකලාංගයන් විස්තර කිරීම එක් ලිපියකින් සිදු කළ නොහැක්කකි .මේ නිසා උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව පිළිබඳ මෙසේ ගෙනහැර දක්වමි.

දන්තධාතූන් වහන්සේ වර්තමානයේ වැඩ සිටින මහනුවර දළදා මාළිගාව මහල් කිහිපයකින් සමන්විත වේ .මනස්කාන්ත ස්වභාවික භූමි දර්ශනයක් අළලා නිර්මාණය වූ මෙය, වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන් ම ඉපැරැණි සංස්කෘතික නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද සුපෝෂිත ය.මහනුවර නගරයට නැගෙනහිරින් පිහිටි උඩවත්ත කැලය ආසන්නව මෙය ඉදි කර ඇත .දළදා මාලිගාවට උතුරෙන් රජ මාලිගයත්, දකුණෙන් කිරි මුහුද හෙවත් මහනුවර වැවත් ,බටහිරින් නාථ-පත්තිනි දේවාලත් පිහිටා ඇත්තේ දළදා මාළිගා පරිශ්‍රය තවත් සෝබමාන කරවමිනි .වර්ෂ 1988 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ මෙය අනභිබවනීය සංස්කෘතික වටිනාකම් රැසක් රැගෙන වර්තමානයේ වැජඹෙනු ලබයි.ජීවමාන කලා හැකියාවන් පිඬුකරවූ මේ මහා නිර්මාණය අදටත්,හෙටටත්,මතුවටත් ලෝවැසි සුවහසක් බොදු දනන්ගේ සාධු නාදයන් මධ්‍යයේ චිරාත්කාලීන අනුප්‍රාණයකින් වැජඹෙනු නොඅනුමානය.

Leo දිනිති නවෝද්‍යා සුදුසිංහ 


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...