Thursday, January 18, 2024

බුලත් හපයා


විද්‍යාත්මක නාමය      - Pethia nigrofasciatus

ශ්‍රී ලංකාවේ පොදු නම -  බුලත් හපයා

ඉංග්‍රීසි නාමය           - Sri Lanka Black Ruby Barb

                 බුලත් හපයා ශ්‍රී ලංකාවට ආවේණික ඉතා මනරම් සිරුරක් හිමි නිවර්තන මත්ස්‍ය විශේෂයකි. ශ්‍රී ලංකාවේ වනාන්තර ගංගා ද්‍රෝණි වන නිල්වලා හා  කැලණි ද්‍රෝණිවල හමුවන අතර සිංහරාජය අවට නොගැඹුරු නොඉඳුල් දොළ පහරවල් වලද දැක ගත හැකියි. මොවුන් කලකට පෙර විසිතුරු මාළුවෙකු ලෙස අපනයනය කිරීම නිසා ගහණය අඩු වූ බව මූලාශ්‍රවල පැවසේ.

        මෙම මාලුවාට ශරීරයේ හරස් අතට වැටී ඇති කැපීපෙනෙන කළු පැහැති ඉරිවලින් යුක්ත කහ පැහැති අළු සිරුරක් ඇත. වැඩුණු පිරිමි මසුන් කැපී පෙනෙන රතු පැහැයක් සහ රිදී පැහැයකින් යුක්ත  වන අතර උදරිය වරල ගැඹුරු කළු පැහැයකින් ද සෙසු වරල් අලංකාර රතු පැහැයකින් ද යුක්තය. ගැහැණු සතුන්ගේ ශරීරය රක්ත වර්ණ නොගන්නා අතර වරල්වල පාදස්ථ කොටස් වල  පමණක් කළු පැහැයක් දක්නට ලැබේ.හොඳින් බැලූ විට මොවුන්ගේ මුඛය වටා රතු පැහැ වර්ණය හඳුනාගත හැකියි.   එසේ මුඛය වටා රතු පැහැයක් ගැනීම නිසා මොවුන්ට බුලත් හපයා ලෙස නම් ලැබී ඇති බව සිතිය හැක. (හමුවන ප්‍රදේශය සහ ජල ප්‍රභවය අනුව වර්ණයේ තියුණු බවේ යම් කිසි වෙනස්කම් දැකිය හැක).මොවුන් උපරිම අඟල් දෙක - තුන  අතර වර්ධනයක් පෙන්නුම් කරයි. වැලි හෝ බොරළු උපස්තර සහිත නිහඬව ගලායන සිසිල් මෙන්ම සෙවන සහිත වඩාත් නොගැඹුරු ජලය සහිත වනාශ්‍රිත ඇළ දොළ ස්වාභාවික වාසස්ථාන වේ. සූත්‍රිකාමය ඇල්ගී හා ජලයේ වාසය කරන කුඩා කීටයන් ආහාරයට ප්‍රිය කරයි.

       ප්‍රජනන සමයේ මොවුන්ගේ රටාව වඩාත් තියුණු ස්වභාවයක් ගනී. බිත්තර විසිරුවා හරින මසුන් වර්ගයක් වන මොවුන් නොගැඹුරු ජලයේ බිත්තර 100 -200 අතරන් ප්‍රමාණයක් බරකට හෙළනු ලබයි.  දින1 -2  ත් අතර කාලයකින් පැටව් බිහිවේ. රංචු වශයෙන් ජීවත්වීමට ප්‍රිය කරන ක්‍රියාකාරී සත්වයෙකි.

       වැලිගොඩ දැමීම, මැණික් ගැරීම,  අධික කෘමිනාශක භාවිතය , විසිතුරු මත්ස්‍යයකු ලෙස වාසස්ථාන වලින් ඉවත් කිරීම,මිනිසා විසින් අධික රසායනික පොහොර හා රසායනික ද්‍රව්‍ය කුඩා ජල මූලාශ්‍ර වෙත එක් කිරීම හේතුවෙන් රටට ආවේණික මත්ස්‍යයින්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.

Leo Sadeeka Nethmini

First Year

Faculty of Arts

හොර ශාකය



ලංකාවේ  පොදු නම-  හොර                                                                                                                                විද්‍යාත්මක නම        - Dipterocarpus zeylanicus

       හොර යනු ශ්‍රී ලංකාවට ආවේණික සදාහරිත බහු වාර්ෂික ශාකයකි.ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපවල පහත් බිම්හී දක්නට ලැබෙන ඒක දේශී ශාකයක් වන හොර ශාකය මීටර් හතළිහක් පමණ  උසට වැඩෙන ශාකයකි. මෙම ශාකයේ ඵලයේ ඇති පියාපත් හේතුවෙන්  කුරුල්ලන් ලෙසින් හඳුන්වනු ලබයි. ගෝලාකාර ඵලය දෙපසින් පිහිටි පියාපත් යුගලය හේතුවෙන් බීජ ප්‍රරෝහණය සඳහා විශාල ප්‍රදේශයක පැතිරීමට උපකාරී වේ.

      ශාකයේ පොත්ත ලා තැඹිලි මිශ්‍ර දුඹුරු පැහැයක් ගනියි. ඒ මත  නාරටි මනාව දැක ගත හැකිය. මීටර් හතර - හය  පමණ වට ප්‍රමාණයකින් වැඩෙන විශාල ගසකි. අප්‍රේල් මාසයේ මල් පිපී සුළඟෙන් පැතිර යයි. ශ්‍රී  ලංකාවේ   වනාන්තර පන්තීන් හි උස් තුරු වියන් සාදන  ශාක අතරින් උච්චතම ස්ථානයක් හිමි කර ගැනීමට හොර ශාකය සමත්ය.  අතු බෙදීම ඉතාමත් විරල වන අතර සෙන්ටිමීටර් 25 ක් පමණ දිගැති සෙන්ටිමීටර් 12 ක් පමණ පළල ඇති  පත්‍ර වලින් යුක්ත වේ.  වර්ණයෙන් තේක්ක දැවයට  සමානාත්මතාවයක් දැක්වූ ව ද හොර  දැවය ඊට වඩා වැඩි ශක්තියකින් යුතුවේ.

      ගොඩනැගිලි හා විදුලි දුරකථන රැහැන් ඇදීමට ගන්නා කණු සඳහා ද මෙම දැව  භාවිතා කරන්නේ කඳන් ඍජු කදන් ලෙස පවතින බැවිනි. එමෙන්ම පරාළ බාල්ක දුම්රිය සිල්පර ආදිය සඳහා දැව බහුලව යොදා ගනියි. දැවමය වශයෙන් හොර ශාකය වටිනාකමින් ඉහළ නිසා නිරන්තරයෙන්ම දැව ජාවාරම්කරුවන්ගේ  ග්‍රහණයට   හසුවී ඇත. එසේම ශ්‍රී ලංකාවට ආවේණික මෙම ශාකය  IUCN රතු දත්ත පොතට අනුව දැඩි ලෙස  වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. දිනෙන් දින වඳවී යන හැසිවනාන්තර හා තෙත් කලාපයේ පුද්ගලික බිම් කිහිපයකට පමණක් සීමා වූ හොර ශාකයේ පාරිසරික වැදගත්කම පිළිබඳ අවබෝධයක් ඇත්තේ ඉතා අතලොස්සකට පමණි. එබැවින් කිසිවෙකුට හොර ශාකය තමන්ගේ වතුවල වගා නොකරයි. එහෙත් අප මුතුන් මිත්තන් රැකගෙන ආ අද වන විට ඉතුරු වී ඇති දැවැන්ත හොර ගස් පවා මුදලට කපා විකුණා දමති.

      හොර ශාකයේ වැදගත්කම නොදත් ග්‍රාම නිලධාරී හා  දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් මෙම දැවැන්ත ආවේණික  ගස් කැපීමට අවසර දී ඇත්ද යන්න ගැටලුවකි.එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වී යන උඩකිරුව   වැසි වනාන්තරයේ මෑතකදී සිදු කළ ගවේෂණයක දී හොරගස් කැපීම පැහැදිලිවම දක්නට ලැබුණි. මීටර් හැටක් පමණ උසැති ශ්‍රී ලංකාවේ ඇති ලෝකයේ උසම හොර ගස් මෙම  උඩකිරුව වැසි වනාන්තරය ප්‍රදේශයේ  වන බව නොදත් බලධාරීන්  මෙම වටිනා ශාක කපා දැමීමට ඉඩ දීම මහත් කාට ගාටුවට කරුණකි. මෙම කරුණු හේතු කොට ගෙන පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් ආයතන එක්ව ගස ආරක්ෂිත ශාකයක් ලෙස කඩිනමින්  නීතිගත නොකළහොත් එය සදහටම ශ්‍රී ලංකාවට හා ලෝකයට අහිමි වී යන දිනය වැඩි ඈතක නොවන බව තේරුම් ගත යුතුය.

Leo Sadeeka Nethmini
First Year
Faculty of Arts

Tuesday, January 16, 2024

බිනර ශාකය


විද්‍යාත්මක නාමය         -
Exacum trinervium

ශ්‍රී ලංකාවේ පවතින Exacum විශේෂ අට අතරින් දේශීයව ගිනිහිරිය ලෙස  හඳුන්වන බිනර ශාකය උසින් මීටර් එකක් පමණ දක්වා වර්ධනය වේ. මීටර් 2000 ක පමණ උන්නතාංශයක ව්‍යාප්ත වන අතර බිනර ශාකය විශේෂ අටකින් පමණ හඳුනාගත හැකිය . මෙහි සිවු පාර්ශ්වික කඳක් පිහිටන අතර එහි සුදු, තදනිල්, දම් වැනි පැහැයන් ගනිමින් වෙනස් වේ .ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දුර්ලභ හා වටිනා ඖෂධයක් ලෙස බිනර ශාකය යොදා ගනී .

මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්ප ශාකයකි. නිශ්චිත ප්‍රදේශයක හෝ වාසස්ථානයක ව්‍යාප්තව පවතින අවදෝෂික ශාකයකි. ශ්‍රී ලංකාව තුළ පමණක් ව්‍යාප්ත වන අතර ලොව වෙනත් කිසිදු වාසස්ථානයක දක්නට නොලැබීම විශේෂිතය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ගිනිකොණ දිග කඳුකරයේ තෙත් ස්ථානවල වර්ධනය වේ . හෝර්ටන් තැන්න, පට්ටිපොළ, අඹේවල, ඔහිය හා හග්ගල වැනි ප්‍රදේශවල ව්‍යාප්තව පවතී . නකල්ස් ප්‍රදේශවලද බහුලව දක්නට ලැබේ . මෙම ශාකයේ මල් ජනවාරි සිට ජූනි දක්වා සහ නැවත සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ද දැකගත හැකිවේ . මෙහි බීජ ඉතා කුඩා බැවින් ගෘහස්ථ මට්ටමින් බීජ ප්‍රචාරණය අපහසුවේ . මෙම ශාකයට පවතින්නේ වසරක් වැනි ඉතා කෙටි ආයු කාලයකි . ඒ හා සමානව ඉහළ ආර්ථික වශයෙන් වටිනාකමක් ද බිනර ශාකයට හිමි වේ . විශේෂයෙන් මල් වගා කර්මාන්තය ඉහළ ඉල්ලුමක් පවතින ශාකයකි. නෙදර්ලන්තය වැනි රටවල ශ්‍රී ලංකා රුපියල්වලින් 35000 ක් පමණ වටිනාකමකට බිනර ශාකය අලෙවි වේ.

නමුත් අවාසනාවන්ත ලෙස මෙම ශාකය වද වීමේ තර්ජනයට ලක්වී ඇත. විශේෂයෙන් පාරිසරික තත්ත්වයන් වෙනස් වීම බිනර ශාකයට බලපෑම් ඇතිවේ. මෙම ශාකය වෙළෙඳාමට යොමු කිරීමද තවත් තර්ජනයකි .

අවාසනාවට මෙන් සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ බිනර ශාකය ආරක්ෂා කර නොමැත . මෙම ශාකය ඒ අනුව සීමිත ආරක්ෂාවක් භුක්ති විඳී . නමුත් මේ වන විට බොහෝ පරිසර කණ්ඩායම්වල අවධානය බිනර ශාකය වෙත යොමු වී ඇත.

Leo Imasha Nanayakkara

First Year

Faculty of Arts

ශ්‍රී ලංකා රෝස සමනලයා


විද්‍යාත්මක නාමය         -
Pachlipta Tapan

ශ්‍රී ලංකා රෝස සමනලයා පැපිලොනිිඩේ පවුලට අයත් සුන්දර සමනළ විශේෂයකි . ශ්‍රී ලංකාව මව් රට කරගත් රෝස සමනලයා ශ්‍රී ලංකාවට ආවේණික සමනළ විශේෂයකි . පෙරදී දකුණු ඉන්දියානු සමනළ විශේෂයකින් බිහිවූ බවට සැසදුවත් පසුව ceylon Rose වෙනම විශේෂයක් බව හඳුනාගන්නා ලදී .

මෙම සමනළ විශේෂයට ආවේනික ලක්ෂණ හඳුනා ගැනීමේ දී රෝස සමනලයාගේ පියාපත් යුගල දෙකෙහි කළු පසුබිමේ සුදු පැහැති කහ පැහැය මිශ්‍ර වූ මෝස්තර රටාවක් දැක ගත හැකිය . පහත තටු යුගලයේ දාරයට ආසන්නව රතු මිශ්‍ර තැඹිලි පැහැති කිහිපයක් දැක ගත හැකිවේ . ගැහැණු සතාගේත් පිරිමි සතාගේ තිබූ තිත් මෙන්ම ඊට වඩා ලොකු කොටු හැඩයෙන් දැකිය හැකිය. ගැහැණු මෙන්ම පිරිමි සමනලයාගේත් ගුද පෙදෙසේ අපර කොටස කහ වරණයෙන් දිස්වේ . මෙම සමනළ විශේෂයේ දුර්ලභ බව නිසාම මොවුන්ගේ කීට අවස්ථා පිළිබඳ වාර්තා නොවීම හඳුනාගත හැකිය . දළඹුවාගේ අවස්ථාවේදී තද රතු හා නිල් පැහැ ගන්නා බවත් සප්සඳවැල් පෝෂණ ශාකය ලෙසත් හඳුනාගත හැකිය.

මේ සමනළ විශේෂය ස්වාභාවික පරිසරයේදී හමුවීම අතිශය දුර්ලභය. මෙම සමනළ විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් නිරිත දිග කලාපයේ මධ්‍යම උන්නතාංශ වල පියාසර කරයි.(615m -1230) මෙම සමනලුන් හිමිදිරි පාන්දර පහතට පියාසර කරන අතර පසුව වන වියනෙහි පියාසර කරන බව නිරීක්ෂණය වේ . මොවුන්ගේ බිත්තර කහ දුඹුරු වන අතර දේශීයව දුර්ලභ සමනලයෙකි .

ශ්‍රී ලංකා රෝස සමනලයා ප්‍රධාන වශයෙන් තර්ජනයට ලක්වන්නේ වාසස්ථාන විනාශ වීමෙනි . මෙම සමනලුන් විශේෂය සංරක්ෂණය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ . මෙම සමනලුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් රත්නපුර දෙනියාය වැනි ප්‍රදේශවල ජීවත්වෙයි. වියලි හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතිශය දුර්ලභය . සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකා රෝස සමනලයාගේ අවසන් බලකොටුව විය හැකි බව නිගමනය කෙරේ. නමුත් එම රක්ෂිතයන්ගේත් වර්තමාන මිනිස් ක්‍රියාකාරකම් ඉහල ගොස් ඇති නිසා එයද මෙම සමනලයාගේ තර්ජනයට ලක් වී ඇත .

මේ අනුව අපට හඳුනාගත හැක්කේ ශ්‍රී ලංකා රෝස සමනලයා යනු ශ්‍රී ලංකාවට ආවේණික සමනලුන් විශේෂයක් වන අතර වර්තමානයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා එම සත්ත්ව සම්පත රැකගැනීමට ප්‍රජාව ක්‍රියා කළ යුතු බවයි.

Leo Imasha Nilushi

First Year

Faculty of Arts

Monday, January 15, 2024

වෙසක් මල් ශාකය

 


විද්‍යාත්මක නාමය- dendrobium maccarthiae

ශ්‍රී ලංකාවේ උඩවැඩියා වර්ග 169 ක් පමණ හමුවන අතර එයින් 74ක් ම දිවයිනට ආවේණික වේ. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර චාල්ස් මැකාර්තියෝ නමින් විද්‍යාත්මකව dendrobium maccarthiae ලෙස හැඳින්වෙන වෙසක් ඕකීඩ් මේ අතරින් විශේෂ වේ. මෙය callista maccarthiae ලෙසද හැදින්වෙයි. මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ ගණයේ ශාකයකි.වෙසක් මල් ඉතා උණුසුම් හා තෙත් නිවර්තන සදාහරිත වනාන්තරවල සාමාන්‍යයෙන් වර්ධනය වේ. 

මෙම ශාකය පහතරට තෙත් කලාපයේ අඩි 2000ක් පමණ උන්නතාංශයක් දක්වා තෙත් දේශගුණයක් තුළ හොඳින් වැඩෙන අතර එය රත්තපුර දිස්ත්‍රික්කයට, විශේෂයෙන් සිංහරාජ වනාන්තරයට සහ ඒ අවට ප්‍රදේශවලට සීමා වී ඇත.දම්පාට මල් වශයෙන් පිපෙන සුවඳවත් මේ ඕකිඩ් මල් විශේෂය වෙසක් සමයේදී එනම් මැයි මාසය තුළදී මල් හට ගන්නා අතර,සමහරවිට පෙබරවාරි,ජූනි සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් වැනි වසරේ අනෙකුත් මාස වලදී ද මල් පිපෙයි.

ස්වභාවයෙන්ම එපිෆයිට් වර්ගයක් වන වෙසක් ඕකිඩ් පසට සම්බන්ධ නැති අතර ගස් කඳන්වල වැඩෙයි.එය ආදාරක ගසින්ද කිසිදු පෝෂණයක් ලබා නොගනී.ශාකය ගසට සම්බන්ධ කර ඇති මුල් මගින් දිරාපත් වන ශාක ද්‍රව්‍ය එක් රැස්කර පෝෂණ අවශ්‍යතාවය සපුරා ගනී.

එය කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණය දක්වා මල් හට ගැනීම සිදුවෙයි. එක පුෂ්ප මංජරියක මල් 5ත් 10ත් අතර ප්‍රමාණයක් හටගන්නා අතර පුෂ්ප පරාගනය සඳහා මී මැස්සන් බඹරුන් වැනි කෘමීන් ඉවහල් වන අතර ඵලය ස්පෝටිකාවක් වශයෙන් හට ගනී.එක් ඵලයක දහස් සංඛ්‍යාත කුඩා බීජ හටගන්නා අතර බීජ සුළඟ මඟින් ප්‍රචාරණය වේ.බීජ ප්‍රරෝහණය සඳහා එක්තරා දිලීරයක් උපකාරී වන අතර දහස් සංඛ්‍යාත බීජ අතරින් බීජ කිහිපයක් පමණක් ශාක බවට පත් වෙයි.

මෙම ශාකය පඳුරු ආකාර වේ.ශාක කඳන් මත එල්ලී වැඩීම සඳහා අවශ්‍ය ශක්තිමත් මූල පද්ධතියකින් ද සමන්විත වෙයි.විශේෂයෙන් මෙම ශාකය සබරගමු පළාතේ පළාත් පුෂ්පය වශයෙන්ද හඳුන්වාදීමට හැකිවන අතර වනාන්තර එළි කිරීම හා අවිධිමත් ලෙස එක් රැස් කිරීම නිසාවෙන් අද වන විට වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ශාකයකි.එම නිසාම 1938 වසරේ සිට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ ආරක්ෂාව ලබාදී ඇති ඕකිඩ් ශාක 6ක් අතරට මෙම වෙසක් උඩ වැඩියා ශාකයද එක් කර ඇත.

Leo Nadee Sakunthala

First Year

Faculty of Arts

බන්දුල පෙතියා


විද්‍යාත්මක නාමය- pethia bandula

බන්දුල පෙතියා යනු දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ගලපිටමඩ අනාරක්ෂිත කුඩා දිය පහර දෙකකට සීමා වූ ආවේණික මත්ස්‍යයෙකි.මොවුන් කුඹුරු හා රබර් වතු හරහා ගමන් කරන කුඩා ගල් සහිත ජල මාර්ගයක වාසය කරන බව නිරීක්ෂණය වී ඇත.මෙම කුඩා මත්ස්‍යයෝ බොහෝවිට ශාකපත්‍ර යටින් සහ ජලය නොගැඹුරු අර්ධ වශයෙන් ගිලී ඇති වෘක්ෂලතා අතර නවාතැන් ලෙස තෝරා ගනිති.

බන්දුල පෙතියා යනු මිරිදිය මත්ස්‍යයෙකි.උපරිම දිග 4.1 cm පමණ වේ.මෙම මත්ස්‍යයාගේ පිරිමි හා ගැහැණු සතුන් සරලව වෙන්කර හදුනාගත හැකිය.මොවුන්ගේ වැඩිහිටි පිරිමි මත්ස්‍යයින් විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන අතර ප්‍රමාණයෙන් කුඩා සිහින් සිරුරක් සහ  ගැහැණු මත්ස්‍යයකුට සාපේක්ෂව වර්ණයෙන් වඩාත් දීප්තිමත් වේ.විශේෂයෙන් පැටවුන් බිහි කරන කාලය තුළ මෙය දැක ගත හැකිය.

පිරිමි මත්ස්‍යයාගේ පුෂ්ඨීය,ගුද සහ ශ්‍රෝණි වරල් කළු හා  පපුවේ වරල විනිවිද පෙනෙන අතර පිටුපස වරල රතු තැඹිලි පැහැයක් පෙන්වයි.ඊට ප්‍රතිවිරුද්ධව, ගැහැණු මත්ස්‍යයාට ඔවුන්ගේ දෙපස සමාන ප්‍රමාණ වල සිරස් කළු ලප ඇත.නමුත් ඔවුන්ගේ ශරීර තද දුඹුරු සිට ලා දුඹුරු දක්වා වර්ණයෙන් යුක්ත වන අතර, ඔවුන්ගේ සියලු වරල් විනිවිද පෙනෙයි. එමෙන්ම ඔවුන්ගේ වරල් අග සුළු කළු ස්වභාවයක් පෙන්වයි.

බන්දුල පෙතියා හට පුළුල් පරාසයක ජල පරාමිතීන් සඳහා පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව ඇති අතර බහුලවම දක්නට ලැබෙන විවිධ මත්ස්‍ය විශේෂ ගණනාවක් සමග සහජීවනයෙන් වාසය කළ හැකිය. උදාහරණ ලෙස Cyprinids, Livebearers, Tetras, Gouramis, Rainbowfish, Loaches සහ Catfish යන මත්ස්‍ය විශේෂ දැක්විය හැකිය.

බන්දුල පෙතියාගේ අභිජනන පුරුදු සම්බන්ධයෙන් සීමිත තොරතුරු ඇතත්, ඔවුන්ගේ අනෙකුත් පෙතියන් විශේෂ වලට සමාන ප්‍රජනක හැසිරීම් වල යෙදෙන බවට අනුමාන කිරීමට හැකිය. එමෙන්ම බන්දුල පෙතියා නම්‍යශීලී ආහාර හැසිරීමක් ප්‍රදර්ශනය කරන අතර ඇල්ගී සහ ශාක අන්තර්ගතයන් බහුලවම ආහාරයට යොදා ගනී.

ඔවුන්ගේ බිත්තර දීප්තිමත් ආලෝකයට විශේෂයෙන් සංවේදී වන බැවින් අඩු ආලෝක තත්ත්වයන් පැවතීම අතිශයින් වැදගත් වේ. මෙම මත්ස්‍යයන්ගේ පැටවුන් බිහිවීමේ ආරම්භක අවස්ථාව පැහැදිලිව පෙනෙන්නේ පිරිමි මත්ස්‍යයා පෙම් සබඳතාවයේ යෙදෙන විට, තම වරල් සංදර්ශන පෙන්වමින් ගැහැනු මත්ස්‍යයා වටා ගමන් කරන විටය. මොවුන් බිත්තර විශාල ප්‍රමාණයක් නිපදවා ඒවා ජලයේ වැඩී ඇති ශාක අතර විසුරුවා හැරීම සිදුකරයි.

පොදුවේ ගත් කල බොහෝ ජලජ විශේෂ මෙන් ම තම බිත්තර විලෝපිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා පැටවුන් බිහිකිරීමෙන් පසු වැඩිහිටි මසුන් ඒ අවට ජලයේ නිරන්තරයෙන් කාලය ගත කරයි. සාමාන්‍යයෙන් බිත්තර පැය 24 ක් ඇතුලත පැටවුන් බිහිවන අතර, අලුතින් බිහි වූ මත්ස්‍ය පැටවුන් දළ වශයෙන් දින එකකට හෝ දෙකකට පසුව නිදහසේ පිහිනීමේ හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට පටන් ගනී. 

බන්දුල පෙතියා 1991 වසරේදී මුලින්ම සොයාගන්නා ලද අතර ඒ වන විට 2000 ක පමණ මත්ස්‍ය ගහණයක් සිටි අතර එය 2010 පමණ වන විට 200 ක් දක්වා අඩුවී ඇත.එනම්, වී වගාවන් ව්‍යාප්ත කිරීම හා අනවසර පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස මසුන් එකතු කිරීම හේතුවෙන්  පසුගිය දශක 2 තුළ බන්දුල පෙතියාගේ ගහණ ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවී එය වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් බවට පත්වී ඇත.

පසුව 2014 දී ක්‍රියාකාරී පියවරක් ගන්නා ලද අතර, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය (IUCN) සමග අනුබද්ධ විශේෂඥයන් කණ්ඩායමක් අතර සහයෝගී ප්‍රයත්නයක් හරහා මෙම බන්දුල පෙතියා පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමත් සමග අද වන විට මොවුන්ගේ  මත්ස්‍ය ගහණය ධන වර්ධනයක් දක්නට ලැබෙන අතර අද වන විට දෙහිවල සත්ව උද්‍යානයේ ද මෙම මත්ස්‍යයා දැකගත හැකිය. 

Leo Nadee Sakunthala

First Year

Faculty of Arts


Sunday, January 14, 2024

ධනාත්මක චින්තනය


ධනාත්මක චින්තනය වර්තමානයේ ප්‍රසිද්ධ මාතෘකාවකි.වත්මන් සමාජයේ මිනිසුන්ට ඇති ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් ජනතාව මිරිකී සිටිති.මේනිසා මෙයින් මිදෙන්නට කලහැකි දේවල් පිලිබද ජනතාව විමසිල්ලෙන් සිටිති.ධනාත්මක චින්තනය ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇත්තේ එහෙයිනි.✨

🛑ධනාත්මක චින්තනය ගොඩනගාගන්නේ කෙසේද?

ධනාත්මක චින්තනය පිලිබද කොතෙරම් පොත් කියවූවත් දේශනා කොපමණ ප්‍රමාණයකට සහභාගි වුවත් තමා තුල නිවරදිව තමාගේ සිතුවිලි පිලිබදව අදහසක් නොමැතිනම් ගැටලුවකි.මන්ද අපගේ සිතුවිලි තේරුම් ගැනීමට නම් ඒවා හොදින් අධ්‍යනය කල යුතුය.කිසිවිටෙක අප,අප විසින් රවටා නොගත යුතුය.යථාර්ථය සදහා හොදින් අපගේ සිතුම් පැතුම් හදුනාගත යුතුය.

අප ධනාත්මක චින්තනය ඇති කර ගැනීමට පලමුව අප තුල දැනට ඒ සිතුවිලි කොපමණ ප්‍රමාණයක් රැදී ඇත්දැයි අවංකව අවබෝධ කරගත යුතුය.මුළින්ම අප සතු දුර්වලතාවයක් වන පහත සිතුවිලි සිතෙන් අයින් කල යුතුය.

       〽️මට බෑ

      〽️මේක හරියන් නෑ

      〽️මට හරිගියොත් තමා පුදුමෙ

      〽️මම දන්නවනෙ මට බෑ කියලා

ඔබ දන්නවාද අපි හරියන් නෑ කියල හිතුවොත් අපිට වෙන්නෙ ඒකමයි.අපි හිතන විදිහ අනුව අපේ පරිසරය ඉබේම හැඩගැහෙන්නෙ හරිම පුදුම විදිහට.ඔබටත් පුලුවන් මේ බව අත්හදා බලන්න.අපේ සිත හරිම ප්‍රබලයි.අප දෙයක් සිදු වෙනවා කියා තදින්ම විශ්වාස කලොත් එය සිදු වෙනවාමයි.නමුත් අපි සිද්ධ වෙනවා කියා විශ්වාස කරන්නෙ අපිට අවාසි වන දේවල්,අපිට පාඩු වෙන දේවල්.මම විභාගෙ ෆේල් වෙනවා කියලා හිතන් නැතුව මම විභාගෙ පාස් වෙනවාමයි කියලා හිතන්න පුරුදු වෙන්න.ඔබට පුදුම හිතෙයි.ඔබේ වටපිටාව ඊට උචිතව වෙනස් වෙයි.අපි නිතරම සිතන්නෙ අසුභවාදී සිතුවිලි නිසා තමා අපිට කරදරම එන්නෙ.විවිධ ශාරීරික රෝගාබාධ පවා(සියල්ල නොවේ)මෙම සිතුවිලි වලින් සුව කල හැකි බව ඔබ දන්නවාද?

සෑම දිනකම උදෑසන අවදි වන විට අද දින මට ප්‍රීතිමත් දිනයක් තමයි කියලා හිතාගන අවදි වෙන්න.එය අනිවාරෙන්ම ප්‍රීතිමත් හා සාර්ථක දිනයක් වනු නිසැකය.නමුත් මෙය එක් දවසක් කලාට මදි සති කීපයක් කරන්න.මොකද නියම විශ්වාසයක් නැතුව මෙය සිදු වෙන්නෙ නෑ.සෑම විටම මට බැරිවෙයි කියා හිතෙනකොට නෑ මට ඇයි බැරිවෙන්නෙ මම උත්සහ කරලා කොහොම හරි ජයගන්නවා කියා අවංකවම හිතන්න.ඔබගේ සිතුවිලි වල අවංකභාවය හා විශ්වාසයේ තරම අනුව සාර්ථකත්වය ඔබ සතු වෙයි.

🛑 ධනාත්මක සිතුවිල්ලක බලය

සිතුවිල්ලක අතිමහත් බලයක් ඇත.ඔබ දන්නවාද ඔබ දැන් සිතන සිතුවිල්ල අනුව ඔබේ අනාගතය කෙසේ එකක්දැයි තීරණය වන බව.ඔබ මේ දැන් වර්තමානයේ සිටින තත්ත්වයට හේතුව ඔබේ සිතුවිලිය.ඔබ දැන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් සිටිනවා නම් අනිවාරෙන් ඔබ ධනාත්මක සිතුවිලි වලින් පොහොසත් කෙනෙකුය.නමුත් ඔබ වර්තමානයේ පසුතැවෙමින් දුකෙන් කලකිරීමෙන් ජීවත් වනවානම් ඔබ ඝෘණාත්මක සිතුවිලි දරන්නෙකි.

සිතන්න ඔබ දැනට සිටින තත්ත්වයට වඩා හොද තත්ත්වයකට පත් වීමට අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ ඔබේ සිතුවිලි වෙනස් කර ගැනීමයි.බොහෝ දෙනෙක් ජීවිතය දුක්ඛිත ලෙස ගෙවමින් කවදාහරි හොද තත්ත්වයක් ලැබතැයි සිතමින් කාලය ගත කලත් සිතුවිලි වෙනස් වීමකින් තොරව හොද කාලයක් කිසිදා උදා වන්නේ නැත.ඒ තරම්ම ඔබ නොසැලකුවත් ඔබේ සිතුවිලි ප්‍රබලය.බලවත්‍ ය.එබැවින් ඔබ දැනට අත්විදිමින් සිටින දුක් කම්කටොලු වලින් පසුතැවීම් වලින් මිදීම සදහා ඔබගේ සිතුවිලි ධනාත්මක ලෙස වෙනස් කර ගැනීමට අධිෂ්ඨානශීලීව කටයුතු ආරම්භ කල යුතුය.ඒ සදහා ඔබට පහත සදහන් ආකාරයට කටයුතු ආරම්භ කල හැකිය.

 🌻ඔබ තුල පුරුද්දට මෙන් ඇතිවන සෘණාත්මක සිතුවිලි හදුනාගැනීමට උත්සහ දැරීම ආරම්භ කරන්න.

 🌻සෘණාත්මක සිතුවිල්ලක් ඇතිවූ විගස ඊට විරුද්ධ ධනාත්මක සිතුවිල්ලක් සිතන්න.

🌻සෘණාත්මක සිතුවිලි සහිත පරිසර වලින් මිතුර,මිතුරියන්ගෙන් ඈත් වන්න.

🌻ධනාත්මක සිතුවිලි සහිත හිතවතුන් සමීප කරගන්න.

🌻සෘණාත්මක අදහස් ගැන කතා නොකරන්න,ධනාත්මක දේ පමණක් කතා කරන්න.

🌻සෘණාත්මක අදහස් ඇති චිත්‍රපට , ටෙලිනාට්‍ය නැරඹීමෙන් මිදෙන්න.

🌻ඔබ ගැන විශ්වාසය වැඩි කර ගන්න.

🌻ජීවිතය දෙස අවංකවම ධනාත්මක ලෙස බලන්න.

එවිට ඔබට නොදැනීම ජීවිතය සතුටු තෘප්තිමත් එකක් වනු බව නිසැකය.

🛑ධනාත්මක චින්තනයේ බලයක් තිබේද?

ධනාත්මක චින්තනය සදහා එක් අර්ථ දැක්වීමක් නම්"වැඩි දියුණු කලයුතු අංශ හදුනාගැනීම සදහා චින්තන ක්‍රියාවලීන් සමාලෝචනය කිරීම,ඉන්පසු එම අදහස් ධනාත්මක,ඉලක්කගත දිශානතියකින්  වෙනස් කිරීම සදහා සුදුසු මෙවලම් භාවිතා කිරීමයි". ඇත්ත වශයෙන්ම ධනාත්මක සිතීමෙ වරදක් නැත.ධනාත්මක චින්තනය හා සම්බන්ධ ගැටලුව වන්නේ ධනාත්මක චින්තනයේ යම් ආකාරයක අද්භූත බලයක් ඇතැයි විශ්වාස කිරීමයි.පැතිරී ඇති ව්‍යාජ ධර්මය සහ වතුර දැමු දේවධර්මයේ මේ යුගයේදි ධනාත්මක චින්තනයේ බලය වඩාත් ජනප්‍රිය දෝෂයන්ගෙන් එකක් ලෙස කැපී පෙනේ.ව්‍යාජ මූලධර්ම සත්‍ය ලෙස වෙස් වලාගන්නා මානව අදහස් වේ.එවැනි එක් මිනිස් අදහසක් වන්නේ ධනාත්මක චින්තනයේ බලයයි.

ධනාත්මක චින්තනයේ බලය පිලිබද අදහස ආචාර්ය නෝමන් වින්ස්ටන්ට් පීල් විසින් රචිත"the power of positive thinking"(1952)නම් ග්‍රන්ථයේ ජනප්‍රිය කර ඇත.පීල්ට අනුව මිනිසුන්ට අනාගත ප්‍රතිඵල සහ සිදුවීම් පැවැත්ම සිතීමෙන් වෙනස් කල හැකිය.ධනාත්මක චින්තනයේ බලය තමා කෙරෙහි ආත්ම විශ්වාසය ප්‍රවර්ධනය කරයි.එය ස්වභාවිකවම "ආකර්ෂණ නීතිය" පිලිබද ව්‍යාජ විශ්වාසයකට මග පාදයි.පීල් ලියා ඇති පරිදි "ඔබ හොදම දේවල් අපේක්ෂා කරන විට ඔබ ඔබේ මනසෙහි චුම්බක බලයක් මුදා හරින අතර එය ආකර්ෂණීය නීතියකින් ඔබ වෙත ගෙන එනු ඇත" ඇත්ත වශයෙන්ම කෙනෙක්ගේ මනස චුම්බක බලයක් නිකුත් කිරීම පිලිබද බයිබලානුකූල කිසිවක් නොමැත.

ධනාත්මක චින්තනයේ බලය තුල පීල් ඇදහිල්ලේ සහ බලාපොරොත්තුවේ ව්‍යාජ අනුවාදයක් ඉදිරිපත් කිරීම සදහා දෝෂ සහිත ආගමික සංකල්ප සහ ආත්මීය මනෝවිද්‍යාත්මක න්‍යායන් භාවිතා කලේය.ඔහුගේ න්‍යාය  "ස්වයං උපකාර" ව්‍යාපාරයේ කොටසකි.එමගින් පුද්ගලයෙකු තම උත්සහය,නිසි මානසික ප්‍රතිරූපය සහ අධිෂ්ඨාන ශක්තියෙන් තමාගේම යථාර්ථය නිර්මාණය කිරීමට උත්සහ කරයි.මනංකල්පිත කිරීමෙන් හෝ පැවැත්මක් ඇතැයි සිතීමෙන් මිනිසුන්ට තමාගේ යථාර්ථය නිර්මාණය කල නොහැකිය.පීල්ගේ න්‍යාය දෝෂ සහිත වන්නේ ඔහු එම සත්‍ය මත පදනම් නොවූ බැවිනි.

ධනාත්මක චින්තනයේ බලයේ යෝජකයන් කියා සිටින්නේ ඔවුන්ගේ පර්‍යේෂණ න්‍යායේ වලංගුභාවයට සහය වන බවයි.කෙසේ වෙතත් දත්ත සමූහය පුලුල් ලෙස විවාදයට භාජනය වේ.සමහර සොයා ගැනීම් වලින් පෙනී යන්නේ ධනාත්මක දෘෂ්ඨියක් සහ කාර්‍ය සාධනය අතර ධනාත්මක සහසම්බන්ධතාවක් ඇති නමුත් මෙය ධනාත්මක සිතුවිලි වලින් දුරස් වීමකි.අශුභවාදී දෘෂ්ඨියක් ඇති පුද්ගලයන්ට සාපේක්ෂව ධනාත්මක ආකල්ප ඇති පුද්ගලයන්ට ඉහළ ආත්මාභිමානයක් සහ වඩා හොද අත්දැකීම් ඇති බව පර්‍යේෂණයෙන් පෙනී යයි.අනෙක් අතට සිතුවිලි වල ප්‍රතිඵල පාලනය කල හැකිය යන අදහස සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

අපට වඩා හොද වීමට සහ ධනාත්මකව වෙනස්කම් කිරීමට අවශ්‍ය නම් ධනාත්මක චින්තනයේ බලයට වඩා වැඩි යමක් අපට තිබිය යුතුය.

Leo Poornima Nethmini

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...