Saturday, February 10, 2024

විද්‍යා නායකත්වයෙන් යුතු කාන්තාවක් වෙනුවෙන් තිරසාරත්වය සපිරි නව යුගයක්....


ප්‍රතිලාභීන් ලෙස පමණක් නොව වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස ද විද්‍යාවේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ භූමිකාව හඳුනා ගැනීම සඳහා පෙබරවාරි මස 11 වන දින එය නිරීක්ෂණය කෙරේ. එබැවින්, කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා විද්‍යාවට පූර්ණ හා සමාන ප්‍රවේශය සහ සහභාගීත්වය ලබා ගැනීම කෙරෙහි මෙම දිනය අවධානය යොමු කරයි. 

එසේම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම මෙහි දී අරමුණු කර ගනී.

තිරසාර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඇති විශාලතම අභියෝගවලට මුහුණ දීම සදහා, සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ සිට දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම දක්වා යන සියලු ම දක්ෂතා උපයෝගී කර ගැනීම මත මෙය රඳා පවතී.  පර්යේෂණවල විවිධත්වය දක්ෂ පර්යේෂකයන්ගේ සංචිතය පුළුල් කරයි. නැවුම් ඉදිරි දර්ශන, කුසලතා සහ නිර්මාණශීලීත්වය ද ගෙන එයි. මෙම දිනය විද්‍යා හා තාක්ෂණ ප්‍රජාවන් තුළ කාන්තාව ක් සහ ගැහැණු ළමයා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ඔවුන්ගේ සහභාගීත්වය ශක්තිමත් කළ යුතු බවත් සිහිපත් කරනු ඇත.  කාන්තාවන් ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ පිරිමි සගයන් ට වඩා කුඩා පර්යේෂණ ප්‍රදාන ලබා දෙන අතර, ඔවුන් සියලුම පර්යේෂකයන්ගෙන් 33.3%ක් පමණ නියෝජනය කරයි 

♦️ජාතික විද්‍යා ඇකඩමිවල සාමාජිකයින්ගෙන් 12%ක් පමණ කාන්තාවන් වේ.

♦️කෘත්‍රිම බුද්ධිය වැනි අති නවීන ක්ෂේත්‍ර සදහා යොමු වන්නේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණි.

♦️සිව්වන කාර්මික විප්ලවය මෙහෙයවන බොහෝ තාක්‍ෂණික ක්ෂේත්‍රවල කුසලතා හිඟයක් තිබියදීත්, කාන්තාවන් ගේ ප්‍රතිශතය, ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 28% ක් සහ පරිගණක විද්‍යාව සහ තොරතුරු විද්‍යාව පිළිබඳ උපාධිධාරීන්ගෙන් 40% ක් පමණි.

කාන්තා පර්යේෂකයන්ට කෙටි, අඩු හොඳ වැටුප් සහිත වෘත්තීන් ඇත. ඔවුන්ගේ කාර්යය ඉහළ පෙළේ සඟරා වල අඩුවෙන් නියෝජනය වන අතර ඒවා බොහෝ විට උසස්වීම් සඳහා ලබා දෙනු ලැබේ.    පසුබිම ලෙස

ලොව පුරා විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) විෂයයන් හි සියලුම මට්ටම් වල සැලකිය යුතු ස්ත්‍රී පුරුෂ පරතරයක් වසර ගණනාවක් පුරාව ට ම පැවතුනි. උසස් අධ්‍යාපනය සඳහා කාන්තාවන් ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා විශාල වශයෙන් ප්‍රතිපාදන  ලබා ඇතත්, ඔවුන් තවමත් මෙම ක්ෂේත්‍රවල නියෝජනය කරන්නේ ද ඉතා අඩුවෙන් වීම ද මෙහි ලා නිරීක්ෂණය වූ කරුණකි.

කාන්තාවන් සහ ගැහැණු ළමයින් පර්යේෂණ සඳහා විවිධත්වය ක් ගෙන එයි. විද්‍යා වෘත්තිකයන්ගේ සංචිතය ද එමගින් පුළුල් කරයි, විද්‍යාවට සහ තාක්‍ෂණයට නැවුම් ඉදිරි දර්ශන ලබා දෙමින්, කටයුතු කරයි. ඒ හරහා සැමට ම එයින් ප්‍රතිලාභ ලැබේ . න්‍යායාත්මකව, විද්‍යාව සෑම කෙනෙකුටම විවෘත විය යුතුය, නමුත් මාගේ පෞද්ගලික දෘශ්ටි කෝණය ටඅනුව නම් එය තවත් එක් අතිමහත් පුරුෂයෙක් යන්නයි.

" අදුරක් තුළ තිබෙන ආලෝකය, අප පියවි ඇසින් දකින ආලෝකයට සාපෙක්ෂව, සම්මුතික ලෝකයක් තුළ නිරතුරුව ම බබළනු ඇත. "

Leo Shashini Madhusha

First Year

Faculty of Arts

Thursday, February 8, 2024

නුඹෙ නමින් දරා...


පිපී පරවී වැටෙන මල් නොවේ ශ්වේත වර්ණාදීයේ නොපෙනි යන සළු ඔබ මමත් මා ඔබත් රිද්දවන කළූ දුමාරය බිඳන් හෙට පිපෙයි කටරොළු

සිහින් හඬ කාංසිය රිදී ඉරි තලන ඇහි දාර ඉකිබිඳුම් කොට්‌ට උර තෙමන රක්ත වර්නෙන් නැගී හුස්ම මත යැපෙන යළි යළිත් නිවිය යුතු ගින්නක් ය දවන

සුසුම් හඬ මත වැටී නෙත් පිරුනු නුරා හිත පුරා තබා ගිය සිනහ රැලි මරා ක්ෂණයකින් පාව ගිය නුඹ මලකි වරා හැම හුස්ම ගනිමි මා නුඹෙ නමින් දරා

Leo Ayesha Lakmini
Third Year
Faculty of Arts

INKWALKERS CHALLENGE - 01

 
















Sunday, February 4, 2024

76වන ජාතික නිදහස් දිනය


එක්ව පරදා දිනූ නිදහස

යලිදු උදුරා ගනු සිතන්

යනෙන බලමුළු නිවට සිතුවිලි 

සමග උරෙනුර හා ගැටී

අපේ මව්බිම රකිමු සැමදා

මව් සෙනේහය සිත දරන්

සියවස් ගණනාවක් පුරාවට බටහිර ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස් රාජ්‍යයක් බවට පත්වීමේ අවස්ථාව උදාවී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඩී.එස්.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු නිදහස් දින උත්සවය සමරමින් එම දිනය රජයේ නිවාඩු දිනයක් බවටද පත්කර ඇත. එතැන් සිට අද දක්වා සෑම වර්ෂයකම පෙබරවාරි 04වන දින ජාතික නිදහස් දිනය සමරනු ලබයි. 

ඒ අනුව මෙවර 76 වන ජාතික නිදහස් දිනය "හදමු අලුත් රටක්" යන තේමාව මුල් කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමෝදර පිටියේදී පැවැත්වේ. මෙම නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැව්සින් මහතා සහභාගි වීමට නියමිතව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඇති මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට හා දෙරට අතර ද්විපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට ද මෙහිදී අරමුණු කරගෙන ඇත.

මේ අනුව ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරමින් ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළි පෙරටු කරගනිමින් සංස්කෘතික නැටුම් ගැයුම් ආදී විවිධාකාර විචිත්‍රවත් අංගයන් ඔස්සේ මෙම නිදහස් උළෙල අලංකාර කර ඇත. මෙම ලැබූ නිදහස සැබැවින්ම ජනතාව භුක්ති විඳිය යුතු අතර ඊට අවහිර වන ඕනෑම බලවේගයක් වෙනුවෙන්ද නැගී සිටීමද අත්‍යවශ්‍ය වේ. එසේ නම් "හදමු අලුත් රටක්" යන තේමාව මුල් කරගනිමින් 76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු.


Leo Nisansala Pathirana

Second year

Faculty of Arts

 

Thursday, February 1, 2024

ටියුලිප් මල




රෝස මල් දුන් අත් දෙස …

ඔබේ නෙත්වලින් නොබැලුවේ…

ව්‍යාජව ආ විෂ කටු නිසාද?

බොළද පෙම් වදන් …

ඇසෙන්නට නොදි …

කන් වසාගත්තේ …

කාමී පුරුෂ පෙමෙහි…

ස්පර්ෂයට අකමැති නිසාද?

දුඹුරු ඇස්වලින් මා දෙස බැලුවේ…

ඔබ ආසම ටියුලිප් මල …

මම නිසාද?

 

 

S.Sithumi Poornima

Faculty of Arts

1st year

මතක...


වැහි බර අකුණු 

මහපොළවට කඩාගෙන

නෙත්සර දනන්

තුටු කඳුළින් තෙමාගෙන

අපි ආ ගිය මාවතත්

දියවෙන සැටි බලාගෙන

කතරක සැනසෙන්නේ

කොහොමද, අපි

හිරිකඩ හිත් ළඟ තබාගෙන


ශශිකලා කල්හාරි

අධ්‍යාපන පීඨය

දෙවන වසර

Sunday, January 28, 2024

බෝරෝබුදුර් විහාරය


භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මුල්බැසගත් විවිධ රාජ්‍යයන්හි උන්වහන්සේ හා උන්වහන්සේ දෙසූ ධර්මය වෙනුවෙන් විහාරාරාම, දාගැබ් ආදීය නිර්මාණය විය.වර්තමානයේ එවැනි ඇතැම් රටවල බුදු දහම දක්නට නොමැති නමුත් ධර්මය වෙනුවෙන් අතීතයේ ඒ රාජ්‍යයන් කැපවූ අයුරු අදටද දැකගත හැකිය.

එවැනි ප්‍රෞඩ  බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති ඉන්දුනීසියාවේ විශිෂ්ට බෝරෝබුදුර් විහාරය පිහිටා ඇති අතර එය ලොව විශාලතම බෞද්ධ ස්මාරකය ලෙස සැලකේ. 8 වන හා 9 වන සියවස්වල මෙය නිර්මාණය වී ඇති අතර ක්‍රිස්තු වර්ෂ 600 - 800 දක්වා කාලය යනු ඉන්දියාව, ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව පුරා විහාරස්ථාන ඉදිකිරීමේ ස්වර්ණමය යුගයක් බව පෙන්වා දීමට මෙය කදිම නිදසුනකි.

ගිනිකඳු පාෂාණ වලින් ඉදිකර කිසිදු නවීන මෙවලමක් භාවිතයෙන් තොරව වසර 75ක කාලයක් තුළ ඉදිකරන ලද මෙම බෝරෝබුදුර් විහාරය බුද්ධ ප්‍රතිමා 504ක් පේකඩ පුවරු 2672කින් යුක්ත වන අතර මෙය මහායාන බෞද්ධ විහාරයක් ලෙස සැලකේ.1991 වර්ශයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කල බෝරෝබුදුර් විහාරය ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවාහි කේඩු නිම්නයේ සශ්‍රික හරිත කෙත්වතු හා දර්ශනීය කඳුකරයක පිහිටා ඇති  ශෛලමය කලාවේ අද්විතීය නිමැවුමකි.

මහායාන බුදුදහම ප්‍රවර්ධනය කළ ශෛලේන්ද්‍ර අධිරාජ්‍ය සමයේදී බුද්ධ දේශනාවේ දෘෂ්‍ය ස්වරූපය  හා බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කළ යුතු පියවර ප්‍රායෝගිකව පෙන්වා දෙන අරමුණින් මහල් අටකින් යුක්තව මෙය නිමකර තිබේ.සමස්ත ගොඩනැගිල්ල පිරමීඩාකාර හැඩයකින් යුක්ත වන අතර මුල් අදියර චතුරස්‍රාකාර වේ. මෙය දේව මාලිගා කොටස ලෙස හැඳින්වේ.ඉහලින්ම ඇති වෘත්තාකාර වේදිකා තුළ විශාල දාගැබක් කේන්ද්‍ර කොට ගෙන කුඩා පරිවාර දාගැබ් 72ක් දක්නට ලැබේ.ඒ හැම දාගැබ් අභ්‍යන්තරයකම බුද්ධ ප්‍රතිමාව බැගින් නිර්මාණය ඇති ආකාරය දැකගත හැකිය .

බුදු දහමේ ඉගැන්වෙන කාම,රූප,අරූප යන තුන් ලෝකය සංකේතවත් කරන මෙම අපූරු නිර්මාණය අවිද්‍යාවෙන් මිදී බුද්ධත්වය කරා යන මාර්ගය පසක් කිරීමේ උත්සාහයක් බව විද්වතුන්ගේ මතයයි.

බොරෝබුදුර් විහාර සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව මෙන්දුත්,පාවෝ යන නමින් තවත් කුඩා විහාරස්ථාන ද්විත්වයක් දක්නට ලැබේ. මෙම විහාර ත්‍රිත්වය ම එක පෙලට පිහිටා ඇති අතර අතීතයේදී මෙම විහාර තුනම එකිනෙක සම්බන්ධ කරමින් ගඩොල් අතුරන ලද මං පෙතකින් පැවතෙන්නට ඇති බව විශ්වාස කෙරේ.

ඉන්දුනීසියාව ගිනිකඳු ආශ්‍රිත රටක් වන අතර වරින් වර ගිනිකදු පිපිරීමේ බලපෑම බෝරෝබුදුර් වලට එල්ල වුවද අතීත ඉදුනීසියානු බෞද්ධ ජනයා එය ආරක්ෂා කරගැනීමට  උත්සුක වූහ.ශ්‍රේෂ්ඨ බුදුරදුන් වෙනුවෙන් තැනූ නුවර යන අරුත් ඇති බෝරෝබුදුර්  විහාරාරාමය අග්නිදිග ආසියාවේ ආගමික ප්‍රබෝධය, ආධ්‍යාත්මික සංවර්ධනය, වාස්තු විද්‍යාත්මක දියුණුව පිළිබඳ කැටපතක් වෙනවා මෙන්ම ලෝකවාසි  බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන එමෙන්ම ලෝක සංචාරක ආකර්ශනය දිනු අපූරු ගමනාන්තයකි.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...