ප්‍රණීත ආහාරපාන වගේම අලුත් ඇඳුම් පැළඳුම් එක ලෙසම හැමෝටම හිමි නොවන ලෝකයක අනෙකාගේ දුක වේදනාව කෙරෙහි සංවේදීව ජීවත්වීම අත්‍යවශ්‍යම වූවකි. කාලයෙන් කාලයට වෙනස් වන මිනිස් හැඟීම් හා දැනීම් වලට නිරන්තර පරාර්ථකාමීත්වය සිහිකැඳවීම ඉතාම අගනේය. ඒ අයුරින් ඉස්ලාම් ආගමික බැතිමතුන්ට අනෙකා වෙනුවෙන් කැපවිය යුතු බවත් එය ඉතා භක්තියෙන් කළ යුතු බවත් පෙන්වා දෙන විචිත්‍රවත් අංගයක් ලෙස රාමසාන් උත්සවය පෙන්වාදිය හැකිය.
මෙම රාමසාන් උත්සවය එක් එක් වර්ෂයේදී පැවැත්වෙන දිනය වෙනස් වන අතර එහි ආරම්භය හා අවසානය තීරණය වන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂය හා චන්ද්‍රයාගේ දර්ශනය පාදක කර ගනිමිනි. මෙම රාමසාන් උත්සවය ආරම්භ වීමට හේතු වී ඇත්තේ ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන "අල් කුරානය" ලොව පහළ වූ කාලය සිහිපත් කිරීමයි. පුරා මාසයක් උපවාස ශීලය රකිමින් ස්වයං සංයමයකින් යුතුව තම ආත්මය පවිත්‍ර කර ගැනීම සඳහා ඔවුන් මෙම කාලය වැය කරයි. අකාරුණික හෝ අපවිත්‍ර සිතිවිලි, වචන ආදියෙන් පවා වැළකී මෙම කාලය ගත කරයි. එක් වේලක් පමණ ආහාර ගෙන සිදුකරන මෙම උපවාස කාලය සිත දමනය කිරීම හා පරිත්‍යාගශීලීත්වය පුහුණු කිරීම සඳහා සර්ව බලධාරී අල්ලා දෙවියන් විසින්ම පනවන ලද ධර්ම නීතියකි.
හිරු උදාවට පෙර උපවාස ශීලය ආරම්භ කර හිරු බැස ගිය පසු දවසේ එකම ආහාර වේල අනුභව කරයි. කුඩා ළමුන්, රෝගීන්, වයස්ගත දුර්වල අය, ගැබිණි හා කිරි දෙන මව්වරුන් හැර සියලු දෙනා මෙම ශීලය රැකිය යුතුවේ. මෙම වසරේ මාර්තු 12 වන දින ආරම්භ වූ මෙම උපවාස කාලය අප්‍රේල් මස 12 වන දිනයෙන් අවසන් වේ. එලෙස අවසන් වන දින උදෑසනම දේවස්ථානයට ගොස් ආගමික වතාවත් සිදුකර පැමිණ අසල්වැසියන්ට හා දුප්පත් මිනිසුන්ට ආහාර, ඖෂධ, ඇඳුම් ආදියෙන් පරිත්‍යාග සිදු කරයි.
මෙම උත්සව සමයේ ඉතා සැහැල්ලු හා පෝෂ්‍යදායී ආහාර ඔවුන් විසින් පිළියෙල කරනු ලබයි. සුප් වර්ග, නැවුම් එළවළු හා පළතුරු ආදිය දෛනික උපවාස කාලයේදී ආහාරයට ගනී. පසුව උත්සව කාලය තුළදී වටලපන්, බිරියානි වැනි ආහාර වර්ග වලට ප්‍රධාන තැනක් හිමිවෙයි. මෙම ආහාරපාන ආදිය ද අසල්වැසියන් හා තමන්ට වඩා අඩු ආදායම් සහිත පිරිස් අතර බෙදා ගනිමින් ඉතා සහයෝගයෙන් මෙම උත්සව කාලය ගත කරයි.
මෙලෙස ඉස්ලාම් බැතිමතුන් විසින් උත්සවශ්‍රීයෙන් යුතුව සාමය සමගිය හා සහජීවනය අරමුණු කරගනිමින් සමරනු ලබන රාමසාන් උත්සවය මෙම වසරේ අප්‍රේල් මස 12 වන දිනට එනම් අද දිනට යෙදී ඇත.
ලෝකවාසී සියලු ඉස්ලාම් සහෝදර සහෝදරියන්ට සුභ රාමසාන් දිනයක් වේවා..!
Leo Nisnsla Pathirana
Second Year
Faculty of Arts