Saturday, April 12, 2025

බක් පුර පසළොස්වක පොහොය 🙏🙏


 බක් පුර පසළොස්වක පොහොය 🙏🙏


බෞද්ධයන් වන අප සැමගේම විශේෂිත දිනයක් ලෙස පොහොය දිනය හැඳින්විය හැකිය.පුද්ගලයා තමන්ගේ එදිනෙදා කටයුතු වලින් මිදී යම් තරමකට හෝ ආගමික වතාවත් වල නියැලෙනුයේ පොහොය දිනයන් තුළය. මෙම ආගමික ලැදියාව පොහොය දිනයට පමණක් සීමා නොකරන බෞද්ධයන්ද සිටී.වර්තමානයේ පවතින කාර්‍යබහුලත්වයෙන් යම් තරමකට හෝ මිදීමට හැකි වන්නේ පොහොය දිනයට පමණි.එබැවින් එවන් දවසකට හෝ ආගමික වතාවත් වල යෙදීම බෞද්ධයන් වන අප සැමගේම යුතුකමකි.


කෙසේ නමුත් අලුත් අවුරුදු මාසයත් සමඟ එළඹෙන මෙම බක් පුර පසළොස්වක පොහොය බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පොහොය දිනයකි.


    🛑 බුදුන් වහන්සේ දෙවනි වරට ලංකාවට වැඩම කිරීම.

      මෙය ලංකාවාසීන්ට ඉතාමත් වැදගත් වූ සිදුවීමකි.එනම් බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් පස්වන වර්ශයේ දී ලංකාවේ නාගදීපයට වැඩම කළ සේක.

     🛑 චූලෝදර මහෝදර නා රජුන් දමනය කිරීම.

      බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ මෙයයි.චූලෝදර මහෝදර යන නා රජුන් අතර මිණි පළඟක් හේතුවෙන් ඇති වන්නට ගිය විශාල විනාශය දුටු බුදුන් වහන්සේ එය නැවැත්වීම සඳහා වැඩම කළ සේක.එහිදී නා රජුන් ඇතුලු විශාල පිරිසක් බුදුන් සරණ ගිය අතර මිණි පළඟද බුදුන් වහන්සේට පූජා කරන ලදී.

     🛑 සතර පෙර නිමිති පහළ වීම.

       සුද්ධෝදන මහ රජු සිදුහත් කුමරුගෙන් ගිහිගෙය කලකිරීමට හේතු වන පුද්ගලයන් නොපෙන්වා සිටීමට කෙතරම් උත්සහ කළත් එම උත්සහය ව්‍යාර්ථ විය.කුමරු උයන් කෙළියට පිටත් වී ගිය අවස්ථාවේ සතර පෙර නිමිති වලින් පළමු වැන්න වන මහල්ලෙකුගේ රුවක් මුණ ගැසුනි.ඒ මේ පොහොය දිනයේදීය.එබැවින් මෙම පොහොය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වේ.

     🛑 කිඹුල්වත් නුවර බලා වැඩම කිරීම.

      සුද්ධෝදන තම පිය රජු ඇතුළු ඥාතීන්ට ධර්මය දේශනා කිරීම සඳහා බුදුන් වහන්සේ ඇරඹූ ගමන අවසන් වූයේ බක් පුර පසළොස්වක පොහොය දිනයේදීය.එනම් බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ මෙම පොහොය දිනයේදීය.

     🛑 එමෙන්ම මෙම පොහොය දින සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ මණි අක්ඛිත රජු බුදුන් වහන්සේට කැළණියට වැඩම කරන ලෙසට ආරාධනය කිරීමයි.එම ආරාධනය පිළිගත් බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවෙනි වර්ශයේ තෙවන ලංකා ගමනය ලෙස කැළණියට වැඩම කළ සේක.


 මේ ආකාරයට බක් පුර පසළොස්වක පොහොය බෞද්ධයන් වන අප සියලු දෙනාට ඉතාමත් වැදගත් දිනයක් බවට සැලකිය හැකිය.බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිහි කරමින් නාගදීප පුදබිමෙහි විශේෂ පුද පූජාවන් පවත්වනු ලබයි.බොහෝ පුද්ගලයන් ආමිස හෝ ප්‍රතිපත්ති පූජා පැවැත්වීම,සිල් සමාදන් වීම ආදී බොහෝ පුණ්‍යකර්මයන්හි නියැලේ.එබැවින් ලංකාවාසී බෞද්ධයන් වන අපද මෙම ඓතිහාසික වටිනාකමක් තිබෙන පොහෝ දිනයන් සිහිපත් කරමින් බුදුන් වහන්සේට හා සංඝයා වහන්සේට ගෞරව පුද පූජා පැවැත්විය යුතුය.


  ඔබ සියලු දෙනාට උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා🙏🤍🙏

අවදානමට සූදානමක්.

  කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් ...