Tuesday, July 23, 2024

ස්වයං මානසික රැකවරණ පිළිවෙත් [ Mind Pulse - Article 05]



Mind Pulse

Phase - 1

Session - 1

ඔබ ජීවිතයේ කුමන හෝ අවස්ථාවක, නැතිනම් මේ මොහොතේ හෝ මානසික පීඩාකාරී තත්ත්වයක්, ගැටලු සහගත තත්ත්වයක් නිසා ආතතියට පත් වී තිබේ ද? එසේ වී ඇත්නම් නිසැකවම එම අවස්ථාවන්වලදී මානසික සතුට හා සැනසුම ඔබෙන් ගිලිහී ගොස් මානසික පීඩාව හා අසතුට වැනි වේදනාකාරි හැඟීම්වලින් ඔබේ මනස ව්‍යාකූල වීම සිදුවේ. මෙවන් මානසික බිඳවැටීම් ස්වභාවයන් නිසා අවසානයේ ඔබේ සිත තුල ඍණාත්මක සිතුවිලි හටගැනීමත් එතුලින් ඔබේ දෛනික ජීවන රටාවට පවා බාධා එල්ලවීමත් මෙහි ඇති තීරණාත්මක අදියර වේ. 

මෙවැනි තත්ත්වයන්හී දී ඔබ බහුල වශයෙන් සිදුකරනුයේ ඔබේ ගැටලුකාරී ස්වභාවය හා මානසික ආතතිය ගැන නොසිතා හිඳ, එය ඉබේ බැහැර වී යාමට දී බලා සිටිනවා විය හැකි ය. නමුත් ඔබ ඒ කරනුයේ නොදැනුවත්ව ම හෝ ඔබටම සිදුකරගන්නා අපරාධයකි. කායික නීරෝගීභාවය පිළිබඳ ඔබ සැලකිලිමත්වන්නේ කෙසේද ඒ අයුරින්ම ඔබේ මානසික සුවපත්භාවය පිළිබඳ සැලකිලිමත් වීම, එය රැකගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. 

ජීවිතයේ ඕනෑම අවස්ථාවක මෙවන් මානසික ගැටලු ඇති වීමට ඉඩ කඩ ඇති බැවින් එම තත්ත්වයන් වළක්වාගැනීමට හෝ එවැනි අවස්ථාවකට ඔබ මුහුණ දී සිටිනවා නම් සාර්ථකව එයින් අත්මිදීමට අනුගමනය කළ හැකි පිළිවෙත් බොහෝමයකි. 

ධනාත්මක චින්තන රටාවකට හුරු වීම, ගැටලුවකට ධනාත්මක අයුරින් පිළිතුරු සෙවීමට යොමුවීම අපට ජීවිතයට පුරුදු පුහුණුවිය හැකි එක් සාර්ථකම ස්වයං මානසික රැකවරණ පිලිවෙතක් වේ. ගැටලුවක් පැන නැගුණු විටදී මුලින්ම මනසෙහි ඍණාත්මක සිතුවිලි ජනනය වීම නිරායාසයෙන්ම සිදු වේ. නමුත් එයින් සිදුවන්නේ ගැටලුවට පිලිතුරු සෙවීමටත් පෙරම අපගේ මානසික මට්ටම බිඳ වැටීමයි. එසේ වීමට ඉඩ නොදී මතු වී ඇති තත්ත්වය ගැන අවබෝධයෙන් බලා ගැටලුවට කෙසේ හෝ පිලිතුරක් සොයා ගන්නා අරමුණින් කටයුතු කිරීම තුලින් මනසට වඩාත් ධනාත්මක හැඟීමක් හා මානසික සුවපත්භාවයක් දැනේ. ගැටලුවක් පිලිබඳ සාමාන්‍ය දෘශ්ටිකෝණයෙන් ඔබ්බට් ගොස් වඩාත් විවෘතව හා මධ්‍යස්ථව බැලීමට ඔබට හැකිනම් ඔබේ මනසට එය වඩාත් සහනයක් ගෙන දෙනු ඇත. ධනාත්මක චින්තන රටාවකට හුරුවීමට නම් ඔබ ධනාත්මක ලෙස සිතන, ඔබට හැකි සෑම විටකම ශක්තියක් වෙන මිනිසුන් ආශ්‍රය කළ යුතු ය. නිතරම ඔබට ධනාත්මක තෘප්තියක් ගෙන දෙන, ආත්ම විශ්වාසය ඉහළ නංවන ඵලදායී කාර්‍ය්යන්වල නිරත වීම හා ක්ෂණික කෝපය, වේදනාව වැනි හැඟීම් පාලනය කරගැනීමට උත්සහ දැරීම තුලින් ඔබේ මනස සාර්ථක ලෙස හසුරවා ගැනීමට ඔබට හැකියාව ලැබේ. සෑමවිටම ඔබේ මනසේ හා සිතුවිලිවල පාලනය ඇත්තේ ඔබේ අතේ බව හොඳින් සිහි තබාගත යුතු ය.

අදවන විට බොහෝ දෙනා කතාබහ කරන මාතෘකාවක් ලෙස විශ්ව ආකර්ෂණ නීතිය ප්‍රචලිත වී ඇත. 'Positive energy', 'positive vibration' එසේත් නැතිනම් ධනාත්මක ශක්තිය අප තුළ වර්ධනය කරගැනීම සඳහා බහුල ලෙස මෙම විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා වේ. ඔබ ඔබේ ඇතුලාන්තයෙන් බාහිර ලෝකයට මුදාහරින්නේ සතුට දනවන යහපත් සිතුවිලි හා ශක්තීන් නම් එය නැවත ඔබ වෙත යහපත් ප්‍රතිඵල ආකර්ෂණය කරදෙන බව මෙයින් පෙන්වා දෙයි. ඔබේ සිත තුල ජීවිතය පිලිබඳ සුභවාදී, ස්තූතිපූර්වක හැඟීම් ජනනය වන්නේ නම් නිරායාසයෙන්ම එය ඔබේ යටි සිත හරහා භෞතික වශයෙන් ක්‍රියා කරනා අකාරටයද ධනාත්මක ලෙස බලපානු ඇත. ඔබට දැනටමත් ලැබී ඇති දේ පිළිබඳ තෘප්තිමත් වෙමින් ඔබ ඉදිරියේදී ලබා ගැනීමට කැමති දේවල් පිළිබඳ සාර්ථක ලෙස මනසින් සිතීමටත් සැලසුම් කිරීමටත් පෙලඹෙන විටදී ඔබට වඩාත් ප්‍රබල, විශ්වාසදායී හැඟීම් ඇතී විමට පටන් ගනියි.

එදිනෙදා අප ජීවත්වන ලෝකයේ අපගේ සිතුවිලි පාලනය කරගැනීම යනු ඉතාමත් අසීරු කටයුත්තක් බව අප සැවොම හොඳින් දන්නා කරුණකි. එලෙස විසිරෙන සිතිවිලි හා මනස එක් මොහොතකට හෝ එක්තැන් කරගැනීම සඳහා ඇති සාර්ථකම විසඳුම වන්නේ භාවනාවයි. දිනකට මිනිත්තු කිහිපයක් හෝ ඔබේ විඩාබර මනස එක් තැනකට ගෙන සන්සුන් කරගෙන සිටීමට ඔබට හැකි නම් ඔබ මානසික වශයෙන් ඉහල සැනසීමක් අත්පත් කරගත් පුද්ගලයෙකු බව ඔබට වැටහෙනු ඇත්. එය ඔබගේ එදිනෙදා කාර්‍ය්යන් සිහියෙන් යුතුව සාර්ථකව කරගැනීමටද මහත් සේ උපකාරී වේ. භාවනාව සේම ඊට සමාන ප්‍රථිපල ලබාදෙන යෝග ක්‍රම හා මානසික අභ්‍යාසවල නිරත වීමද මනසේ විඩාව සන්සිඳුවා සිතුවිලි වඩාත් ක්‍රමානුකූල රටාවකට හැඩගස්සවා ගැනීමට ඔබට රුකුලක් වනු ඇත. 

ඔබේ මනසට නිදහස,සැනසීම ළඟාකරදී මානසික ආතතිය හා පීඩාව දුරු කරගැනීමට අවශ්‍ය නම්,  මනසට හා සිතුවිලිවලට පාලනයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. එය සිදුකල හැක්කේ ඔබටම ය. පාලනයෙන් තොර වූ මනස ඔබට ගෙන එන්නේ ආතතිය පමණි. ඔබේ හැඟීම්වල පාලනය සම්පූර්ණයෙන්ම  ඇත්තේ ඔබේ අතේ බැවින් ඔබේ මානසික ස්ථාවරභාවයේ වගකීම්කරුවා ද වන්නේ ඔබම ය.

Leo Methini Jayananda

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...