ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව පැන නැගුණේ මෑතකදී නම් නොවේ. එය පෘතුගීසි යුගය දක්වා දිවයන්නකි. එනම් පෘතුගීසින් විසින් ලංකාවට අබිං යන මත්ද්‍රව්‍ය හඳුන්වා දෙන ලදී. මෙම මත්ද්‍රව්‍ය ලංකාවට විශාල බදු ආදායමක් ලබා දුන්නත් රට තුළ ගැටළු රාශියක් ඇති කරන්නක් බවට පත්විය. කාලයත් සමඟ හෙරොයින්, ගංජා ,කසිප්පු, සිගරට්, සුරුට්ටු, අරක්කු, හෂ්හිෂ්, කංසා ,කැනබිස් ආදී මත්ද්‍රව්‍ය වර්ග රාශියක් රට පුරා ව්‍යාප්ත විය.වර්තමානයේ ලොකු කුඩා කා අතරත් වෛරසයක් ලෙස පැතිර යන මෙම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ලංකාවේ සංවර්ධන ක්‍රියාන්විතය අභියෝගයට ලක්වී තිබෙන ආකාරය මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කර තිබේ.
ශ්‍රී ලංකාව යනු තවමත් සංවර්ධනය වෙමින් පවතින්නාවූ රටකි. ආදායම් මාර්ග වැඩි වූ පමණින් රට තුළ මුදල් භාවිතය වැඩි වූ පමණින් එය සංවර්ධන රටක් ලෙස නම් නොකරයි. ඒ සඳහා තවත් බොහෝ අංශ සංවර්ධනය විය යුතුය. නමුත් ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට මෙම මත්ද්‍රව්‍ය උවදුර මරු පහරක් වී තිබේ.
🛑රටක් සංවර්ධනයට එම රටේ පුද්ගලයන්ගේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. නමුත් වර්තමාන ලංකාවේ පුද්ගලයන්ගේ සාක්ෂරතා මට්ටම කෙබඳුදැයි ඔබට වටහා ගත හැකිද. මත්ද්‍රව්‍යවලට ශීඝ්‍ර ලෙස යොමු වන්නේ පාසල් සිසුන්ය. ඔවුන් අනාගත රටේ උරුමක්කාරයන්ය. නමුත් මෙම මත්ද්‍රව්‍ය හේතුකොට ගෙන පාසල් සිසුන්ගේ අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දමා තිබේ. එමෙන්ම රට තුළ නූගත් පිරිසෙන් වැඩි පිරිසක් මෙම මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවී තිබේ.මේ ආකාරයට අධ්‍යාපන අංශය හා සාක්ෂරතා මට්ටම පිරිහීමට රටක් තුළ සංවර්ධන ක්‍රියාවලිය අඩපන කරන්නකි.
🛑මත්ද්‍රව්‍ය උවදුරේ ඊළඟ ප්‍රධාන ඉලක්කය වනුයේ කාන්තාවන්ය.බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහාද කාන්තාවන් උපයෝගී කර ගනී.ඇතැම් කාන්තාවන් මෙම මත්ද්‍රව්‍යවලට කෙතරම් ඇබ්බැහි වී තිබෙනවාද යන්න පැවසුවහොත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගනු ලබන්නේ ගණිකා වෘත්තිය වැනි සමාජ සම්මත නොවන ක්‍රියාමාර්ග වලිනි.රටක් සංවර්ධනයට කාන්තාවන්ගේ දායකත්වය ඉතාමත් වැදගත්ය .මන්ද ලංකාවේ පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් බහුතරයක් සිටීමයි. නමුත් මෙවන් වූ අකටයුතුකම් රට තුළ ක්‍රියාත්මක වීමෙන් රටක් සංවර්ධනය කරා ගෙන යාම ඉතාමත් දුෂ්කර වී තිබේ.
🛑රටක අනන්‍යතාවය විදහාපානා ප්‍රධාන සාධක ලෙස එම රටේ ආගම හා සංස්කෘතිය මහඟු කාර්යයක් ඉටු කරයි. නමුත් ශ්‍රී ලංකාවේ ආගම හා සංස්කෘතිය අද වන විට මුළුමනින්ම විනාශ කිරීමට මත්ද්‍රව්‍ය උවදුර සමත් වී තිබේ. මන්දයත් මත්ද්‍රව්‍ය හේතුවෙන් පුද්ගලයන්ගේ සදාචාරය පිරිහීමට ලක්වී තිබේ. වංචා දූෂණ ළමා අපයෝජන ශීඝ්‍ර ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් පවතී. තමන්ගේ ආරක්ෂාව පවා ස්ථිර නොමැති රටක් කෙසේ සංවර්ධිත රටක් වන්නේද .මෙම ගැටලුවට පිළියම් යෙදීමට බලධාරීන් බොහෝ ක්‍රියාමාර්ග ගත්තත් ඔවුන් තුළද වැඩිමනක් සිටිනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රුකුල් දෙන්නාවූ පිරිසක් බව ඇතැම් මාධ්‍ය හෙළි කර තිබේ. ඉදින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනුයේ කවදාද? මෙය පිළිතුරක් නොමැති පැනයක් පමණක් බවට පත්වී තිබේ.
🛑මත්ද්‍රව්‍ය ජාවාරම හේතු කොටගෙන පුද්ගලයාගේ මෙන්ම රට තුළ ධනය විශාල වශයෙන් පිරිහීමට පත්වේ. එනම් ආර්ථික ප්‍රශ්න රාශියක් රට තුළ උද්ගත වේ.පවුල් ප්‍රශ්න රැකියා ප්‍රශ්න මේ නිසා පැන නගී.එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ සේවයේ නියුතු පුද්ගලයන්ට අවශ්‍ය වැටුප් දීමනා ආදිය ලබාදීමට විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවේ .එමෙන්ම විදේශ විනමය බොහෝ ප්‍රමාණයක් වෙනත් රටවලට සේන්දුවේ.ලංකාව තුළ ආර්ථික අංශය පිරිහීමට ලක්වීම් හේතුවෙන් සංවර්ධනය ප්‍රමාද වේ.
🛑ලංකාවේ රෝහල් තුළ සිටින රෝගීන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි ප්‍රතිඵල භුක්ති විඳින්නන් වේ.පුද්ගලයන්ගේ ආයුෂ කාලය සීමා වීමට හදවත් රෝග පිළිකාරෝග ආදී නොයෙකුත් රෝග වැළඳීමට මෙන්ම බොහෝ රිය අනතුරු වීමටද මත්ද්‍රව්‍ය භාවිතය හේතු වී තිබේ. රටක නීරෝගී ජන පිරිසක් සිටීම එම රටේ සංවර්ධනයේ ප්‍රධාන අංශයකි. මන්ද රටක් පවත්වාගෙන යාමට නීරෝගී ශක්තිමත් ජන බලකායක් තිබිය යුතුය. නමුත් මේ තත්ත්වය යටතේ ලංකාවේ සංවර්ධන ක්‍රියාන්විතය පිළිබද ගැටලුවක් පැන නගී.
ඉදින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන මේ ගමන මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් කෙතරම් ප්‍රමාද වනවාදැයි ඔබටම වැටහෙනු ඇත.ශ්‍රී ලංකා මාතාව අනාගත පරපුරට සංවර්ධිත රටක් ලෙස පවරාදීමට අපගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට නොමඳව උත්සහ කරමු.